IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ක්‍රිකට්ම පස්සේ යන්න එපා - බොක්සිං සභාපති අනුරුද්ධ ශානක

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ප්‍රධානීන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී.


මීළඟ 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් අවම ක්‍රීඩකයන් දෙදෙනෙකු නිර්දේශ කර ගැනීම ගැන තමන් සහතික වන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නව සභාපති අනුරුද්ධ ශානක මහතා පවසයි.

මීගමුව වෙරළ තීරයේදී පැවැති ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය පිළිබඳව කොළඹදී පැවැති කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය  හමුවට එක් වෙමින් ඔහු පැවැසුවේ මින් ඉදිරියට ජාතික සංගමය බොක්සිං තරගාවලි එළිමහනේ පැවැත්වීමට වඩාත් උනන්දුවී සිටින බවයි. එහි ආරම්හය මීගමුව වෙරළ තිරයේදී නිමාවට පත්වූ 82 වැනි ලේටන් කුසලාන තරගාවලිය විය.

වත්මන් සභාපති අනුරුද්ධ ශානක මහතා රටේ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් සිය ධනය කෝටි දෙකක් පමණ මේ වන විට වැය කර තිබේ. ඔහුගේ අපේක්ෂාව ගෘහස්ථ ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබෙන බොක්සිං (තරගාවලි) එළිමහනේ පැවැත්වීම තුළ රටේ වඩාත්ම ජනප්‍රිය  ක්‍රීඩාවක් බවට පත් කිරීමය. එය අනුග්‍රාහකයන් බොක්සිං  ක්‍රීඩාවට වඩාත් ආකර්ෂණය කර ගැනීමක් විය හැකි බවත් ඔහු විශ්වාස කරයි. හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ ගිනියාවේ වත්මන් කොන්සාල්වරයා ලෙස සේවය කරන අතර රටේ බොක්සිං ක්‍රීඩාවේ නව පුනරුදයක් ඇති කිරීම සඳහා තමන් ජාතික සංගමයේ මුල්පුටුව බාර ගත් බවයි.

ඔහු ඉරිදා ලංකාදීපය සමග අදහස් දැක්වීය. 

“මම මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටින්නේ එක ක්‍රීඩාවක් පමණක් රටේ ඉස්මතු කරන්න උනන්දු වෙන්න එපා කියලා. අපටත් අවස්ථාවක් දෙන්න. ක්‍රිකට්, මලල ක්‍රීඩා වගේ ක්‍රීඩා ඉසව් කීපයක් විතරක් ඉස්මතු කරන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. බොක්සිං  ක්‍රීඩා කරන්නෙත් ක්‍රිකට් වගේම මේ රටේ පුරවැසියන්. බොක්සිං ක්‍රීඩාවේ නිරතව ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවේදී විශාල කැපවීමක් කරන්න වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ කැපවීමටත්, ජයග්‍රාගණවලටත් මාධ්‍ය වෙතින් සාධාරණ අවස්ථාවක් දෙන්න.

ඒ වගේම මම වගකීමෙන් කියනවා කුමන කැපවීමක් කරලා හෝ මීළඟ 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට ශ්‍රී  ලංකාවෙන් අවම ක්‍රිඩකයන් දෙදෙනකුවත් නිර්දේශ කර ගන්න මගේ පාලන කාලය තුළදී ඉහළින්ම කැපවෙනවා. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී දිනා ගත් පළමු පදක්කම බොක්සිං  ක්‍රීඩාවෙන් දිනා ගැනීමත් අප අමතක කරන්න හොඳ නෑ”‍ 

මීගමුව වෙරළ තීරයේදී නිමාවට පත්වූ ලේටන් කුසලාන තරගාවලිය විනෝදාංශ රැසකින් සමන්විතව පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං  සංගමය උනන්දු  වූයේ ජනතාව බොක්සිං ක්‍රීඩාව කෙරෙහි වඩාත් ආකර්ශනය කර ගැනීමට බව එහි සභාපතිවරයා  පවසයි.

“රටේ බොක්සිං  ක්‍රීඩාවට කවදාවත්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ රජයෙන් මූල්‍යමය වශයෙන් අනුග්‍රහයක් ලැබිලා නෑ. ඒක බොක්සිං  සංගමය බලාපොරොත්තුවුණෙත් නෑ. හැබැයි ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික බොක්සිං  සංගමය පරිපාලන කටයුතුවලදී කවදත් සහයෝගයෙන් කටයුතු කළා. හෙටත් එහෙමයි.

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන්  කිසියම් කීර්තිමත් තත්ත්වයක් උසුලයි. එදා මෙදා තුර ශ්‍රී ලංකාව පොදු  රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළෙකදී දිනා ගත් පළමු පදක්කමේ ගෞරවයත් මෙරට බොක්සිං ක්‍රීඩකයෙකුට හිමිව තිබේ.

1938 සිඩ්නි නුවරදී පැවැති  පළමු පොදු රද මඩුලු‍ ක්‍රීඩා උලෙළ හෙවත් එවකට හැඳින්වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උලෙළේදී බොක්සිං  ක්‍රීඩක බාර්නි හෙන්රික්ස් විසින් කිලෝග්‍රෑම් 57 ෆෙදර් බර පංතියෙන් රන් පදක්කම දිනා ගැනීම එහිදී කැපී පෙනුම සිදුවීමයි.

මේ ආකරයෙන් ශ්‍රී ලංකාව 1950 ඕක්ලන්ඩ් ක්‍රීඩා උලෙළේදී  රිදී  පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් බොක්සිං  ක්‍රීඩාවෙන් දිනා තිබේ. 2018 ගෝල්ඩ්කොස්ට් උලෙළේදී ශ්‍රී ලංකාව බොක්සිං  ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් තුනක් දිනා තිබේ. ඉන් එක් පදක්කමක් ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් දිනා තිබේ.

ඒ අනුව ‘කොමන්වෙල්ත්’ බොක්සිං එක් රන් පදක්කමක් රිදී  පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් මෙතුවක් ශ්‍රී ලංකාව විසින් දිනා ඇත. එය දෙවැනුව ශ්‍රී ලංකාව මෙතෙක් එකී ජාත්‍යන්තර  ක්‍රීඩා උලෙළේදී ක්‍රීඩා ඉසව්වකින් ලබා ගත් වැඩිම පදක්කම් ගණනයි. වැඩිම පදක්කම් ගණන මෙරටින් බර ඉසිලීමෙනි. එය ගණනින් අටකි. ශ්‍රී ලංකාව ආසියානු  ක්‍රීඩා උලෙළේදී  මේ දක්වා එක් රිදී  පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීම තුළින්ද බොක්සිං  ක්‍රීඩාවෙන්  ලබා තිබෙන කීර්තිය ලඝු කළ නොහැකිය.

ලේටන් බොක්සිං තරගාවලිය වසර අටකට පසුව පැවැත්වීමට කටයුතු කිරීමෙන්ද එමෙන්ම ජාතික පුහුණු සංචිතය වසර ගණනාවකට පසුව ස්ථාපිත කිරීමට උනන්දුවීමෙන්ද නව සභාපතිවරයා සිය අදිටන සඳහා ශක්තිමත් මුල්ගලක් තබා ඇති  බවක් පෙනේ. 

ඒ සඳහා ඔහුට විධායක සභාවෙන් පලදායි සහයෝගයක් ලැබෙමින් පවතී.

උප සභාපතිවරුන් වන කොමදෝරු උදය කුමාරතුංග, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, ප්‍රධාන  ලේකම්,  නියෝජ්‍ය පොලිස්පති එස්.එන්. ගුණරත්න, උපලේකම් බ්‍රිගේඩියර් කසුන් අධිකාරි යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා බොක්සිං  සංගමයේ විධායක සභාව ශ්‍රී  ලංකාවේ බොක්සිං  ක්‍රීඩාවේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සභාපති  අනුරුද්ධ ශානක මහතා සමග අත්වැල් බැඳ ගෙන සිටිති. 


  • නාමල් පතිරගේ

 



අදහස් (0)

ක්‍රිකට්ම පස්සේ යන්න එපා - බොක්සිං සභාපති අනුරුද්ධ ශානක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site