IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මම භාරගත්ත චරිතයක් මගින් දාලා යන්නෙ නැහැ - ඉෂංකා අබේසේකර


මේ  දිනවල විකාශය කෙරෙන,  ''කියාදෙන්න ආදරේ තරම්'' ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක හදවත් ආමන්ත්‍රණය කළ,  ආකර්ෂණය කරගත්, "සමන්දිනි" ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු වන්නේ  නැහැ. ඉෂංකා අබේසේකර කියන්නේ,   රුවත්- රංගන කුසලතාවත්  නිසාම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්  ශිල්පිනියක්. බොහෝ දෙනෙක්, ඇගේ දකුණු ඉන්දියානු හැඩරුවට බොහෝ සෙයින් ආදරය කරනවා. අද අපේ  කතා බහ වෙන්වෙන්නේ ඇය  වෙනුවෙන්. 

  • මේ දවස්වල මොනවද අලුත් වැඩ?

මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ විතරයි වැඩ කරන්නේ.ඊට අමතරව සංඛ දිනෙත් අයියාගේ වීඩියෝ එකක් එන්න තියෙනවා. වෙ​ෙළඳ දැන්වීම් කීපයක්ම කළා.ඵ්වාත් ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි. වසර අවසානයේ ඇරඹීමට නියමිත සිනමාපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර වැඩ කටයුතු කරගෙන යනවා.

  • ඉෂංකාගේ ජිවිතේ හැරවුම්ලක්ෂය වෙන්නේ චන්ද්‍රපානි විඩියෝවේ ගීත රූප රචනයයි. එතැනින් ආරම්භ වුණ ගමන ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කළේ චන්ද්‍රපානි ගීත රචනාව. තාමත් වෙෙළඳ දැන්වීම්වලට, මියුසික් වීඩියෝවලට, මට ආරාධනා ලැබෙන්නේ චන්ද්‍රපානි නිසා. ගොඩක් විඩියෝවලට මගෙන් ඉල්ලන්නේ, චන්ද්‍රපානිගේ පෙනුම. චන්ද්‍රපානි තමයි මගේ කලා ජීවිතේට වාසනාව ගෙනාවේ. ජාති භේදයක් නැතුව, අදටත් ඒ ගීතයට ආදරය කරන පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍ය තුළ මම මොන විදිහට පෙනී හිටියත්, රසිකයින් මාව දකින්න කැමති චන්ද්‍රපානි කියන චරිතය තුළින්.  චන්ද්‍රපානි කළාට පස්සේ, දුලීකා මාරපනගේ ඉන්ටර්නැෂනල් 2 සාගරිකා කියන චරිතය රඟපාන්න ලැබුණා. නිර්ලෝභීව මට ඒ අවස්ථාව දුන්නාට දුලීකා මහත්මියට මම ස්තූති කරනවා. එය තමයි මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම.  කොහොම නමුත්, බොහෝදෙනෙක් මාව හඳුනාගත්තේ, කියාදෙන්න  ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනි ගෙන්.

  • ‘කියාදෙන්න ආදරේ තරම්’ හි ජනප්‍රිය කරවූ බොහෝ චරිත අද   එම චරිතවලට සමුදීලා තියෙනවා.  දැන් සමන්දිනිත් වැඩිය පේන්න නැත්තේ චරිතයට සමුදෙන්න ළඟද?

ඇත්තම කියනවනම්, චරිතයේ අවසානය නෙමෙයි කතාවේ අවසානය - එන්න එන්න ළංවෙමින් තියෙනවා.  ඉක්මනට ඉවර වේවි කියලා හිතෙනවා. කතාව ඇතුළේ රංගන දායකත්වය ලබාදෙන එකේ අඩු වැඩි තැන් තියෙන්න පුළුවන්. සමන්දිනිගේ චරිතය පිටපතේ ලියැවෙන විදිහට තමයි අපි රංගනය ලබාදෙන්නේ. කොහොම වුණත්, මම භාරගත්ත චරිතයක් මගින් දාලා යන කෙනෙක් නෙමෙයි . ප්‍රශ්න එන්න පුළුවන් - ඒ ප්‍රශ්න පවුලක් විදිහට සලකගෙන, විඳ දරාගෙන, කතාවේ අවසානය වෙනතෙක් රැඳිලා ඉන්න තමයි බලාපොරොත්තුව. සමන්දිනි නම් කියාදෙන්න ආදරේ තරම් අවසාන වෙනතුරු දාලා යන්නේ නැහැ.

  • මාතලේ වගේ සම්ප්‍රදායික පවුලක හැදුණු වැඩුණු ඉෂංකාට, රංගන ක්ෂේත්‍රයට එද්දී ගෙදරින්  ලැබුණ ප්‍රතිචාරය කොහොමද?

ඇත්තටම මම හැදී වැඩෙන්නේ සාම්ප්‍රධායික පවුලක. කලාවට එද්දි ඒක සෑහෙන්න බලපෑවා.   තාමත් මාත් එක්ක කතා නොකරන නෑදෑයින් ඉන්නවා. මොකද එයාලා තාමත් විශ්වාස කරනවා එයාලගේ පවුලට නිළියක් අවශ්‍ය නැහැ කියන එක. ඒ වගේ ගැටලු මට අදටත් තියෙනවා. නමුත් මම තනි තීරණ ගන්න බිය නැති කෙනෙක්. මම කාටවත් ඕන විදිහට තීරණ වෙනස් කරන්නේ නැති කෙනෙක්. මම ගැමි  පවුල් සංස්කෘතියක් තුළ  හැදුණත්,  වෙනස් ම විදිහට හිතන කෙනෙක්. කෙළින් තීරණ ගන්න ගුණාංගය මට ඇවිත් තියෙන්නේ මගේ තාත්තාගෙන් කියලා විශ්වාස කරනවා. මම මේ ක්ෂේත්‍රයට එද්දි වෙනත් ගොඩාක් ලොකු බලපෑම් එහෙමත්  ආවා. ඒ හැම දේකටම මම තනියම  මූණ දීලා , මේක මගේ දෛවය විදිහට භාරගත්තා.

  • ඇත්තටම ඔය දකුණු ඉන්දියානු හැඩරුව ඇවිත් තියෙන්නේ අම්මාගෙන්ද තාත්තාගෙන් ද?

මගේ තාත්තා හරිම ලස්සනයි. මම විශ්වාස කරනවා මට ඒ ලස්සන ආවේ මගේ තාත්තිගෙන් කියලා. මගේ අම්මාගේ ඇස් දෙක මට පිහිටලා තියෙනවා. සමේ පාට නම් මට ඇවිත් තියෙන්නේ තාත්තාගෙන්. ඇත්තම කියනවනම් මම මගේ තාත්තා වගේමයි. මට ගොඩක් නිර්මාණ ලැබෙන්නත්, මගේ රූපය බලපාලා තියෙනවා. මම කොහොමත් විලාසිතා කරද්දි  ඉන්දියානු දමිළ සංස්කෘතික විලාසිතාවන්ට වැඩි බරක් තියනවා. මම ආසම විලාසිතාව තමයි, සාරිය සහ සල්වාර් එක. ඇත්තටම දමිළ පෙනුමක් මට ලැබිලා තියෙන්නේ සසරේ පිනකට කියලා මම අද විශ්වාස කරනවා.

  • මොකද්ද දකුණු ඉන්දියානු නළු ප්‍රභුදේවාත් එක්ක තියෙන ගනුදෙනුව?

ඒක මට ජිවිතේ ලැබුණ ලොකු අවස්ථාවක්. විශේෂයෙන් මගේ පෙනුමත් එක්ක මට ලැබුණ සුවි⁣ශේෂී අවස්ථාවක් ඒක. ඉදිරි දවසක ඒ ගැන කියන්නම්කෝ.... මම දැන් ඒ වෙනුවෙන්ම දමිළ භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා.

  • නිළියක් වෙන එක පුංචිකාලේ ඉඳලා පෙරැම්පුරාගෙන ආපූ හීනයක් ද?

තාත්ති ටිකක් සැර නිසා ඒක හීනයක් ද කියන්න මට තේරෙන්නේ නෑ. මම පුංචිකාලේ ඉඳලා හැදෙන්නෙ වැඩෙන්නේ, ආච්චිත් ,  අම්මාගේ නංගි - පුංචි අම්මාත් එක්ක. මගේ පුංචි ගොඩක් හින්දි ෆිල්ම්ස් බලනවා. මාත් ඉතින් ඒවා තමයි බැලුවෙ. ඒ නිසා යටි හිතේ පුංචි ආසාවක් තියෙන්න ඇති.

මට අවුරුදු එකහමාරක් වයසෙදි, මගේ අම්මා  විදේශගත වෙනවා. තාත්තා, ආච්චි, පුංචි, මාමලා එක්ක තමයි - මමයි මල්ලියි හැදුණේ. අම්මා නිතරම ලංකාවට ඇවිත් ගියත්, මගේ ළඟ රැඳෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආච්චිගේ සහ තාත්තාගේ ආදරේ මට නොඅඩුවම ලැබුණා. මගේ ජීවිතේ -  ඉර, හඳ, මුළු ලෝකයම මගේ තාත්තා. අම්මා නැති අඩුව මට දැනෙන්න දුන්නෙම නැහැ. මගේ ආච්චි ගැන කියනවම්, ඇය මට ලේ කිරි කරලා දුන්නේ නැති එක විතරයි. තාත්තා මලක් වගේ හැදුවේ ගලක් වගේ කෙල්ලෙක්ව. දුක කියන දේ මට ජීවිතේ කවදාවත් දැනිලා නෑ.හේතුව මගේ අම්මා. මගේ අම්මා, මටයි- මල්ලිටයි සැපසම්පත් දෙන්න, එයා විඳපු දුක මම දන්නවා. අද මං ඉන්න තැන ගැන අම්මා ආච්චි ගොඩක් සතුටු වෙනවා.

  • ආදරේ විශ්වාස කරනව ද? 

ආදරේ විශ්වාස කරනවා. හැබැයි, මම මේ මොහොතේ කාගේවත් ආදරවන්තියක් නෙමෙයි. මම හිතන්නේ නැහැ, මම නුදුරු දිනයකදී කාගේ හෝ ආදරවන්තියක් වේවි කියලා. මම අවුරුදු ගානක් තනියම ජිවත් වෙන්න පුරුදු වුණ කෙනෙක්. මගේ ජීවිතේ අහිමි වීම්, වලදි මම දුක් වුණාට, ඒ දේවල් නැති වෙලා තියෙන්නේ- මගේ වාසනාවට කියලා මට අද හැඟෙනවා. මම  කෙනෙකුට ආදරේ කළොත්,  එයාගෙනුත් ආදරේ ගොඩක් අපේක්ෂා කරන කෙනෙක්.  කළින් ආදරය කරලා ඒ විශ්වාසය පලුදු වුණ නිසා ලොකුවට කෙනෙක්ව විශ්වාස කරන්න මම දැන් හරි බයයි.  මම ආයේ වතාවක් ආදරය කළොත්, විශ්වාස කරනවා - එය මගේ අවසන් ආදරය තමයි කියලා. 

  • ඔබ ධර්මයට ගොඩක් ළැදියි...

පොඩි කාලේ ඉඳලාම මම ආච්චි අම්මා එක්ක හැදුණ කෙනෙක් නිසා, හැම පෝයටම සිල් ගන්න පෙලඹුණා. ආගමත් එක්ක මම ළඟින් බැඳිලා ඉන්නවා. ආගමික නැඹුරුවක් තිබුණා කියලා, මම පුද්ගලික ජිවිතේ  එක්ක ආගම කොයි වෙලාවකවත් පටලව ගන්නේ නැහැ. මගේ ජිවිතේ හැළහැප්පිම් වෙනකොට, නොසැලී ජිවිතේට මුහුණ දෙන්න ශක්තිය  ලැබුණේ  ම ධර්මයත් එක්කම හිටපු කෙනෙක් නිසා. නමුත් මම හැම දේම ධර්මයට හෝ කර්මයට භාරදෙන්නේත් නැහැ. මම හරි බැලන්ස් එකේ ජිවිතේ ගෙනියන කෙනෙක්. 

  • ඔබව වැඩිපුරම විශ්වාස කරන කෙනා කවුද?

මාව වැඩිපුරම තේරුම් ගත්ත කෙනා තමයි මම.මම මට ගොඩාක් ආදරෙයි. මම මාව ගොඩක් විශ්වාස කරනවා. මම මාව හොඳට තේරුම් අරන් ඉන්නවා. 

 


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

මම භාරගත්ත චරිතයක් මගින් දාලා යන්නෙ නැහැ - ඉෂංකා අබේසේකර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site