ගීයක පදරුත

මුනී නන්දන සිරිපාද වඳිම්
සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සන්තොසිනේ ඉන් පිටත් වෙලා
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි
ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා
මහ - මළුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණාලා
‘සමනල කන්ද තරම් වටිනා වෙනත් කන්දක් සිංහල බෞද්ධයාට නෑ. බුදු හාමුදුරුවන් නිසා පූජනීය බවට පත්වූ සොළොස්මස්ථාන අතුරින් උසම තැන පිහිටි සිද්ධස්ථානය සමනල කඳු මුදුනේ පිහිටි ශ්‍රී පාදස්ථානයයි. එය පිහිටියේ මුහුදු මට්ටමෙන් අඩි 7360ක් උසින්. සමනල කන්ද ලංකාවේ කඳු අතරින් තුන්වැනි උසම කන්ද.
පාලි භාෂාවෙන් ‘පද ලඤ්ජනං’ කියාත් සිංහලෙන් ‘පදලස’ කියාත් හැඳින්වෙන මේ සිරි පතුල, සමනල කන්දේ පිහිටුවා වදාළේ ගෞතම බුදු හාමුදුරුවො. සමනල කඳු නඟින වැඩි දෙනා බෞද්ධයො. මුනි සිරිපා වඳින්නට සමනල කඳු නැගීමේ සිරිත ඈත අතීතයේ පටන්ම සිංහල බෞද්ධයන් අතර පවතින සිරිතක්. සිංහල රජවරු පවා සිරිපා වඳින්ට ආවා’ මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ කියති.
හංස සන්දේශය, තුන් සරණ, සද්ධර්මරත්නාවලිය, සැලළිහිණි සන්දේශය, මහාවංසය, පූජාවලිය සාහිත්‍ය කෘතිවලද ශ්‍රීපාදස්ථානය ගැන තොරතුරු සඳහන් වෙයි.
ග්‍රැමෆෝන් යුගයේ සිට ශ්‍රී පදස්ථානය ගැන ෙග්ය පද රචකයන් ගීත රචනයට පිවිස ඇත. ඒ ගීත අතර සිළුමිණක් සේ සැලකෙන යූ.ඩී. පෙරේරා ගේ ගේය පද සහිත මේ ගීතය ‘මුනී නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ’ ය. මෙහි විශේෂත්වය නම් ගීත රචකයා ජීවිතේටම සිරිපාදේ ගොස් නැති බවය. මේ පිළිබඳ තොරතුරු අපට කීවේ. යූ.ඩී. පෙරේරා මාස්ටර්ගේ දියණිය චම්පා පෙරේරා දිසානායක ය.
‘තාත්තා උපත ලැබුවේ බණ්ඩාරගම වීදාගම 1902 පෙබරවාරි 02 වෙනිදා. තාත්තාගේ සම්පූර්ණ නම උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා. ඉගෙන ගත්තේ පානදුරේ මානමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලේ. ඉගෙනීමෙන් පස්සේ තාත්තා රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සේවය කළා. අන්තිමට ඉගැන්වූයේ මොරටුව කල්දෙමුල්ලේ ගොනාකෝවිල ශ්‍රී අත්ථදස්සි විද්‍යාලයේ. තාත්තා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳිලා තියෙන්නේ වැඩිහිටි වියේදී.
යූ.ඩී. පෙරේරා මාස්ටර් නමින් ප්‍රකට ඔහු ගීත රචනයට පිවිස ඇත්තේ 1939 වසරේ කොලොම්බියා ග්‍රැමෆෝන් ගීත සඳහාය. ඔහු ලියූ මුල්ම ගීතය ‘කරුණා මූදේ නාමු ගිලීලා’ ගැයුවේ මොහිදින් බෙග් හා කේ.කේ. රාජලක්ෂ්මී ය. ඉන්පසු ඔහු ලියූ ගීත අතර ‘‘කෝප වෙන්නේ අැයි පෙම්බර ස්වාමි’’ (කේ.කේ. රාජලක්ෂ්මී) ‘‘දීපේ මගේ සාක්‍යසිංහ’’ (එච්.ඩබ්ලිව්. රූපසිංහ), ‘‘සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ’’ (අහමඩ් මොහිදීන්), ‘‘දුල් සල් වනේ ලකල්’’ (අසෝකා දේවි හා ස්ටැන්ලි මල්ලවාරච්චි) ‘‘මහා බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා’’ (ජොහර්ෂා), ‘‘නාමෙ නොදිරනා කුණු කය දිරනා’’ (ඒ.ඇම්.යූ. රාජ්), ‘‘රාජ සඟබෝ හිස දී දුගියාට’’ (අහමඩ් මොහොදින්) කැපී පෙනෙයි.
යූ.ඩී. පෙරේරා මාස්ටර් ලියූ ‘මුනී නන්දන සිරි පාද වඳිම්’ ගීතය අප අතීතයට ගෙන යන, සිරිපා යන ජනයා තුළ උපදින කරුණා මෛත්‍රී හා භක්තිප්‍රසාද රසයෙන් අප හද කුමුදු පුබුදු කරන බව මහාචාර්ය සුචරිත ගම්ලතුන් කියා තිබුණි.
ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ පිරිස ගැයූ මේ ගීතය කොෙලාම්බියා තැටි අංක GE 15082 යටතේ නිකුත් වී ඇති බවත් මුල් ගායනයෙහි ශ්‍රැතිය C Minor තාලය/ බෙම්ටෝ 6/8 බවත් එහි රාගය භෛරවි බවත්, තාලය දාදරා (මධ්‍යලය) බවත් මහාචාර්ය අාරියරත්න සඳහන් කර ඇත.
යූ.ඩී. මාස්ටර්ගේ දියණිය කියන්නේ මේ ගීතය ග්‍රේටා ජෙනට් ද සිල්වා ගයන විට ස්ටැන්ලි මල්ලවාරච්චි හා වසන්තා සන්දනායක අත්වැල් ගායනයෙන් සහාය වූ බවය. සංගීතය මෙහෙයවීමෙන් මොහොමඩ් ගවුස් මාස්ටර් දායක වූ බවත් තම පියා කියා ඇති බවය.
‘තාත්තා සිරිපාදේ නොගියට එහි ගිය නෑයන්, මිතුරන්ගෙන් බොහෝ තොරතුරු අසා ඒ ඇසුරින් චිත්ත රූප මවාගෙන ඒ ගීතය ලියූ බවය. තාත්තාගේ හොඳම මිතුරා වූයේ ඒ කාලයේ විශිෂ්ට ලේඛකයකු, දක්ෂ පරිවර්තකයකු ව සිටි කේ.බී. සුගතදාස මහතාය.
අපේ ගෙදර සර්පිනාවක් තිබුණා. ඇතැම් හවස් කාලවල තාත්තා සර්පිනාව වාදනය කොට, සුගතදාස මාමා එක්ක ගීත ගායනා කරනවා. හුඟාක් ගැයුවේ රූපසිංහ මාස්ටර්ගේ ගීත. තාත්තා පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය කළා. විශේෂයෙන්ම ඔය ගීතය ලියද්දී ‘සැළලිහිණි සන්දේශය’ කිහිප වතාවක්ම කියෙව්වා. කියලා අම්මා කියලා තිබුණා. පසු කාලෙක තාත්තා බලපු ‘කව් සිළුමිණ’ පොතේ ඇතැම් කවි යටින් පැන්සලෙන් සටහන් වගයක් ලියලා තිබුණා.
අපේ පවුලෙන් තාත්තයි මමයි විතරයි ශ්‍රීපාදේ නොගියේ. අම්මයි අනිත් අයයි ගියා. ඒත් මම තාත්තා ලියූ ගීතයෙන් මනසින් ශ්‍රීපාදය වැන්දා. තාත්තා වගේම අැහැළ කණුව ළඟ නැවතිලා, අහස් ගව්ව පසු කළා. ‘සාධු’ කිව්වා. ලීණි හෙලේ අම්බලමේ නැවතී සිට විඩා සංසිඳවා ගත්තා. ධර්මරාජ ගලේ නැග්ගා. තුන් සරණේ කිව්වා. සීත ගඟුලෙ නෑවා. පඬුරු දැම්මා. ඇඟට සීතල දැනුණා. හැරමිටි පානේ නැවතිලා හිටියා. සිරි පතුල වැන්දා. සමන් දෙවියන්ට පින් දුන්නා’
දියණිය එසේ කියන විට අපට හිතුණේ යූ.ඩී. මාස්ටර් කොපමණ වාරයක් ඒ අවස්ථා, සිද්ධි සිනමා සිත්තමක් ලෙස දකින්න ඇද්ද කියාය.
‘තාත්තා ලියපු ගීත අතරින් කැමති ගීතයත් ‘මුනී නන්දන’ ගීතය. තාත්තා ලොකු ආඩම්බරයකින් හිතුවතුන්ට කිව්වේ. ‘මම සිරිපාදය නැගලා නැතිව වුණාට අපූරු ගීතයක් ලිව්වා’ කියලා. ඒ විතරක් නොවෙයි. මේ ගීතය ඇතුළත් කොලොම්බියා තැටිය ඒ කාලේ ලක්ෂයක් විතර අලෙවි වුණා ලු. ග්‍රැමෆෝන් තිබූ හැම බෞද්ධ ගෙයකම, පිංකම් පොළකම මේ ගීතය ඇසුණා කියලා වැඩිහිටියෝ කියනවා පුංචි කාලේ අපි අහල තිබුණා. එසේ පැවසුවේ යූ.ඩී. මාස්ටර්ගේ පුත්‍ර ප්‍රසව හා නාරිදේහ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා කීවේය.
යූ.ඩී. මාස්ටර් හා බිරිඳ සෝමාට, ලක්ෂ්මි, රාජා, චම්පා හා හේමන්ත නමින් දරුවන් හතර දෙනෙක් වූහ. 1976 දෙසැම්බර් 02 වෙනිදා යූ.ඩී. මාස්ටර් ජීවිතයෙන් සමුගත්තේය. තම පියා ‘මුනී නන්දන’ ගීතයට වගේම සෝමා නම් අපේ මෑණියන් වෙනුවෙන් රචනා කළ ’ රුවින් සුරම් ගුණෙන් උතුම් සෝමා දේවි ඒ ප්‍රේම ශ්‍ර්‍රියාවී’ ගීතයට කැමති බව චම්පා දියණිය කීවා ය.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
303
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී පාදයට නොගොස් ලියූ ගීතයක් අමරණීය වෙයි