IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”

අකුරට යන්නට කම්මැළි හිතිලා
පිනි බිඳු මුතු මල්
තනි නොකරන්න මා
ස්වර්ණ ප්‍රදීපාය මාන
හස කැලුම් හෙළා
සයුරෙන් එතෙරට වැලිකතරේ ගිය අයියණ්ඩී
පොඩි කුමාරිහාමි
තොටියෝ
කඳුළින් නුවන්


ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි. ලාංකීය මුද්‍රාවට, ලාංකීය හැඩයට අනුව ගී ගැයූ ඇය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවන්නේ, ඒ ප්‍රවීණ ශිල්පිනිය ගැන ඔබ හොඳින් දන්නා නිසාය. ඇය, විශාරද ස්වර්ණලතා කවීශ්වරය. අද ඇය අපට ප්‍රසංග වේදිකාවේදී හමු නොවන්නේ, තරමක අසනීප තත්ත්වයෙන් පසුවන නිසාය. ඇය නැවතූ තැනින් ඇයගේ ආදරණීය ගීතයේ රිද්මය රැගෙන ඉදිරියට යන්නේ ඇයගේ එකම දියණිය වන ස්නේහා අංජානිය.

‘අම්මයි - දුවයි’ විශේෂාංගය අද හැඩගන්වන්නේ විශාරද ස්වර්ණලතා කවීශ්වරගේ ඒ ලස්සන සුදු දුව හෙවත් ‘ස්නේහා’ය.

● ස්නේහා අංජානි, වැඩියෙන් කැමැති කොහොම අමතනවාට ද?

“ඒ නම් දෙකටම ආසයි. හැමෝම වගේ කතා කරන්නෙ ස්නේහා කියලයි.”

● ස්නේහාගේ පවුලේ විස්තර?

“පවුලේ එකම දරුවා මම.”

● ඒ නිසා ද අම්මා ‘සුදු දුව’ කියලා ඔබව අමතන්නේ? “ඔව්.”

● ස්නේහා, ඉගෙන ගත්තේ?

“කොළඹ සිරිමාවෝ විද්‍යාලයෙන්.”

● මොන වගේ අරමුණක් ද තිබුණේ?

“සංගීත ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යාමට. ගෙදරින්ම ඒ පසුබිම හැදිලා තිබුණේ.”

● ස්නේහාගේ තාත්තා?

“තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළේ සංස්කාරක හා සම්බන්ධතා නිලධාරියකු ලෙසයි. තාත්තාගේ නම රෝලන්ඩ් ඩයස්.”

  • එදා අම්මාගේ වඩා ජනප්‍රිය වූ ගීත ගැන ස්නේහා කොහොම ද මතක දිග හරින්නේ?

අම්මා ගැයූ ගී අතරින් වඩාත්ම ජනප්‍රිය වූ ගීත අතර ‘අකුරට යන්නට’, ‘ස්වර්ණ ප්‍රදීපාය මාන’, ‘තනි නොකරන්න මා’, ‘තොටියෝ’ ඇතුළු ගීත බොහොමයක්ම තියෙනවා. ඊට අමතරව යුග ගීත ලෙස ගැයූ ගී අතරින් නිමල් ගුණසේකර අංකල් එක්ක ගැයූ ‘කඳුළින් නුවන්’, පුන්සිරි සොයිසා අංකල් එක්ක ගැයූ ‘බිඳුණු පෙමක’ ඇතුළු තවත් ගීත තියෙනවා.”

  • ස්නේහා සහ අම්මා අතර තියෙන බැඳීම මොන විදිහට ද දකින්නේ?

“ඒ බැඳීම ඇත්තෙන්ම වචනවලට හරවන්න බැරි තරමේ බැඳීමක්. මම ඇයගේ එකම දියණිය වීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මම ලැබූ භාග්‍යයක්.”

  • ඇය මොන විදිහේ මවක් කියලා ද හිතන්නේ?

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි.”

  • මොන වගේ හේතු නිසා ද එහෙම කියන්නේ?

“මට ජීවිතය ලැබුණේ ඇය නිසයි. මට සංගීතය නමැති අපූරු විෂයය හදාරන්න කියා දුන්නේ ඇයයි. පොඩි කාලයේ ඉඳලාම මම සංගීතය ඉගෙන ගත්තේ අම්මාගෙන්. අම්මා එක්ක ගීතයකුත් ගයන්න ලැබුණා. ඒ වගේම විශාරදවරියක් වීම දක්වා මට සංගීතය කියා දුන්නෙත් අම්මා.”

  • ඒ කියන්නේ ‘ස්නේහා’ සංගීත අංශයේ විශාරදවරියක්?

“ඔව්.”

  • සංගීතය හැර අම්මාගෙන් ජීවිතයට ඉගෙනගත් දේ ලෙස දකින්නේ?

“සමාජයේ ඉතා ගුණයහපත් විදිහට ජීවත් වෙන විදිහ ගැන සහ ගෞරවනීය විදිහට ජීවත්වන විදිහ ඇතුළු මුළු ජීවිතයම කියා දුන්නේ අම්මා. දඟ වැඩ කළාම තරවටු කළා නම්, එහෙම කළේ මට හොඳම ජීවිතයක් දෙන්නයි. මට එහෙම ලොකුවට තරවටු කරලා නැහැ. හැමදේම කියා දුන්නේ ආදරයෙන්. දවසක් මම අද ඉස්කෝලේ යන්න බැහැ කිව්වාම, එදා තරවටු කළ හැටි මතකයි. ඒවා නිතරම වුණේ නැහැ. මම අම්මාට කීකරු දියණියක්.”

  • ස්නේහා සහ අම්මා අතර සමාන අසමානකම් ගැන කතා කළොත්?

“මාත් සංගීත ක්ෂේත්‍රයේදී අම්මා වගේම හෙමින් ගමනක් යන කෙනෙක්. ඇත්තටම අම්මා කියන්නේ මට මගේ හොඳම යෙහෙළිය වගෙයි. ජීවිතයේ සෑම දෙයක් ගැනම මම අම්මාට කියලා තියෙනවා. අද වන විට මම විවාහකයි.”

  • ඉතින් ඒ ගැනත් කියමු?

“මම විවාහ වුණේ 2023 වසරේදී. මගේ සැමියාගේ නම සුරත් සංදීප. එයාගෙන් මගේ සංගීත ක්ෂේත්‍රයට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. අම්මාගෙන් පස්සේ මට ලොකු සහයෝගයක් ලැබෙන්නේ මගේ සැමියා සහ එයාගේ පවුලේ අයගෙන්.”

  • ඔබ මොන වගේ ක්ෂේත්‍රයක යනවාට ද අම්මාගේ කැමැත්ත තිබුණේ?

“සංගීත ක්ෂේත්‍රයේම තමයි.”

  • මේ දියණිය, ඒ මවගෙන් ගත්ත හොඳම දේ?

“ඇය වගේම මාත් වඩාත් නිරහංකාර චරිතයක්. ඇය වගේම හැමෝටම උදව් කරගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.”

  • ඒ අම්මාගේ ‘සුදු දුව’ වන ඔබ ගායන ක්ෂේත්‍රයට ආවේ කොයි කාලයේදී ද?

“2017 වර්ෂයේදී විතර. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පිනියක ලෙස සමත් වෙලා පළවැනි ගීතය එළිදැක්වුවා ‘සිහිනය මියැදුණු’ නමින්. ඒ ගීතය ලියුවේ සංජීව අල්විස්. සංගීතය කළේ දර්ශන වික්‍රමතුංග.” 

  • සංගීතය ගැන අම්මා විශේෂිතව කියා දුන් දේ මොනවා ද?

“අම්මලා ක්ෂේත්‍රයට ආ දිනවල ගීත ගයලා තියෙන්නේ, එහි තේරුම දැනගෙන වචන පරීක්ෂා කරගෙන, හොඳම ගීතය පාඩම් කරගෙන එහෙම කියලා අම්මා මට කියලා තියෙනවා. සංගීතය තනුව ගැන පවා හොඳට අධ්‍යයනය කරලා කරන්න කියලා තමයි අම්මා මට අදටත් කියන්නේ.” 

  • ස්නේහා සංගීතය උගන්වනවා ද?

“අම්මාගේ සංගීත පන්ති දැන් පවත්වාගෙන යන්නේ මම.”

  • ඔබගේ මවගේ පරපුර ගැන සඳහන් කළොත්? එයාලා කලාවට සම්බන්ධ පවුලක් ද?

“මම දන්නා තරමින් ප්‍රසිද්ධ, කරළියේ හිටපු අය නෙවෙයි. ඒත් හැකියාවන් තිබිලා තියෙනවා. මගේ අම්මා මුලින්ම ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ 70 දශකයේදී විතර, ගුවන්විදුලියේ සරල ගීත ගායන ශිල්පිනියක ලෙසයි. අම්මා කොළඹ අධ්‍යාපන කලාපයේ හිටපු සංගීත හා සංගීත විෂයය  බාර අධ්‍යක්ෂ ලෙස තමයි වෘත්තිය කළේ. විශ්‍රාම ගන්නා විට අම්මා දැරුවේ ඒ තනතුර.”

  • ස්නේහාට - ස්නේහාව දැනෙන විදිහ?

“බොහොම හෙමින් සංගීත ක්ෂේත්‍රයේ ගමනක් යන නිහතමානි චරිතයක් විදිහට.”

  • ඔබ අම්මාගේ ගීත ගයනවාට අම්මා කැමැති ද?

“බොහොම කැමැතියි. රූපවාහිනී වැඩසටහනකට ගියාම මම ගයන්නේම අම්මාගේ ගීත. අම්මා ඒවා ආසාවෙන් නරඹනවා.”

  • අම්මාගේ ගීත අතරින් ස්නේහා වඩා කැමැති?

“ඔක්කෝම ගීතවලට කැමැතියි. ඒ අතරින් වඩාත් කැමැති ‘තනි නොකරන්න මා කඳුළු සාගරේ කිසිදා’ ගීතයට.”

  • අම්මාගේ ගීත ගයන්න කියලා ප්‍රසංගවලටත් ඔබට ආරාධනා ලැබෙනවා ද? 

“ලැබෙනවා. ප්‍රසංගවලදී ඒ ප්‍රසංග සංවිධානය කරන අයම අම්මාගේ ගීත තෝරා දෙන අවස්ථා එහෙමත් තියෙනවා. අම්මාගේ ජනප්‍රිය වූ ගීත සියල්ලම වගේ ගයලා තියෙනවා. මම වෙනම කළ ගීත අතරින් ප්‍රේක්ෂකයන් අතර වඩා ජනප්‍රිය වුණේ, චන්දන ලියනාරච්චි මහතා සමඟ ගැයූ ‘අඳුරට කලියෙන්’ ගීතයයි. දැනට මේ වන විට මගේම ගීත 15ක් විතර කරලා තියෙනවා. ‘මල් පිපුණු වසන්තය’ ගීතයට, ‘හීන අරන් නුඹ ආවා’ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”


සඳුන් ගමගේ


 



අදහස් (0)

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1645 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site