IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සතුන් වෙනුවෙන් කැපවෙන රජරට පවුල


‘‘නයින්ට කිරි පොවන්න යන්න එපා.’’ ‘‘නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා’’ ‘‘විෂඝෝර නාගයා දැක නොහරු මෝඩයා’’ යන කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒ කියමන් පසෙකලා මේ සත්ව කොට්ඨාසයත්  එක්ක ගනුදෙනු කරන අපූරු පුද්ගලයෙක් අපට හමුවුණා.

‘‘Snakes Guardian’’  නම් U Tube නාළිකාවක්ද ආරම්භ කරමින් මේ සතුන් වෙනුවෙන් ආරක්ෂාව සපයන ඔහු සමාජ ධජ දේශබන්දු නම් ගෞරව නාමයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ඒ ඔහු කරන සේවයට සමාජීය ඇගයීමක් ලෙසින්. නමින් සම්පත් තුෂාර චන්ද්‍රසිරි වන ඔහු සමඟිනුයි මේ කතා බහ. 

  • සම්පත් මුලින්ම කියමුද ඔබ මේ සතුන් සමඟ ගනුදෙනු කිරීමේ ආරම්භය කොතැනද කියලා?

පුංචිම කාලෙ ඉඳන් මම සතුන්ට දැඩිව ආදරය කරන කෙනෙක්. ඒ සතුන් කව්ද කියන දේ වර්ගීකරණය කරලා නැහැ. කොහේ ගියත් සතෙක්, සරපයෙක් දැක්කම ඒ සතා ගමනාන්තය දක්වාම මම යන දිහා බලාගෙන ඉන්නවා. ඒවගේ පුදුම විදියේ පිස්සුවක් මට තිබුණෙ. විශේෂයෙන්ම රෝගී වුණු සතුන්ට සාත්තු කරලා ඉන් මුදවා ගැනීමේ දේවල් පුංචි කාලෙ ඉඳන්ම සිදු කළා. ඒ තුළින් මම මාරම තෘප්තියක් ලැබුවා. නමුත් සර්පයො අල්ලන්න ආසන්නම හේතුව වුණේ නම්  මගේම අයියාගේ ක්‍රියා කලාපයක් තමයි.

සම්පත් සිය බිරිඳ සහ දරුවන් සමඟින්



  • ඉතින් ඒ හේතුව අපිටත් කියමු?

මීට වසර කිහිපයකට ඉහතදී මම පාසල අවසන් වෙලා ගෙදරට එද්දී ඒ එක දවසක අපේ ගේ ඇතුළෙ නාගයෙක් හිටියා. මම කොහොම හරි හිමින් දොර ඇරලා කොස්ස අරගෙන ඒ සතාව ටිකින් ටික එළියට දැම්මා. කොහොම හරි ඉතින් සතා ගේ ඇතුළෙන් එළියට ඇදිලා ගියා. ඒ විදියට වත්තෙ කෙළවර දක්වා ඇදිලා යද්දි කොහේ හෝ ඉඳලා අපේ අයියා ඒ තැනට ආවා. 

ඒ ආපු ගමන් තඩි පොල්ලක් අරගෙන සතාට ගැහුවා. ඇත්තටම ඒ මොහොතෙ මට අයියාව වළක්වගන්න බැරිවුණා. උත්සාහ කළත් හරි ගියෙ නැහැ. ඉතින් පොල්ලෙන් ගහලා ඉවරවෙලා ඒ සතාව උඩට ගද්දි හැමතැනම ලේ විසිරුණා. ඒ ලේ මගේ ඇඟටත් ඉහිරුණා. ඉතින් මට එතැනදි ඒ දැනුණු වේදනාව කියන්න බැරි තරම්. ඒ තරමට සංවේගයක් දැනුණෙ එදා ඉඳන් තමයි මම සර්පයන්ට දැඩිව ඇලුම් කරන්න පටන් ගත්තෙ. එතකොට මම 8 ශ්‍රේණියෙ වගේ තමයි ඉගෙන ගත්තෙ. ඉතින් එදා මේ සිදුවීම වුණු දවසේ ඉදලා මම මේ සතුන් ගැන අධ්‍යනය කළා. ඔවුන් නිරීක්ෂණය කළා. සත්තු අල්ලන්න උනන්දු වුණා.


මම
මේවෙනවිට සර්පයින් 20000  කට වඩාත් ක්ශීර පායී සතුන් 10000 පමණ මුදාගෙන තියෙනවා


  •  එතකොට සම්පත්ගේ ජීවිතේ උඩු යටිකුරු වුණේ ඉහත සඳහන් කළ සිදුවීම?

 ඇත්තටම ඔව්. මම දැන් මේ සතුන් ඇල්ලීමේ කටයුත්ත ආරම්භ කරලා. අවුරුදු 25ක් පමණ වෙනවා.  ගොඩක් දෙනෙක්ට හිතන්න පුළුවන් මම මේ විදියට සර්පයො අල්ලන්නෙ පරම්පරාවෙන් එන ආභාසයකින් කියලාත්. ඇත්තටම නැහැ. මට මේ සම්බන්ධව ඉගෙන ගන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ. පුහුණුවීමක් තිබුණෙ නැහැ. පොත්පත් පරිශීලනයෙන්, ගූගල් හරහා වගේ තමයි මම මේ සතුන් සම්බන්ධව දැනුම එකතු කරගත්තෙ. එහෙම තමයි මේ සියලුම දේ වැඩිදියුණු කරගත්තෙ.

  • එතකොට ඔබේ වෘත්තිය?

මුලින්ම කියන්න ඕනෑ මම  සාමාන්‍ය පෙළ සමත්වෙලා අනුරාධපුර හරිස්චන්ද්‍ර විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පසු උසස් පෙළ සමත්ව 2004 වසරේ රජරට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ තුළ මම ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය හදාරලා 2010 දී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණා. 

ඉතින් මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලෙදීම විනෝදාංශයක් විදියට ඡායාරූපකරණය කළා. ඒ කාලේ තමයි ඩිජිටල්කරණය මුලින්ම ආවෙ. ඉතින් මම ඒ කාලෙම ඩිජිටල් කැමරාවක් අරගෙන ඡායාරූප ගැනීම ආරම්භ කළා. ඒක ටිකින් ටික දියුණු කරගෙන විශ්වවිද්‍යාල ජීවිතේ අවසානයත් එක්ක පොඩිවට ස්ටුඩියෝ එකක් ආරම්භ කළා. ඒ අංශයේ වැඩ කරගෙන ඉද්දී තමයි මගේ විවාහය සිදුවුණේ. ඇය දීපා කුමාරි අවුරුදු 38යි. ඇය යුද හමුදාවෙ සේවය කළේ. අවුරුදු 15ක් එහි සේවය කරලා දැන් විශ්‍රාම ගිහින් ඉන්නෙ. 

ඉතින් අපට දැන් දරුවො තිදෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක් සහ එක් දියණියක්. ඒ තිදෙනාම තවම පොඩියි. පාසල් යනවා. ඉතින් දරුවො පොඩි කාලේ බිරිඳ යුද හමුදාවෙ සේවය කරපු නිසා මට රැකියාවක අවශ්‍යතාවය තිබුණෙ නැහැ. මම කළේ දරුවොත් බලාගෙන ගෙදර කටයුතු කරගෙන ඉන්න එක තමයි. ඒ කාලය තුළදී තමයි මම නැවතත් සතුන් වෙනුවෙන් කාලය ගත කරන්නත් ඉඩක් වෙන් කළේ. බිරිඳ විශ්‍රාම ගියායින් පසුව දැන් අපි පවුල පිටින්ම මේ සත්තු වෙනුවෙන් කටයුතු කරනවා. 

  • සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙද්දි සතුන් කොයිතරම් සංඛ්‍යාවක් මුදාගෙන ඇත්ද?

සත්තු අතින් ගත්තොත් සර්පයො තමයි ගොඩක් මිනිසුන්ගේ තාඩන, පීඩනවලට ලක්වෙන්නෙ. ඒ සතුන්ට ඔවුන්ගේ තියෙන භය සහ හිරිකිත බව තමයි ඒ පීඩනවලට ලක්වෙන්න තිබෙන මූලිකම හේතුව. ඇත්තටම මම මුදාගත් සර්පයො සංඛ්‍යාත්මකව ගණනය කිරීමක් කරලා නම් නැහැ. නමුත් මම හිතන විදියට නාගයෝ විතරක්  5000ක් වගේත් අනෙක් සර්පයන් 10,000වඩා වැඩියි. එතකොට වෙනත් ක්ෂීරපායි සතුන් එක්ක බැලුවොත් සතුන් 30,000 පමණ මුදාගෙන ඇති. ඒ වගේම මම ඇමතුම් හරහාත් සතුන්ව බේරන ක්‍රමවේදයන් තියෙනවා. එය ලංකාව පුරාම දැන් ජාලයක් බවට පත්වෙලා තියෙනවා.

  • කොයි තරම් දුර බැහැර යනවද සතුන්ට උදව් කරන්න?

මගෙ පදිංචිය අනුරාධපුර රාජාංගනය ඉතින් ඒ අවට සාමාන්‍යයෙන් කිලෝ මීටර් 30, 40, 50 වගේ  ප්‍රමාණයක් තුළ සතුන් බේරගන්න ප්‍රතිකාර කරන්න යනවා. සමහර විට විශාල විදියෙ ගැටලුවක් ඇතිවෙලා තිබුණොත් ඊට එහා දුරටත් යන අවස්ථා තියෙනවා. 

අවස්ථාව අනුව තමයි ඒවා සිද්වෙන්නෙ. කෙනෙක්ට මේ දේවල් හාස්‍යයට කාරණයක් වෙන්න පුළුවන්.  නමුත් මට මේ දේවල්වලින් මනසට ලොකු සහනයක් දැනෙනවා. ඒ නිසා මට කාගෙවත් කතා වැඩක්  නැහැ. මම කරන දෙයින් මටත් තව කෙනෙක්ටත් යහපතක් වෙනවනම්. 


  • ඔබට ආර්ථික විද්‍යා උපාධියකුත් තියාගෙන ඇයි මේවගේ කටයුත්තක නිරතවෙන්න හිතුවෙ?

මම ඉහතින් සඳහන් කළා වගේම මම සතුන්ට දැඩිව ආදරය කරන කෙනෙක්. ඒ නිසාම මම නිර්මාංශිකයි. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනෑ. මගේ දරුවන්ටත් මම මේ වන තෙක්  හාල්මැස්සෙක්, බිත්තරයක් ආහාරයට දීලා නැහැ. මම හුරුවෙලා තියෙන විදියට ඒ අභ්‍යාසය දරුවන්ටත් ප්‍රායෝගිකව දෙන්න ඕනෑ කියලා කල්පනා කරලා තමයි එහෙම කළේ. වෛද්‍යවරු කියනවා පෝෂණ ඌනතාව ගැන එහෙම නමුත් ඒවාට වෙනත් ආහාර ආදේශ කරගෙන අවශ්‍ය පෝෂණය දරුවන්ට ලබාදෙනවා. මොකද මේ මහපොළොවෙ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. 

ඔවුන් ස්වභාවධර්මයේ පැවත්ම ඒ නිසා සතුන්ට හිංසා නොකර හුස්ම ගන්න ඉඩක් දෙන්න ඕනෑ. ඒ දේට කාරුණික හදවතක් තියෙන්නත් ඕනෑ. ඒකයි ඇත්තටම මගේ පවුලම නිර්මාංශික වුණේ.  

  • ඔබ ගෙවල්වලට ගිහින් මුදාගෙන එන ඒ සර්පයන්ට රැකවරණය සපයන්නෙ කොහොමද?

ගෙවල්වලට ගිහින් ඒ අල්ලන සතුන් තියාගන්න මගේ නිවසේ කූඩු කිහිපයක් හදාගෙන තියෙනවා. ඒ දේවල් විහිදුණු පරාසයක කෙරෙනවා. එතැන වයෝවෘධ සතුන් සහ ලෙඩවලට ගොදුරුව සිටින සතුන් ඉන්නවා. 

ඒ සතුන්ට සමහර වෙලාවට කැබලි ආහාර ගන්න බැහැ. ඒ වෙලාවට බට ආධාරයෙන් මුඛය තුළට බටයක් ඇතුළත් කර ඒ තුළින් ආහාර ලබාදෙන්නෙ. ඒ වගේම සිරින්ජර ආධාරයෙන් සිදුවෙනවා. එතකොට නිරෝගීව සිටින සතුන් මාසයකට වතාවක් සෑමපොහොය දිනකම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදාහරිනවා. ඒ වෙනුවෙන්  වනජීවී අධ්‍යක්ෂතුමා අවසර ලබාදීලා තියෙන්නේ. ඉතින් ගිය මාසෙ පොහොය දවසෙත් ඒ විදියට එකතු කරගත්තු සර්පයන් විල්පත්තුවට මුදාහැරියා. දැන් ලබන සතියේ පොහොය දිනයටත් මුදාහරින්න සතුන් කිහිප දෙනෙක් එකතුවෙලා ඉන්නවා. මම ඒ විදියට ඉවත් කරන්නෙ ගෙවල්වලට සහ ගේ ආසන්නයට එන මිනිස්සු ජීවත්වෙන සීමාව තුළ සිටින අනතුරුදායක සතුන් විතරයි. 

ඔවුන් නැවත විධිමත්ව පරිසරයට මුදාහරින්න ඕනෑ නිසා තමයි විල්පත්තුව වගේ තැනක් ඒ වෙනුවෙන් තෝරගත්තෙ. මුල් කාලෙදි නම් මම ඒ සතුන් රක්ෂිත පෙදෙසට දැම්මා. නමුත් ඒ තුළින් ප්‍රායෝගිකව ගැටලු මතුවුණා. ඒ සිදුවීම සමහර දෙනෙක්ට තර්ජනයක් වුණා. ඒ නිසා තමයි මම විල්පත්තුවෙන් අවසරයක් ලබාගත්තෙ. 

  • ඔබ ඒ වැඩ කටයුත්ත කරන්න පෝය දවසම තෝරගත්තෙ ඇයි?

මම ඉහතින් සඳහන් කළා වගේ ඒ සතුන් මම එකතු කරගෙන මාසයක් පුරා ගෙදර තියාගෙන කන්න බොන්න දීලා බලාගෙන තමයි ඔවුන් මුදාහරින කටයුත්ත කරන්නෙ. අපි බෞද්ධයො විදියට පෝය දවසටම ඒ දේ කරන්න හිතුවෙ අපි බේරගත්ත මේ සතුන්ට නැවත ජීවිතය දෙනවා කියන ආකල්පයෙන් නැවතත් ඔවුන්ව කැලයට මුදාහැරීම නිසා. මගේ හිතවත් අයියා කෙනෙක් එක්ක තමයි එදාට මේ ගමන යන්නෙ. 

මාසයක් පුරාවට ඒ සතුන්ට කවලා පොවලා තියගන්න ශක්තිමත් ආර්ථිකයක් තියෙන්නත් ඕනෑ නෙ. ඔබ කොහොමද ඒ අභියෝගයට මුහුණ දෙන්නෙ.

ඇත්තටම මුල් කාලෙ නම් ඒක අභියෝගයක් වුණා.  මගේ ළඟ එකතු කරගෙන ඉන්නෙ සර්පයන් විතරක්ම නෙමෙයි විවිධ වර්ගයේ සතුන් ඉන්නවා. ඒ සතුන්ට කන්න දෙන්න ඕනෑ මාංශනෙ. ඒ වගේම කිරි, බිත්තර වගේ දේවල් අවශ්‍යයි. ඉතින්  මගේ ‘‘Snakes Guardian’’ U Tube නාළිකාව ආරම්භයෙන් පසුව ඒ හරහා මට ආදායමක් ලැබෙනවා. ඒ ලැබෙන ආදායම මගේ ප්‍රයෝජනයට සහ සතුන්ගේ අවශ්‍යතාවලටත් යොදා ගන්නවා. ඊට අමතරව මට උදව් කරන පිරිසක් ඉන්නවා. දෙස්, විදෙස් වශයෙන් උදව් ලැබෙනවා මේ වෙද්දි. ඒ නිසා සතුන් බලාගැනීම දැන් අභියෝගයක් නෙමෙයි. ඒ වගේම ඒ එකතුවෙන මුදල්වලින් අපේ ගව සම්පත රැක ගන්නත් කටයුතු කරනවා. ඒ මරණයට ගෙනියන කිරි ගවයින් බේරගෙන ඒ සතුන් ආර්ථික තත්ත්වයෙන් අපහසු පවුල්වලට ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ඔවුන්ව නොමිලයේ ලබාදෙන්න. ඒ ගිවිසුමකට යටත්ව. ඒ සියලුම දේ එක්ක සමාජ සේවා කටයුතුත් මේ වෙද්දි කරගෙන යනවා. විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන් 

  • ඔබ අවුරුදු 25ක් තිස්සේ සතුන් වෙනුවෙන් මේ කටයුත්ත කරගෙන ගියා කිව්වනෙ. ඒ කාලය තුළ ඔබට අනතුරුවලට මුහුණපාන්න සිදුවෙලා නැද්ද?

එවැනි අවස්ථා දෙකක් තියෙනවා. නාගයෙක් සහ තිත් පෙළඟෙක්ගෙ දෂ්ඨනයන් සිදුවුණා. ඒ අවස්ථා දෙකේදීම ප්‍රතිකාර සඳහා යොමුවුණා. නමුත් විෂවීමක් වැඩි වශයෙන් සිදුවුණේ නැහැ.

  • ඒ අනතුරු සමඟ ගෙදරින් විරෝධතා එහෙම ආවෙ නැද්ද මේ වැඩකටයුතුවලට?

දෂ්ටනය වුණු මුල්ම වතාවෙ බිරිඳගෙන් දැඩි විරෝධයක් ආවා. නමුත් මම මේ සම්බන්ධව ඇයට කරුණු පැහැදිලි කරලා දුන්නම ඇයගෙනුත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙද්දි නම් ඉතින් බිරිඳගෙනුත් දරුවන්ගෙනුත් ලැබෙන විශාල සහයෝගයක් එක්ක පවුල පිටින්ම තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නෙ.

  • සම්පත්ව කෙනෙක්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කොහොමද ඒක සිද්ධ කරගන්න පුළුවන්?

මගේ දුරකථන අංකය (0711838312) ඒ වගේම whatsappඅංකය (0764150566) කතා කරන්න පුළුවන් අවශ්‍ය දෙයක් තියෙනවනම් දැනගන්න පැය 24ම මේ අංකයන් විවෘතව තියෙනවා. ඒ වගේම ‘‘Snakes Guardian’’ නමින් මගේ U Tube නාලිකාවක්, Page එක හරහාත් Face book හරහාත් විස්තර ලබාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 






ධනූ විජේරත්න


 



අදහස් (0)

සතුන් වෙනුවෙන් කැපවෙන රජරට පවුල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site