IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය. ඇගේ කොණ්ඩයේ පැහැයත් සිරුරේ පැහැයත් වෙන් කර හැඳින ගත නොහැකි තරමටම ඇය කළුපැහැති වූවාය.
 
“කොහොමද කෙල්ල හොඳ ද..?”
 
ඔහු ආපසු නිවසට පැමිණි විට ඔහුගේ අක්කා විමසුවාය.
“අනේ බං හොඳක් මං දන්නෙ නෑ.. ගොම බෙට්ටක් වගේ කළුමකළු පාටයි.. දත් ටික විතරයි සුදු..” ඔහු කීවේය.  
 
සකරදාං.. එය ගැහැනියකට සරිලන නමක් නොවුණත් නිරානන්දය ටෙලි නාට්‍යයේ ඇය හැඳින්වුණේ එනමිනි. නම පමණක් නොව එම චරිතයත් සුවිශේෂී වූයේය.
 
“ඇත්තටම නිරානන්දය ටෙලි නාට්‍යය මගේ රංගන ජීවිතේ විතරක් නෙමෙයි සැබෑ ජීවිතේත් සුවිශේෂී කඩඉමක්.. සුදත් රෝහණ ගෙ ටෙලි නාට්‍යයකට මට ඇරයුම් ලැබුණේ පළමුවෙනි වතාවට.. එක දිගටම නපුරු චරිත රඟ පෑව හින්දම වැඩි දෙනෙක් හිතාගෙන හිටියෙ මම සැබෑ ජීවිතෙත් නපුරු කෙනෙක් කියලා.. නිරානන්දය තුළින් ඒ ප්‍රතිරූපය වෙනස් වුණා.. මගේ විවාහයට පදනම වැටුණේත් ඒ තුළින්මයි.. ඒ හින්දා නිරානන්දය මට ආනන්දයක් වුණා කිව්වොත් තමයි හරියටම හරි..”
 
සකරදාං චරිතය ගැන කතා කරන්නට සුනීතා විමලවීර මුල පිරුවේ එසේය.
 
1995 විකාශය වූ නිරානන්දය ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ මහාචාර්ය සරත් විජේසූරිය ගේ නිරානන්දය නවකතාව ඇසුරිනි. චාන්දනී සෙනෙවිරත්න, ඉන්ද්‍රජිත් නාවින්න, ඩබ්ලිව්. ජයසිරි, චන්ද්‍රා කළුආරච්චි වැනි ප්‍රවීණ නළුනිළියෝ පිරිසක් මෙහි චරිත නිරූපණය කළහ.  ඔවුන් සමග වැඩ කරන්නට ලැබීම අපූරු අත්දැකීමක් බැව් සුනීතා පැවසුවාය.
 
“සකරදාං චරිතය ලැබෙනකොට මම දිය සුළිය ටෙලි නාට්‍යයේ නපුරු චරිතයක් කරලා ඉවර වුණා විතරයි.. ඒකයි මේකයි අහසට පොළොව වගේ වෙනස්.. බොහොම අහිංසක චරිතයක්.. ගුටි බැනුම් වුණත් බිම බලාගෙන ඉවසාගෙන ඉන්නවා.. මට ඒ වගේ චරිතයක් රඟ පාන්න පුළුවන් ද කියලා අවිශ්වාසයෙන් බලපු අයත් හිටියා...  රඟ පාන්න තියෙන්නෙ අහිංසක චරිතයක් කිව්වම ගොළු චරිතයක් ද කියලා අහපු අයත් හිටියා.. ඒ තරමටම මම නපුරු චරිතවලට කොටු වෙලා හිටියෙ..” සුනීතා පැවසුවේ සිනාසෙමිනි.
 
“ඇයි එහෙම කොටු වුණේ..?”
 
මා විමසුවේ යශෝරාවය ටෙලි නාට්‍යය සිහිපත් වූ නිසාය. ඇය නිළියක ලෙස දොරට වැඩියේ ඒ ටෙලි නාට්‍යයෙනි. එහි ඇය රඟ පෑවේ සිය මවත් සමග පොළේ එළවළු විකුණන අචලා නම් අහිංසක පාසල් දැරියක ගේ චරිතයකි. 
 
“මන්දා.. මට හිතා ගන්න බෑ.. යම් චරිතයක් මට ගැළපෙනව ද, ඒ චරිතයට  සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් ද වගේ දේවල් මිසක් ඒ චරිතය කළු ද, සුදු ද, මිනිස්සු මොනවා හිතයි ද කියලා මම හිතන්නෙ නෑ..” ඇය පැවසුවාය.
 
එම නිසාම සකරදාං ඇයට අභියෝගයක් වූයේ නැත. ඒ කාලයේ අද මෙන් නොව සම්පූර්ණ තිර කතාව නළුනිළියන්ට ලැබෙන්නේය. එමෙන්ම චරිත පිළිබඳ විග්‍රහාත්මක කතාබහකට, චරිතය අධ්‍යයනය කරන්නට කාලය ලැබෙන්නේය. අදටත් රසික සිත්වල ජීවමාන ගුණාත්මක ටෙලි නාට්‍ය  එකල නිර්මාණය වූයේ එම නිසාය.  සුනීතාටත් සුදත් රෝහණ තිර පිටපත ගෙනැවිත් දුන්නේය.
 
“මේ චරිතය ඔයා හොඳටම කරනවා කියලා මට විශ්වාසයි.. තිර කතාව විතරක් නෙමෙයි නවකතාවත් කියවන්න.. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන්..” ඔහු කීවේය.
 
මේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයා තමා පිළිබඳව තැබූ විශ්වාසය එලෙසින්ම රැක ගත යුතුයයි සුනීතා විමලවීර අදිටන් කර ගත්තාය. එහෙත් ඇයට ගැටලුවක් වූයේ තමා අධික කළු පැහැයෙන් යුතු තැනැත්තියක බවට පත් කරන්නේ කෙලෙස ද යන්නය.
 
ඔවුන්ට රූගත කිරීම් සඳහා යන්නට සිදු වූයේ නිකවැරටිය පෙදෙසේ වූ ඉතා දුෂ්කර ගමකටය. ඇගේ සිතේ වූ ගැටලුවට පිළිතුරු ලබා ගත හැකි වූයේ එහිදී සුදත් රෝහණ වෙතින්මය.
 
“මේ ඉන්නෙ අපේ මේකප් ආර්ටිස්ට් නලින් ප්‍රේමතිලක.... එයා ඔයාව චරිතයට ගැළපෙන විදියට වෙනස් කරයි..”
 
කියමින් ඔහු ඇයට වේශ නිරූපණ ශිල්පියා හඳුන්වා දුන්නේය.  එකී ලෙසින්ම චරිතයට ගැළපෙන ලෙසින් ඔහු ඇය කළු පැහැ ගැන්වූයේය. එහෙත් ඔහු සිය ජීවිතය දේදුනු වර්ණයෙන් හැඩ ගන්වනු ඇතැයි ඇය එදා සිතුවේ නැත.
 
“කළුමකළු පාට, රෙද්දයි හැට්ටෙයි ඇඳ ගත්ත මං සුනීතා විමලවීර කියලා කාටවත් අඳුනා ගන්න බැරි වුණා.. රෙදි හැට්ට ඇඳලා, බුලත් විට කාලා, ගැබිනි කාන්තාවක් විදියට හිටපු මාව දැක්කම ප්‍රියා අක්කත් හිතලා තියෙන්නෙ මම ගමෙන් හොයා ගත්ත නංගී කෙනෙක් කියලා.. එයා මගෙත් එක්ක හිනා වුණා මිසක් කතා කළේ නෑ.. මාව අඳුනා ගත්තම එයාට අදහා ගන්න බැරි වුණා.. ඒ වගේම අම්මා රෝහල්ගත කරලා මම එයා බලන්න රෝහලට යන දර්ශනයක් තියෙනවා.. රෝහලේ කාර්ය මණ්ඩලය මට යන්න දුන්නෙ නෑ.. ඒ වාට්ටුවේ ටෙලියක ෂූටින් කරනවා.. ඔයා කොහෙද මේ යන්නෙ බඩකුත් උස්සගෙන.. යන්න.. යන්න කියලා මාව එළවා ගන්න හැදුවා.. අන්තිමට නාට්‍ය කණ්ඩායමේ අය ඇවිත් තමයි මං කවුද කියලා එයාලට කිව්වෙ..” සුනීතා සිනාසෙමින් කීවාය.
 
ටෙලි නාට්‍යය විකාශය වෙද්දීත් බොහෝ දෙනෙකුට ඇය හැඳින ගත නොහැකි විණි. සමහරු ඇය හැඳින ගත්තේ ටෙලි සම්මාන උළෙලකදී නිරානන්දයේ හොඳම සහාය නිළිය වශයෙන් සම්මාන ලබා ගත්තාට පසුවය.
 
එහෙත් ඇයට ලැබුණ හොඳම සම්මානය එය නොවේ. ඇගේ සැමියා නලින් ප්‍රේමතිලකය. ඇගේ ජීවිතයේ හැම අංශුවක්ම වර්ණ ගන්වන ලද්දේ ඔහු විසිනි. සුනීතා විමලවීර සහ නලින් දැන් පුතුන් දෙදෙනෙකුගේ දෙමව්පියන්ය. මේ දිනවල තමා මඳ ඉසිඹුවක් ලබා සිටින්නේ පුතුන් දෙදෙනාම විභාගවලට පෙනී සිටින්නට නියමිත නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහයෝගය දීම වෙනුවෙන් බැව් සුනීතා කියන්නීය.
 
ටෙලි නාට්‍ය හැටකට ආසන්න සංඛ්‍යාවක, චිත්‍රපටි පහළොවක හා වේදිකා නාට්‍ය ගණනාවක ද ඇය රඟ පා තිබේ.
 
“එක චරිතයක් ගැන විතරක් කතා කළාට රඟ පෑව හැම චරිතෙකටම මම හරිම ආදරෙයි.. අපි ඉස්සර රඟ පෑව චරිත අද වාගෙ කෘත්‍රිම චරිත නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවිතවලට බද්ධ වුණ ඒවා.. අදටත් රසිකයන්ට ඒවා මතක ඒ හින්දා..” ඇය කියන්නීය.
 

 

චන්දි කොඩිකාර



අදහස් (0)

සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 201 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 308 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site