IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


කොළඹ පුපුරවන්න ගෙනා බෝම්බ වැලක්

රට හෙල්ලූ සිදුවීමක 
අඩි සලකුණු දිගේ...

 

තිස් වසරක එල්ටීටීඊ යුද ඉතිහාසය පුරා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බිහිසුණු බෝම්බ පිපිරවීම් හා මරාගෙන මැරෙන ප්‍රහාර ගණනක් සිදුවීම නිසා මිය ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව සුළුපටු නොවේ.   


ප්‍රහාරවලින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ හා බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාවද එසේමය.   


එල්ටීටීඊ යුද ඉතිහාසයේ එවැනි බිහිසුණු බෝම්බ පිපිරවීම් ගණනක් සිදුකර ඇතත් ඔවුන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එක්වර බෝම්බ පිපිරවීම් හතක් සිදුකළේ ප්‍රථම වතාවටය. 

 
ඒ 1984 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වැනිදා රාත්‍රී කාලයේදීය. 

 
අටවා තිබූ තවත් කාල බෝම්බ දෙකක් පිපිරී ගොස් තිබුණේ නැත. 
  
රාත්‍රී කාලයේ එකම දිනයේ එකම වෙලාවකට වාගේ සිදුවූ මේ කාල බෝම්බ පිපිරවීම්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශ දෙදුරුම්කා ගියේ ජනතාව භීතියෙන් මුසපත් කරවමිනි. 

 
වෙන්නට යන්නේ කුමක්දැයි කියා සිතා ගැනීමට නොහැකිව ජනතාව තුෂ්නිම්භූතව සිටියේ කරකියාගත හැකි දෙයක් නොමැතිවය.   


මේ කාල බෝම්බ පිපිරවීම් මාලාව නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය ද සම්පූර්ණයෙන්ම පාහේ අඩාළව ගොස් තිබිණි. 

 
කුරුඳුවත්තේ පිහිටා තිබූ එවකට කර්මාන්ත හා නාවුක අමාත්‍යවරයාව සිටි සිරිල් මැතිව් මහතාගේ නිවස ඉදිරිපිට, වෙරළබඩ පොලිස් ස්ථානය ආසන්නයේ, පෑලියගොඩ ප්‍රදේශයේ, කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, මරදාන ටවර් හෝල් එක ඉදිරිපිට, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ළඟ, කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරය ආසන්නයේ, කොළඹ සෝන්ඩස් පෙදෙසේදී හා ශ්‍රී ලංකා රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාව අතර නිදහස් චතුරශ්‍රයේදී මෙම කාල බෝම්බ එල්ටීටීඊය විසින් අටවා තිබිණි. 

 

 

මෙයින් මරදාන ටවර් හෝල් එක ලඟ හා කොටුව දුම්රිය ස්ථානය අසල අටවා තිබූ කාල බෝම්බ හැරෙන්නට අනෙක් ස්ථානවල අටවා තිබූ බෝම්බ පුපුරා යාමෙන් තිදෙනෙක් මිය ගොස් 10 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.   


වෙරළබඩ පොලිස් ස්ථාන භූමියේ තනිකඩ පොලිස් භට පිරිස් නවාතැන් ගන්නා ස්ථානයේ කාල බෝම්බයක් අටවා එහි ලැගුම්ගෙන සිටින නිලධාරීන් 150 කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් පොලිස් භූමියට ඇතුළුවීමට තාප්පයෙන් පැනීමට උත්සාහ කිරීමේදී එම බෝම්බය පුපුරා යාමෙන් අවසානයේ ඉංජිනේරුවරයා මිය ගියේය.   


කාල බෝම්බය ඉංජි​නේරුවරයා අතේ තිබියදී පුපුරා නොයන්නට පොලිස් නිලධාරීන් 150 දෙනා මිය යන්නට හෝ ඒ අතරින් පිරිසක් මිය ගොස් තවත් පිරිසකට බරපතළ තුවාල සිදුවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. 

 
මීට වසර 33 කට පමණ ඉහතදී සිදුවූ ඒ බෝම්බ ප්‍රහාර ගැන මෙන්ම එදා ඉංජිනේරුවරයෙක් පොලිස් භූමියේ කාල බෝම්බයක් අටවා සිදුකිරීමට ගිය මහත් මිනිස් ඝාතනය නූලෙන් වැලකී ගිය ආකාරය ගැනත් කියන්නට යන්නේ එදා වෙරළබඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කර පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා මේ වනවිට විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතාය.   


මේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බිහිසුණු රාත්‍රියක් ගැන කියන කතාවයි.   


කොළඹ හා තදාසන්න ප්‍රදේශ 09 කට පැන එකම දවසක එකම වේලාවකට වාගේ කොටි ත්‍රස්තවාදීන් සිදුකළ ඒ බෝම්බ පිපිරවීම් ගැන මට තවම හොඳට මතකයි. ඒ මතකය මගේ හිතේ නොනැසී පවතින්න ලොකු හේතුවක් තිබෙනවා. ඒ මොකද කියනවා නම් මම ඒ කාලයේ සේවය කළ වෙරළ බඩ පොලිසිය ළඟත් බෝම්බයක් පුපුරා ගියා.   
මේ සිද්ධිය වුණේ 1984 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වැනිදා. එදා මම පොලිස් නිල නිවසේ රෑ නිදාගෙන හිටියා. නිදාගෙන ඉද්දී එක පාරටම පළාතම දෙදරුම් කවන පිපිරීමක හඬක් ඇසුණා. ඒත් එක්කම වාගේ මම නිදාගෙන හිටිය ඇඳට දාලා තිබුණ නෙට් එකත් කඩාගෙන වැටුණා. පොලිසියේ ජනෙල්වල වීදුරු කැඩිලා බිම වැටුණා. ඒ බෝම්බය පුපුරා ගිය කම්පනයට. මම නැගිටලා පොලිසියට දිව්වා. ඒ වෙනකොට වෙරළබඩ පොලිසියේ ඕ.අයි.සී. විදිහට හිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙල්වින් සිල්වා මහත්තයා. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ගොස් සිටියදී පසු කාලයක මිය ගියා. ඒ.එස්.පී. වෙලා හිටියේ නිහාල් පෙරේරා මහත්තයා.   


මම පොලිසියට යනකොටත් ඕ.අයි.සී. මහත්තයා ඇවිත් සිටියා. වහාම ආමරියට ගිහින් අවි අරගන්න කියා ඔහු පොලිස් නිලධාරීන්ට නියෝග කළා. අපි සේරමදෙනා අවිවලින් සන්නද්ධ වුණා. අපි පොලිසියෙන් පිටතට ගිහින් බලද්දී තාප්පය ළඟ යමක් තිබෙනවා මා දැක්කා. කළුවර නිසා ඒ මොකක්ද කියා පැහැදිලිවම පෙනුණේ නැහැ. නිකමට වගේ මම එයට පයින් ගැසුවා. එතකොට මට තේරුම් ගියා මිනිහෙක් බව. ඊට පස්සේ අපි තවදුරටත් විපරම් කරලා බලද්දි දැක්කා ඒ මිනිහා ඔළුව හරවනවා වාගේ. එච්චරයි දැක්කේ. මිනිහා මිය ගිය බව අපට පෙනී ගියා. තවදුරටත් අවට සෝදිසි කර බැලුවා. ඒ මනුස්සයාගේ ඉණෙන් පහළ කොටස නොමැති බව දැකගන්න ලැබුණා. පාරෙන් එහා පැත්තේ තිබුණ තැඹිලි විකුණන කරත්තයක් නතර කර තිබුණා. ඉණෙන් පහළ කොටස ඒ කරත්තය උඩට විසිවෙලා තියෙද්දී සොයාගත්තා. පුපුරා නොගිය බෝම්බයේ කෑලි හැමතැනම විසිරී තිබුණා. බෝම්බය පුපුරා යාමෙන් තාප්පයට හානි සිදුවී තිබුණා.   


බෝම්බය අටවන්න හිතාගෙන ඒකත් අරගෙන පොලිස් භූමියට තාප්පයෙන් පනින්න හදද්දී ​ෙමාකක් හරි හේතුවකට ඔහු ගෙනා බෝම්බය පිපිරිලා යන්න ඇති බව අපට පෙනී ගියා. පොලිස් නිලධාරීන් 150 ක් විතර ඉන්න බැරක්කය ළඟම මේ බෝම්බය අටවන්න​ ගෙනා බව පරීක්ෂණවලින් අපට හෙළිකරගන්න හැකියාව ලැබුණා.

   
අවට සෝදිසි කර බලද්දී හැඳුනුම්පත් 02 ක් සොයාගත්තා. ඒ හැඳුනුම්පත්වලට අනුව මිය ගොස් තිබුණේ රත්න සභාපති කියා කෙනෙක්. ඔහු මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්. සේවය කළේ කළුතර කාර්යාලයේ. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න කාලයේ නිකුත් කරපු හැඳුනුම්පතක් ද කයිට්ස් උපදිසාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ හඳුනාගැනීමේ සහතිකයක්ද සොයාගත්තා. සොයාගත් අනෙක් හැඳුනුම්පත රත්න සභාපති ඉංජිනේරුවරයෙක් විදිහට මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කිරීම වෙනුවෙන් නිකුත් කර තිබූ එකක්. 

 
මේ වාරිමාර්ග ඉංජිනේරුවරයා නිතර වෙරළබඩ පොලිසියට ආගිය කෙනෙක්. ඔහු වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස හිටිය පොලිස් පරීක්ෂකවරයාගේ (නම කියයි) සහ තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ හොඳම මිතුරා. ඒ පොලිස් නිලධාරීන් දෙන්නාම ද්‍රවිඩ ජාතිකයින්. මේ දෙමළ පොලිස් නිලධාරීන් දෙන්නා හමුවෙන්න නිතර යන එන නිසා රත්න සභාපති කියන ඉංජිනේරුවරයාව පොලිසියේ හැමෝම වාගේ හඳුනනවා. කතාබහ කර තිබෙනවා. සමහරදාට පොලිස් බැරැක්කයේ රෑට නිදාගෙන ඉඳලා පවා යන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉංජිනේරුවරයෙක් නිසා මොහුව කිසිම කෙනෙක් සැක කළේ නැහැ. ඒ විතරක් නෙමේ රත්න සභාපති පොලිසියේ කොයි කා එක්කත් හොඳට හිනාවෙලා කතාබහ කරනවා යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතා කීය. 

 
මේ සිද්ධිය වෙච්ච දවසේ උදේ රත්න සභාපතිගේ ගජ මිතුරන් දෙදෙනා වන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබාගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. මොවුන් දෙදෙනාගේ මොනවා හරි සම්බන්ධයක් මේ බෝම්බ පිපිරීමට තිබෙන බව පෙනී ගියා. ඉංජි​නේරුවරයා එක්ක සමීප ඇසුරක් තිබුණ ඒ පොලිස් පරීක්ෂකවරයාත් පොලිස් කොස්තාපල්වරයාත් අත්අඩංගුවට ගත්තා. 

 
පොලිසිය ඇතුළට බෝම්බ ගෙනැවිත් අටවා පොලිස් නිලධාරීන් සියයකට වඩා ඝාතනය කිරීමට ඉංජි​නේරුවරයා උත්සාහ කර තිබෙනවා. නමුත් කුමක් හෝ වාසනාවකට ඔහුට ඒ ඉලක්කය සපුරාගන්න බැරිව ගියා. අන්තිමේදී බෝම්බය ගෙනා ඉංජිනේරුවරයා ඒ බෝම්බය පිපිරී මිය ගියා. මේ ඉංජිනේරුවරයා යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි අයෙක්. පොලිසියේ කා එක්කත් හිනාවෙලා කතාබහ කරලා මිතුරු සම්බන්ධකම් පැවැත්වූ මේ ඉංජිනේරුවරයා අන්තිමේදී පොලිසියේ නිලධාරීන් බෝම්බ අටවා මරන්න හැදුවා. රත්න සභාපති කියන මේ ඉංජිනේරුවරයා ප්‍රබල කොටි නියෝජිතයෙක් බවත් ඔහු කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවත් පරීක්ෂණ වලින් පසුව හෙළිවුණා.   


වෙරළබඩ පොලිසියට බෝම්බ අටවන්න ආ දවසේ රෑ කොළඹ ප්‍රදේශයේ තවත් තැන් 07 ක විතර කොටි කාල බෝම්බ අටවා පුපුරුවා හැර තිබුණා. ඒ පිපිරවීම්වලින් තුන්දෙනෙක් මිය ගොස් තවත් 10 දෙනෙක් විතර බරපතළ තුවාල ලබා තිබුණා. අටවා තිබූ තවත් කාල බෝම්බ 03 ක් පුපුරා යන්න මොහොතකට කළින් සොයා ගැනීමට හැකිවූ නිසා සිදුවීමට ගිය මහත් විනාශයක් වළක්වා ගන්න පොලිසියට හැකිවුණේ එම බෝම්බ යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇවිත් නිශ්ක්‍රීය කළ නිසයි.   


කුරුඳුවත්තේ පිහිටා තිබූ ඇමති සිරිල් මැතිව් මහත්තයාගේ ගේ ඉස්සරහ අටවා තිබූ බෝම්බය පුපුරා යන දවසේ ඇමතිවරයා ගෙදර ඉඳලා නැහැ. ඇමතිවරයා ඒ වෙනකොට එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි වෙන්න ගිහින් සිටියා කියා පස්සේ අපට දැනගැනීමට ලැබුණා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මේ විදිහට කාල බෝම්බ 07 ක් එකම දවසේ එකම වෙලාවට වාගේ පුපුරුවා හැරියේ තිස්වසරක යුද ඉතිහාසයේ පළමු වරට බවද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි.   


තිස්හත් වසරකට ආසන්න කාලයක් පොලිස් සේවයේ නිරතවී සිටි සිසිර වීරකෝන් මහතා මේ වනවිට විශ්‍රාම ලබා මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ගොවිපොළක් පවත්වාගෙන යමින් විශ්‍රාමික දිවිය ගෙවමින් සිටී.   


වීරකෝන් මහතාගේ සේවා කාලයෙන් වැඩි කාලයක් මහනුවර අස්ගිරිය නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරි කර ඇත.   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය ද දරා ඇති දක්ෂ නිලධාරියෙකි.   
පොලිස් නිල සුනඛයන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔහුට හසළ දැනුමක් ඇත්තේය. 

 

 

 

 

 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   



අදහස් (0)

කොළඹ පුපුරවන්න ගෙනා බෝම්බ වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15628 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 508 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site