IMG-LOGO

මට මාව බලන්න ඕනෑ වුණේ රිදී තිරයෙන් - නිසල හෙට්ටිආරච්චි


තාරුණ්‍යයේ සිත් වශී කරවන කඩවසම් පෙනුමත්, ඊටම ආවේණික මනා හඬ පෞරුෂයකිනුත් සමන්විත ඔහු - නමින්, නිසල නිපුන් රසාංජන හෙට්ටිආරච්චි යි. පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය සොරා ගත් ඔහු නුදුරේදීම තිරගත වීමට නියමිත රෝස ආදරේ සිනමා නිර්මාණය ඔස්සේ රිදී තිරය වර්ණවත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටී. මේ ඔහු සමග කළ කතාබහයි.

  •  කවුද මේ නිසල හෙට්ටිආරච්චි?

ලොකු නළුවෙක් වෙන්න පොඩි කාලේ ඉඳන්ම ආසාවෙන් හිටපු, ඒකට උත්සාහ කරපු, ජීවිතේ හීන වෙනුවෙන් අවසානේ වෙනකල්ම වැඩ කරන, කෙනෙක්. 

  •  මුලින්ම ප්‍රධාන චරිතයකට පණ පොවද්දි මොකද හිතුණෙ?

නළුවෙක් වෙන්න හරි අමාරුයිනෙ. කලාතුරකින් හම්බෙන අවස්ථාවක් තමයි රංගන ශිල්පියෙක් වෙනවා කියන්නේ. සමහර වෙලාවට අපි කොච්චර උත්සහ කළත් අපිට ඒක හම්බ වෙන්නෙ නැහැ. ඒ වගේම ප්‍රධාන චරිතයක් කියන්නේ රංගනයට පා තබන කෙනෙක්ගෙ ලොකු ජයග්‍රහණයක්. ඒ අවස්ථාවට මට ආරාධනා කරද්දි මට මාර සතුටක් දැනුණෙ. ලොක්කිගෙ කතාවේ කල්ප වෙද්දි, ඒ වෙලාවෙ මම තීරණය කළා මේකෙන් උපරිම වැඩ පෙන්නනවා කියලා. ඉතින් මගේ ජීවිතේ කල්පත් හරි නිසලත් හරි, දෙන්නම මගේ වගේ තමයි.

  •  නිසල රංගනයට යොමු වෙන්නෙ?

රංගනය කියන දේ මට කරන්න පුළුවන් කියලා හොයා ගත්තෙ මගේ පාසලෙන්. ඒ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. මම තුන වසරෙ ඉද්දි රූපවාහිනී නාලිකාවක පොඩි ළමයි වෙනුවෙන් තිබුණු රියැලිටි තරගෙකට යන්න පහන තියා බුදු සාධුට ගීතය ප්‍රැක්ටිස් කළා, පොඩි ඇක්ට් එකක් එක්ක. ඔහොම ඉද්දි දවසක් පාසලේ රැස්වීමක කාටහරි ළමයෙක්ට ඇවිත් තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න පුළුවන් කිව්වම, මම දුවලා ගිහින් බෑග් එකෙන් රබාන අරන් ඇවිත් අර ඇක්ට් එක හැමෝටම පේන්න කළා. ඒක දැකලා අපේ පාසලට ආපු අලුත් ඩ්‍රාමා මිස් මගේ පංති භාර මිස්ට කියලා තිබ්බා - නිසල පුතාව ඩ්‍රාමා ක්ලාස් එකට එවන්න කියලා. තර්ස්ටන් විද්‍යාලෙ කලා උළෙලට පොඩි ළමයි කරන ප්‍රසංගයක් තියෙනවා නිර්මාණි කියලා. ඒකෙත් ඉන්නෙ හය, හත, අට වසරෙ අයියලා. ඒ වුණත් මාව තුන වසරෙන්ම එක්ක ගිහින් සිරා කියලා චණ්ඩියෙක්ගෙ චරිතයක් කරන්න දුන්නා. ඒක හොඳට කරපු නිසා එදා ඉඳන් පාසලෙන් අයින් වෙනකල්ම නිර්මාණි ප්‍රසංග කලා උළෙලවල හැම ඩ්‍රාමා එකක්ම කළේ අපි. එහෙම තමයි මගේ ඇතුළෙ නළුවෙක් ඉන්නවා කියලා හොයන් රංගනයට සම්බන්ධ වුණේ.

  •  මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද දැන් ලැබෙන්නෙ?

මට මගේ ජීවිතේ වැදගත්ම දේ තමයි මගේ පවුලට පස්සෙ මගෙ ප්‍රේක්ෂකයො. එයාලත් මගේ පවුල වගේ තමයි. ප්‍රේක්ෂකයන් ලොක්කිගෙ කතාව හරිම ආදරෙන් වැළඳ ගත්තා සහ මටම ආදරණීයන් පිරිසක් හම්බවුණා. හැබැයි ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන් අහන දෙයක් තමයි ඇයි ටෙලි නාට්‍ය කරන් නැත්තෙ, අපිට බලන්න ටෙලි නාට්‍යයක් නැද්ද වගේ දේවල්. ඇත්තටම මට පොඩි කාලේ ඉඳන්ම දැඩි ආසාවක් තිබ්බෙ සිනමාවට. චිත්‍රපටි නළුවෙක් වෙන්න ඕනෙ කියලා හිතේ ලොකු අධිෂ්ඨානයක් තිබ්බා. මොකද මට මාව බලන්න ඕනෙ වුණේ ලොකුවට. චිත්‍රපටි තිරයෙ, සෑහෙන විශාල තිරයක මට මාව බලන්න එදා ඉඳන්ම ආසාවක් තිබ්බා. ඒක හැබෑවෙලා කියලා හිතෙද්දිත් මට සමහර වෙලාවට කොනිත්තගෙන බලන්න හිතෙනවා, නිදාගෙනද ඉන්නෙ කියලත්. විශ්වාසයක් තිබ්බා, ඒත් මේ තරම් ඉක්මණින් එය සැබෑවීම අදහගන්න බැහැ.

  •  නිසල වැඩිපුරම ආදරේ රිදී තිරයට කිව්වනෙ. ඉතින් පළමු සිනමා අත්දැකීම ගැන කතා කරමුද?

ටෙලි නාට්‍යයක් හම්බ වුණා වගේ දස ගුණයක සතුටක් තමයි චිත්‍රපටියට සුදුසුකම් ලබා ගත්තා කිව්වම දැනුණෙ. ලොක්කිගෙ කතාව ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුර ඩාන්ස් එකක් කරද්දී තමයි අධ්‍යක්ෂකතුමා කිව්වෙ නිසල මගේ ඊළඟ ෆිල්ම් වැඩේට මම ඔයාව තෝර ගත්තා, අපි ලොක්කිගෙ කතාව ඉවර වුණ ගමන් ඒක පටන් ගමු කියලා. මම අධිෂ්ඨාන කර ගත්තු දෙයක් තමයි මගේ පළවෙනි ප්‍රධාන චරිතෙ කරන නාට්‍යයෙන් පස්සෙ මම චිත්‍රපටියක් කරනවා කියන එක. ඒ අධිෂ්ඨානය සාර්ථක වෙද්දි ඒක මගේ ජීවිතේ ලොකු පිම්මක් වගේ දැනුණා. චිත්‍රපටි කැමරාව ඉදිරියේ ගිහින් පළවෙනි පාරට අත්දැකීමක් ගද්දි ඒක ආස හිතෙන ආදරණීය අත්දැකීමක් වුණා. ඒකෙන් මට චිත්‍රපටිවලට තියෙන ආසාව තවත් වැඩි වුණා.

  •  ඔබ දමිළ සිනමාවටත් පියවරක් තැබුවා නේද?

ඔව්. ඒ චිත්‍රපටයෙ නම රාස්. ලංකාවේ යාපනේ සහ ඉන්දියාවේ ජීවත් වෙන දමිළ අධ්‍යක්ෂකවරයෙක් විසින් තමයි සිනමා පටය නිර්මාණය කරන්නෙ. දකුණු ඉන්දියානු කේරළයේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් කීපදෙනෙක්ම එයට රංගනයෙන් දායක වෙනවා. ඒකෙ ප්‍රධාන චරිතෙ විදිහට මට රඟපාන්න හම්බුන එක මට ලැබුණු භාග්‍යයක්.

ඒක වුණේ කොරෝනා කාලෙ මෙහෙ එයාලගෙ ෆිල්ම් ප්‍රඩක්ෂන් එකක ඔන්ලයින් සෙෂන්ස් වගයක් තිබිලා මම ඊට සහභාගි වුණා. ඒ වෙලාවෙ තමයි අධ්‍යක්ෂකතුමා ලංකාවට ආපු වෙලාවක නිෂ්පාදකතුමා එක්ක මාව හම්බෙන්න ආවෙ. ඒ වෙලාවෙ ඉන්දියාවේ ප්‍රධාන නළුවෙක් වුණ ශ්‍රීකාන්ත් ඇවිත් හිටියා. එයාගෙ යෝජනාවක් තමයි නිසලව දාලා ෆිල්ම් එක කරමු කියන එක. එයාට මොකක් හිතිලා එහෙම කිව්වද දන්නෙ නැහැ. හැබැයි එතන හිටපු අධ්‍යක්ෂකතුමා මට කිව්වා ශ්‍රීකාන්ත් කියපු නිසා තමයි මම ඔයාව ගන්න තීරණය කළේ කියලා. එහෙම තමයි රාස් චිත්‍රපටිය මට හම්බවෙන්නෙ. ඒකෙ තව ඉන්දියාවේ කරන්න තියෙන රූගත කිරීම් ටිකක් තියෙනවා.

  •  රෝස ආදරේ චිත්‍රපටය ගැන කතා කළොත්, එහි රූගත කිරීම් අතරතුර වුණ අමතක නොවන සිදුවීම් නැද්ද ?

ඒකෙ අමතක නොවන සිදුවීම් තුන හතරක් ම වුණා. රෝස ආදරේ චිත්‍රපටියෙ අධික දුක, සතුට, ආදරේ දරාගන්න බැරුව නින්ද ගිහින් වැටෙන කොල්ලෙක්ගෙ චරිතයක් තමයි කරන්න තිබ්බෙ.  ඒ වැටෙන කිහිප අවස්ථාවකදීම මගෙ ඔළුව වැදුණා. අදටත් ඒ සමහර තැන් රිදෙනවා. ඒක හරිම අමුතු චරිතයක් නිසා මට කවදාවත් අමතක වෙන් නැහැ සහ විශේෂයෙන්ම රෝස ආදරේ සිප ගැනීමේ දර්ශනය. මගේ පළවෙනි චිත්‍රපටියෙම එහෙම සිප ගැනීමේ දර්ශනයක් සිදු කරන්න හම්බවුණ එක අලුත් අත්දැකීමක්. ඒ වෙලාවෙ දක්ෂ රංගන ශිල්පිනියක් වුණ දිනක්ෂි ප්‍රියසාද් ඇත්තටම මට ලොකු සහයෝගයක් දුන්නා. එයා මට දැනෙන්න දුන් නැහැ මම එයාගෙ ඇත්ත පෙම්වතා නෙවෙයි කියලා. ඒ නිසා තමයි ඒක හොඳට කරගන්න පුළුවන් වුණේ.

  •  නිසලගේ හීනෙ මොකක්ද ?

මම හැම තිස්සෙම කියන දෙයක් තමයි ලොකුවට හිතන්න ඕනෙ කියන එක. මොකද පොඩි මිනිස්සු තමයි ලෝකෙ ගොඩක් ලොකු දේවල් කළේ. මම ඇත්තටම ලොකු පවුලකින් ඉපදුණු මනුස්සයෙක් නෙවෙයි. කොල්ලුපිටියෙ මධ්‍ය පාන්තික පවුල් පරිසරයක හැදුණු වැඩුණු කොල්ලෙක්. ඉතින් මම හිතන්නෙ මට ඕනෙ ලොකුම දේ මගේ ලංකාවේ සිංහල භාෂාවෙන් ලෝකයක් ආදරය කරන සිනමාවක් නිර්මාණය කරන්න සහ ඒකෙ වැඩි කොටසකට මට දායක වෙන්න ආසයි.

  •  රංගනයට අමතරව නිසල දක්ෂ මොනවටද ?

රංගනයට අමතරව කරාතෙ ක්‍රීඩාවට දක්ෂයි. 2011 ඉඳන් වසර පහක් මම එක දිගට ලංකාවේ සමස්ත ලංකා මට්ටමින් මගේ වයසෙ මගේ ඉවෙන්ට් එකේ ශූරයා වුණා. ඊට අමතරව ජාතික කරාතෙ කණ්ඩායම නියෝජනය කරමින් දකුණු ආසියානු කරාතෙ ශූරතාවලියටත් , ආසියානු කරාතෙ ශූරතාවලියටත් ගියා. ආසියානු කරාතෙ ශූරතාවලියෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම 2017 දි ලෝක කරාතෙ ශූරතාවලියටත් සම්බන්ධ වුණා. ඊට අමතරව විනෝදාංශයක් විදිහට මම ආසයි - මියුසික්වලට. මේ වෙනකොටත් ඒ වගේ ගීත නිර්මාණ කීපයක් කරලා තියෙනවා.

  •  තිරය ඉදිරියේ ඔබ ආදරවන්තයෙක්. සැබෑ ජීවිතයෙත් ඔබ  ආදරවන්තයෙක්ද?

මම ගොඩක් ආදරේ කරලා තියෙනවා. හැබැයි මේ අවස්ථාවේදී නම්  නැහැ. මම හිතන්නෙ මගේ හීන පස්සෙ දුවන ගමනේ මගේ ආදරේ කියන එක මඟ ඇරිලා. කවදහරි බලාපොරොත්තු වෙනවා මගේ හීන පස්සෙ, මගෙත් එක්කම ඉන්න, මට ගොඩක් හයිය වෙන කෙනෙක්ව හම්බවුණොත් ආදරේ කරන්න.


  කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

මට මාව බලන්න ඕනෑ වුණේ රිදී තිරයෙන් - නිසල හෙට්ටිආරච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site