IMG-LOGO

ඇත්තටම ඇමෙරිකා ජනපති මැරුවේ කවුද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශනවලින් අනාවරණ වූ මෙතෙක් මහජනයාට හෙළිදරව් නොකරන ලද අවසන් ලිපිගොනු 3,100ක පමණ ප‍්‍රමාණයකින් 2,891ක අඩංගු තොරතුරු වසර 54කට පසු මුදාහැර තිබේ. 


ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ නම් කෙනඩි ඝාතනය පිළිබඳ සියලු ලිපිගොනු වසර 25ක් තුළ ජනතාවට ප‍්‍රසිද්ධ කළ යුතු බවට 1992 දී ඇමෙරිකානු ජාතික කොන්ග‍්‍රසය තීන්දු කර තිබිණි. ජනාධිපති ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ්, ‘ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතන වාර්තා සංචිත පනතට’ අත්සන් තබමින් එම තීන්දුවට එළැඹියේය. කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශනයේ ලිපිගොනු 34,000ක් ප‍්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඒවා සමස්ත ලේඛන සංඛ්‍යාවෙන් 88%ක පමණ ප‍්‍රමාණයකි. තවත් 11%ක ප‍්‍රමාණයක් ඒවායේ අන්තර්ගත අතිසංවේදී සිදුවීම් සංස්කරණයකොට ප‍්‍රසිද්ධ කෙරිණි. ඒවායේ අඩංගු පිටු සංඛ්‍යාව මිලියන 5කට ආසන්නය.
 
ලිපිගොනු 3100ක් මේ වන තෙක් ප‍්‍රසිද්ධියට පත් නොවූයේ කලින් සිටි ජනාධිපතිවරුන් එයට අවසර ලබා දීමට මැළි වූ බැවිනි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් එම ලිපිගොනු ප‍්‍රසිද්ධ කිරීමට විරෝධයක් නොදක්වන ලද හෙයින් ඒවා ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකානු ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. 

 

 

“ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට පූර්ණ විනිවිදභාවයක් පවතින බව තහවුරු කිරීමට අවශ්‍යයි. එහෙත් මෙම ලිපිගොනුවල අතිසංවේදී තොරතුරු අන්තර්ගතව තිබෙනවා. උදාහරණයක් ලෙස විදේශ සහයක සංවිධාන, බුද්ධි අංශ නිලධාරීන් හා නීති නිලධාරීන් මෙන්ම තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු මෙම ලිපිගොනුවල අන්තර්ගතව තිබෙනවා.” යැයි එහි නිලධාරියකු සඳහන් කර තිබේ. 


පසුගියදා ඇමෙරිකානු ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මුදාහැරුණු ලිපිගොනු සංඛ්‍යාව 2,891කි. බුද්ධි අංශ ඉල්ලීම මත අතිසංවේදී තොරතුරු ඇතුළත් ලිපිගොනු කිහිපයක් නිකුත් නොකිරීමට පියවර ගෙන තිබේ. සංස්කරණය නොකරන ලද මෙම ලේඛන ඇමෙරිකානු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ මහජනයාට පරිශීලනය කළ හැකිය. 


ජනාධිපති කෙනඩි ඝාතනය කෙරුණේ 1963 නොවැම්බර් 22 දා ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඩලස්හිදීය. ටෙක්සාස් ප‍්‍රාන්තයේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම සඳහා එහි පැමිණි ඔහු රථ පෙරහරකින් ඩලස් නගරයේ ප‍්‍රධාන වීදියේ ඩිලි ප්ලාසා ගොඩනැගිල්ල අසලට පැමිණෙන විට දහවල් 12.30ට ආසන්න වී තිබිණි. ජනාධිපතිවරයා සිටි රථයේ ඔහුගේ බිරිය ජැකලයින් කෙනඩි ද ටෙක්සාස් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා වූ ජෝන් කෙනලි සහ ඔහුගේ බිරිය ද ගමන් ගත් අතර ඉන් රථ තුනකට පිටුපසින් උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ගේ රථය විය. 


ජනාධිපතිවරයා දැකගැනීම සඳහා අතිවිශාල ජනකායක් මඟ දෙපස රැඳී සිටි අතර ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. ජනතා ආචාරය පිළිගනිමින් ගමන් කළ හෙයින් රථ පෙරහර ගමන් කළේ ඉතා සෙමිනි. එය ටෙක්සාස් පාසල් පොත් ගබඩාව අසලට ළඟාවූවා පමණි. කොහේදෝ සිට පියඹා පැමිණි වෙඩි උණ්ඩයක් ජනාධිපති කෙනඩිගේ හිසින් ඇතුළු වී ගෙල පසාරු කරමින් පිට විය. ජනාධිපතිවරයා පසෙකට ඇලවී ගිය අතර හිසින් විදින ලද රුධිරය ඔහු අසල සිටි ජැකලයින් කෙනඩිගේ සිරුර පුරා විසිරිණි. ඒ සමඟ පියඹා ආ තවත් උණ්ඩයක් ආණ්ඩුකාරවරයාගේ පපු පෙදෙසට ඇතුළු විය. 


තුවාලකරුවන් ඩලස්හි පාක්ලන්ඩ් රෝහලට ඇතුළත් කරන ලද අතර පස්වරු 1ට පමණ ජනාධිපතිවරයා මියගිය බැව් නිවේදනය කෙරිණි. 


ජනාධිපතිවරයාගේ ඝාතකයා වූයේ ලී හාවි ඔස්වල්ඩ් නමැත්තෙකි. ජනාධිපති කෙනඩි එදින ජනහමු කිහිපයක් පැවැත්වීම සඳහා පැමිණෙන හෙයින් ඝාතකයා ටෙක්සාස් පාසල් පොත් ගබඩාවේ සයවන මහලේ සැඟව බලා සිටි බැව් පසුව අනාවරණ විය. ලී හාවි ඔස්වල්ඩ් ඇමෙරිකානු නාවික භටයකු වශයෙන් කලක් සේවය කළ පුද්ගලයකු වූ අතර හමුදාවෙන් ඉවත් වූ පසු සෝවියට් දේශය බලා ගොස් තිබිණි. රුසියානු කාන්තාවක හා විවාහ වූ ඔහු සෝවියට් දේශයේ පුරවැසිභාවය ලබා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීම හේතුවෙන් නැවත අමෙරිකාවට පැමිණ තිබුණේ 1962 වසරේය. ජනාධිපති කෙනඩි ඝාතනය කිරීම සඳහා පොයින්ට් 38 වර්ගයේ රිවෝල්වරයක් හා රයිෆලයක් ද දුරදක්නයක් ද තැපැල් මගින් මිලට ගෙන තිබූ බවට පසුව අනාවරණ විය. 1963 ඔක්තෝබරයේ ටෙක්සාස් පාසල් පොත් ගබඩාවේ රැකියාවක් ලබා ගැනීමට ඔහුට හැකි විය. ඔහු ජනාධිපති කෙනඩිට වෙඩි තබා තිබුණේ එම පොත් ගබඩාවේ සිටය. කෙනඩි ඝාතනයෙන් පැයකට පමණ පසු සිනමා ශාලාවක සැඟව සිටි හාවි පොලිස් අත්අඩංගුවට පත් වූයේය. තමා මෙම ඝාතනය සිදු නොකළ බවට ඔහු ප‍්‍රකාශ කර තිබිණි. 


පොලිස් මූලස්ථානයේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ලක් වූ ලී හාවි ඔස්වල්ඩ් නොවැම්බර් 24 වැනි දින ඩලස්හි ප‍්‍රධාන බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිත විය. එම අවස්ථාව සජීවි ලෙසින් රූපවාහිනියෙන් ප‍්‍රචාරය වූයේය. ඔහු පොලිස් නිලධාරීන්ගේ රැකවරණ යටතේ එම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙමින් සිටි අවස්ථාවේ අවට රැස්ව සිටි පිරිස අතුරින් එක්වරම ඉදිරියට පැමිණි පුද්ගලයකු තම පිස්තෝලයෙන් ලී හාවි ඔස්වල්ඩ්ගේ හිසට වෙඩි තැබීය. එම වෙඩි ප‍්‍රහාරයෙන් මරාන්තික තුවාල ලද ඔස්වල්ඩ් දෙපැයකට පමණ පසු මරණයට පත් විය. ඔස්වල්ඩ්ගේ ඝාතකයා වූයේ රාත්‍රී සමාජශාලා හිමිකරුවකු වූ ජැක් රූබිය. ජනාධිපති කෙනඩිගේ ඝාතකයා කෙරෙහි ඇති වූ දැඩි කෝපය වාවාගත නොහැකි වූ රූබි ඔහුට වෙඩි තැබූ බැව් පැවසිනි. රූබි හට මරණ දඬුවම නියම වූ අතර එල්ලා මරා දැමීමට පෙර පෙණහලු පිළිකාවකින් ඔහු මියගියේය. 


කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත පළවිය. මෙම ඝාතන කුමන්ත‍්‍රණයට මාෆියා සංවිධාන, කියුබානු පිටුවහලුන්, හමුදා ප‍්‍රධානීන් මෙන්ම උපජනාධිපති ජොන්සන් වෙත ද ඇඟිල්ල දිගු කෙරිණි. ජනාධිපති කෙනඩි ඝාතනය කෙරුණේ ලී හාවි ඔස්වල්ඩ්ගේ වෙඩි උණ්ඩයෙන් වුව ද එය පසුපස තවත් බොහෝ ඝාතකයන් සිටි බවට සැක කෙරිණි. ඇසින් දුටු සාක්ෂිවලට අනුව කෙනඩිට ලී හාවිට අමතරව තවත් පුද්ගලයකු ද වෙඩි තබා ඇති බවට අනාවරණ විය. මෙම ඝාතනය පිළිබඳ සෙවීමට 1963 නොවැම්බරයේ නව ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් අගවිනිසුරු අර්ල් වොරන්ගේ සභාපතිත්වයෙන් යුතු වොරන් කමිටුව පත් කිරීමට පියවර ගත්තේය. එම කමිටුව විසින් පුද්ගලයන් 552කගේ සාක්ෂි සටහන් කරගනු ලැබීය. මෙම සාක්ෂි සහ මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් වොරන් කමිටුවේ අවධානය එතරම් යොමු නොවූ බවට පසුව චෝදනා එල්ල විය. කෙසේ වුව ද වොරන් කමිටුවේ තීන්දුව වූයේ කෙනඩිගේ මරණය ලී හාවි ඔස්වල්ඩ්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් සිදු වූවක් බවත් ඔහු කිසිදු කුමන්ත‍්‍රණයක කොටස්කරුවකු නොවන බවත්ය. 


ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලීමට 1979දී පත් කෙරුණු කොන්ග‍්‍රස් කමිටුවේ නිගමනය වූයේ අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙසින් ජනාධිපති කෙනඩි ඝාතනය සිදු කෙරී ඇති බවටය. ඔවුන්ගේ නිගමනය වූයේ ද ජනාධිපති කෙනඩිට මරු කැඳවූ වෙඩි උණ්ඩ තුනම ලී හාවි ඔස්වල්ඩ්ගේ තුවක්කුවෙන් නිකුත් වූ බවටය. මෙය කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස සිදු කෙරුණු බැව් ඔවුන්ගේ ද මතය විය. එහෙත් ඇමෙරිකානු ප‍්‍රජාවේ මතය වූයේ එක් පුද්ගලයකුට වඩා වැඩි පිරිසක් මෙම ඝාතනය සඳහා සහභාගී වන්නට ඇති බවයි. 


කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස සිටියෝ කවරහු ද? තවමත් නොවිසඳුණු පැනයක් බවට පත්වී ඇත්තේ එයයි. ඒ සඳහා විවිධ පුද්ගලයන් විසින් කුමන්ත‍්‍රණ කරන ලද බවට විවිධ මත පළවිය. කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ බලයෙන් පහ කිරීම සඳහා සී.අයි.ඒ. සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරුණු සැලසුම්වලට ඔහු එතරම් අනුබලයක් නොදැක්වීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. නායකයන් පිරිසකට ඔහු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් තිබූ බවට රාවයක් පැතිරිණි. කියුබානු විප්ලවයට පෙර එහි උක් වගාව, මත්පැන් ව්‍යාපාර, කැසිනෝ හා සංචාරක ව්‍යාපාර මෙහෙයවන ලද්දේ ඇමෙරිකානු මාෆියා සංවිධාන මගිනි. කියුබානු විප්ලවය හේතුවෙන් ඔවුනට මේ සියලු ව්‍යාපාර අහිමි විය. එහෙයින් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඔවුනට අවශ්‍ය වී තිබිණි. සී.අයි.ඒ. සහ මාෆියා කණ්ඩායම් මෙම කාර්යය සඳහා සහයෝගයෙන් ක්‍රියා කළ අතර සී.අයි.ඒ. මෙහෙයුම් සඳහා ජනාධිපති කෙනඩි සීමා පැමිණවීම ඔවුන්ගේ ක්‍රෝධයට ප‍්‍රධාන හේතුවක් වූ බැව් පැවැසේ. 


1964 ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වූ අතර ජනමත විචාරණ අනුව පෙනී ගියේ කෙනඩි ජනාධිපතිවරයාට වැඩි ජනතා ප‍්‍රසාදයක් හිමිවී තිබූ බවටය. උපජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ට එතරම් ජනතා ප‍්‍රසාදයක් නොවූ අතර සිය දෙවැනිවර මැතිවරණ සටනට නව උපජනාධිපතිවරයකු නම් කිරීමට කෙනඩි ජනාධිපතිවරයා තීරණය කර තිබූ බැව් පැවැසේ. එහෙයින් කෙනඩි ඝාතනය පසුපස උපජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් ද සිටින බවට සැක මතු විය. ලී හාවි ඔස්වල්ඩ් විසින් ජනාධිපති කෙනඩිට වෙඩි තබන ලද අවස්ථාවේ ජොන්සන් උපජනාධිපතිවරයාගේ හිතවතකු වූ මැල්කම් වොලස් නමැත්තකු ඔහු සමඟ සිටි බවට තොරතුරු අනාවරණ විය. 


කෙනඩි ඝාතනය ඇමෙරිකානු හමුදා හා කාර්මික බල සංකීර්ණයේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවට ද සැකයක් පවතී. මෙම හමුදා හා කාර්මික බල සංකීර්ණයේ සාමාජිකයන් වූවෝ ආරක්ෂක ප‍්‍රධානීන්, ඔත්තු සේවා සාමාජිකයන්, අවි නිෂ්පාදකයන් වැනි පිරිස්ය. ඇමෙරිකාව නිරතුරු යුද ගැටුම්වලට මැදිහත් වනවිට මොවුනට විශාල වශයෙන් ධනය උපයා ගැනීමට හැකි වූ අතර ජනාධිපති කෙනඩිට අවශ්‍ය වූයේ අනවශ්‍ය යුද ගැටුම්වලට මැදිහත් නොවී සිටිමටය. එමෙන්ම වියට්නාම් යුද්ධයට එක්ව සිටි හමුදා ප‍්‍රමාණය ද අවම කිරීමට ඔහුට අවශ්‍ය විය. යුද ගැටුම් අවම කෙරුණොත් තමන් උපයන අතිවිශාල ලාභය අහිමි වී යා හැකි යැයි සිතූ මෙම කණ්ඩායමේ කුමන්ත‍්‍රණයකින් කෙනඩි ඝාතනය කෙරුණු බවට තවත් මතයක් පැතිර ගියේය. පසුගියදා අනාවරණ වූ ලිපිගොනුවලින් කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස සිටි සැබෑ චරිත පිළිබඳ කිසිවක් අනාවරණ නොවේ. සාක්ෂි සටහන් මත ඉදිරිපත් වූ වාර්තා අනුව ඝාතකයා ලෙස තහවුරු වූයේ ලී හාවි ඔස්වල්ඩ්ය. එහෙත් මෙම ලිපිගොනුවලින් අනාවරණ තොරතුරු මත කිසියම් කුමන්ත‍්‍රණයක් පැවැති බැව් ජනතාවට පැහැදිලි වෙයි. 


මෙම ලේඛනවලින් වැඩි සංඛ්‍යාවක් එෆ්.බී.අයි නිලධාරීන්ගේ සාක්ෂිය. ඒ අතර එකල එෆ්.බී.අයි. අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලද එඩ්ගා හූවර් විසින් සකසන ලද ලිපි ගොනුව ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. කෙනඩි ඝාතකයා ලෙස සැලකෙන ලී හාවි ඔස්වල්ඩ්ගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට ඔහු ඝාතනය වීමට පෙර දින රැයේ තමා පොලිසියට අනතුරු ඇඟවූ බවත් පොලිසිය ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ බවත් එඩ්ගා හූවර් කියා තිබේ. 
1963 නොවැම්බර් 24 වැනි දින හූවර් මෙලෙස සඳහන් කර තිබේ. “ඩලස් හි පිහිටි අපගේ කාර්යාලයට පෙර දින රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලැබිණි. ඉතා සන්සුන් හඬකින් අප ඇමතූ එම පුද්ගලයා තමා ඔස්වල්ඩ් ඝාතනය කිරීමේ වගකීම පැවරී තිබූ කමිටුවේ සාමාජිකයෙකැයි සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රධානියා දැනුම්වත් කළ අප ඔහුට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටි අතර ඔහු එය ලබා දෙන බවට අපට පොරොන්දු විය. එහෙත් ඔහුට නිසි ආරක්ෂාව ලැබී තිබුණේ නැත. ඔස්වල්ඩ් ඝාතනය කළ ජැක් රූබි පිළිබඳ පැහැදිලි තොරතුරු අපට ලැබී තිබුණේ නැත. එහෙත් ඔහුගේ නම රුබෙන්ස්ටයින් බවත්, ඔහු පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවටත් තොරතුරු ලැබී තිබිණි.” 


ලී හාවි ඔස්වල්ඩ් මිය යෑමට පෙර ඔහුගෙන් සාක්ෂියක් ලබා ගැනීමට එෆ්.බී.අයි නිලධාරීන් උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. තමා කිසිවිටෙක ඩලස් හි එෆ්.බී.අයි කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා නොදුන් බවට රූබි ප‍්‍රකාශ කළේය. එඩ්ගා හූවර් සහ නියෝජ්‍ය නීතිපතිවරයා වූ නිකලස් කැට්සෙන්බාක් කුමන්ත‍්‍රණයක් පවතින බවට තොරතුරු පැතිර යනු ඇතැයි බියට පත් වූහ. ඔස්වල්ඩ් මෙක්සිකෝ සිටි නගරයේ සිට කියුබානු තානාපති කාර්යාලයට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවටත්, තමන්ට වීසා ලබා දෙන ඉල්ලා සෝවියට් තානාපති කාර්යාලයට ලිපියක් යවන ලද බවටත් ඔවුනට තොරතුරු ලැබී තිබිණි. එහෙයින් ඔස්වල්ඩ්, කෙනඩි ඝාතකයා ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුහු පියවර ගත්හ. 


එවක මෙක්සිකෝ සිටි නගරයේ සී.අයි.ඒ කාර්යාලයේ සේවය කළ නිලධාරියකු වූ ඊ. හාවර්ඩ් හන්ට්ගේ සාක්ෂි සහිත පිටු 400කින් පමණ සමන්විත ලිපිගොනුවෙන් ද වැදගත් සාක්ෂි හෙළිදරව් වී තිබේ. ඔහු මෙම ඝාතනය පිළිබඳව තමන් කලින් දැන සිටි බැව් සිය මරණ මංචකයේදී ප‍්‍රකාශ කළ බවට එහි සඳහන්ය. 


සී.අයි.ඒ බුද්ධි අංශ ප‍්‍රධානී සහ ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා මාෆියා සංවිධාන සමඟ කටයුතු කළ ජේම්ස් ජීසස් ඇන්ග්ල්ටන්ගේ පිටු 100කින් යුතු වූ සාක්ෂිය, කෙනඩි විසින් පිටුවහල් කිරීම මත ඔහු සමඟ වෛරයෙන් පසු වූ නිව් ඔර්ලියන්ස් මාෆියා නායක කාර්ලොස් මාසෙලෝ පිළිබඳ ලිපි ගොනුව, 1963 ලී හාවි ඔස්වල්ඩ් ඩලස් සිටි බවට ඔහුගේ නීතිඥයා විසින් ඉදිරිපත් කරන ලද ලිපි ගොනුව, ජැකී කෙනඩි සිය අත්අකුරින් ලියන ලද ලිපිය මෙලෙස අනාවරිත ලිපිගොනු අතර ඇති වැදගත් ලිපිගොනු කිහිපයකි. 


අනාවරණ කළ හැකි ඇතැම් ලිපිගොනුවල ඇතැම් පුද්ගල නාම, කේත නාමවලින් හඳුන්වා ඇති හෙයින් එම නම්වලින් හැඳින්වෙන පුද්ගලයන් කවුරුන්ද යන්න මේ වනවිට හඳුනා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයන් බිය පළ කර තිබේ. ඇතැම් ලිපිලේඛන අතින් ලියා ඇති හෙයින් 1970 දී පමණ සකස් කෙරුණු එම ලිපිවලින් ඇතැමෙක් කියවිය නොහැකි තත්ත්වයක පවතින බව ද සඳහන්ය. 

 

 

කෙනඩි ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන ලී හාවි ඔස්වල්ඩ් නියුරෝසියාවෙන් පෙළුණු මානසික රෝගියකු ලෙස සෝවියට් නායකයන් හඳුන්වා තිබේ. මෙම කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් තමන් ද බියපත්ව සිටි බවත් මෙම ඝාතනය පිටුපස දක්ෂිණාංශික කණ්ඩායමක් හෝ කෙනඩිගේ අනුප‍්‍රාප්තිකයා වූ ලින්ඩන් බී. ජොන්සන් හෝ සිටිය හැකි බවට වන සැකයක් තමන් තුළ පැවැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත. 


ලිපිගොනු අතර තිබූ සී.අයි.ඒ. මෙමෝ සටහනකට අනුව තමන් මෙම ඝාතනයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවූ බවට කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ පවසා තිබේ. එහෙත් ඇමෙරිකාවේ කියුබානු තානාපතිවරයා මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉතා සතුටින් සිටි බැව් තමන්ට අනාවරණ විනැයි එම මෙමෝ සටහනේ වැඩිදුරටත් සඳහන්ය. 
 1963 සැප්තැම්බර් 28 වැනි දින මෙක්සිකෝ සිටි නගරයේ සිට ලී හාවි ඔස්වල්ඩ් ඇමෙරිකාවේ රුසියානු තානාපති වැලරි ව්ලැඩිමිරෝවිච් කොස්ටිකොව් හට දුරකතන ඇමතුමක් ලබාදුන් බවටත්, ඔක්තෝබර් 1 දින කැඩුණු රුසියානු බසින් තමා කවුරුන්දැයි හඳුන්වා දෙමින්, වොෂින්ටනයට යවන ලද විදුලි පණිවුඩය සම්බන්ධයෙන් අලුත් තොරතුරක් ලැබී ඇතිදැයි රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියකුගෙන් විමසා ඇති බවත් තවත් මෙමෝ සටහනක දැක්වේ. ‘කොස්ටිකොව්’ - හඳුනාගත් කේජීබී නිලධාරියා නමින් සඳහන් තවත් මෙමෝ සටහනක ‘කඩකප්පල්කාරී ක්‍රියාවලට සහ ඝාතනයට වගකිව යුතු නිලධාරියා’ ලෙස ඉහත කී රුසියානු තානාපතිවරයා හඳුන්වා තිබේ. 


කෙනඩි ඝාතනය වීමට විනාඩි 25කට පමණ පෙර ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඊවිනිං නිව්ස් පුවත්පතේ මාධ්‍යවේදියකුට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබිණි. ඉන් පැවසුණේ ඉතා වැදගත් ප‍්‍රවෘත්තියක් පිළිබඳ දැන ගැනීම සඳහා මඳ වේලාවකින් ලන්ඩන්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසිනි. 


සී.අයි.ඒ. සංවිධානයේ ඝාතන කුමන්ත‍්‍රණ සහ එවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් දීර්ඝ ලිපිගොනු ද මේ අතර වේ. එම ව්‍යාපෘති සඳහා ඩොලර් දහස් ගණනින් වැය කෙරුණු බවට වන සාක්ෂි සහිත ගිණුම් පොත් සහ රිසිට්පත් ද ඒවායේ ඇතුළත්ය. මෙම මෙහෙයුම් වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ කියුබාව, ඩොමිනිකන් ජනරජය, කොංගෝව සහ උතුරු හා දකුණු වියට්නාමයේ සිට බවට එම ලිපිගොනුවලින් අනාවරණ වී තිබේ. 

 

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 



අදහස් (0)

ඇත්තටම ඇමෙරිකා ජනපති මැරුවේ කවුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site