IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විෂබීජයකින් ඝාතනය කළ ඉන්දීය ව්‍යාපාරිකයා

වසර 90කට පෙර ඉන්දියාව කැළඹූ සිද්ධියක්

මෙම ඝාතනය සිදු වූ කල්කටාවේ (අද කොල්කතා) පිහිටි ඉතා කාර්යබහුල හව්රා දුම්රිය ස්ථානය.   

 

1933 වසරේ නොවැම්බර් 26 වැනිදා අපරභාගයේදී, නැගෙනහිර ඉන්දියාවේ කොල්කතා නගරයේ (එවකට කල්කටාවේ) ජනාකීර්ණ දුම්රිය ස්ථානයකදී සිරුරෙන් කුඩා මිනිසෙක් තරුණ ඉඩම් හිමියකුගේ ඇඟේ ගෑවී නොගෑවී පසුකර ගියේය. ‘කාදී’ හෙවත් රළු, අතින් වියන ලද කපු රෙද්දෙන් සැරැසී සිටි මිනිසා හව්රා දුම්රියපොළේ ජනයා අතර අතුරුදන් වෙද්දී, විසි හැවිරිදි අමරේන්ද්‍ර චන්ද්‍ර පාන්ඩේට සිය දකුණු බාහුවෙන් ක්ෂණික වේදනාවක් හටගනු දැනුණි.   


ඔහු “කවුදෝ මට ඇන්නා”යි හඬ නැගුවත්, පාකුර් පළාතේ (අද වන විට ජාර්ඛන්ඩ් ප්‍රාන්තයට යාබද දිස්ත්‍රික්කයකි) පිහිටි සිය පවුලේ වතුයායට යමින් සිටි ගමන නොනවත්වා සිදු කරන්නට ඔහු තීරණය කළේය.
අමරේන්ද්‍ර සමග ගමනේ යෙදී සිටි ඥාතීහු, ගමන නවතා රුධිරය පරීක්ෂා කරගන්නැයි ඔහුට කියා සිටියහ. නමුත් අමරේන්ද්‍රට වඩා දස වසරකින් වැඩිමහල් වූ ද අනාරාධිතවම දුම්රියපොළට පැමිණ සිටියා වූ ද ඔහුගේ සුළු සොහොයුරු බිනෝයේන්ද්‍ර මෙම සිද්ධිය සුළුකොට කතා කළ අතර, ගමන ප්‍රමාද නොකරන්නැයි අමරේන්ද්‍රට ඒත්තු ගැන්වූයේය.  


දින තුනකට පසු අමරේන්ද්‍ර පරීක්ෂා කළ වෛද්‍යවරයෙක්, (උණ වැලඳීමෙන් අනතුරුව ඔහු නැවතත් කල්කටාවට පැමිණ තිබුණි) ඔහුට යමක් ඇනුණාක් මෙන් දැනුණු ස්ථානයේ එන්නත් කටුවකින් ඇති කළා යැයි පෙනෙන සලකුණක් තිබෙනු දුටුවේය. ඊළඟ දින කිහිපය පුරාවට රෝගියාට තද උණක් පැවැති අතර, කිහිලි ඉදිමී, පෙනහැලි රෝගයක මුල් අවස්ථාවේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. දෙසැම්බර් 3 වැනිදා රාත්‍රියේ ඔහු කෝමා තත්ත්වයකට පත්වුණි. පසුදා හිමිදිරියේදී අමරේන්ද්‍ර මියගියේය.   


අමරේන්ද්‍ර මියගොස් ඇත්තේ නියුමෝනියාවෙන් බව වෛද්‍යවරු තහවුරු කළෝය. නමුත් ඔහුගේ මරණයට පසුව පැමිණි රසායනාගාර වාර්තාවන්ගෙන් පෙන්නුම් කෙරුණේ, ඔහුගේ රුධිරයේ Yersinia Pestis (යර්සීනියා පෙස්ටිස්), එනම් මහාමාරිය රෝගය ඇතිකරවන මාරාන්තික බැක්ටීරියාව ඇති බවයි.   
මීයන් වැනි කෘන්තක දත් ඇති කුඩා සතුන්ගෙන් සහ මැක්කන්ගෙන් බෝවෙන මහාමාරිය, 1896-1918 අතර කාලයේදී ඉන්දියානු උපමහද්වීපයේ මිලියන 12කට අධික ජනකායක් මරණයට පත්කරවීය.   
1929 සිට 1938 දක්වා කාලයේදී මහාමාරිය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන බාගයක් දක්වා පහත වැටුණු අතර, අමරේන්ද්‍රගේ මරණය සිදුවන තෙක් තෙවසරක් පුරාවට කල්කටාවෙන් එකදු මහාමාරිය රෝගියකු හමු නොවීය.   


ධනවත් සමින්දාර් (ඉඩම් හිමි) පවුලක උරුමක්කරුවකු මෙසේ සංවේදනීය අයුරින් ඝාතනය කිරීම බ්‍රිතාන්‍ය ඉන්දියාවේත්, ඉන් ඔබ්බෙහිත් විසූ ජනයාගේ අවධානය බන්දා ගැනීමට සමත් විය. එය ඇතැමුන් විසින් විස්තර කෙරුණේ නූතන ලෝක ඉතිහාසයේ ඒකපුද්ගල ජෛවත්‍රස්තවාදය වාර්තා වූ මුල්ම අවස්ථාවන්ගෙන් එකක් ලෙසිනි.   


පුවත්පත් විසින් මෙම සිදුවීම අකුරක් නෑර වාර්තා කෙරිණි. ටයිම්ස් සඟරාව එය “විෂබීජවලින් මිනීමැරීම” ලෙස හැඳින්වූ අතර, සිංගප්පූරුවේ ස්ට්‍රේට්ස් ටයිම්ස් එය විස්තර කළේ “සිදුරු වූ බාහුවේ අභිරහස” යනුවෙනි.   
කොල්කටා පොලීසිය විසින් සිදු කෙරුණු පරීක්ෂණ මගින්, කල්කටාවට කිලෝමීටර් 1,900ක් පමණ දුරින් පිහිටි බොම්බෙහි (අද මුම්බායි) රෝහලකින් මාරාන්තික බැක්ටීරියාවක් සොරාගැනීම ද ඇතුළු කුමන්ත්‍රණ ජාලයක් ද අවදානම් නොතකා ක්‍රියාත්මක වූ සැලැස්මක් ද අනාවරණය විය. අපරාධයට මූලය වූයේ පවුලේ දේපළ සම්බන්ධයෙන් සහෝදරයන් අතර වූ එදිරිවාදිකමකි.   


පාණ්ඩේගේ සුළු සොහොයුරන්, ගල් අඟුරු පතල් සහ ගල් කොරි සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන පාකුර්හි පිහිටි ඔවුන්ගේ මියගිය පියාගේ මහා වතුයාය සම්බන්ධයෙන් දෙවසරක දිගු අමිහිරි සටනක පැටලී හිඳ ඇත. ආරවුලක පැටලී සිටි දෙසොහොයුරන්ගේ කතාව මාධ්‍යයන් විසින් වාර්තා කෙරුණේ, යහපත හා අයහපත අතර සිදු වූ සටනක් වශයෙනි. එක් පුවත්පත් වාර්තාවකට අනුව අමරේන්ද්‍ර, “මහත්මා ගතිගුණ ඇති, සදාචාරසම්පන්න සහ ආචාරධර්ම ඉහළින්ම පිළිපදින, උසස් අධ්‍යාපනය ලබාගැනීමේ ලැදි, දිනපතා ව්‍යායාමයන්හි යෙදීමට රුචි” මෙන්ම “ප්‍රදේශවාසීන්ගේ ආදරයට පාත්‍රව සිටි” අයෙකි. අනෙක් අතට, බිනොයේන්ද්‍ර ගැහැනුන්ට සහ බීමට ලොල්, සල්ලාල දිවියක් ගත කළ අයකු විය.   
උසාවි ලියවිලිවලට අනුව, අමරේන්ද්‍ර මරා දැමීමේ කුමන්ත්‍රණය ඇරැඹෙන්නට ඇත්තේ, බිනොයේන්ද්‍රගේ සමීප මිත්‍රයකු වූ වෛද්‍ය තාරානාත් භට්ටාචාර්ය 1932 දී වෛද්‍ය රසායනාගාරවලින් මහාමාරිය බැක්ටීරියාවේ රෝපණ සාම්පලයක් ලබාගැනීමට ගත් අසාර්ථක උත්සාහයේදීය. මතභේදයට තුඩුදුන් නමුත් ඇතැම් වාර්තාවන් මගින් යෝජනා කෙරුණේ, බිනොයේන්ද්‍ර පළමු වරට සිය සුළු සොහොයුරා මරන්නට උත්සාහ ගෙන ඇත්තේ 1932 වසරේ ගිම්හානයේදී බවයි. දෙදෙනා කඳුකර ප්‍රදේශයක සංචාරයට ගොස් ඇති අතර, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නිලධාරි ඩී.පී. ලැම්බර්ට්ගේ වාර්තාවකට අනුව බිනොයේන්ද්‍ර, “උපැස් යුගලක් ගෙන බලහත්කාරයෙන් මෙන් අමරේන්ද්‍රට පලඳවමින්, ඔහුගේ නාසයේ සම තුවාල වන සේ තද කර” ඇත.   
අමරේන්ද්‍ර ඉක්මනින්ම රෝගාතුර වූයේය. එහිදී සැක කෙරී ඇත්තේ උපැස් යුවල විෂබීජයන්ගෙන් අපිරිසිදුව තිබෙන්නට ඇති බවයි. ඔහුට පිටගැස්ම වැලඳී ඇති බවට රෝග නිර්ණය කෙරුණු අතර, පිටගැස්මට එරෙහි සීරමය ලබාදෙනු ලැබුණි. වෛද්‍ය ලැම්බර්ට් පවසන පරිදි බිනොයේන්ද්‍ර සිය සොයුරාට සිදු කෙරෙන ප්‍රතිකාරයන් වෙනස් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනකු කැඳවාගෙන පැමිණ ඇතිමුත් එය ව්‍යර්ථ වූයේ ඒ සියලුදෙනා ප්‍රතික්ෂේප වූ බැවිනි.   


ඊළඟ වසර පුරාවට සිදු වූයේ එම කාලයක නොගැළපෙන තරම් නව්‍ය කුමන්ත්‍රණයකි. බිනොයේන්ද්‍ර වතුයාය අත්පත් කරගැනීමේ ප්‍රයත්නයේ යෙදී සිටියදී, ඔහුගේ වෛද්‍ය මිතුරා භට්ටචාර්ය මහාමාරිය බැක්ටීරියා රෝපණයක් ලබාගැනීමට අවම වශයෙන් අවස්ථාවන් සතරකදීවත් උත්සාහ දැරුවේය.   
1932 වසරේ මැයි මාසයේදී, භට්ටාචාර්ය මෙම බැක්ටීරියා රෝපණ සහිත එකම ඉන්දීය විද්‍යාගාරය වූ බොම්බෙහි හෆ්කින් ඉන්ස්ටිටියුට් නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගත්තේය. බෙංගාලයේ ප්‍රධාන වෛද්‍යවරයාගෙන් අවසරයක් ලදහොත් මිස එම සාම්පල නිකුත් කිරීම අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කළේය. එම මාසයේදීම කල්කටාවේ වෛද්‍යවරයකු සම්බන්ධ කරගත් භට්ටාචාර්ය, තමා මහාමාරියට එරෙහිව ප්‍රතිකර්මයක් සොයාගත් බවත්, බැක්ටීරියා නියැදියක් යොදාගෙන එහි සාර්ථකත්වය පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් පවසා සිටියේය. උසාවියේ වාර්තාවන්ට අනුව, විද්‍යාගාරය භාවිත කිරීමට වෛද්‍යවරයා භට්ටාචාර්යට අවසර දුන් නමුත්, හෆ්කින් ආයතනයෙන් ලබාගත් බැක්ටීරියා රෝපණය භාවිත කිරීම තහනම් කළේය. වෛද්‍ය ලැම්බර්ට්ට අනුව, බැක්ටීරියාව රෝපණ මාධ්‍යයේ වර්ධනය නොවීම නිසා පර්යේෂණය අතරමග ඇනහිට තිබේ.   


1933 දී, හෆ්කින් ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් ලිවීමට භට්ටාචාර්ය නැවතත් කල්කටාවේ වෛද්‍යවරයා පොළඹවා ගත්තේය. ලිපිය මගින්, භට්ටාචාර්යගේ මහාමාරිය ප්‍රතිකාරය පරීක්ෂා කිරීම සඳහා ආයතනයේ පර්‌යේෂණාගාරය භාවිත කිරීමට ඔහුට අවසර දෙන්නැයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේය. එම ගිම්හානයේදී බිනොයේන්ද්‍ර බොම්බෙ වෙත ගියේය. එහිදී භට්ටාචාර්ය සමග එක්වූ ඔහු ආයතනයට අනුයුක්තව සේවය කළ පශු වෛද්‍යවරුන් දෙදෙනකුට අල්ලසක් ලබා දී, රෝපිත බැක්ටීරියා සාම්පලයක් ඔවුන් ලවා සොරකම් කරවාගැනීමට තැත් කළේය. ඒ අතරේ වෙළෙඳපොළට ගිය බිනොයේන්ද්‍ර, වැදගත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට පහසුවනු වස් මීයන් තොගයක් ද මිලට ගත්තේය. ඉක්බිති දෙදෙනා ආතර් පාරේ බෝවන රෝග රෝහලට ගියෝය. මෙම රෝහල සතුව ද රෝපිත බැක්ටීරියා විය. උසාවි ලියවිලිවලින් දැක්වෙන පරිදි, එහිදී බිනොයේන්ද්‍ර සිය දොස්තර මිතුරාට ඔහුගේ රසායනාගාරයේදී මහාමාරිය ප්‍රතිකාරය පිළිබඳව පර්‌යේෂණ පැවැත්වීමට අවසර දෙන්නැයි රෝහල් බලධාරීන් පොළඹවා ගත්තේය.   


භට්ටාචාර්ය විද්‍යාගාරයේදී කිසිදු පර්‌යේෂණයක් පැවැත්වූ බවට සාධක නොවීය. රසායනගාරය භාවිතාව සඳහා අවසර ලැබී දින පහකට පසු එනම්, ජුලි 12 වැනිදා සන්ධ්‍යාවේදී, සිය පර්‌යේෂණ කටයුතු හදිසියේම නවතා දැමූ භට්ටාචාර්ය, බිනොයේන්ද්‍ර ද සමග නැවතත් කල්කටාව බලා ගියේය. ඝාතනයෙන් තෙමසකට පසු, 1934 පෙබරවාරියේදී පොලීසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. පරීක්ෂකයින් විසින් බිනොයේන්ද්‍රගේ ගමන් ලියකියවිලිත්, බොම්බේහිදී නවාතැන් ගත් හෝටලයේ බිලත්, ඔහු හෝටලයේ රෙජිස්ටරයේ තැබූ සටහනත්, රසායනාගාරයට යැවූ ලිපිත්, මීයන් මිලට ගත් වෙළෙඳසලේ කුවිතාන්සිත් සොයා ගැනුණි. සත්‍ය වශයෙන්ම, මාස නවයක් පුරා පැවැති නඩු විභාගය සිත් ඇදගන්නාසුළු විය. විත්තිකාර පාර්ශ්වය තර්ක කළේ අමරේන්ද්‍රට මීයන් මත සිටින මැක්කෙකු දෂ්ට කර ඇති බවයි.   


උසාවිය ප්‍රකාශ කළේ, අමරේන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනා බොම්බේ රෝහලෙන් “මහාමාරිය බැසිලස සොරකම් කර” ඇති බවත්, “ඒවා කල්කටාව වෙත ගෙනගොස් 1933 නොවැම්බර් 26 දක්වා (ඝාතනය සිදු වූ දිනය) සජීවීව තබාගැනීමට හැකි බවත්” සාක්ෂ්‍යවලින් ඔප්පු වන බවයි. අමරේන්ද්‍ර කුලී ඝාතකයකු ලවා ඝාතනය කරවීමට බිනොයේන්ද්‍ර සහ භට්ටාචාර්ය කුමන්ත්‍රණය කර ඇති බව පිළිගත් අධිකරණය, ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කළේය. 1936 ජනවාරි මාසයේදී කල්කටා මහාධිකරණය ලද අභියාචනයක් මත, මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කෙරිණි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් වෛද්‍යවරුන් දෙදෙනකු සාක්ෂි මඳකම හේතුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණි. “මේ නඩුව බොහෝවිට අපරාධ වංශකථාවේ අද්විතීය තැනක් ගනු ඇති” අභියාචනය විභාග කළ විනිසුරුවරයෙක් සඳහන් කළේය.  


මෙම මිනීමැරුම අළලා “ප්‍රින්ස් ඇන්ඩ් ද පොයිසනර්” (කුමරා සහ වස දෙන්නා) නමින් පොතක් ලිවීමට කරුණු රැස් කරමින් සිටිනා ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන ඩෑන් මොරිසන් මට පැවැසුවේ, බිනොයේන්ද්‍ර යනු “මිනීමැරුම සිදුවන සමයේ ඉන්දියාවේ ආධිපත්‍යය දැරූ වික්ටෝරියානු ආයතනයන් අභිබවා යෑමට තමාට හැකි යැයි සිතූ විසි වැනි සියවසේ මිනිසකු” බවයි. මොරිසන් කියා සිටිනා අන්දමට, දුම්රිය ස්ථානයේ ඝාතනය “සම්පූර්ණයෙන්ම නවීන මිනීමැරුමක්” විය.  


ඇසිරියානුන් රයි අර්ගොට් නම් දිලීරයක් යොදා සිය සතුරන්ගේ ළිංවලට විෂ කලවම් කළ ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිටම මිනිසා විසින් ජෛව ආයුධ භාවිත කෙරෙන්නට ඇත. එනමුත් අමරේන්ද්‍රගේ ඝාතනය වඩාත්ම සමාන වන්නේ, 2017 දී සිය ගුවන් යානය පැමිණෙන තෙක් ක්වාලා ලම්පූර් ගුවන්තොටුපොළේ රැඳී සිටි 45 හැවිරිදි කිම් ජොං නම් උතුරු කොරියානු පාලක කිම් ජොං උන්ගේ සුළු සොහොයුරාගේ ඝාතනයටය. පසුව අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනකු ස්නායු විෂක් ඔහුගේ මුහුණේ තවරා තිබුණි. වසර 88කට පෙර සිදු වී අමතකව ගිය හව්රා දුම්රියපොළ ඝාතන සිදුවීමේදී කුමරා ඝාතනය කළ පුද්ගලයා ද මිනීමැරුම් ආයුධය වන එන්නත් කටුව ද කිසි කලෙකත් හමු නොවීය.

 

 

බී.බී.සී. අනුග්‍රහයෙනි.



අදහස් (0)

විෂබීජයකින් ඝාතනය කළ ඉන්දීය ව්‍යාපාරිකයා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5936 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 377 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1604 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site