IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


අහසින් බිමට පනින අපූරු මිනිස්සු

 

 

ක්‍රීඩාවක් ලෙස දැන් ජනප්‍රිය වුව ද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන විට ගුවනේ පියඹා යාමට හැකි පුද්ගලයන් සිටීම රටේ ආරක්ෂාවට දැවැන්ත ශක්තියකි.   


එහි සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන්නේ ගුවන් හමුදාව විසිනි. 

 
ගුවනේ සිට බිමට පතිත වන හමුදා භටයන් ඒ සඳහා විශේෂ උපකරණයක් භාවිත කරයි. ඔවුන් පතිත වන වේගය අඩු කිරීමට, නිරුපද්‍රිතව පොළොව මත පතිත වීමට හැකි වන පරිදි සහ ඔවුන් පතිත වන ස්ථානය සහ දිශාව තීරණය කිරීමට උපකාරී වන මේ උපකරණය හඳුන්වන්නේ ‘පැරෂුට්’ නමිනි. පැරෂුට් භාවිත කරමින් බිමට පතිත වන යුද භටයෝ ‘පැරෂුට් භටයන්’ ලෙස හැඳින්වේ.   
ශ්‍රී ලංකාවේ ද පැරෂුට් භටයෝ සිටිති. ඔවුහු ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියේ ලෙස විවිධ ඒකකයන්හි සේවය කරති.   


මේ සියල්ල අතරින් ප්‍රමුඛතම සේවාවක් ඉටුකරන්නේ ගුවන් හමුදාවේ පැරෂුට් භටයෝය. මුල් අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පැරෂුට් භටයෝ ඇමෙරිකාව, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල පුහුණුව ලැබූ අතර, ඔවුහු වැඩි දෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයෝ වූහ.   
ශ්‍රී ලංකාවේ හමුදාවල පැරෂුට් භටයන්ගේ අවශ්‍යතාව සපුරාලීමට මෙලෙස විදේශ පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම දුෂ්කරතාව මගහරවා ගැනීම සඳහා ගුවන් හමුදාවෙන් පුහුණු පාසලක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇති විය.   

 


එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැරෂුට් පුහුණු පාසලක් මෙරට දී ආරම්භ කරන්නේ, 2002 ජුනි 15 වැනිදාය. එය 2004 ජනවාරි 12 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ ස්ථාපිත කරන ලදී.   
ශ්‍රී ලංකා ගුවනේ පළමු පැරෂුට් සංදර්ශනය පවත්වන ලද්දේ, 2004 ජනවාරි 12 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙනි. මෙම සංදර්ශනයත් සමග මෙරට පැරෂුට් පුහුණුව පිළිබඳ සියලු‍‍ අංශයන්හි අවධානය විශේෂයෙන් හිමි වූ අතර, 2006 මැයි මාසයේ දී ගුවන් හමුදාවේ පැරෂුට් පාසලෙන් පැරෂුට් පුහුණුව ලබාගැනීම සඳහා අනෙක් හමුදා සාමාජිකයන් ද යොමු කෙරිණි. එලෙස පුහුණු වූ පළමු කණ්ඩායම වූයේ, 2006 මැයි මාසයේ දී පුහුණුව ලැබූ දස දෙනකුගෙන් යුතු පොලිස් විශේෂ කාර්ය බළකායේ පැරෂුට් කණ්ඩායමයි.   
2008 වර්ෂයේ පැරෂුට් පුහුණු පාඨමාලා සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් ද එක්වීම විශේෂත්වයකි. ගුවන් හමුදා කාන්තා සෙබළියන් 7 දෙනකු එහි පළමු කණ්ඩායම විය.   


සුදුසුකම් ලැබූ උපදේශකයන් යටතේ පවත්වාගෙන ගිය මේ පුහුණු පාසල ගුවන් භටයන්ට සහ නිලධාරීන්ට මූලික සහ උසස් පුහුණුව ලබාදීම සඳහා පවත්වාගෙන ගිය ද කටුනායක අවට ගුවනේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙන්ම පුහුණුවීම් කටයුතු වඩාත් අසීරු වී තිබිණි.   
මේ නිසාම 2013 මැයි 10 වැනිදා සිට පැරෂුට් පුහුණු පාසල අම්පාර ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරන ලදී.   


මෙම පුහුණු පාසල ආරම්භ කිරීමේ මූලික අරමුණ වූයේ, පැරෂුට් භටයකු නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පුහුණු මූලික පාඨමාලව පැවැත්වීම, ඉන් සමත් වන්නන් සඳහා පැරෂුට් උසස් පාඨමාලාව පැවැත්වීම, පැරෂුට් නඩත්තුව පිළිබඳ පාඨමාලා පැවැත්වීමයි. එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් බළකාය සඳහා අවශ්‍ය සියලු‍‍ම භටයන් සහ නිලධාරීන් පුහුණු කිරීම මෙම පැරෂුට් පුහුණු පාසලෙන් සිදුවෙයි.   
පැරෂුට් පුහුණු පාසල ගුවන් හමුදාවේ විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කර තිබේ. ඕනෑම ගුවන් මෙහෙයුමක දී සහාය වීමට අවශ්‍ය පැරෂුට් භටයෝ මේ ඒකකයේ පුහුණුව ලබති. ඔවුන් ගුවන් හමුදාවේ සියලු‍‍ මෙහෙයුම් කටයුතුවලට ඍජු හා සියුම් දායකත්වයක් සපයන කණ්ඩායමක් බවට පත්ව ඇත.   
මෙලෙස පුහුණුව ලබන පැරෂුට් භටයෝ විවිධ අවස්ථාවලදී ගුවනේ කරන ශිල්ප දැක්වීම් මෙරට ජනතාව ඉතාමත් ආශාවෙන් නරඹති. ජාතික නිදහස් දින උත්සවයේ දී ඔවුන්ගේ දස්කම් විස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු සැදී පැහැදී සිටිති. එය ඉතාමත් ආකර්ෂණීය සංදර්ශනයක් බව නොරහසකි. එමෙන්ම හමුදාමය සැමරුම් අවස්ථාවලදීත්, විශේෂයෙන්ම ගුවන් හමුදා සංවත්සරවලදීත් ශ්‍රී ලංකාවේ පැරෂුට් ඒකකය තම හැකියාවන් ප්‍රදර්ශනය කරති.   


ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ විශේෂ අවධානය ද පැරෂුට් පුහුණු පාසල වෙනුවෙන් යොමුව තිබේ. ඒ සඳහා අවශ්‍ය නවීන පුහුණු උපකරණ සපයා දීම, උපදේශකවරුන්ට අවශ්‍ය විදෙස් පුහුණු අවස්ථා සැලසීම පමණක් නොව පැරෂුට් පුහුණුව සඳහා ගුවන් හමුදාවේ සාමාජික සාමාජිකාවන් උනන්දු කරවීම සඳහා ද ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ අවධානනයක් යොමු කර තිබේ.   
පැරෂුට් පුහුණ පාසලේ අණදෙන නිලධාරිවරයා ලෙස වින්ග් කමාන්ඩර් සුමේධ රිටිගල මහතා කටයුතු කරයි. හෙතෙම පුහුණු පාසල පිළිබඳ මෙසේ පවසයි.   


“ගවුන් හමුදාවේ පැරෂුට් පුහුණ පාසල දේශීය හා විදේශීය හමුදා නිලධාරීන් සඳහා ඕනෑම ආකාරයේ පුහුණුවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු‍‍ පහසුකම්වලින් සමන්විතයි. දැනට දකුණු ආසියාවේ තිබෙන හොඳම උපකරණ සහ දක්ෂතම පුහුණුකරුවන්ගෙන් සමන්විත පාසලක් ලෙස අපි පිළිගැනීමට ලක්ව සිටිනවා. මේ වන විට අපි පාඨමාලා 43ක් සම්පූර්ණ කරලා තිබෙනවා. දැන් මූලික පාඨමාලවකට බඳවා ගන්නේ පැරෂුට් පුහුණුව ලැබීමට කැමැත්ත ඇති ඒ ව‍ගේම හොඳ සෞඛ්‍යයකින් සිටින ශක්තිවන්ත පිරිසක්. ඔවුන් ගුවනේ සිට පැනීමට තරම් නිර්භීත වීම අත්‍යවශ්‍යයි. මේ පාඨමාලාවට දැන් අපි එක් වරකට 50ක පිරිසක් බඳවා ගන්නවා. වසරකට පාඨමාලා 6ක් පවත්වන්න අපිට පහසුකම් තිබෙනවා.”   


අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන මහතාගේ සහයෝගය සහ මග පෙන්වීම මෙම පුහුණු පාසලේ කටයුතු සඳහා වඩාත් මහෝපකාරී වෙයි.   
මෙම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස ස්කොන්ඩ්‍රන් ලීඩර් දිනේෂ් කිරිවන්දෙණිය මහතා කටයුතු කරයි. පුහුණුකරුවකු ලෙස විදේශ රවටල පුහුණුව ලබා ඇති ඔහු ඇතුළු උපදේශකයෝ 25 දෙනකු මේ පුහුණු පාසලේ සිටිති.   

 


මේ වන විට පැරෂුට් පුහුණු පාසලෙන් මූලික පුහුණුව හැදෑරූ සංඛ්‍යාව 1,369 දෙනෙකි. ඉන් 121ක් ගුවන් හමුදා නිලධාරීහුය. එම පිරිස අතරින් වෙනත් උසස් පාඨමාලා හැදෑරූ පිරිස 332කි. ඒ අතර නිලධාරීහු 65 දෙනකු සිටිති. ගුවන් හමුදාව විසින් මේ වන විට යුද හමුදාවේ 74 දෙනකු, නාවික හමුදාවේ 80 දෙනකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 54 දෙනකු පැරෂුට් භටයන් ලෙස පුහුණු කර තිබේ.   
ප්‍රධාන උපදේශක ස්කොන්ඩ්‍රන් ලීඩර් දිනේෂ් කිරිවන්දෙණිය මහතා මෙසේ පවසයි.   


“පැරෂුට් භටයන් පුහුණුව ලැබුවාට පස්සේ ඔවුන්ගේ නිල ඇඳුමට විශේෂ පදක්කමක් එකතු වෙනවා. ඔවුන්ට මූලික පාඨමාලාවේ දී ලැබෙන්නේ ගුවනේ සිට බිමට පැනීමේ අවස්ථා 5ක් සම්පූර්ණ කළ යුතුයි. ඉන් එක් පැනීමක් කරන්න ඕනෑ රාත්‍රී කාලයේදී. නමුත් මේ පුහුණුව ලබන අය දිගින් දිගටම ගුවනේ සිට පැනීම් කළ යුතුයි. ඒ නිසා නිතර නිතර පැනීම් වාර මේ පුහුණු පාසලේ සිදුවෙනවා. මූලික පාඨමාලාවේ දී පැනීම් කරන්නේ අඩි 800-1,300ත් අතර උසකින්. නමුත් උසස් පාඨමාලාවේ දී අපි අඩි 10,000ත් 13,000ත් අතර උසකට ගිහින් තමයි පැනීම කරන්නේ. ඉතින් මෙය හොඳින් ප්‍රගුණ කළ යුතු දෙයක්.”   
ශ්‍රී ලංකාවේ දැනට ගුවනේ සිට පිනුම් 1,000 ඉක්ම වූ තිදෙනෙක් සිටිති.   


වින්ග් කමාන්ඩර් සම්පත් පියසුන්දර පිනුම් 1,500ට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. වින්ග් කමාන්ඩර් විජිත ගෝමස් පිනුම් 1,200ක් පමණ සිදු කර ඇති අතර, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන ‍නිලධාරි වින්ග් කමාන්ඩර් සුමේධ රිටිගල පිනුම් 1,100කට වඩා සිදු කර ඇත.   
අඩි 10,000කට වැඩි ඉහළ අහසේ සිට පනින අවස්ථාවේ දී පවා පොළොව මත ඇති එක් ඉලක්කයක් දී එම ඉලක්කය මත කකුලක් ස්පර්ශ වන ආකාරයෙන් පැනීමට උසස් පාඨමාලාවල දී පුරුදු පුහුණු කරනු ලැබේ. මේ ඉලක්කය සෙන්ටිමීටර 16ක විශ්කම්භයකින් යුතු තැටියක් තමන් බිමට පතිත වන අවස්ථාවේ දී පා‍දයෙන් ස්පර්ශ කිරීමයි.   


මෙය ඉතාමත් අසීරු කාර්යයකි. සුළඟේ වේගය හා දිශාව අනුව තමන්ගේ පැරෂුටය පාලනය කරගනිමින් නිශ්චිත ඉලක්කයකට පැමිණීම අතිශය අසීරු වුව ද ඒ හැකියාව ඇති පිරිසක් මේ වන විට ගුවන් හමුදා පුහුණු පාසලෙන් බිහි වී සිටිති. මේ අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයකි.   
එම හැකියාව ප්‍රගුණ කර ඇති නායක ගුවන් කාන්තාවක් වන අමාලි ඉන්දීවරී මෙම පුහුණු පාසලේ උපදේශකවරියක ලෙස ද කටයුතු කරයි.  


ඇය මෙසේ කීවාය.   


“මෙය බොහෝ දෙනෙක් ලොකු අභියෝගයක් ලෙස දකිනවා. කාන්තාවක් අඩි 10,000ක් විතර ඉහළ අහසේ සිට බිමට පනිනවා කියන්නේ පුදුම දෙයක් වුණත් දැඩි අධිෂ්ඨානය, කැපවීම සහ පුහුණුව සමග ඒක පුදුම දෙයක් නොවෙයි. මා මේ පාඨමාලාව හැදෑරුවේ ඒ ගැන තිබුණු ආශාවට. මුල දී ටිකක් චකිතයක් තිබුණත් එය පසුව නැති වුණා. දැනට පැරෂුට් පාඨමාලාව සම්පූර්ණ කරපු කාන්තාවන් 53ක් ඉන්නවා. හැම කණ්ඩායමකම වගේ මේ සඳහා ඉදිරිපත් වන කාන්තාවන් ඉන්නවා. මෙය ඇත්තමට බිය වෙන්න කාරණයක් නෙවෙයි. කාන්තාවන්ට තියෙන හොඳ අවස්ථාවක්.”   


ගුවන් හමුදාවේ භාවිත වන පැරෂුට් වර්ග දෙකක් තිබේ. එකක් හඳුන්වන්නේ, ‘පැරබොලික් පැරෂුට්’ යනුවෙනි. මූලික පාඨමාලාවේ දී පැරෂුට් පැනීම සිදු කරන උස අඩු බැවින් එය භාවිත කරයි. රවුම් හැඩැති මේ පැරෂුට් ගුවනේ සිට පනින විටම දිග හැරෙන ආකාරයෙන් සකසා තිබේ.   


අනෙක් පැරෂුට් වර්ගය හතරස් හැඩැති වේ. පැරෂුටයක් සහිතව පනින සෙබළකු ගුවනේ යම් දුරක් පැරෂුටය භාවිතයකින් තොරව පාවී පැමිණ තමන්ට අවශ්‍ය අවස්ථාවක දී එය දිග හැර ගැනීමට හැකියාව තිබේ. මේ සඳහා උදව් වන ඔහු සිටින උස ප්‍රමාණය පෙන්වන උපකරණයක් පැරෂුට් භටයාගේ අතෙහි බැඳ තිබේ. නමුත් ඔහුට නියමිත වේලාවේ දී පැරෂුටය දිග හැර ගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ බිම පතිත වන වේගය සහ පොළොවේ සිට සිටින උස ගණනය කර ස්වයංක්‍රීයව පැරෂුටය විවෘත වන උපකරණයක් ද එම හතරැස් හැඩැති පැරෂුට්වලට සවිකර තිබේ.   


එබැවින් පැරෂුට් භටයෝ ජීවිත අවදානමකට මුහුණ දෙන්නේ ඉතාමත් කලාතුරකිනි.   
පැරෂුට් නඩත්තු කිරීම සහ ඇසුරුම් කාර්යය ඉතාමත් සැලකිල්ලෙන් කළ යුතු මෙන්ම නිවැරැදිව කළ යුතු දෙයකි. ඒ නිසාම පැරෂුට් නඩත්තුව හා ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් ද පුහුණු පාඨමාලා මෙම පාසලේ පැවැත්වේ.   


එක් පැනීමකින් පසු පැරෂුටය ගෙනැවිත් වියලා එහි සෑම ස්ථානයක්ම සියුම්ව පරීක්ෂා කරනු ලැබේ. කිසිදු පළුදු වීමක් හෝ තිබිය නොහැක. ඉන් පසු ඒ සඳහා පුහුණුව ලැබූ විශේෂ නිලධාරීන් විසින් පැරෂුටය ඇසුරුම් කරයි. මේ ඇසුරුම් කිරීම කිසිදු වරදකින් තොරව 100%ක්ම නිවැරැදි විය යුතුය. පැරෂුට් ඇසුරුම් කිරීම සුළුවෙන් හෝ වැරැදී තිබුණහොත් අහිමි වන්නේ එය භාවිත කරන්නා‍ගේ ජීවිතයයි.   
රටවල් අතර ඇතිවන යුද කටයුතුවල දී පැරෂුට් භටයෝ යුද බිමට ගුවනේ සිට පතිත වන විට ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගත් යුද නීතියක් තිබේ. සතුරු පරිශ්‍රයකට ඔවුන් පතිත වන්නේ වුව ද ගුවනේ දී ඔවුන්ට වෙඩි තැබීමට නොහැකිය. එවැනි භටයකු බිමට පතිත වී විනාඩි 2ක් යන තුරු ද වෙඩි තැබීම යුද රීතීන් උල්ලංඝනයක් ලෙස සැලකේ.   


නමුත් වර්තමානයේ ලෝකයේ ත්‍රස්තවාදීන් විසින් කරගෙන යන යුද සටන්වල දී ඔවුන් එවැනි ජාත්‍යන්තර යුද රීතීන් ගැන සැලකිල්ලක් නැත. ඒ නිසාම පැරෂුට් භටයන් යුද බිමට පිවිසෙන්නේ කලාතුරකිනි.    
මෙය මෙරට ආපදා කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් කාර්යයකි. නමුත් තවමත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසී ඇත් ද යන්න ගැටලු‍‍වකි. ආපදා අවස්ථාවල දී ගුවන් හමුදාවේ සහාය ලබාගන්නේ විපතට පත්වූ ඇතැම් පිරිස් බේරා ගැනීම සඳහා සහ ගුවනේ සිට ආපදා නිරීක්ෂණය කිරීමට පමණක් බවත් මාධ්‍යවේදීන් ලෙස අප දන්නා කරුණකි.   


පැරෂුට් පුහුණ පාසලට සහ ගුවන් හමුදාවේ පැරෂුට් ඒකකයට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල වශයෙන් විදේශ විනිමය උපයාගත හැකි ආකාරයක් ද තිබෙන බව ගුවන් හමුදා නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවේ දී අනාවරණය විය.   

 

නමුත් ඒ සඳහා තවමත් නිසි ක්‍රමවේදයක් මෙරට සැකසී නැත.   
පැරෂුට් භාවිතයෙන් ‘ගුවනේ කිමිදීම’ හෙවත් ‘Sky Diving’ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. පැරෂුට් පුහුණුව ලැබූ හමුදා ඒකක අතර අන්තර්ජාතික වශයෙන් ද එම තරග සංවිධානය කිරීම් සිදු වෙයි. ඒ සඳහා වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ පැරෂුට් කණ්ඩායම් ද සහභාගි වීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.   
තවමත් ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායමට එවැනි තරගාවලියක ජයග්‍රහණ ලැබී නැතත්, ඔවුන් එවැනි අවස්ථාවල දී සුවිශේෂී දක්ෂතා දක්වා තිබීම සතුටට කරුණකි. පැරෂුට් පුහුණු පාසල ආරම්භ කළ මුල් කාලයට වඩා ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායම් මේ වන විට තම අත්දැකීම් සහ පළපුරුද්ද සමග ජාත්‍යන්තරව සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.   


පැරෂුට් ක්‍රීඩාවේ නිරත වන්නේ හමුදාමය සාමාජික සාමාජිකාවන් පමණක් නොවේ. විනෝදය සඳහා පැරෂුට් ක්‍රීඩාවේ නිරත වන අතිවිශාල පිරිසක් ලෝකය පුරා සිටිති. ඔවුන්ට ශ්‍රී ලංකාව වැනි සුන්දර දිවයිනක ගුවනේ සිට පැරෂුට් මගින් පතිත වීමට පහසුකම් සපයන්නේ නම්, එමගින් අප රටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාගත හැකි වනු ඇත.   


මේ වන විට මෙය විදේශිකයන් කණ්ඩායමක් විසින් සිදු කරමින් තිබේ. ඔවුන් විවිධ රටවල විසිරී සිටින පැරෂුට් ක්‍රීඩාවේ නිරත වීමට කැමැති අයට ශ්‍රී ලංකාවට ආරාධනා කරයි. එලෙස පැමිණෙන කණ්ඩායම් සඳහා සියලු‍‍ පහසුකම් ලබා දෙන්නේ ගුවන් හමුදාවේ පැරෂුට් ඒකකය විසිනි.   

 

පැරෂුට් පුහුණ පාසලේ කාර්ය මණ්ඩලය

 

ගුවන් හමුදාව සතු පැරෂුට් ඔවුහු භාවිත කරති. ඔවුන් ගුවනට රැගෙන යන ගුවන් යානය ද ගුවන් හමුදාවේය. පැරෂුට්වලින් පනින අවස්ථාවේ සිට බිමට පතිත වී නැවත ඔවුන් නිරුපද්‍රිතව ආපසු යැවීම දක්වා සියලු‍‍ වගකීම ගුවන් හමුදාව සතු වෙයි.   


නමුත් මෙමගින් වැඩි ලාබයක් ලබන්නේ එවැනි වැඩසහටන් සංවිධානය කරන අතරමැදි විදේශිකයන්. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් එක්ව සංවිධානය කළ හැකි සංචාරක ආකර්ෂණීය වැඩසටහනකි. එමගින් විශාල විදේශ විනිමයක් මෙරටට ලබාගැනීම සඳහා ගුවන් හමුදාවත් එහි පුහුණුව ලැබූ නිලධාරීන් ද උපයෝගි කරගත හැකි වනු ඇත.   


ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශීකෘතව සිටින විදේශිකයන් මේ සඳහා විශාල වශයෙන් සහභාගි වනු ඇත. පාලකයන්ගේ අවධානය මෙවැනි කාර්යයන් සඳහා යොමු විය යුතුව තිබේ.   


විශේෂ ස්තුතිය - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් වික්‍රමසිංහ ඇතුළු මාධ්‍ය ඒකකයට.  

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර



අදහස් (1)

අහසින් බිමට පනින අපූරු මිනිස්සු

samantha weerasekara Friday, 07 January 2022 01:40 PM

මරු . නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10972 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6225 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5970 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5330 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 699 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1914 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site