IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආභාසයෙන් එදා සිට අද දක්වා ම නැටුම්,ගැයුම්,වැයුම්වලින් සපිරුණු පරපුරවල් දිවයිනේ හතර දිග් භාගයේම විහිදිලා වෘත්තීමය වශයෙන් හෝ එම කලාව දියුණු කරන්න ,ප්‍රගුණ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා.

එදාමෙදාතුර මේ ජන සමාජය ඇතුළත දේශීය නර්තන කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ පරම්පරාගත නර්තන ශිල්පීන්ගේ හෙට දවස පිළිබඳව කතා බහක් ඇති වූයේ අද ඊයේක සිට නොවෙයි. මේ බොහෝ නර්තන ශිල්පීන් පරම්පරාවෙන් ආ එම කලාව රැකගන්න තවත් පරම්පරා ගණනක් ඉදිරියට ගෙන යන්න කළ කැපකිරීම් මිල කළ නොහැකි තරමි.

ඈත අතීතයේ පටන් ඕනෑම සුබ කටයුත්තකදි කලා ශිල්ප පෙරදැරිකර ගැනීම ශ්‍රී ලාංකිකයන්ට අරුමයක් නෙමෙයි.සුබ කටයුත්තක පමණක් නොව මරණයකදි පවා මුල් තැන ගන්නේ කලා ශිල්ප වීම වැදගත් සාධකයක්.⁣ කාලාන්තරයක් තිස්සෙ අපේ රටේ පැවැත්වෙන පෙරහර නමැති සංස්කෘතික කලාංගය තුළ වැඩි ඉඩක් වෙන්වන්නේ ,ඒ මංගල්‍යය හා උරෙන් උර ගැටෙන නර්තන ශිල්පීන්ට.

මහනුවර ඇසළ පෙරහර,කතරගම ඇසළ පෙරහර වගේම ඊට පරිභාහිරව විවිධ පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වන පෙරහරවල්වලට නර්තනයෙන් දායකත්වය ලබාදෙන පරම්පරාගත නර්තන ශිල්පීන්,බෙර වාදකයො බොහෝ වෙලාවට තමන්ගේ ජීවනෝපාය කරගන්නේත් මේ කලාවම තමයි.

නමුත් දශක ගණනාවක් ගෙවී ගියත් ඔවුන්ගේ කාර්ය භාරය වෙනුවෙන් සමාජීය යුතුකම් ඉටුවෙලා ඇතිද කියන කාරණාව අදටත් ගැටලුවක්.

"රඟ බිමෙන් බහිනවිට ගෙයි සන්තකව අැතී
නළල්පට මාල හත් පට සින්න වී ඇතී.."

( ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ /ආචාර්ය රෝහණ වීරසිංහ / ජානක වික්‍රමසිංහ )

උඩරට ගත්තත්,පහතරට ගත්තත්,සබරගමුව ගත්තත් මේ නර්තන සම්ප්‍රදායන් තුනෙහිම අද දක්වා නියැලෙන්නෙ එකම පරම්පරාගත පිරිසක්. ආදි රජ කාලය තුළ ගම් බිම් අාදී නොයෙක්විද වරදාන හිමිවුණත් අද වෙද්දි එම පරම්පරාගත සම්ප්‍රධායන් පවා ඉදිරියට රැකගෙන අරන් යන්න වර්තමාන පරම්පරා මැළි වන්නේ ආර්ථිකමය බලපෑම් නිසා.

ඒ වගේම තමයි අද වෙද්දි විවිධ නර්තන සම්ප්‍රදායන් රට තුළට හඳුන්වාදීම තුළ හා ඒ සියල්ල මුදල මත තීරණය වීමත් එක්ක දේශිය නර්තන කලාව කෙමෙන් පසු බසින තැනකට නිර්මාණය වී තිබීම අවාසනාවන්ත සිදුවීමයි. පැරණි සම්ප්‍රධායන් තුළ ඇති විවිධ ශිල්ප උකහාගෙන ඒ තුළින් නව නිර්මාණ ගොඩනඟා විවිධ වේදීකා මත රඟ දැක්වීමෙන් තරුණ පරපුර මුදල් සෙවීමේ පහසුම මඟ අවබෝධ කරගෙන තිබෙනවා.මෙි තුළින් දේශිය නර්තන කලාව වගේම ශිල්පීන්ද බොහෝ පසුබෑමකට ලක්වීම ඛේදවාචකයක්.

ගතේ සවි දියවී
ඇසේ සුද මතුවී
දෙපා යුග වැහැරී
තඳෙනා...තම්දෙනා...තඳෙනා...

වයා ⁣බෙර පද ගයා බුදු ගුණ
තබා තාලෙට පා ගිගිරි බැඳ
ගමේ පන්සල අං පිටිය ළඟ
තේජසින් බැබළී....
නසා ඇස්වහ දෝෂ අනවින
මහා වැසි ගෙනදී.....

පැලේ දුක් කඳ කියා වැල් ඇඳ
නගයි කෙඳිරිලි හඬ සිහින් සර
ඉනේ බෙර කඳ පමණි සන්තක
ග්‍රහ අපල වැඩිවී....
කලාභූෂණ සම්මානයේ
උජාරුව සසැලී....


ස්වර - සමන්ත පෙරේරා 
හඬ - සමන් ලෙනින්

අලුත් පරපුරේ ගී පද රචකයන් අතරේ නිර්මාණශීලී ගී පද රචකයකු වන රංජිත් කෝරළේ සුවිශේෂී වන්නේ ඔහුගේ ගී පද රචනා හුදු ප්‍රේමය,විරහවට පමණක් සීමා නොවී සමාජීය ගැටලු පුළුල් ඇසකින් විමසා නිර්මාණනරණයේ යෙදීමයි.බොහෝ සමාජිය කාරණා තම නිර්මාණ තුළින් සමාජගත කිරීම නවක නිර්මාණකරුවන්ගේ සුබ හෙට දවසක් වෙනුවෙන් මං තැනීමක්.

"පහතරට නර්තන ශිල්පීන් වැඩි පිරිසක් කුල අනුව තමයි පරම්පරාවෙන් ඒ ශිල්පය ඉදිරියට අරන් එන්නේ.ගැමි සමාජය තුළ කුල ක්‍රමය තවමත් ක්‍රියාත්මක වනවා බොහොම තදින් .පහතරට ශාන්තිකර්ම කරන මං දන්න ප්‍රවීණ කලාකරුවෙක් හිටියා.ඔහු අඩු කුලයක කෙනෙක් .උසස් කුලවල මිනිස්සුත් ඔහුට ගුරුන්නාන්සේ කියල බොහොම ගෞරවයෙන් අමතනවා ඔහුට කියල සෙත්  ශාන්තියක් කරගන්න ඕන වුණාම .උත්සවයකට,පිරිතකට හේවිසි ගහන්න ඕන වුණාම ඒ මනුස්සයා ළඟට ගිහින් වාහනයකින් එක්කගෙන එනවා.වැඩේ ඉවර වෙලා  බෙරෙත් උස්සගෙන පාරට වෙලා ඉන්නවා ආපසු ගෙදර යන්න මොකක් හරි වාහනයක් එනකං බලාගෙන .ඔය කෙනාට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලාභූෂණ සම්මානයත් ලැබුණා .ඒක දිහා බල බල ඔහු හරිම සතුටක් ලැබුවා.ගොඩක් වයසට ගියාම අංශ භාග රෝගය වැළඳුනා.ඇඳේමයි හිටියෙ .ම බිරිඳයි දරුවොයි හැරෙන්න කවුරුත්  සැලකුවෙ නෑ අවසාන කාලයේ.ඔහුට කියල සෙත් ශාන්ති කරගත්ත මිනිස්සුත් පැත්ත පළාතෙ ගියෙ නෑ .මේ මනුස්සයාගෙ ජීවිතය දැකල තමයි මගේ අතින් මේ  ගීතය ලියැවෙන්නෙ"

බෙර පදවල⁣ට දෙපා තබා අඩව්,කස්තිරම් මොන තරම් ඇල්ලුවත් ඒ දෙපා වෙව්ලලා වාරු නැති කාලයක් උදාවන බව හැම නර්තන ශිල්පියෙක්ම නොදන්නා කාරණාවක් නෙමෙයි.එහෙම දැන දැනත් පරම්පරාවෙන් ආ කලාව මුදලකට විකුණන්නේ නැති ඒ මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් නැගී සිටින වගකිවයුතු නිලධාරීන්,මිනිසුන් රට තුළ කවදා බිහිවේදැයි තවම සැකයක්.

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (1)

කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......

Ranjith Korale Wednesday, 26 July 2023 01:03 PM

බොහොම ස්තුතියි ප්‍රතිභාපූර්ණ ගී පද රචක ,මාධ්‍යවේදී සුජිත් ප්‍රසංග සොයුරාට මේ ගීතය ජනගත කිරීම වෙනුවෙන් මේ පළකළ සටහනට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site