IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සුරූපී ඉෂාදි අමන්දා ය. ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී මෙලෙසින් ශ්‍රී ලාංකීය ධජය යළිත් ජගත් කරළියේ ඔසවා තැබීමට සමත් වූ, ඉෂාදි අමන්දා සඳැල්ලට විශේෂිතව ලබාදුන් පිළිසඳරකි මේ. 

  • මුලින්ම අපේ සුබ පැතුම්! අපි මේ පිළිසඳර අරඹමු  ‘ඉෂාදි අමන්දා’ යන නාමයෙහි අරුත මොකක් ද ?

හරියටම මම දන්නෙ නැහැ. ප්‍රංශයේ සිටින මගේ යහළුවන් එහෙමත් වෙලාවකට ඒ ගැන මගෙන් අහනවා. අම්මයි-තාත්තයි මට ආදරෙන් දීපු ඒ නමට මම ආදරෙයි.

  • අද ලෝකයක් ඔබ ගැන කතා වෙනවා. අපට කියන්න ඔබ කොහොමද ජීවිතය පටන් ගත්තෙ?

මම ඉපදුනේ මගේ සුන්දර ලංකාවේදි. මගේ ළමාවිය ගෙව්වේ හරිම සුන්දරවයි. එදා වගේම අදටත් මගේ ලොකුම ශක්තිය මගේ පවුලේ අයයි. අම්මා-තාත්තා වගේම නැන්දලා මාමලා - අයියලා - අක්කලා - මල්ලිලා මේ ඔක්කොගම ආදරය ලැබූ සහ ලබන කෙනෙක්. හතරෙ පංතිය දක්වා මම ඉගෙන ගත්තෙ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකාවෙන්. ඉන්පසුව ප්‍රංශයේ පදිංචියට ගියාම, අධ්‍යාපන කටයුතු කළේ එහිදී. පසුව රැකියාවක් කරන්න පටන් ගත්තා. මට මගේ සැමියාව මුණ ගැසුණෙ රැකියාව කරන කාලයේදීයි. මොන දේ කළත් පොඩි කාලයේ ඉඳලම මට රූපලාවණ්‍ය ගැන තිබුණෙ ලොකු ආසාවක්. ඒ වගේම පොඩි කාලයේ ඉඳලම ලෝකය ගැන, මිනිස්සු ගැන වෙනස් විදිහට හිතපු කෙනෙක්. ඕනෑම වෙලාවක සුබවාදීව සිතා කටයුතු කරන කෙනෙක්.

  • ඉෂාදි අමන්දා කවුද කියලා ඇහුවොත්?

මුලින් කිව්වා වගේ මම වෙනස්ව හිතන කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. දුක – සතුට සමව විඳදරා ගන්න කෙනෙක්. විශේෂයෙන්ම දුකකදී ඉක්මනට එයින් මිදෙන කෙනෙක්. බොහෝ දෙනෙක්ගෙ ආදරය ලබන්නෙ, හැමෝටම ගරු කරන කෙනෙක් නිසා කියලයි මට මා ගැන හිතෙන්නෙ. මගේ සැබෑ ලස්සන තියෙන්නෙ මතුපිටින් නෙවෙයි. සිතිවිලිවලින් මම බොහොම ලස්සනයි කියලයි මට හැඟෙන්නෙ.

  • කුඩා කාලයේදීම ප්‍රංශයේ පදිංචියට යාමට හේතුව ?

තාත්තා ප්‍රංශයට ගිහින් සිටියදී ටික දවසකින් අම්මයි, මාවයි, මල්ලියි, එහේට ගෙන්වා ගත්තා. බොහෝම ආදරණීය පවුලක්. ජීවිතයේ මම හැදී වැඩුණෙ ප්‍රංශයේදී. ඒ නිසා මට වඩා හුරු ප්‍රංශයයි. මගේ යාළුවෝ සහ හැමෝම ප්‍රංශයේ හිටියට ලංකාවට මම පුදුම විදිහට ආදරෙයි. අවුරුද්දකට සැරයක් ලංකාවට ඒම සිරිතක් කර ගත්තෙ ඒ ආදරය නිසයි. මට හොඳ ශක්තිමත් පවුල් ජීවිතයක් තියෙන්නෙ. ලංකාවට එන සෑම අවස්ථාවකදීම ලංකාවට මගෙන් මොනවා හරි යුතුකමක් කෙරෙන්න ඕනැය කියලයි නිතරම හිතුවේ.

  • කැමති ද ඔබගෙ ඒ ශක්තිමත් පවුල ගැන විස්තර කියන්න සහ ඒ ජීවිතය ගෙවන විදිහ ගැන කියන්න?

පවුලේ ආදරය බෙහෙවින් ලබන කෙනෙක්. බොහොම සමබර පවුල් ජීවිතයක් මට තියෙන්නෙ. අම්මා - තාත්තා - මල්ලි - මම ගොඩක් ආදරයෙන් ඉන්නෙ. විවාහයෙන් පසුව මගේ සැමියාගේ ආදරය සහ අපේ පුතාගේ ආදරය මට ලැබෙනවා. අපි තුන්දෙනාත් හරිම ආදරණීය පවුලක්. අපට අපේ පවුල්වලින් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. පවුලේ අයගෙන් ලැබෙන ආදරය – ශක්තිය නිසා තමයි අද මම මේ විදිහෙ යහපත් ජීවිතයක් ගත කරන්නෙ.

  • කාන්තාවක් සමාජයේ දී, මොන වගේ විය යුතුය කියලද හිතන්නෙ?

මම හිතන්නේ ඒක කාන්තාවකගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. සමාජයේ දී කාන්තාවකට තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවනි. මගේ විශ්වාසය අනුව කාන්තාවකට ආත්ම විශ්වාසය එන්නේ ඇය ගරුකරන විදිහ සහ ඇතුළාන්තයෙන් මොන වගේද කියන හැඟීම් එක්කයි. ඒක මගේ පුද්ගලික මතය.

  • කාන්තාවක ලෙස ඔබ වෙනස් වෙන්නෙ කොතැනදී ද?

කාන්තාවක විදිහට මම ගොඩක්ම වෙනස් වෙන්නෙ මවක් වූ පසුවයි. මට මා ගැන ලොකු ආත්ම විශ්වාසයක් ආවා. මම කළ රැකියාවේ ප්‍රශ්නවලට මුහුණ දුන්න හැටි, මානසික පීඩනයන්ට මුහුණ දුන් හැටි, කෙටි කාලයක දී සමාජ මාධ්‍ය ඔස්සේ මගේම ව්‍යාපාරයක් ගොඩනැඟූ හැටි ආපසු හැරී බලද්දි මම කොච්චර නම් ශක්තිවන්ත කාන්තාවක්ද කියලා මට මාව දැනුණා. මවක් වූ පසුව ඒ ආත්ම විශ්වාසය තවත් වැඩි වුණා.

  • ජීවිතයේ ඔබ විශ්වාස කරන්නෙ හා නොකරන්නෙ මොනවද?

සමාජය ආශ්‍රය කරලා මට හොඳ අත්දැකීම් තියෙන්නෙ. ඒ වගේම මට හොඳ දැනුමක් තියෙන්නෙ. නැත්නම් මට මේ ගමන මේ විදිහට එන්න බැහැ. ලංකාවේ අද වන විට කතාබහට ලක්වූ චරිතයක් විදිහට මට වැරැද්දක් කියන අය මම දැකලා නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නෙ මා ගැනයි. හොඳ මිනිස්සුන්ව මට දැනෙවා. ඒ මිනිසුන්ට මගේ ගරුත්වය – ආදරය – මිත්‍රශීලිත්වය ලබා දෙනවා. දැනෙන අය විශ්වාස කරගෙන ඉදිරි ගමනක් යනවා.

  • ලාංකීය සමාජයේ කාන්තාව සහ ප්‍රංශයේ කාන්තාව අතර ඇති වෙනස දකින්නෙ මොන විදිහට ද?

බොහෝ වෙලාවට අපි හිතන්නෙ පිටරටවල සිටින කාන්තාවන්ගෙ ජීවිත වෙනස් කියලයි. දීර්ඝ කාලයක් ප්‍රංශයේ ජීවත්වන කෙනෙක් විදිහට එහිදීත් කාන්තාවන් මුහුණපාන ඛේදවාචක මම දකිනවා. පසුගිය ජනවාරි 1 වැනිදා පවා කාන්තාවක සැමියා පහර දීලා, ඒ කාන්තාව මිය ගියා.

එවැනි සිදුවීම් අපේ පුංචි රටේ විතරයි නෙවෙයි, ඒ වගේ දියුණු රටවලත් තියෙනවා. කාන්තාවන්ට ලෝකයේ එම තත්ත්වය තියෙනවා. ලංකාවේ අද කාන්තාවන් දිහා බැලුවාම එයාලට ලැබෙන තැන, දැනුම පවා වෙනස් වෙලා. ආත්ම විශ්වාසය සහ එයාලගෙ සැමියන් එයාලට ගරු කරන විදිහ මම මේ තරගාවලියෙන් දුටු යහපත් ස්වභාවයක්.

  • මෙම රූ රැජින තරගාවලියේ දී ඔබට වඩා සමීප වූ රූ රැජින ?

බොහෝ දෙනෙක් මා එක්ක මිත්‍රශීලි වුණා. කිරුළේ වටිනාකම තව වසරකින් තව කෙනෙකුට ලැබේවි. ඒත් අපට ඇති වූ මේ මිත්‍රත්වය සහ යාළුකම් සහ බැඳීම් සැමදාටම පවතීවි. බොහෝ රටවලින් පැමිණි තරගකාරියන් එක්ක සොඳුරු මතක ගොඩ නැගුණා. මගේ කාමරයේ සිටි යෙහෙළිය ජයග්‍රහණය කිරීම එක්ක ලොකු බැඳීමක් ඇතිවුණා. ඒ මනුස්සකම් තමයි අපට අන්තිමට ඉතුරු වෙන්නෙ.

  • දැන් ඔබගේ අරමුණ? මේ ජයග්‍රහණයෙන් පසුව?

මම සමාජ මාධ්‍ය ඔස්සේ හෝ කරන කියන දේ සමාජයේ අනෙක් කාන්තාවන්ට ධෛර්යයක්, ශක්තියක් වෙන විදිහට බෙදා ගන්න කැමතියි. විවාහක හෝ අවිවාහක කාන්තාවන්ට තමන්ගේ දක්ෂතා හරහා ජීවිතය ජය ගන්න හැටි ඉදිරියට යා හැකි විදිහ ගැනත් මා මෙතෙක් ලැබූ අත්දැකීම් එයාලට බෙදා දෙන්න සූදානම්. සමාජ මාධ්‍ය අපට ඒ විදිහට  යහපත්ව භාවිතා කරන්න පුළුවනි.

  • ඇත්තටම කියන්න ඔබ වඩා හොඳ මවක ලෙස ද? බිරිඳක ලෙස ද? මිතුරියක ලෙස ද?

මට හිතෙන්නෙ මම ඉතාම හොඳ ගැහැනියක්. හොඳ ගැහැණියක වූ පසුව තමා ගැන ඇති ආත්ම ශක්තිය වගේම තේරුම් ගැනීම එක්ක සමාජයේ අනෙකුත් මට හමුවන චරිත හා බලද්දී මට මා ගැන මවක – බිරිඳක – මිතුරියක – දුවක ලෙස සතුටු වෙන්න පුළුවනි.

  • ‘ජීවිතය’ කියලා ඔබට හැඟෙන්නෙ?

ජීවිතය විඳින්න තියෙන දෙයක්. මුදල් කියන්නෙ නිතර ළඟ රැඳෙන දෙයක් නෙවෙයි. ජීවිතේ විඳින්න මුදල් ඕනෑ. ඒත් අපට ලැබෙන ඉතා පොඩි දෙයකින් හෝ ජීවිතය තෘප්තිමත් වෙන්න උත්සාහ කළොත් සතුට අප ළඟ තියේවි. අපට මුහුණ දීමට ලැබෙන සෑම අවස්ථාවක්ම, ප්‍රයෝජන ගැනීම වැදගත්.

  • මේ ජයග්‍රහණය දක්වා ගිය ගමන ගැනත් කෙටියෙන් විස්තර කරන්න?

මේ ජයග්‍රහණය ගෙන ඒම දක්වා ගිය ගමන බොහෝම කැපවෙලා, මහන්සිවෙලා, අභියෝගවලට මුහුණ දීමට සිදුවුණා. ඒ ජයග්‍රහණය ජීවිතයේ සදා අමරණීය අත්දැකීමක්. මෙතැනින් එහාට මාත් වෙනස් කෙනෙක්. ඉදිරියට මට ලොකු ගමනක් යන්න එය ශක්තියක් වුණා.

  • ජීවිතයේ ඔබ වඩා සතුටු වන්නෙ?

මගේ පුතා ලැබුණු දා සිට එයාගෙ දඟකාරකම් දිහා බලද්දි, එයාගෙ හිනාව දකිද්දි, එයා මට දක්වන ආදරය තමයි මම ලබන ලොකුම සතුට.

  • ‘කළු කෙල්ලේ මීනාච්චි’ ගීතය නිසා අද ඔබ ගැන ප්‍රංශයේ අයත් කතා වෙනවා ඇති?

ලංකාවේ - ප්‍රංශයේ විතරක් නෙවෙයි ලෝකයේම සිටින ශ්‍රී ලාංකිකයන් එය නරඹා ඇති වග පෙනෙනවා. විදේශීය අයත් නරඹලා ඇති. මිලියන ගණනකගේ ප්‍රතිචාර ලැබෙනවා. මාව වෙනස් විදිහට දුටු මියුසික් වීඩියෝ නිර්මාණයක්. ඒ වගේ නිර්මාණයකට දායක වීමට ලැබීමට ලොකු සතුටක්.


 සඳුන් ගමගේ


 

 



අදහස් (0)

ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1044 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site