IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මට ඕනෑ ජාත්‍යන්තර මට්ටමේ නර්තන ශිල්පියෙක් වෙන්න - කවිඳු මධුෂාන්


මෙවර Youth Peak විශේෂාංගය හැඩ වෙන්නේ නර්තනයේ තාල රටා අනුව අඩි තබමින් විටෙක නර්තන ශිල්පියෙක් ලෙසත්, තවත් විටෙක රංගන ශිල්පියෙක් ලෙසත් - ප්‍රේක්ෂක ආදරය දිනූ කලා තරුවක් වෙනුවෙන්. ඔහු නමින් කවිඳු  මධුෂාන්

  • කවුද මේ -කවිඳු මධුෂාන් ?

කවිඳු මධුෂාන් කියන්නේ පෞද්ගලික ජීවිතෙයි, වෘත්තිය ජීවිතෙයි මේ දෙකම එකට අරගෙන - කම්මැලි නැතුව, විනෝදෙන් වැඩ කරන, හැම වෙලාවෙම අලුත් දෙයක් කරන්න ට්‍රයි කරන කෙනෙක්.

  • තමන්ගෙ ඇතුළෙ නැට්ටුවෙක් ඉන්නවා කියලා දැන ගත්තෙ කොහොමද?

අපේ අම්මා කියන විදිහට මම පොඩි කාලේ ඉඳන්ම නටන්න දක්ෂයි. ටීවි එකේ යන ඒවා බලන් මම නටනවලු. ඊට පස්සෙ හතර වසරෙන් වගේ මම ඩාන්සින් ක්ලාස් එකකට ගිහින් තියෙනවා. පස්සෙ අපෙ අක්කලා දෙන්නෙක් දැකලා දෙරණ ලිට්ල් ස්ටාර් තරඟෙට මාව සම්බන්ධ කරනවා. ඒකෙන් තමයි නර්තනයට මම මුල්ම අඩිතාලම තියන්නේ. මගේ පවුලෙන්ම මම විතරයි නර්තනයේ යෙදෙන්නේ.

  • ලිට්ල් ස්ටාර් තරඟය ගැනත් මතක් කළොත් ?

ඒ කාලේ මට ඇත්තටම වුවමනාව තිබ්බේ නටන්න සහ ලොකු සම්මානයක් ගන්න ආසාවක්. ස්ටේජ් එකට ගිහින් තියනවා, මම නටනවා, ආයෙත් ඉඳගන්නවා. එතනින් එහා ඒ තරඟෙ තියෙන තරඟකාරීත්වය ගැන ලොකුවට අවබෝධයක් තිබ්බෙ නැහැ. කොහොම හරි වට කීපයකින් අනතුරුව ඒකෙන් මම දෙවැනි ස්ථානය දිනා ගන්නවා. එතනින් පස්සෙ මම නර්තනය ටිකක් නැවැත්තුවා. ආයෙ O/L වලින් පස්සෙ තමයි නර්තනය ආරම්භ කළේ.

  • මේ දවස්වල වැඩකටයුතු ?

මම Choreography කරන පළමුවෙනි චිත්‍රපටයේ වැඩකටයුතුවල මේ දවස්වල කෙරෙමින් යනවා. මම කොච්චර Choreography කරලා තිබුණත් ෆිල්ම් එකක වැඩ කරන පළමුවෙනි අත්දැකීම තමයි ඒ නිර්මාණය "මෝඩ තරිඳු" කියන්නේ. ඒ වගේම මගේ නර්තන කණ්ඩායමේ ඉවෙන්ට්වලට, ටීවි ෂෝස්වලට ප්‍රෆෝම් කරන ඒවා සහ මගේ Choreography කරන වැඩ ටික කරනවා. ඊට අමතරව සිහින ගෙනෙන කුමාරියේ රූගත කිරීම්වලට රංගනයෙන් දායක වෙනවා. තව අලුත් ඩ්‍රාමා එකක අලුත් චරිතෙකට මේ දවස්වල සූදානම් වෙනවා.

  • රංගනයට පිවිසෙන්නේ කොහොමද ?

රංගනයට කිසිම ආසාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි මම. රඟපාන්න පුළුවන් වුණත්, මම රඟපාන්න ආස නැහැ. කොහොම හරි හිරු මෙගා ස්ටාර් එකෙන් පස්සෙ මට හිරු මාධ්‍ය නාලිකාවෙන් ආරාධනාවක් ලැබුණා සිහින ගෙනෙන කුමාරියේ ඩ්‍රාමා එකට සම්බන්ධ වෙන්න. මුලින්ම බැහැ කිව්වත් මගේ අම්මගෙයි, ගයාන් අයියගෙයි ඉල්ලීම මත තමයි - මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ. මොකද ඒක අසාමාන්‍ය චරිතයක්. මගේ පළවෙනි අත්දැකීමම ටිකක් අමාරු එකක්. මුලින් ටිකක් බය වගේම ලැජ්ජත් හිතුණා, කැමරාවක් ඉස්සරහ මිනිස්සු මට හිනා වෙයිද? , මම කරන විදිහ හරිද? කියලා හිතිලා. හැබැයි පස්සෙ තේරුණා ඒක බොරු බයක් කියලා. තව ඩ්‍රාමාවලින් ආරාධනා ලැබුණා, ඒත් මම ගොඩක් කැමති නර්තනය පැත්තෙන් යන්න නිසා ඉඳලා හිටලා තමයි රංගනයට සම්බන්ධ වෙන්නෙ. 

  • ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ?

හිරු මෙගා ස්ටාර් ප්ලස් ශනුද්‍රි. ඒකෙන් තමයි ගොඩක් මිනිස්සු මාව අඳුර ගත්තෙ. ඒ වගේම මගෙ හොඳම යාළුවෙක් වෙන ශනුද්‍රි නිසා තමයි කවිඳු මෙහෙම මිනිස්සු අතරට ගියේ.

  • ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ ?

පොඩි කාලේ ඉඳන් පොඩි පොඩි බලාපොරොත්තු තිබ්බා. මම හිතපු දේවල් ඒ විදිහටම මට දෙවියො දුන්නා කිව්වොත් හරි. ඒවා එකින් එක ළඟා කර ගත් නිසා මට හරිම සතුටුයි. මේ ආපු ගමන ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

  • මුහුණ දුන් අභියෝග මොනවද ?

අපි හැමෝම ක්ෂේත්‍රයට අභියෝගයක් නැතුව ආවා කිව්වොත් ඒක බොරුවක්. මොකද මම ගොඩක් දැකලා තියෙනවා අලුත් ළමයි ක්ෂේත්‍රයට එනවා, හැබැයි ඒවා ටික කාලයයි. ඒගොල්ලන්ට ඉක්මණට දේවල් ලැබිලා, සහභාගි වෙලා, ඒවා ඉක්මණින් නැති වෙලා යනවා. මාවත් ගොඩක් තැන්වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම මම ජීවිතේට  අභියෝගයක් විදිහට අරන් ඉදිරියට ආවා. මම සෑහෙන අමාරුවෙන් කට්ටක් කාලා ආපු කෙනෙක්. ඒ කාපු කට්ට නිසා තමයි මිනිස්සුන්ගෙ ආදරේ දිනාගෙන මම තාමත් ඉදිරියට යන්නෙ. තව අවුරුදු ගානකින් අලුත් පරම්පරාවක් එනවා. එතකොට ප්‍රතික්ෂේප නොවී ඉන්න නම් පරණ සංකල්පත් එක්ක අලුත් ඒවත් සමබරව ගෙනියන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒක ලොකු අභියෝගයක්.

  • කවිඳුගෙ හීනෙ මොකක්ද ?

මට ඕනෙ ජාත්‍යන්තර මට්ටමේ නර්තන ශිල්පියෙක් වෙන්න. මුළු ලෝකෙම ආදරේ කරන නර්තන ශිල්පියෙක් වෙන්න. මට හැම තිස්සෙම ඕනෙ වුණේ ඩාන්සර් කෙනෙක්, විදිහට සෙලිබ්‍රිටි කෙනෙක් වෙලා මිනිස්සුන්ගෙ ආදරේ දිනා ගන්න. මම හිතන්නෙ මම ටිකෙන් ටික ඒ තැනට එන ගමන් ඉන්නෙ. ඒ වගේම මට ඕනෙ මගේ හැම නිර්මාණයකටම යුනික් කියලා අහගන්න.

  • මේ තරම් දුර එන්න ශක්තියක් වුණේ කවුද ?

මගෙ අම්මයි, නංගියි මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ යාළුවෝ, මගේ නර්තන කණ්ඩායමේ අය, විශේෂයෙන්ම ශනුද්‍රි ප්‍රියසාද්, දිනේෂ්, සාරංග අයියා සහ දිනක්ෂි අක්කා මට  හැමවෙලාවෙම උපදෙස් දීලා ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මගෙ ගුරුවරු නැත්තම් අද මම මෙතන නැහැ. ගයාන් හේමාල් සහ සංඛ අබේසිංහ කියන ගුරුවරු දෙන්නා තමයි මගේ සැඟවුණු කුසලතා එළියට ගත්තෙ. මේ අය හිටපු නිසා තමයි කවිඳු මධුෂාන්ට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ සහ ඉදිරියටත් යන්න පුළුවන් වෙන්නෙ.

  • මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නෙ ?

ලැබෙන ප්‍රතිචාර දකිද්දි හරිම සතුටුයි. ධනාත්මක ප්‍රතිචාර වගේම ඍණාත්මක ප්‍රතිචාරත් සෑහෙන්න තියෙනවා. මම හැමවෙලාවෙම ඍණාත්මක ප්‍රතිචාර බලලා ඒකෙන් ජීවිතේට අලුත් දෙයක් අරන් ඒවා කොහොමද ධනාත්මක කරගන්නෙ කියලා හිතනවා. ඒකෙන් අපිට අනාගතයට දෙයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නෙ ධනාත්මක ප්‍රතිචාර වගේම ඍණාත්මක ප්‍රතිචාරත් තියෙන්න ඕනෙ, ‍එතකොට තමයි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

මට ඕනෑ ජාත්‍යන්තර මට්ටමේ නර්තන ශිල්පියෙක් වෙන්න - කවිඳු මධුෂාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site