IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි. බොරලැස්ගමුවේ වාසය කරන බැවින් ඔහු වැඩිපුරම යන්නේ බෙල්ලන්විල පන්සලටය.  තක්සලාව ටෙලි නාට්‍යය ජනප්‍රියත්වයේ ඉහළම තලයේ තිබුණ 2009 වසරේ දිනයෙකත් ඔහු සිය බිරිඳත් සමඟ පන්සල් ගියේය. ඔහු බෝධීන් වහන්සේ අබියස මල් පූජා කරමින් සිටියදී වතුර සෙම්බුවක් දෑත දරාගෙන ඉතා භක්තිමත්ව බෝධීන් වහන්සේ පැදකුණු කරමින් සිටි මැදි වියේ කාන්තාවක්  ඔහු අසළ නැවතුණාය. ඇගේ මුහුණේ වූයේ නොරිස්සුමකි.

“කරන තරමක් දුෂ්ටකම්.. ඒකට මොකද පන්සලුත් ඇවිත්.. දෙන්න හිතෙනවා කළෙන්ම එකක්..”

තමා බෝධි පූජාවක් කරන බවත් අමතක කර කාන්තාව පුපුරා හැලෙද්දී ගිරිරාජ් ඇය දෙස බැලුවේ පුදුමයෙනි. ඔහුගේ බිරිඳගේ මුහුණ අඳුරු වී ගියේය.

“ඕක තමයි මම කියන්නෙ ඔය වගේ චරිත රඟ පාන්න එපා කියලා..” ඇය කොඳුරා කීවාය.

එහෙත් ගිරිරාජ්ට දැනුණේ තමා තක්සලාවේ ලූකස් මුදලාලි ගේ චරිතයට සාධාරණය ඉටු කිරීම පිළිබඳ තෘප්තිය මිස අමනාපයක් නොවේ. ඔහු අර කාන්තාව පසෙකට කැඳවා තක්සලාව ටෙලි නාට්‍යයේ ලූකස් මුදලාලි තමා රඟ පාන චරිතයක් මිසක් තමාගේ සැබෑ චරිතය නොවන බැව් පැහැදිලි කර දුන්නේය.

“මම කලබල වුණාට මට සමාවෙන්න.. මම විශ්‍රාමික ගුරුවරියක්.. කැප වීමෙන් වැඩ කරන ගුරුවරියකට කෙනෙහිලිකම් කරන ලූකස් මුදලාලි ගැන මගෙ හිතේ තිබ්බෙ ලොකු තරහක්.. ඒකයි මම ඒ විදියට හැසිරුණේ..” කාන්තාව පැවසුවාය.

ආනන්ද අබේනායකගේ නිර්මාණයක් වූ තක්සලාව විකාශය වෙන්නට පටන් ගත් දින පටන්ම තමාට එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වූ බැව් ගිරිරාජ් කෞශල්‍ය පැවසුවේය.

තක්සලාවේ ලූකස් මුදලාලි අතිශය දුෂ්ට චරිතයකි. හාස්‍යජනක චරිතවලට නම් දරා සිටින ගිරා එවැනි චරිතයකට එක් වීම ගැන සමහරු කැමති වූයේ නැත. ඔහුගේ පවුලේ අයගෙන් පවා එල්ල වූයේ විරෝධයකි.  එහෙත් ඔහු ඒ අභියෝගයට පිටුපෑවේ නැත.

“ආනන්ද අබේනායක කියන්නෙ මම ගරු කරන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.. ඔහු එක්ක වැඩ කරනකොට හුඟක් දේවල් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්.. ඒ වගේම මේ ටෙලි නාට්‍යයෙ රඟ පෑවේ හිමාලි සයුරංගි, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, තිස්ස බණ්ඩාරනායක, සම්පත් ජයවීර, ජගත් මනුවර්ණ වගේ ප්‍රවීණ නළුනිළියෝ.. ඔවුන්ගෙනුත් මට ඉගෙන ගන්න දේවල් තිබුණා.. ඒ හින්දම මම රඟ පාන්නෙ දුෂ්ට චරිතයක් කියලා මට මතක් වුණේවත් නැති තරම්..” ඔහු කීවේය.

තක්සලාවේ රූගත කිරීම් කෙරුණේ අනුරාධපුර පළාතේ හේන් ආශ්‍රීත, වැව් ආශ්‍රීත පෙදෙස්වලය. එහෙත් ඒ කාලය දුෂ්කර වුවත් බොහෝ විනෝදජනක වූ බැව් ගිරා කියන්නේය.

තක්සලාව කතාවට අනුව ලූකස් මුදලාලි හේන් ගොවිතැන් කරන ධන තණ්හාවෙන් පෙළෙන බලවත් පුද්ගලයෙකි. ඔහු සිය හේන් වැඩවලට  ළමා ශ්‍රමය බහුලව යොදා ගන්නේය. එම නිසාම ගමේ ළමයින් ඉගෙන ගන්නවාට ඔහු කැමති වෙන්නේ නැත. ගමට එන තරුණ ගුරුවරියක් (හිමාලි සයුරංගි) මේ ඛේදවාචකය දැක ළමයින් ඉගෙනීමට යොමු කරනු සඳහා උත්සුක වන්නීය. පන්සලේ හාමුදුරුවන් ගේ (තිස්ස බණ්ඩාරනායක) සහයෝගය ඇතිව ඇය පාසලක් තනන්නට පටන් ගත් විට ලූකස් මුදලාලි කරන්නේ කෙනෙහිලිකම්මය. ඔහු වරෙක ඒ ගොඩනැගිල්ලට ගිනි තබන්නේය. එහෙත් ඇය පසුබට වෙන්නේ නැත. අවසානයේ ඔහු කරන්නේ ගුරුවරිය එන මාර්ගයේ තුවක්කුවක් බැඳ තැබීමය. ගුරුවරියට වෙඩි වැදී ඇගේ කකුල කපන්නට සිදු වෙන අතර ගම්මු ලූකස්ට අප්‍රසාදය පළ කරති. වඩාත්ම අමනාප වන්නේ ගුරුවරියට බොහෝ ආදරය කළ ගැමි තරුණයෙකි. (ජගත් මනුවර්ණ) ලූකස් වැවේ නාමින් සිටියදී අර තරුණයා ඔහුට වෙඩි තබා මරා දමයි.

“මේක රඟ පෑමක් විතරක් වුණත් මගේ පවුලේ අයට ඒක සිත් තැවුලක් වුණා.. ඒ හින්දා ආයේ මේ වගේ චරිත රඟ පාන්න එපා කියලා ඔවුන් උදක්ම ඉල්ලා සිටියා.. ආගන්තුකයා චිත්‍රපටියෛත් මම රඟ පෑවේ දුෂ්ට චරිතයක්..  ඒකත් මේ සමානම පාසල් කතාවක්.. මම රඟ පෑවේ පාසල් ගුරුවරයෙක් විදියට.. පළාතේ දේශපාලනඥයෙක් එක්ක එකතු වෙලා විදුහල්පති තුමාට (සෞම්‍ය ලියනගේ) කෙනෙහිලිකම් කරනවා.. අන්තිමේදී ඉතා හොඳ පුද්ගලයෙකු වුණ විදුහල්පතිතුමා එල්ලිලා මැරෙනවා.. ඒක ඉතාමත්ම සංවේදී දර්ශනයක්.. මම චිත්‍රපටිය නරඹන්න ගියේ මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි එක්ක.. ඒ තුන් දෙනාම මට ඒ වෙලාවෙත් කිව්වෙ ආයෙ මේ වගේ චරිත රඟ පාන්න එපා කියලා..” ඔහු කීවේය.

“ඒ වුණාට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කුකුළා මුදලාලි චරිතයත් රඟ පෑවනෙ..” මම සිහිපත් කළෙමි.

“ඔව්.. ඒකත් දුෂ්ට චරිතයක් තමයි.. හැබැයි ඉතින්  සරාට බයයිනෙ..” ඔහු කීවේ හඬ නඟා සිනාසෙමිනි.

ඔහු සකලගුරු, ඉසුරු භවන ටෙලි නාට්‍යවල රඟ පෑවේ දුෂ්ට චරිත නොව කපටි චරිතය.

මේ වන විට ටෙලි නාට්‍ය දෙසියයකට අධික සංඛ්‍යාවක, චිත්‍රපටි පනහක, වේදිකා නාට්‍ය පහළොවක රඟ පෑ ගිරිරාජ් කෞශල්‍ය මේ වන විට විවේක සුවයෙන් සිටින්නේ වෛද්‍ය උපදෙස් අනුවය.

“මට ප්‍රතිකාර කරන්නෙ අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක මහත්මයා.. ඒ මහත්මයා කියලා තියෙන්නෙ මගේ ප්‍රතිශක්තිය අඩු හින්දා හුඟක් පරිස්සම් වෙන්න කියලා.. මම දැන් නිර්මාණවලට දායක වෙන එක අඩු කරලා තියෙන්නෙ ඒ හින්දයි.. හැබැයි ඉතින් ක්ෂේත්‍රයේ අනෙක් අයගෙ නිර්මාණවලට හාස්‍යොත්පාදක දේවල් ලියලා දීලා උදව් කරනවා..” ඔහු කීවේය.

ඔහු ගීත කිහිපයක් ද ලියා තිබේ. ඔහු විසින් ලියනු ලැබ ඔහුගේ දියණිය අමන්ද්‍යා උත්පලී විසින් ගායනා කරන ලද රැජිනට ඇන්දා ගීතයත්,  රූප සුන්දරී ගීතයත් මේ වන විට බොහෝ ජනප්‍රිය වී හමාරය.

“රැජිනට ඇන්දා මම දුව වෙනුවෙන් ලිව්ව ගීතයක් නෙමෙයි.. ඒක කලින් ලියලා තිබ්බ එකක්.. ඇය ඒක ගායනා කරන්න ඕන කිව්වා.. රූප රචනය කළේ සිවගුරුනාදන්.. ඒ රූප රචනයෙනුත් ගීතයට ලොකු ඔපයක් ලැබුණා.. හැබැයි මේ තරම් ජනප්‍රිය වෙයි කියලා නම් දුව තියා මමවත් හිතුවෙ නෑ..”

ගිරා කියන්නේ නිහතමානී හඬකිනි.


චන්දි කොඩිකාර


 



අදහස් (0)

තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site