IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ මොකද වුණේ


අපි නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. පළමු ඉනිමක් සාර්ථක වෙන්නේ නැතුව ටෙස්ට් මැච් එකක් ගහන්න බෑ. දෙවැනි ඉනිමත් ඕල් අවුට් වුණානේ. විකට් එක එහෙම අමාරු එකක් නෙවෙයි. පළමු ඉනිමේ ලකුණු 350 ක් 400 ක් ගහන්නේ නැතුව  ඕනෑම ටෙස්ට් මැච් එකක් අමාරුයි. හොඳ ආරම්භයක් ගන්න පිතිකරුවන් දිගු ඉනිම්වලට යන්න ඕනේ. අපි දැක්කා කවාජා, ස්මිත් ආරම්භය ගත්තාම ඒවා ශතක 
බවට පත්කළා. 


ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම පිළිබඳව මෙරට ක්‍රිකට් ලෝලීන් අතර පසුගිය සතියේ විවේචනයක් නිර්මාණය වී තිබුණි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවීමේ වාසිය ද ශ්‍රී ලංකාවට තිබියදී සිවුවැනි දිනයේ පස්වරුවේ දෙවැනි ඉනිම ද අවසන්වීම පිළිබඳව විවේචන නිර්මාණය විය. 

ඕස්ට්‍රේලියාව ලැබූ එම ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ පන්දු රැකීම යන ඉරියව් තුනෙන්ම අසාර්ථකවීම ප්‍රධාන හේතුව බවට පත්විය. 

ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩසේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය දුර්වලවීම සහ පන්දු රැකීමේ දුර්වලතා මෙම පරාජයට අඩිතාලම දැමීය. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයකට අවතීර්ණවීමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ යම් දුර්වලතාවක් ප්‍රදර්ශනය කරන්නට වූහ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු පිලට පළමු ඉනිමේ දී කඩුලු 6 ක් දැවී ලකුණු 654 ක් රැස්කිරීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු සනත් ජයසූරිය තරගයේ පරාජයෙන් පසුව පරාජයට හේතු මෙසේ මනාව පැහැදිළි කළේය.   

“කාසියේ වාසිය අපිට පාලනය කරන්න බෑ. අපිට බැරි වුණා තරගයේ පළමු පැය කීපය පාලනය කරන්න. උඩ පන්දු දෙකක් හෝ තුනක් අතහැරියා. තීරණාත්මක රිවීව් කරේ නෑ. උඩ පන්දු රැකගෙන කඩුලු දවාගත්තේ නම් මීට වඩා වෙනස් කතාවක් කරන්න තිබුණා. ඒක තමයි ප්‍රධානම කරුණ බවට පත්වුණේ’.

අපි දුර්වල වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන් කවාජා සහ ස්මිත්. ඔවුන් ඉදිරිපාදයේ මෙන්ම පසු පාදයේ හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම කඩුල්ලේ දෙපසින්ම ලකුණු රැස් කළා. තරගයක දී ලැබෙන අවස්ථා සහ තීරණාත්මක අවස්ථාවන් ප්‍රයෝජනයට නොගන්නේ නම් මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. 

ඕස්ට්‍රේලියානු පිල පළමු ඉනිමේදී රැස්කළ දැවැන්ත ලකුණු 654 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 165 කට දැවී ගිය අතර සිවුවැනි දිනයේ පැය කීපයක් තුළ දෙවැනි ඉනිම ලකුණු 247 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. 

ඒ පිළිබඳව සනත් ජයසූරිය මෙසේ අදහස් දැක්වීය.   

“අපි නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. පළමු ඉනිමක් සාර්ථක වෙන්නේ නැතුව ටෙස්ට් මැච් එකක් ගහන්න බෑ. දෙවැනි ඉනිමත් ඕල් අවුට් වුණානේ. විකට් එක එහෙම අමාරු එකක් නෙවෙයි. පළමු ඉනිමේ ලකුණු 350 ක් 400 ක් ගහන්නේ නැතුව ඕනෑම ටෙස්ට් මැච් එකක් අමාරුයි. 

අපි පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් එක්කයි ක්‍රීඩා කළේ. පිතිකරුවන් අසාර්ථකවීම නිසා අවාසනාවකට අපිට පසු පෙළ පිතිකරුවන් මත රැඳෙන්න වුණා. වැන්ඩසේ අර්ධ ශතකයක් ලබාගත්තා. එය ඉතාම හොඳ තත්වයක්. 

හොඳ ආරම්භයක් ගන්න පිතිකරුවන් දිගු ඉනිම්වලට යන්න ඕනෑ. අපි දැක්කා කවාජා, ස්මිත් ආරම්භය ගත්තාම ඒවා ශතක බවට පත්කළා. අපේ පිතිකරුවන්ට ශතකවලට යෑමට ආත්ම විශ්වාසයක් නෑ තාම. 

ඔවුන් දැනගන්න ඕනෑ මේක අපේ ක්‍රීඩාංගණය ඒ නිසා අපිට ගොඩක් වාසි තිබුණා. ඒ තණතීරුව අමාරු එකක් නෙවෙයි. මේ අය පීඩනය යටතේ සහ පීඩනය නැති අවස්ථාවේ ලකුණු රැස්කරන ආකාරය දැනගත යුතුයි. ටෙස්ට් ක්‍රිකට්වල එක එක තත්ව තියෙනවා. ඒවා හැන්ඩ්ල් කරන විදිය දැනගන්න ඕනැ. ටෙස්ට් ක්‍රිකට්වල කිසිම අවස්ථාවක පහසු අවස්ථාවන් එන්නේ නෑ. 

‘බැටින් යුනිට්’ එකත් එහෙමයි, ‘බෝලින් යුනිට්’ එකත් එහෙමයි. මම හැම තිස්සේම ඒක ඔලුවට දාලා තියෙනවා. හැම තිස්සේම විස්තර කරනවා. ටෙස්ට් තරගයක ගහන සෑම ලකුණකම වටිනාකම ගැන කියලා දීලා තියෙනවා. ඒක හැම ක්‍රීඩකයෙක්ම දන්නවා. ඒක ඒගොල්ලො ක්‍රියාත්මක කරන්න ඕනැ. අපි ඒකට උදව් කරනවා. මානසිකව ඒකට අපි සූදානම් කරලා තියෙනවා. 

පෙරවරුවේ පළමු ඉනිම ‘ඕල් අවුට්’ වෙන්න බෑනේ. දෙවැනි ඉනිමත් හවස් වන විට ‘ඕල් අවුට්’ වෙන්න බෑනේ. අපි හරියට ‘බැට්’ කරලා නෑ කියලා තීරණය කළ යුතුයි. අමාරු විකට් එකක් නම් මම ඇවිල්ලා කියනවා මේක අමාරු විකට් එකක් කියලා’ ජයසූරිය එසේ කීය. 

දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී යෑම පිළිබඳව සනත් ජයසූරිය දැඩි නොසතුටින් පසුවූ බවත් දොස් නැගූ බවත් වාර්තා වේ. 

දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

මෙම ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ද වීම කැපී පෙනුණි.  

එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් තුනක් කරමින් පැතුම් නිස්සංක, රමේෂ් මෙන්ඩිස් සහ ළහිරු කුමාර කැඳවා තිබූ අතර ඕෂධ ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිවිය. 

මෙම ටෙස්ට් තරගය ජය ලැබුවහොත් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයෙන් අවසන් කිරීමේ අවස්ථාව තිබීම නිසා ශ්‍රී ලංකා පිල එවැනි සැලැස්මකින් තරගයට පිවිස සිටියේය.  


සස්මින් ගමගේ


 



අදහස් (0)

ගාල්ලේ මොකද වුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site