IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


සයිමන් සාහිත්‍යකරුවෙක් ද දාර්ශනිකයෙක් ද?

 

සයිමන් නවගත්තේගම සිංහල රසිකයා අපූර්ව රසයෙන් ප්‍රබුද්ධ කළ කලාකරුවෙකි. සාහිත්‍යකරුවකු ලෙස ඔහු නවගත්තේගම රීතිය යැයි වෙසෙසින් දැක්වීය හැකි ස්වීය හා ස්වතන්ත්‍ර රීතියක් ගොඩනගා ගත්තෙකි. නිර්මාණකරුවකු ලෙස සයිමන් පරිපාකයට පත්වන්නේ පෙරළා සිය මුල් සොයා යෑම තුළිනි."කසිප්පු කාරයෝ" ඔහු මළගිය පසු, ආදී මුල්කාලීන කෙටිකතා තුළින් යථාර්ථවාදී වන්නිය නිරූපණය කළ ඔහු පසුව දඩයක්කාරයා මුල් කරගත් නවකතා මාලාවකින් අභිනව ආඛ්‍යාන රීතියක් ඔස්සේ කාල්පනික ලොවකට අවතීර්ණ වූයේය.කුමාර වන්නියෙහි සංසාරාණ්‍යක් මැවූ නවගත්තේ ගමගේ සකලවිධ නිර්මාණ කාර්යය ඔහුට ආවේණික හා අනන්‍ය ගුණරුවෙන් සංයුක්තය.අඛ්‍යානය, දෘෂ්ටිය, භාෂාව හා සන්දර්භය විසින් විරල විප්ලවීයත්වයක් ඔහුගේ සාහිත්‍ය නිර්මාණ තුළ විද්‍යමාන වෙි.

නාට්‍යකරණය, නවකතා හා කෙටිකතාකරණය සිනමා තිර රචනය රංගනය විචාරය ඈ ක්ෂෙත්‍ර ගණනාවකම නිරත වෙමින් ස්වකීය නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තිය සුවිශද කළ සයිමන්ගේ දැවැන්ත නිර්මාණකාය විචාරශීලීව සලකුණු කිරීමට ගත් වෑයමකි මේ. ප්‍රවීණ සාහිත්‍යවේදී එරික් ඉලයප්ආ රච්චි සයිමන් නවගත්තේගම පිළිබඳ කුමක් කියන්නේ දැයි අපි බලමු.

 

මම

සයිමන් නවගත්තේගම කියන්නේ සම්මත යථාර්ථ රීතිය සමතික්‍රමණය කරමින් අභිනව සාහිත්‍ය ආඛ්‍යාන රීතියක් නිපදවූ ලේඛකයෙක්. එහෙත් ඔහු සම්මත රීතියෙන් ඔබ්බට ගිහින් ව්‍යාජ නිර්මාණ කළේ නැහැ.ඔහු මුල සිටම ලේඛකයකු හැටියට අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට උත්සුක වූ බව පෙනෙනවා. නිර්මාණකරුවකු වශයෙන් සයිමන්ගේ අනන්‍යතාව කෙබඳුද යන්න පැහැදිලි කරමින් අපි මේ සංවාදය ආරම්භ කරමු?

 

එරික්

රීතියක් සමතික්‍රමණය කළා යැයි කීම ලේඛන කලාව සම්බන්ධයෙන් උභතෝකෝටිකයක්.රීතියක් සමතික්‍රමණය කොට ළඟා වූයේ කොතැනටද?යථාර්ථවාදී රීතිය කියන්නෙත් ගොඩනැංවීමක්.ලේඛකයා යථාර්ථය පිළිබඳ චිත්‍රයක් මැවීම සඳහා විවිධ උපක්‍රම, ශිල්ප විධි, භාවිත කරනවා. එසේ කොට කලාත්මක චිත්‍රයක් මවනවා. එසේ නොවන රීතියක් අනුගමනය කරන ලේඛකයකු කලාත්මක ප්‍රතිලාභය ලෙස දිනාගන්නේ කුමක්ද? හුදෙක් රීතියක් පමණක්ද? ඔහු මැවූ කලාත්මක චිත්‍රය කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු නොසොයා හුදෙක් රීතිවාදයක් පසුපස දිවීමේ ප්‍රයෝජනයක් නැහැ. චිත්‍ර කලාව ගත්තොත් යථාර්ථවාදය නිරූපණාත්මක කලාව ශාස්ත්‍රාලයීය කලාව ආදියට වෙනස් නව චින්තන රීති සහිත නූතනවාදයක් බිහිවුණා.ඊට ධාරණවාදය ප්‍රකාශනවාදය අධියථාර්ථවාදය ඩාඩාවාදය ආදිය ඇතුළත් වෙනවා. මේ රීති ඔස්සේ නව නිර්මාණ බිහිවුණා. විසිවැනි ශත වාර්ෂයේ ඉතාමත් දේශපාලන චිත්‍රය ලෙස සැලකෙන පිකාසෝගේ "ගුවර්නිකා" විශිෂ්ට නිර්මාණයක්. එය නව රීතියකට නිදර්ශනයක්.

සාහිත්‍ය කලාවේදීත් මේ කාරණය අදාළයි. නව රීතියකින් ලැබුණේ කවර නිර්මාණාත්මක ප්‍රතිලාභයක්ද?ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්ගේ "හුදෙකලාවේ සිය වසක් "One Hundred years of Solitude ලුසිී බෝර්ජස්ගේ ප්‍රබන්ධ එවැනි නව ප්‍රතිලාභ. මා කල්පනා කරන හැටියට සයිමන් නවගත්තේගමගේ හොඳම නිර්මාණ තිබුණේ ඔහුගේ මුල් කෙටිකතා හා නවකතා තුළ පමණයි.ඔහුගේ පසුකාලීන නිර්මාණ යථාර්ථය සඟවන කාල්පනික ලෝකයක්.සිංහල ගම පිළිබඳ ෆැන්ටසිය ජාතික මතවාදය සුන්නද්දූලි කරන අන්දමෙි කලාත්මක වීරචරිතයක් ලෙස පුද්ගල ජීවිතයක් ගත කළ ඔහු අතින් එවැනි කාල්පනික ලෝකයක් මැවීම මෙරට සාහිත්‍යයේ දුර්භාග්‍යයක්.

 

මම

සයිමන්ගේ බොහෝ නවකතාවල ප්‍රවාද චරිත, අද්භූත මිනිස්සු, ගූඨ තැන් අද්භූත සිදුවීම් නිරන්තරයෙන්ම දකින්නට ලැබෙනවා. එහෙත් ඔහු මේ කිසිවක් නිර්මාණවලට බලෙන් ආරෝපණය කරගත් බවක් පෙනෙන්නේ නෑ.මේ තුළින් සයිමන්ගේ ඇතැම් නිර්මාණවල මූලික ධාරණාවන්ට විශාල ආලෝකයක් ලැබී තිබෙන බවයි මට පෙනෙන්නේ?

 

එරික්

ඔහු ඇවන්ගාඩ් සාහිත්‍යය (අසම්පදායික පෙරටුගාමී සාහිත්‍යය) හා කැපවුණු, සාහිත්‍යය (Committed Literature) අතර අතරමං වුණු සාහිත්‍යකරුවෙක්. ඔහු ගමන් කරන්නේ මිත්‍යාමය පුරාණෝක්තිමය ගමනකට.බණකතාවට,ජනකතාවට ඔහු ප්‍රබන්ධයේදී වැඩි ඉඩක් දෙනවා.මෙි නිසා ඔහුගේ සාහිත්‍ය කැපවන්නේ පැරැන්නකට.නූතනයට නෙවෙයි.

 

මම

සයිමන්ගේ ඇතැම් කෘතිවලට ෆාන්ස් කෆ්කාගේ හෙවණැල්ල වැටී ඇති බව පෙනෙනවා. විශේෂයෙන්ම "සාගර ජලය මදි හැඬුවා"නමැති නවකතාව ඔහු ආරම්භ කරන්නේ ගුරුවරයකු හා ශිෂ්‍යාවක් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් පාදක කරගෙන. නමුත් ඒ දෙන්නා වෙනස් පරිසරයක හැදුණු වැඩුණු අන්‍යොන්‍ය අවබෝධයක් නැති පෙම්වතුන්. මෙහිදී කිසියම් මිත්‍යා කතාවක ස්වරූපයක් දක්නට ලැබෙනවා.මෙි කතාවෙන් සයිමන් අපට කියන්නට හදන්නේ කාල්පනික ලෝකයත් සැබෑ ලෝකයත් අතර කිසිදු වෙනසක් නොමැති බවද?

 

එරික්

ඒක ඇත්ත. මං හිතන්නේ ලංකාවේ සාහිත්‍ය කතිකාවට ෆ්‍රාන්ස් කෆ්කා කැටුව එන්නේ සයිමන්. එපමණක් නොවේ සිංහල ගම තුළ ඔහු ඉතාමත් ආකර්ෂණීය අභූත සමයක් (Absurdity ) දකිනවා. මේ දැක්ම අතිශයින්ම දේශපාලනිකයි. එය මතවාදී ගම ඉක්මවා යන්නක් වන අතරේ යථාර්ථරූපී ගමද වෙනවා. ඔහු සංසාරාණ්‍යයේ දඩයක්කාරයා,සංසාරාණ්‍යයේ අසබඩ නවකතාවලින් මවන ලෝකයට වඩා වෙනස් ලෝකයක් සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා තුළ මවනවා. එය වන්නියේ අසරණ ගම.

 

මම

නූතන සදාචාර ධර්ම හාස්‍යයට ලක් කළ ප්‍රමුඛතම ප්‍රබලතම නවකතාකරුවකු වන ඩී.එච් ලෝරන්ස් කාමය පරමාර්ථ ශක්තියක් ලෙස සැලකූ බව පෙනෙනවා. ඒත් ලෝරන්ස්ගේ මෙහි කුහක සදාචාර ධර්ම හාස්‍යයට ලක් කිරීමේ ගුණය වරදවා වටහා ගත් අපේ ඇතැම් සිංහල නවකතාකරුවන් ස්වකීය නිර්මාණ කිරීමේදී ලිංගිකත්වය නමැති වියවුලේ පැටලී අතරමං වී තිබෙනවා. නමුත් මෙහිදී සයිමන් නාස්තිකයන්ගේ ගූඨවාදයන් සූක්ෂමව අවබෝධ කොට ගනිමින් ලෝරන්ස්ගේ ගූඨ කාමවාදය ව්‍යවහාරික කාම ව්‍යාපාරයක් බවට පත්කළේ නැහැ. මේ පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

 

එරික්

ලෝරන්ස් විශිෂ්ට සාහිත්‍යකරුවෙක්. ඔහුගේ පුත්තු සහ පෙම්වත්තු ( Sons and Lovers)විශිෂ්ට නිර්මාණයක්.ඔහු ගූඨ ලිංගිකවාදියකු ලෙස හඳුන්වන්නේ එම නවකතා දාර්ශනික කෘති ලෙස කියවූවන්.ඔහු එංගලන්තයේ ගල්අඟුරු කම්කරුවන්ගේ ලෝකයෙන් බිහි වූ විශිෂ්ට කවියෙක්.නවකතාකරුවෙක්.ප්‍රබන්ධමය නොවන ලේඛන තුළ සිටින්නේ ගූඨවාදියෙක් නොවෙි කැරලිකරුවෙක්.

 

මම

නිර්මාණකරණයේදී නව මානයන් සොයායෑමට සුවිශේෂ පරිශ්‍රමයක් දැරූ සයිමන් සංසාරාණ්‍යයේ දඩයක්කාරයා නමැති නවකතාව ලියමින් සංසාරාණ්‍යයේ අසබඩ දක්වා අපූර්වතම දාර්ශනික චින්තාවකට පාඨකයා රැගෙන ගියා.ආලය විඥානය නම් වූ ක්‍ලිෂ්ට මනෝභාව ගබඩාව ඇවිස්සීමෙන් ජනතාවගේ සංස්කෘතික විඥානය තුළ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණු කුණුකන්දල් ගොඩගැනීමට උත්සාහ කළා.එහෙත් මෙි නවකතා සාම්ප්‍රදායික ගුරුකුලයන්ගේ නිර්දය විවේචනයට ලක් වූ බව අපට මතකයි. සයිමන්ගේ නවකතාවලට මෙයින් කිසියම් අසාධාරණයක් සිදුවුණා යැයි ඔබ සිතන්නේ නැද්ද?

 

එරික්

සයිමන්ගෙන් දර්ශනවාදය කියවීම ඔහුගේ නිර්මාණ හා ඔහු ගත කළ නිර්වාජ නාගරික ජීවිතයට කරන නිග්‍රහයක්.සයිමන්ගෙන් ඔහුගේ සාහිත්‍යය කියවනවා විනා මහායානය කියවීම හාස්‍යජනකයි. මහගමසේකරගේ ප්‍රබුද්ධ තුළින් කාව්‍ය විනා දර්ශනය කියවන්න පුළුවන්ද? ක්‍රිෂ්ණ මූර්තිත් කවි ලියා තිබෙනවා.ඩෙරීඩා⁣ගෙන් හෝ කාල් මාක්ස්ගෙන් හෝ හයිඩැගර්ගෙන් හෝ දර්ශනවාදය උගන්නා තරුණයෝ ඊට වඩා විචාරාත්මකයි.මං හිතන්නේ සයිමන්ගේ හෝ සේකරගේ කෘතිවලින් දර්ශනය කියැවීමට උත්සාහ කිරීම හාස්‍යජනකයි.



අදහස් (0)

සයිමන් සාහිත්‍යකරුවෙක් ද දාර්ශනිකයෙක් ද?

ඔබේ අදහස් එවන්න

සාමීචිය

අද මෙි රටෙි ප්‍රේක්ෂකාගාරයට හෙණ ගහලා
2024 මැයි මස 14 556 0

සමාජයේ සාම්ප්‍රදායික බැඳීම්වල මායිම් රේඛා ප්‍රසාරණය කර ගැනීමෙහිලා නාට්‍යකරුවකු ලෙස වෙසෙසි අධ්‍යාශයක නිරත වන ධර්මසිරි බණ්ඩාරනායකයෝ ස්වකීය වේදිකා න


අද ඉන්න පඬිනැට්ටන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ
2024 මැයි මස 07 921 6

ස්වර්ණමය යුගයක් නිශ්චිතව ම අවසන් වී ඇත.එළැඹුණේ නව යුගයක් දැයි අපි නොදනිමු.මහාචාර්ය නලින්ද සිල්වා මිය ගොසිනි.ඔහු පිළිබඳ මේ සටහන ලිවීමට යෙදුණු මොහොත සංව


මෙි රටෙි ප්‍රබුද්ධයෝ ඩබල් ගේම්කාරයෝ
2024 අප්‍රේල් මස 30 548 0

කලක් ග්‍රන්ථ ප්‍රකාශකයකු හැටියට ද ජනප්‍රිය වු සන්නස්ගල සමග කලකට පෙර කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මෙි.


මම දෙඤ්ඤං බැටෙි විචාරකයෙක් නෙවෙයි
2024 අප්‍රේල් මස 23 200 0

නවකතාව ඔස්සේ නූතන මිනිසාගේ අධ්‍යාත්මික යථාව ගැඹුරින් නිරූපණය කළ ඔබ විචාර කලාවේත් කිසියම් පෙරළියක් කළා.එහෙත් ඇතැමුන්ට අනුව ඔබ දෙඤ්ඤං බැටෙි විචාරකයෙක


සයිමන් සාහිත්‍යකරුවෙක් ද දාර්ශනිකයෙක් ද?
2024 අප්‍රේල් මස 08 365 0

සයිමන් නවගත්තේගම සිංහල රසිකයා අපූර්ව රසයෙන් ප්‍රබුද්ධ කළ කලාකරුවෙකි. සාහිත්‍යකරුවකු ලෙස ඔහු නවගත්තේගම රීතිය යැයි වෙසෙසින් දැක්වීය හැකි ස්වීය හා ස්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2006 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site