මිනිසුන් මිය ගියවිට ඔවුන්ගේ ගුණ සුවඳ වඩාත් පැතිරෙයි. ජීවත්ව සිටියදී අගයක් නැතිව සිටින ඔවුන්ට මියගිය විට බුහුමන් ලැබෙයි. කොවිඩ් ආසාදනය වීම නිසා අකාලයේ වෙන්ව ගිය මංගල සමරවීරත්, සුනිල් පෙරේරාත් ඊට උදාහරණය.   


මියගිය පසු අප දක්වන මේ ආදරය ඔවුනට ජීවත්ව සිටිදා දක්වන්නට අපට බැරි වුණේ ඇයි?   
දුම්මලසූරිය ප්‍රදේශයේ සුනිල් ධර්මසේන සංගිතවේදියා විසින් එකල සැණකෙළියක් (කානිවල්) සංවිධානය කළේය. ඒ සඳහා සෑම රාත්‍රියකම ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ සහභාගී වූහ.   
දින ගණනාවක් පුරා පැවැත්වුණු එම සැණකෙළිය දිව්වේ පාඩුවටය. බලාපොරොත්තු වූ ජනතාව එයට රැස් වුණේ නැත.   


එය අවසන් වන්නට දින තුනකට පෙර ගී ගයන්නට පැමිණියේ එච්.ආර්. ජෝතිපාල හා එම්.එස්. ප්‍රනාන්දුය.   
සෙනඟ නැති සැණකෙළිය දුටු ජෝති හා එම්.එස්. ඔවුන්ගේ මුදල් ගත්තේද නැත. පාන්දර කොළඹ ගිය ජෝති හා එම්.එස්. ඒ බව කීවේ සුනිල් පෙරේරාටය. 

 
“අපේ මිත්‍රයා අමාරුවේ වැටිල ඉන්නෙ” ඔවුහු සුනිල් පෙරේරාට කීහ. සුනිල් උදෙන්ම සුනිල් ධර්මසේනට ටෙලිපෝන් කළේය. උඹ අමාරුවෙ වැටිල කියල ජෝතියි එම්එසුයි කිව්වා. උඹළඟ මෙරිගෝ රවුම් එකක් තියෙනව නේද? ඒකෙ බෑන්ඩ් එකක් තියෙනව නම් කුරුමිට්ටොත් ඉන්නව නම් දිගටම ගහපන් අන්තිම දවසට ජිප්සීස් එක්ක කුරුමිට්ටෝ එනව කියලා. සුනිල් කීවේ එපමණකි. වැඩේ ඒ විධියටම සිදුවිය. කානිවල් එක අවසාන දිනයේ කුරුමිට්ටෝ සමග ජීප්සීස් ආවෝය. සෙනඟ පිරුණේ කොහොමදැයි කිවහොත් සැණකෙළිය වටකර තිබූ තහඩු පවා කඩා බිඳ වැටිණ. ජිප්සීස් සුනිල් නිසා සුනිල් ධර්මසේන ගොඩ ගියේය. ඒ සඳහා සතයක්වත් සුනිල් පෙරේරා අය කළේ නැත.   


ජෝතිපාල එම්.එස්. ලා මෙන්ම සුනිල් පෙරේරාද මොන තරම් උණුවෙන හදවත් ඇති කලාකරුවන්දැයි කියන්නට මේ සිදුවීම ප්‍රමාණවත්ය. එහෙත් සුනිල් කට කාරයෙකි. ඔහුගේ වචන ඊතල මෙන්ය. ඔහුගේ නීතිරීතිද දරදඬුය. ඔහු ජිප්සීස් සංගීත ප්‍රසංග සඳහා අය කළේ ඉහළම මුදලකි. ජිප්සීස් ප්‍රසංගයක් පැවැත්වෙන විට ඔහු ඒ පළාතේ කිට්ටු තැන්වලම ඔවුන්ගේ ප්‍රසංග පැවැත්වූවේ නැත. ඒ ඉහළ මිලක් අයකරන තම ප්‍රසංගයට ඉහළම ප්‍රේක්ෂක ජනතාවක් ගෙන්වා ගැනීමටය.   


එහෙත් මේ ප්‍රතිපත්තිය ඔහු කඩ කළේ තම හිතවතා බේරා ගැනීමටය. දුම්මලසූරිය කානිවල් එකට ඔහු ආවේ මාදම්පේ ප්‍රසංගයක් බාර ගෙන සිටියදීය.   


සුනිල් සමඟ ගීත රචනා කිරීමද අපූරු බව වරක් මට පැවසුවේ ප්‍රකට ගීත රචකයෙකි. සුනිල් ඇතැම් විට තම ගීතය සඳහා ගීත රචකයාගෙන් ගත්තේ එක පේළියක් පමණක් විය හැකිය. එකම ගීතයට ඇතැම් විට ගීත රචකයන් කීප දෙනෙකුගේ නම් ඇත්තේ ඒ නිසාය. එහෙත් ගිත රචකයාට මුළු ගාස්තුවම ගෙවයි.   
චන්ද්‍රදාස ප්‍රනාන්දු කියා තිබුණේ ඔහු සුනිල්ට ලියපු ගීතවලට මාස්පතා මුදල් එවූ බවය. අසනීපව රෝහලේ සිටියද ඔහුගේ මුදල බැංකුවට දමා තිබූ බව ඔහු පවසා තිබුණේ සුනිල් සනීප වී ගෙදර පැමිණි විටය.   
අභාවප්‍රාප්ත වූ සුප්‍රකට නිවේදකයකු හා ගීත රචකයකුගේ තොරතුරු ලබා ගන්නට අප මාධ්‍යවේදියකු වරක් පානදුරේ පිහිටි ඔහුගේ නිවසට ගියේය. ඒ වන විට එම ගීත රචකයා මියගොස් වසර ගණනාවක් ගෙවී ගොස් තිබිණ.   


ගෙදරින් දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. මේ ඉඩම අරගෙන මේ ගේ හදල දුන්නේ සුනිල් පෙරේරා මහත්තයා. හැබැයි කාටවත් කියන්න එපා කීවා. තාත්ත ඉන්නකම් අපේ ෂෝස්වල එනවුන්ස් කළා. සිංදු ලිව්වා. අපි ඒවායින් හම්බ කළා. ඒත් මට සලකන්න බැරිවුණා” සුනිල් කියා ඇත්තේ එසේය. සුනිල් පෙරේරාගේ මෙවැනි ගුණ යහපත් කම් ගැන පොතක් ලියන්නට තරම් තොරතුරු කලාකරුවන් ළඟ ඇත. සුනිල් පෙරේරා තරම් අද ගරු බුහුමන් ලබන වෙනත් කලාකරුවකු නැති තරම්ය. බොහෝ දෙනා ඔහුගේ මරණය ගැන අතිශයෙන් ශෝකවෙති. එහෙත් ජිප්සීස් තරම් බැනුම් ඇසූ සංගීත කණ්ඩායමක් එකල තිබුනේදැයි සැක තිබෙන තරම්ය.   


ඔවුන් බැනුම් ඇසුවේ මාධ්‍ය මගින් පමණක් නොවේ. හැත්තෑ ගණන්වලදී දේශපාලන වේදිකාවලද ඔවුහු ඇති තරම් බැනුම් ඇසූහ.   


ජිප්සීස් යනු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට කලාවට වින කටින්නට පැමිණි සංගීත කණ්ඩායමක් ලෙස හැඳින්විණි. වරක් එක් වේදිකාවකදී සුප්‍රකට ලේඛකයකු ජිප්සීස් විවේචනය කරනු මා අසාගෙනය. ජිප්සීස් කියන්නේ කාටද? ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රැක ගැනීමට හැක්කේ මේ අයගෙන්ද? මේ වගේ තුප්පහි ගීත ගයන සංගීත කාරයන්ටද? අද කලාවේ ඉදිරියෙන් ඉන්නේ හෙන්රි ජයසේනලා වගේ අය නෙමෙයි. මේ වගේ  ගායකයෝ. ඒ ජිප්සීස්ලා “දුන්නේ කිස් එකයි නෙ” ආ කාලයේය. 

 
සුනිල්ට ප්‍රබුද්ධ ගොඩේ එදා තැනක් තිබුණේ නැත. ප්‍රබුද්ධයෝ වෙනම ගමනක් ගියහ. සුනිල් ඒ පිළිබඳව සැළුනේ නැත. එක් අවස්ථාවකදී ප්‍රේමසිරි කේමදාසයන් අප කාර්යාලයට පැමිණි විටකදී ජිප්සීස්ලාගේ ගීතයක් පිළිබඳව බැණ වැදුණේය.   


ඒ ජීප්සීස්ලා මත්කුඩුවලට විරුද්ධව නිර්මාණය කරන ලද කෙටි වෙළෙඳ ගීත නිර්මාණයක් (ජිංගල්) පිළිබඳවය.   
“කොළඹ හතේ කණ්ඩායමක් තරුණයන්ට කුඩු ගහන්න එපා කියලා ජිංගල් එකක් කරලා තියෙනවා. මම ඒක ඇහුවා. එතකොට මටත් කුඩු ගහන්න හිතුණා. කුඩු ගහන්න එපා කියලා කියන නිර්මාණයකින් කුඩුගහන්න හිතෙනවනම් මොකක්ද ඒකේ තේරුම” යනුවෙන් කේමදාස මාස්ටර් හතර අතටම බැට දුන්නේය. එය කදිම වේගවත් අදහස් දැක්වීමක් විය.   


එහෙත් ඒ සියල්ල එලෙසින්ම ලීවද ජිප්සීස් කණ්ඩායමේ නම එක්තරා කොළඹ හතේ කණ්ඩායමක් යනුවෙන් සඳහන් කළෙමි. එකල සුනිල් අප කාර්යාලයට ආ අවස්ථා තිබිණ. ඇතැම් විට දැන්වීම් කටයුතු සඳහා ආ ගමන් විය යුතුය.   


“ඇයි ඔයා එක්තරා කණ්ඩායමක් කියලා ලිව්වේ. නම දැම්මනම් ඉවරයිනෙ.”   
“ඒක හරි නැහැනෙ”   
“නෑ. නෑ. මීට පස්සේ ලියනකොට කවුරුහරි අපිට බනිනව නම් අපේ නම දාලම ලියන්න” සුනිල් මා සමග කීවේ කාර්යාලයට පැමිණි විටදීය.   
ඒ සිදුවීම එතෙකින් නිම වෙතැයි සිතුවෙමි.   
ප්‍රේමසිරි කේමදාසයන් දිනෙක අප කාර්යාලයට පැමිණියේ තරුණයා පුවත්පත මගින් ඉදිපත් කරනලද කැසට් පටයක සංගීත නිර්මාණ පිළිබඳ කතා කර ගැනීමටය.   


“අද උදේ මම පෝස්ට්මන් බෙල් එක ගහනව ඇහිලා ගේට්ටුව ළඟට ගියා. මට ලොකු පාර්සල් දෙකක් ඇවිල්ලා තිබුණා. ස්තුතියකුත් එක්ක. ඒකේ තිබුණෙ ජුජුබ්ස් පාර්සල් දෙකක්. සුනිල් ඒකේ ස්තුතියකුත් දාලා තිබුණා. අර ඔයා ලියපු ආටිකල් එකට” කේමදාස මාස්ටර්ගේ මුහුණේ ඒ ගැන හැඟීමක් එවේලේ තිබුණේ නැත. ඔහු ඒ බව මට කීවේ මද සිනාවක් සමගය.   


ඒ කාලයේ ජිප්සීස්ලාට මාධ්‍ය මගින් ප්‍රහාර එල්ල කරන අයට ස්තුතියත් සමග මේ ජුජුබ්ස් පාර්සල් යවන්නට සුනිල් අමතක නොකළේය. ඔවුනට ජුජුබ්ස් කොම්පැණියක් තිබිණි.  
මට යාම්තමින් මතක හැටියට එක් අවස්ථාවක ඔහු තමන් විවේචනය කරන පිරිසට නම් වලින්ම ස්තුතිය පළකර තිබුණේ ජිප්සීස්ලාට නොමිලේ ලබා දෙන ප්‍රසිද්ධිය ගැන ස්තුතියි කියමිනි. විවේචනය ඔහු සැලකුවේ ප්‍රසිද්ධිය ලැබීමේ අවස්ථාවක් හැටියටය. මුදල් පරිත්‍යාග කිරීමට මැලි නොවුනද ඔහු තම ගාස්තුව අයකිරීමේදී කෙලින් සිටියේය.   


එක් අවස්ථාවක ඔහු තරුණයා කාර්යාලයට පැමිණියේ සිය බාල සොහොයුරා වූ පියල් සමගය. ඒ මා පියල් දුටු මුල් අවස්ථාවයි. ඔහු ඒ කාලයේ නව යොවුන් කඩවසම් තරුණයකු විය.   
“ෂා තරුණයා කවර් එකකට මරුනෙ” මම කීවෙමි.   
“දෙන්න කතා කරගන්න” සුනිල් කීවේය.   
ජිප්සීස් සංගීත ප්‍රසංගයක් තරුණයා අනුග්‍රහයෙන් පැවැත්වීමට යෝජනාවක් තිබිණ. සුනිල් සමග එය කතා කර ගැනීමද එවේලේ අරමුණක් විය.   


ඔහු කෙළින්ම ජිප්සීස් සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම පිළිබඳ අකැමැත්ත පළ කළේය. ඒ ඔවුන්ගේ ගාස්තුව පිළිබඳව පමණක් නොව එක් පළාතක සංදර්ශනයක් පවත්වද්දී ඒ කිට්ටුව තවත් ප්‍රසංගයක් නොපැවැත්වීමේ ප්‍රතිපත්තිය නිසාය.   


අනෙක ජිප්සීස් කණ්ඩායම ගෙනාවොත් වාදකයන්ට ඔවුන්ගේ සුපුරුදු මුදල ගෙවිය යුතුය. ඔහු තම වාදකයන්ගේ හෝ කලාකරුවන්ගේ ගෙවීම් අඩුකරන්නට කැමැති නොවීය.  
“බෑන්ඩ් එකේ වැඩේ හරියන්නෙ නෑ. ඔයගොල්ලො කැමැති බෑන්ඩ් එකක් කතා කර ගන්න. මමයි මල්ලියි ඇවිල්ලා ඔයා වෙනුවෙන් නොමිලේ සින්දු කියලා යන්න එන්නම්.” ඒ සුනිල්ගේ පිළිතුර විය. කෙසේ වුවද ප්‍රසාංගයක් පැවැත්වීමේ යෝජනාව යට ගියේය.  


අප කාර්යබහුල වීමත් සමඟ අපේ සම්බන්ධතාවයද දුරස් වී ගියේය. එහෙත් බොහෝ අවස්ථාවලදී හමුවූ විටෙක ඔහු වචනයක් දෙකක් කතා කළේය.  


හැත්තෑව අසූව දශක වලදී යහමින් බැණුම් ඇසූ සුනිල් තම ගායන රටාව වෙනස් කළේය. කලින්ට වඩා ප්‍රාසාංගික බවක් ඔහු ඊට එක් කළේය. ලුණු දෙහි, කුරුමිට්ටෝ ඔජායේ ගීත කුඩා ළමයින් අතරද බෙහෙවින් ජනප්‍රිය වූයේ එහෙයිනි.  


එදා බැණුම් ඇසූ සුනිල් ශ්‍රී ලංකාවේ අංක එකේ එන්ටර්ටේනර් ලෙස ඉදිරියට ආවේය. ඔහුගේ පසුකාලීන ගීත බොහෝ කලාකරුවන්ට අත තියන්නට බැරි ගී ඇතැම් දූෂිත දේශපාලකයන් විවේචනය කරන කර්කශ උපහාස විය. විවිධ තහංචි ඔස්සේ සාමාන්‍ය ජනතාවට කියා ගැනීමට නොහැකිවූ ඇතැම් දේශපාලනඥයන්ගේ පැටිකිරිය සුනිල් ගීතයෙන් රඟපෑමෙන් කියන විට ඔහු කෙමෙන් වීරයකු බවට පත්වූයේය. විවිධ තාඩන පීඩන ඔස්සේ ජාතින් අතර ආගම් අතර සමගිය පිළිබඳව දූෂිත දේශපාලනය පිළිබඳව ගයද්දී විවේචනය කරද්දී ඔහු වීරයකු බවට පත් විය.  


සමාජ අවශ්‍යතා මෙන්ම අසාධාරණව හා අසත්‍යය වෙනුවෙන් නොබියව එක එල්ලේම පෙනී සිටි වීරයා ලෙස සුනිල් පසුගිය වසර කීපය තුළ ශීඝ්‍රයෙන් ඉදිරියට ආවේය.   


හොඳ ගායකයන්, නළුවන් සොයා ගත හැකිය. එහෙත් නිර්භීතව සමාජ අසාධාරණය වෙනුවෙන් නොබියව පෙනී සිටි සුනිල් පෙරේරා වැනි කලාකරුවන් සොයා ගැනීම අපහසුය.  


අද අප ශෝකවන්නේ ජනතාවට ඇත්ත කියූ, අසාධාරණයට බැට දුන් සුනිල් පෙරේරා නමැති කලාකරුවාගේ හිඩැස පුරවන්නට තව කෙනෙකු සොයා ගන්නට හකිවේදැයි යන සැකය මුල්කරගෙනය.

 

 

රොඩ්නි විදානපතිරණ