කොරෝනා වසංගතය රට පුරා පමණක් නොව ලොව පුරාම පැතිර ගියේය. වසර සියයකට වරක් මෙවැනි වසංගත ​රෝගයක් පැතිරෙන බවට මතකයක් ප්‍රකාශ වී ඇත. ‘ජ්වර’ යනු උණ රෝගයයි. පිරිත් පොතේ ජ්වර පිරිතක් ද ඇත. එයින් කියැවෙන්නේ තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර ආදී අටවිසි බුදුවරුන් මාර පරාජය කොට පෙරුම්දම් පුරා බුදු බව ලැබීමේ අනුහසින් වැළඳී ඇති උණ රෝගය තුරන් කරන ලෙස කෙරෙන පැතුමකි. මෙය උණ රෝගීන්ට නූල් බැඳීමට කසාය මතුරා දීමට දිනකට තුන්වරක් සජ්ඣායනයට උචිත බැව් කියවේ. ‘‘තණ්හංකරො නාමජිනො...’’ යයි ඇරඹෙන පිරිත ‘‘පජ්ජරො තෙ විනස්සතු’’ යනුවෙන් අවසන් වෙයි. ‘‘පජ්ජ​​රො’’ යනු උණයි. එයින් ඔබේ උණ රෝගය විනාශවේවා යැයි කියවේ.  


හම්බන්තොට ගිරුවායේ මණ්ඩාඩුව ගමේ විසූ දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට මෙම ‘‘ජ්වර රෝගය’’ වැළඳී ඇත. එයින් දැඩි ලෙස පීඩා විඳින විට ඔහු තම දේපළ ත්‍යාග ඔප්පුවකින් තම දරුවන් සිව් දෙනාට පවරා ඇත. ඒ 1918 ඔක්තෝබර් 25 වැනි දිනය. දරුවන් සිව් දෙනා වන්නේ දොන් එලියස් අබයවික්‍රම, දෝන ගිමාරා අබයවික්‍රම, දොන් නිකුලස් අබයවික්‍රම හා දෝන කර්ලිනා අබේවික්‍රම යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනාය. පවරා දුන් ඉඩම් කැබලි ප්‍රමාණය 110 කි. වටිනාකම රු. 5000/- කි. ත්‍යාප ඔප්පුව පිටු 28 කින් යුක්තය. මුද්දර ගාස්තුව රු. 150/- කි. අලවා ඇත්තේ රුපියල් 10 වටිනාකමැති මුදු්දර 15 කි. ඔප්පුව ඉතා සංවේදී බසකින් ලියා ඇත. එහි ඇරඹුම මෙසේය.  


‘‘ශ්‍රී ලංකාද්වීපයේ දක්ෂිණ දිශාවේ හම්බන්තොට දිස්ත්‍රික්කේ බස්නාහිර ගිරුවාපත්තුවේ මණ්ඩාඩුව යන ග්‍රාමයෙහි නිවැසි මෙහි පහත තෑගි දීමනාකාරයායි ව්‍යවහාර කරනු ලබන දොන් කොරනේලිස් අබයවික්‍රම වන මම දැනට ලංකාද්වීපයේ ව්‍යාප්තව පවත්නා ජ්වර රෝගයෙන් ආබාධිත වූයෙම් රෝගයෙහි විද්‍යමාන දෘඪතර භාවය ද ජීවිතයාගේ අස්ථිර භාවය ද බුදු දම අනුව මෙනෙහි කරන්නා වූ දැනට ඉතා සිහි කල්පනාවෙන් යුක්ත වූ මට මාගේ ඉහලෝකය සම්බන්ධව විධි විධාන කොට තැබිය යුතු කර්තව්‍යයන් අතුරෙන් එක්ක වූ මා අයත් දේපළ පුත්‍ර දරුවන් කෙරේ සුදුසු ලෙස සංවිධාන කර තැබීම මැනවයි අන්‍යයන්ගේ වෙහෙසීමක් හෝ පරෝක්‍රමාදියක් නිසා නොව හුදු මාගේ අධ්‍යාසයටම හැඟී ගිය බැවින් මාගේ ප්‍රියාදර පුත්‍ර පෞත්‍රිකාවන් වූ මෙහි පහත සඳහන් තෑගි ලැබුම්කාරයෝ යයි ව්‍යවහාර කරනු ලබන යථොක්ත මණ්ඩාඩුව යන ග්‍රාමයෙහි නිවැසි දොන් එළියස් අබයවික්‍රම, දෝන ගිමාරා අබයවික්‍රම, දොන් නිකුලස් අබයවික්‍රම සහ දෝන කර්ලිනා අබයවික්‍රම යන සිව්දෙනා කෙරෙහි මා සිත තුළ පවත්නා ස්වාභාවික ආදර ප්‍රේමය ද අධික ස්නේහය සහ කරුණාව ද මාගේ චිත්තාභිරමණය වන වෙනත් නෛකවිධ සම්‍යක්කාරණාද ඔවුන් විසින් මට කරන ලද ආධාර සත්කාර ගරුකාර පීතෘපස්ථානාදියද කරණ කොටගෙන මෙහි පහත උපලේඛනයෙහි මොනවට විස්තර කරනු ලබන ලංකාවේ වලංගුවන මුදලෙන් රුපියල් පන්දහස (Rs. 5000.00) ක් අගනා දේපළ සහ ඊට කවරාකාරයෙකින් නමුදු ඇදී බැඳී ඇලී වෙළී පෑසී ඒ සම්බන්ධව පවත්නා සියලු දේත් සමග මෙම දීමනාව එකී තෑගි දීමනාකාර මා කැමති විටක අවලංගු කිරීමේ බලය තබාගෙන යථොක්ත මාගේ දරු සතර දෙනා වෙත චිත්තප්‍රීතියෙන් මෙයින් තෑගි කර අයිතිකර හිමිකර පවරා දුනිමි...’’  


මෙහි ඇති ‘‘රෝගයෙහි විද්‍යමාන දෘඪතර භාවය, ජීවිතයාගේ අස්ථිර භාවය ද බුදු දහම අනුව මෙනෙහි කරන්නාවූ’’ යන යෙදුම් අතිශය හැඟම්බරය. ‘‘ඉහලෝකය’’ යනු මේ භවයයි. සෑම පිටුවක් අවසානයේ දරු සිව්දෙනා අත්සන් කොට ඇත. මෙම ලියවිල්ලේ බස ඉතා ව්‍යක්තය. දරු ස්නේහය ගැන යළි යළිත් පවසයි. දරුවන්ගේ මව ගැනද පවසයි.  
‘‘තවද යථොක්ත තෑගි ලැබුම්කාරයන්ගෙන් දොන් එලියස් අබයවික්‍රම ද දෝන ගිමාරා අබයවික්‍රමද දැනට බාල්‍යාවස්ථාවෙහි සිටින දොන් නිකුලස් අබයවික්‍රම සහ දෝන කර්ලිනා අබයවික්‍රම යන දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ මෑණියන් වූ සෙනරත් කුරුගමගේ දෝන සිසිලියානා හාමිනේ ද යන අපි දරු ප්‍රේමය උපදවා කරණ ලද මෙම පරිත්‍යාගය යථොක්ත තෑගි දීමනා කාරයා වෙත ප්‍රචුර ගෞරවාදරස්තුත්‍යාශීර්වාදභිවාදනය කිරීමෙන් අත්‍යාගරයෙන් ප්‍රතිග්‍රහණය කළ බැව් මෙහි අත්සන් කිරීමෙන් ප්‍රකාශ කරම්හ... වර්ෂ එක්දහස් නවසිය දහඅටක් වූ ඔක්තෝබර් මස විසිහතර වැනි දින මණ්ඩාඩුවේදී අපේ අත්සන් තැබුවෙමු.’’  


සාක්ෂිකාරයන් ලෙස බුද්දියාගම පදිඤ්චි දොන් දියෝනිස් රාජපක්ෂ විවාහ රෙජිස්ට්‍රාර් රාලහාමි සහ ඉහළ බෙලිගල්ලේ පදිඤ්චි අමරසින් විදානපතිරණගේ දොන් සාමෙල් ද අත්සන් කොට ඇත. අවසානයේ ඔප්පුව ලියූ තැනැත්තාද අත්සන් කොට ඇත. ඔප්පුව ලියා ඇත්තේ සුප්‍රසිද්ධ අන්දරේගේ ඥාතියෙකු විසිනි. ඔහු බෙලිඅත්තේ පදිංචි අයෙකි.  
‘‘ශ්‍රී ලඬකාද්වීපයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්තේ පදිඤ්චි සද්ද විද්ද පළඟ පතිරන වික්‍රමසින්හ රාජපක්ෂ සේනානායක රන්පටබැඳි මුතුකුමාරන්නැහැලාගේ ඩයස් ධර්‍මදාස සේනානායක මුතුකුමාරණ ප්‍රසිද්ධ නොතාරිස් වන මම...’’  


එහෙත් මේ සා දීර්ඝ ඔප්පුවකින් ලියූ ඔහුට ඔප්පු ගාස්තු එදින ගෙවා නැත. කෙසේ වුවද රෝගයේ උත්සන්න බව හා දෘඪතර බව නිසා කොරනේලිස් අබේවික්‍රම රෝගියා දින කිහිපයකින් මියගොස් ඇත. මෙය සැළ වූ පසු නොතාරිස් රෝගියාගේ බිරිඳට ලිපියක් එවා ඇත.  


‘‘අප විසින් ඔප්පුව ලියනු ලැබූ ලෙඩාගේ මරණය අසා කනගාටු වීමු. අපට දැන්වූවා නම් භූමදාන දිහා එන්නෙමු...’’ ඔප්පු ගාස්තු ඉක්මණින් ගෙවන ලෙසත් මුදල් හදිසි බවත් එය විශාල බූදලයක් බවත් වැඩිදුරටත් එහි දන්වා ඇත. එම ලිපිය එවා ඇත්තේ 1918 නොවැම්බර් 2 දිනය. ඒ අනුව රෝගියා ඔප්පුව ලියා සතියක්වත් ජීවත් වී නැත.  
දරු ස්නේහයෙන් පිරුණු මෙම පියා තම දරුවන් ජීවිත රක්ෂණය කොට ඇත. ඉන් එක් දරුවකුගේ එනම් දෝන ගිමාරා අබේවික්‍රම දියණිය වෙනුවෙන් කළ රක්ෂණ සහතිකයක්ද හමුවී ඇත. ඒ සිංගප්පූරුවේ ‘‘ද ග්‍රේට් ඊස්ටන් ලයිෆ්’’ සමාගමේය. ඒ 1912 අගෝස්තු 13 දිනදීය.  


මණ්ඩාඩුව වීරකැටිය කොටබෝ හන්දිය පසුබිම් කොට පිහිටි ගමකි. හ/මණ්ඩාඩුව මහ විදුහල කොටබෝ හන්දිය අසලම පිහිටා ඇත. එය වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයටත් වඩා පැරණි විදුහලකි.  


(මෙම ​සේයා පිටපත් හා තොරතුරු අපට ලබා දෙන ලද්දේ මරණකරුගේ මුණුබුරෙකු වන නාමල් අබේවික්‍රම මහතා විසිනි.)  

 

 

අක්මීමන දිනිල් ඩී. ලියනගේ