IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දූ දරුවෝ ටෙලි නාට්‍යයේ සම්පත්

ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය සංස්කෘතියේ  නව පෙරළියක් ඇති කළ ටෙලි නාට්‍යය කුමක්දැයි ඇසුවහොත් ඕනෑම කෙනෙකු දූ දරුවෝ ලෙසින් පිළිතුරු දෙනවා නොඅනුමානය. අනූව දශකයේ මුල් භාගයේ හැම ඉරිදාම රාත්‍රී අටයි තිහට විකාශය වූ දූ දරුවෝ නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන කිහිපයක් වූයේය. හෙන්රි ජයසේන, අයිරංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, එච්. ඒ. පෙරේරා, වීණා ජයකොඩි,   චාන්දනී සෙනෙවිරත්න, නීල් අලස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, යශෝධා විමලධර්ම, නිල්මිණි තෙන්නකෝන්  ඇතුළු ප්‍රවීණ, ජනප්‍රිය, දක්ෂ නළුනිළියෝ රැසක් මෙහි චරිත මැවූහ. එකම නිවසක වාසය කරන දූ දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විවිධ මත ගැටුම් අපූරුවට ඉදිරිපත් කර තිබීම නිසාම ප්‍රේක්ෂකයෝ ඒ චරිතවලට තමන් ආදේශ කර ගත්හ. එය එතරම් ජනප්‍රිය වූයේ එහෙයිනි. සුසිල නිෂ්පාදනයක් වූ දූ දරුවෝ නාලන් මෙන්දිස් ගේ අධ්‍යක්ෂණයකි. තිර රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක විසිනි. 
සුමනදාස (නීල් අලස්) සහ සුධර්මා (වීණා ජයකොඩි) ගේ පුතු සම්පත් ලෙසින් අපූරු චරිත නිරූපණයක යෙදුණේ උදේනි අල්විස් ය. සම්පත්  තරුණ පෙළ අතරේ මොන තරම් ජනප්‍රිය  වී ද යත් වැඩි දෙනෙක් ඔහුගේ රැවුල් මෝස්තරය අනුකරණය කරන්නට ද පෙළඹුණහ. එය ඔවුන් අතරේ හැඳින්වුණේ සම්පත් කට් වශයෙනි.


“ඇත්තටම මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය දූ දරුවෝ කියලා කීවොත් හරියටම හරි.. දූදරුවෝ මම රඟ පෑව දහ වෙනි නිර්මාණය.. ඒත් මම ජනතාව අතරට ගියේ සම්පත් තුළින්.. මම ඒ කාලෙ සහාය අධ්‍යක්ෂ කෙනෙක් විදියට ජනප්‍රිය වෙලා හිටියා..  දවසක් සුදත් දේවප්‍රිය මාව ගෙන්නලා කිව්වා   ලොකු වැඩක් තියෙනවා.. ඒකට ලෑස්ති වෙලා ඉන්න.. හැබැයි කාටවත් දැන්ම කියන්න එපා කියලා.. මේ ගැන දිගින්දිගටම සාකච්ඡා කෙරුණා.. සහාය අධ්‍යක්ෂණය වගේම වෙනස්ම චරිතයකුත් රඟ පාන්න තියෙනවා කියලා කිව්ව හින්දා ඒ වැඩේ පටන් ගන්නකම් මමත් හිටියෙ ඉවසිල්ලක් නැතුව..”
මා සමඟ පිළිසඳරකට එක් වෙමින් උදේනි අල්විස් පැවසුවේය. එහෙත් අඹ යහළුවෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් නිවාඩු ගැනීම නිසා සුදත් දේවප්‍රියට නිවාඩු අනුමත කරන්නට රූපවාහිනි සංස්ථාව කැමති වූයේ නැත. 
“ඉතින් වැඩේ පොඩ්ඩ කල් ගියා.. ඔය අතරේ නාලන් මෙන්දිස් කතා කරලා කිව්වා ටිකක් දිග ටෙලි නාට්‍යයක සහාය අධ්‍යක්ෂණය තියෙනවා ඒක බාර ගන්න කියලා..  සුදත් ගෙ වැඩක් තියෙන හින්දා බාර ගන්න බෑ කියලා මට කියන්න සිද්ද වුණා.. ඊට පස්සෙ නාලන් කිව්වා ඒ ටෙලි නාට්‍යය දැන් කරන්න යන්නෙ එයා කියලා.. මට චරිතයකුත් තියෙනවා කිව්වා..” 
ඉතින් උදේනි සහාය අධ්‍යක්ෂ ලෙස වැඩ බාර ගත්තේය. එකල ක්ෂේත්‍රයේ දැවැන්තයන් වූ නළුනිළියන් සමඟ කටයුතු කිරීමත්  අපූරු අත්දැකීමක් වූයේය. එහෙත් සම්පත් ගේ චරිතය ඔහුට ලැබුණේ නැත. ඒ සඳහා සමීර වන්නිආරච්චි ඇතුළු කිහිප දෙනෙකුගේ තිර පරීක්ෂණ කරනු ලැබිණි. ඒ කිසිවෙකු පිළිබඳව නාලන් මෙන්දිස් සෑහීමට පත් වූයේ නැත. අවසානයේදී ඒ චරිතය උදේනිටම බාර වූයේය. 


“මුල් දවස්වල මම රැවුල වවලා හිටියෙ නෑ.. රැවුල වැවෙනකම් අතීත මතකයන් වගේ දර්ශනවල තමයි රඟ පෑවේ.. එක දර්ශනයක් තියෙනවා මගේ තාත්තා විදියට රඟ පෑව නීල් අලස් අයියා වැඩ ඇරිලා එනකොට මම මාමට (එච්. ඒ. පෙරේරා) රේස් පත්තරේ ගේන්න කඩේ යනවා.. එයාට තරහ ගිහින් මගෙ කනට ගහනවා.. ඒ දර්ශනය අමතක වෙන්නෙ  නෑ..” ඔහු කීවේ සිනාසෙමිනි. 
ඒ දිනවල හැම ටෙලි නාට්‍යයක්ම කොටස් දහයකට පහළොවකට වඩා දීර්ඝ වූයේ නැත. කොටස් දෙසීයක් පමණ විකාශය වූ දූ දරුවෝ ටෙලි නාට්‍යය ලංකාවේ ප්‍රථම මෙගා නාට්‍යය ලෙස ඉතිහාසයට එක් වන්නේ එම නිසාය. එහි මුල්ම කොටස් හතළිහේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ උදේනි අල්විස්ය. ඒ කාලයේ නිලේන්ද්‍ර දේශප්‍රිය, සිවගුරුනාදන් වැනි දක්ෂ සහාය අධ්‍යක්ෂවරුන් සිටියත් උදේනි වාර්තා පොත් අතරට එක් වූයේ ටෙලි නාට්‍යයක වැඩිම කොටස් ගණනක සහාය අධ්‍යක්ෂවරයා වශයෙනි. 
ක්ෂේත්‍රයේ දැවැන්තයන් වූ රංගන ශිල්පීන් හා කටයුතු කරද්දී ලැබුණ සුන්දර අත්දැකීම් පිළිබඳව උදේනි කතා කළේ අභිරුචියෙනි.
ලැබුණ හැම අත්දැකීමක්ම අමතක වෙන්නෙ නැති ඒවා තමයි.. දරුවන්ගෙ ගැටළුවලට දෙමව්පියන් මැදිහත් වෙන ආකාරය ඒවායින් ඔවුන් පීඩාවට පත් වෙන හැටි මේ ටෙලි නාට්‍යයෙන් අපූරුවට පිළිබිඹු වුණා.. මම විවාහක කාන්තාවක් එක්ක පවත්වන සම්බන්ධයක් ආරංචි වෙලා අම්මා බස් නැවතුම් පොළකදී මට කම්මුලට ගහන දර්ශනයක් තිබුණා.. මේ වගේ දර්ශනයක පෙර පුහුණුවක් කරන්න බෑ.. එක සැරේම ඉවර කරන්න ඕන.. මත්තේගොඩ බස් නැවතුම්පොළක තමයි ෂූටින් තිබුණේ.. ඒ කාලේ දූදරුවෝ හුඟාක් ජනප්‍රිය හින්දා ඒක බලන්න සෙනඟ පොදි කකා හිටියා.. ඔවුන්ගේ සද්දේ හින්දා ෂූටින් කරන්න පහසු වුණේ නෑ.. ඉතින් මම සෙනඟ අතරට ගිහින් කිව්වා මේ වගේ දර්ශනයක් දෙතුන් පාරක් ගන්න බැරි හින්දා ඔයාලගෙ සහයෝගය හුඟක් වටිනවා.. කරුණා කරලා සද්ද කරන්නෙ නැතුව බලන්න කියලා.. හැමෝම නිශ්ශබ්ද වුණා.. වීණක්කා මගෙ කම්මුලට ගැහැව්වම සෙනඟ තවත් තුෂ්ණිම්භූත වුණා.. කොච්චර ද කියලා කියනවා නම් දර්ශනය ඉවර වෙලා ටිකක් වෙලා යනකනුත් කවුරුවත් කතා කළේ නෑ.. මටම කියන්න සිද්ද වුනා දර්ශනය ඉවරයි කියලා..” ඔහු කීවේ සිනාසෙමිනි. 
“කම්මුල් පාර රිදුණ ද..?” 
මට එසේ නොඅසා සිටින්නට නොහැකි වූයේය. 
“ඒ ගැන මොකට කියනව ද..? මටත් වඩා රිදිලා තිබ්බේ වීණක්කට.. ඉවර වුණාට පස්සෙ මාව බදාගෙන ඇඬුවා..” ඔහු කීවේය.   
“මම දූදරුවෝ ටෙලි නාට්‍යයේ කොටස් 170 ක් වෙනකම් සම්පත් චරිතය රඟ පෑවා.. ඊට පස්සෙ පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා අයින් වුණා..”
ඔහු කියද්දී සම්පත් ගේ පවුලේ අය ගෙය අත් හැර යන දර්ශනය මට සිහිපත් වූයේය. ඒ දර්ශනයේවත් ඔහු සිටියේ නැත. 
දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන උදේනි අල්විස් ඒ වෘත්තියත් රංගනයත් දෙකම සමතුලිතව කරගෙන යන්නට වෑයම් කරන අයෙකි. පසු ගිය කාලයේ සික්ස් පැක් නාට්‍යයේ රඟ පෑ ඔහු මේ දිනවල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ තවමත් නමක් තබා නැති අලු‍ත් ටෙලි නාට්‍යයේ රඟ පාන්නේය. ඉසිපතන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම නර්තන අංශයෙන් දස්කම් දැක්වූව ද ඔහු තවමත් එයින් නිසි ප්‍රයෝජන ගෙන නැත. 
“අනාගතේදී බලමුකො..”
ඔහු කීවේ ඒ අංශයෙනුත් ඉදිරියට යාමේ අරමුණක් යටි සිතේ තබාගෙන විය යුතුයයි මට සිතිණි. 

චන්දි කොඩිකාර



අදහස් (0)

දූ දරුවෝ ටෙලි නාට්‍යයේ සම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site