IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුලසේන ෆොන්සේකාගේ යොවුන් නවකතා වික්‍රමය

පුස්තක මස්තක - 3

 

 

දරුවන්ට පොත් ලියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි‘ කියල විදෙස් රටක ප්‍රවීණ ලේඛිකාවක් ප්‍රකාශ කරල තිබුණු බවක් කලකට පෙර අන්තර්ජාලයේ දුටුවා. දරුවන්ට සහ නව යොවුන් පරපුරට පොත පත කියැවීම හුරු කිරීම සහ ඔවුන්ගේ මනස සවිබලගැන්වීමට සුදුසු පොතපත සැකසිය යුත්තේ ඉතා පරෙස්සමෙන්. වෙනත් රටවල කතාන්තර වල සමේ වර්ණය අනුව භේද නොවීම, දෙමාපියන්ගේ විවාහක අවිවාහක බව, අනාථ හෝ සුජාත බව, ආගමික නොසන්සුන්තාව ඇතිකිරීම වැනි කාරණා ගැන දැඩි ලෙස අවධානයට ලක්කරනවා. නමුත් අපේ රටේ ඇතැම් පොත් කියවද්දි වචන තියෙන පලියට දමා තිබෙනවා මිස දරුවාගේ මනසට මෙය කොයි විදියට ගෝචර වනවා දැයි සිතා ඇතිද යන්න ගැන සැක මතුවෙනවා.

එහෙව් රටේ නව යොවුන් පරපුරට සාහිත්‍ය කෘති කිහිපයක්ම තිළිණ කළ පුද්ගලයෙක් තමා කුලසේන ෆොන්සේකා මහතා. එතුමන් මිය යන විට යොවුන් නවකථා හයක් ජාතියට දායාද කර තිබුණු අතර, එයින් කිහිපයකටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිව තිබුණා. අද අපි කතාකරන්නේ එම කෘති අතරින් ‘තුන් ඈඳුතු නවකථා‘ ලෙස සැලකිය හැකි ‘සෝමපුර වීරයෝ‘, ‘කල්ලන්දූවේ මුතුකොල්ලය‘ සහ ‘තුන් යහළු වික්‍රමය‘ යන කෘති ත්‍රිත්ත්වය ගැන.

පාසල් විෂය නිර්දේශය තුළ ඉතිහාසය විෂය ඉවත් කිරීමට එවක පාලකයන් ගත් අමනෝඥ තීරණය නිසා ඉදිරියේ සිදුවන්නට නියමිත විනාශය වළක්වනු පිණිස කුලසේන ෆොන්සේකා මහතා මෙම පොත් පෙළ ලියූ බව සඳහන්. සත්තකින්ම දරුවන්ට ඉතිහාසය, කලාව, සාහිත්‍යය වැනි විෂයයන් ඇසුරු කිරීමට කුඩා කල සිට පුරුදු පුහුණු කළ යුතුය. එසේ නොවන්නට රොබෝවරයෙක් වැනි දරුවෙක් නිර්මාණය වනු ඇති බවට අනාවැකි පළවුවත්, එය කල් නොයා අපට දැකගත හැකි වීම අභාග්‍යයකි. වර්තමාන දරුපරපුර අසන-කියවන-නරඹන දේ හරහා පරිපූර්ණ පෞරුෂයකින් යුත් විචක්ෂණශීලී දරුවෙක් නිර්මාණය නොවෙන අතර සුදුසුකම් සහ සහතික පත්‍ර සමුදායක් හිමිකරගත් අමුතු ජීවියෙක් බිහිවී තිබෙනු දෙමාපියන්ගේ සහ පාසල් ගුරුභවතුන්ගේ මැසිවිලි තුළින් අපට පෙනෙයි.

සුනිල්, රුවන් සහ අජිත් යන තරුණ චරිත පාදක කරගනිමින් රචිත මේ කතාන්තර තුළ සොබාදහම, ගවේශනය, වීරත්වය සහ ඉතිහාසය වැනි කාරණාත් ප්‍රවාද, පුරාණොක්ති ගැනත් දරුවන්ට හැඟීමක් ඇති කරවයි. තුන් කුළුඳුල් දරුවෙකු නිධානයක් ලබාගැනීමට බිල්ලට දීමට යද්දී බේරා ගැනීම තුන් යහළු වික්‍රමය හරහාත්, සෝමාවතිය නරඹන්නට යන ගමනේදී අතුරුදන් වූ ගුරුවරයෙකුගේ තොරතුරු සොයා වන වැදීමත් ඉන්පසුව නිධන් හොරු රැසක් අනාවරණ කරගැනීමත්, පුත්තලමේ සිට ලන්දේසි බොක්ක හරහා යාත්‍රා කළ ගිළුණු බ්‍රිතාන්‍ය නැවක තිබෙන කුමරියකගේ මුතු මාලයත් මේ කතා වලට පාදක වෙයි. අවසානය දක්වාම කුතුහලය පිරි, රසය නොඅඩුව ලබා දෙමින් නිවැරදි සිංහල බසින් යුතුව පාඨකයා වෙත මෙම කෘති ඉදිරිපත් කරයි.

පසුකාලීනව ඇතැම් විචාරකයන් පවසන්නේ කුලසේන ෆොන්සේකාගේ කෘති ඉනිඩ් බ්ලයිටන්ගේ හෝ ෆ්‍රෑන්ක්ලින් ඩික්සන් වැනි ලේඛක භවතුන්ගේ කෘති ඇසුරින් නිර්මිත ඒවා බවයි. බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව නවයොවුන් දරුවන්ගේ හෝමෝන වර්ධනය සමග ඇතිවන ආකල්ප සහ සිතිවිලි තේරුම් ගනිමින් එරට දරුවන්ගේ මනසට සහ මසැසට කෘති නිර්මාණ කළත් මෙරට එය සිදුවන්නේ අඩු වශයෙනි. ඩබ්.ඒ සිල්වා මහතා, මාර්ටින් වික්‍රමසිංහ මහතා වැනි මහා ලේඛකයන් පවා තම කෘති වලට බටහිර ආභාසය ලැබූ බව නොරහසකි. එසේ හෙයින් මෙවැනි කෘති අපේ දරුවන් අතරට යා යුතුය. විභාග අරමුණු කරගත් සමාජයක බුද්ධිමත් සිසුපරපුරක් බිහිකිරීමට එවක අපේ ලේඛක-ලේඛිකාවන් ගත් උත්සාහයට මල් මිටක් පිදිය යුතුය.

“මටත් හිතෙන්නේ මේක පැරකුම් ප්‍රතිමාව නෙවෙයි, ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක් කියලා.‘‘

අජිත්, රුවන් සමඟ වාදයකට මුල පිරුවේය.

‘‘තමුසෙ පරණවිතාන මහත්තයටත් වැඩිය පණ්ඩිතයෙක් වෙන්න හදනවා.‘‘

රුවන්, අජිත් දෙස බැලුවේ අමනාපයෙන් මෙනි.

‘‘සාධක ඇතුව මිසක්, කවුරුවත් කිව්ව පලියට මම නම් විශ්වාස කරන්නෑ‘‘

‘‘ඇයි දෙයියනේ, ඔය ඇස්දෙකට පේන්නේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ මූණනෙ. ඔය දෑතෙ තියෙන්නෙ කව් සිළුමිණ. හිසේ තියෙන්නේ...........‘‘

‘‘බොරු එපා ඕයි. කව්සිළුමිණ ලිව්වේ දෙවන පැරකුම්....!‘‘

(සෝමපුර වීරයෝ - පිටු අංක 8)

 



අදහස් (0)

කුලසේන ෆොන්සේකාගේ යොවුන් නවකතා වික්‍රමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 27 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site