ගමේ සියලු වැඩිහිටි පිරිමින් යුද සේවයට කැඳවලා ය. ඉතිරිවී සිටින්නේ යෞවනයන් පමණි. ඔවුන් තවමත් පාසල් සිසුන් ය. එහෙත් ඔවුන්ට සියලු වගකීම් බාර ගන්නට සිදුව තිබේ. ඉතින් ඔවුුහු අකලට වැඩිහිටියන් වී සියලූ අභියෝගවලට මුහුණ දෙති.මෙවර කොකුන් වඩා වේලාසනින් අවුත් ය. මේ බහු අරුත් ඇති වැකියකි. මෙවර උන් ගිය අවුරුදුවලට වඩා කලින් ආවේ ඇයි? අයිත්මාතොව් අපට හිතන්නට යමක් ඉතිරි කරයි.
‘වඩාත් ම ආශ්චර්යමත් සිද්ධිය වුණේ ඉන් අනකුරුව ය.
එය මුලින් ම ඇසී ඇත්තේ අනතායිට ය. අනතායි හොඳ එකා.. ඔහු මහ හඬින් කෑ ගසන්නට වන්නේ ය. ‘‘කොක්කු, කොක්කු.. ඉගිල්ලෙනව.’’ සුල්තන්මුරාත් උඩ බැලී ය. අනන්ත නිල් පැහැයෙන් යුතු, අනන්ත ගැඹුරින් යුතු, පැහැදිලි නුබ ගැබේ රවුමට කැරකි කැරකී හෙමින් සැරේ පියා විදා කොක්කු ඉගිලෙති. සෙසු සකුණයන් ද කැඳවමින් රෑනක් සේ එක්වෙති. මහ විසාල කොකුන් රෑනකි. උන් අහසේ ඉහළට නැග ඇත. එහෙත් අහසේ ඉම තව ඈත ය. ඒ අහස සුවිසල් ලෙස පැතිර පවතියි. දිග පළල මෙතෙක් ය’යි කිව නොහෙන ඒ අනන්ත අහස් තලයේ මේ සියොත් රෑන පාවෙමින් සිටිනු දක්නා ලදී. හිස පසුපසට නවා සුල්තන් මුරාත් ඒ දෙස නෙත් යොමා සිටියේ ය. එකෙණෙහිම ඔහුට කෑ ගැසිණ. ‘‘හුරා... කොක්කු’’
මේ දසුන තිදෙනාටම පෙනේ. එහෙත් තිදෙනාම කෑ ගසන්නේ එය පෙනෙන්නේ තමාට පමණක් ය පරිද්දෙනි.
‘‘කොක්කු..කොකකු.. කොක්කු...’’
වේලාසන කොකුන් පැමිණීම යහපත් සුබ නිමිත්තක් බව සුල්තන්මුරාත්ට සිහි විය.
‘‘ඔයාල දන්නවද වේලාසන කොක්කු එන එකේ තේරුම?’‘ සෑදලයේ සිට හැරෙමින් ඔහු තමා පසු පස ඈතින් එන අන්තායිට කෑ ගසන්නට වන්නේ ය. ‘‘ඒ කියන්නෙ හොඳ අස්වැන්නක්. ඔව් හොඳ අස්වැන්නක්’‘
විසල් අහසේ නිල් පැහැය ස්නානය කරමින් කොක්කු පාවෙන්නට වූහ. උන් කිසිදු හදිිසියක් නැති ව උනුන්ගේ පියාපත් ගටමින් සහ එකිනෙකා කැඳවමින් වරෙක තනිව හා වරෙක එක්ව ගුවන අරා රවුම් ගසමින් නිහඬව පාවෙන්නට වූහ. උන්ගේ සිහින් හොට සහ දිගු පා පැහැදිිලි ව පෙනිණි. ඉන් අනතුරුව දැක ගත හැකි වූයේ මේ සියොත් පෙළ සෙමෙන් පහත් වන අයුරු ය. කොක්කු පහළටම, පහළට ම බැසගෙන ආහ. වායුගෝලයේ නැගි වා රළක් විසින් උන් පහළට නෙරපුවා වැන්න.
සුල්තන්මුරාත් මින් පෙර කිසි දින මෙතරම් සමීපව කොකුන් දැැක නැත. පෙර ඔහු උන් දැක තිබුණේ ඈත අහසේ පියාසලනු පමණි.
‘‘බලන්ඩ උන් බහිනව. උන් බහිනව’’ සුල්තාන්මුරාත් කෑ ගැසී ය. තුන්දෙනාම නගුල් ද සිය කණ්ඩායම ද අත් හැර කොකුන් බසින තැනට වහා දිව ගියෝ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ ඉතා ළඟටම පැමිණි මේ පක්ෂීන් දැක බලා ගන්නට ය. උන්ගේ හැටි සොබාව දැක බලා ගන්නට ය. එය නම් හැබෑ ම වාසනාවක් විය යුතු ය.
සුල්තාන්මුරාත් ඒ දෙසට දිව ගිය අයුරු බලා සිිටින්නට තරම් දසුනකි. පොළොව ඔහු ඉදිරියට තල්ලූ කරමින් පිටුපසට ධාවනය වුණාක් වැන්න. හිම වැකි කඳු මුදුන් ද ඔහු පසු කැර ආපසු ගියෝ ය. උඩ සිට බිමට පාත් වන කොකුන් රෑන වෙතින් ඔහු සිය දෑස් ඉවතට ගත්තේ ම නැත. උන් මේ එන්නේ තමා හමු වන්නට ය‘යි ඔහුට සිතිණි. හුස්ම නැවතුණා වැනි ය. ඔහුගේ ප්‍රීතිය නිම්හිම් විය. කොකුන් දෙසට දිවයන ඔහුට සිතුණේ උන්ගේ පිහාටුවක් බිම වැටුණොත් මොන තරම් අගනේ ද කියා ය. එවිට එය ඇහිඳ ගෙන ගොස් මිර්සගල්ට දී විස්තරය කිව හැකි ය.
කෙසේ හෝ උන් පසු කර ගොස්. උන් හැබැහින් ම අල්ලන තරමේ ළඟින් දැක ගන්නට ලැබුණොත්. එහෙයින් ඔහු දිව ගියේ ය.මිර්සග් පිළිබඳ මුදු මොළොක් හැඟුම් කැටිකැර ගෙන ම... තමාට හැකි විණි නම් කොක් පිහාට්ටක් රැගෙන මේ මොහොතේ ම ඇය වෙත දිව යනවා ඇත.’
චින්ගීස් අයිත්මාතොව් (1928 - 2008) නමැති සෝවියට් - කිර්ගීස් ලේඛකයා විසින් රචනා කරනු ලැබ 1982 වසරේ මොස්කව් හි රුසියන් බසින් පළ වූ ”රාන්න්යේ ශ්ෂුවර්ලි” නම් කෙටි නවකතාව ඊට පසු වසරේ ඊ. මෑනිං නමැති ලේඛකයකු විසින් The Early Cranes නමින් ඉංගිිරිසියට පරිවර්තනය කරන ලදී. පොතක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නට පෙර එය සෝවියට් ලිට්රේචර් සඟරාවේ 1976 මැයි කලාපයේ සම්පූර්ණයෙන් ම පළ වී තිබේ.
අයිත්මාතොව් සිංහල පාඨකයන්ට අමුත්තෙක් නොවේ. ‘ගුරු ගීතය‘ නමින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතිය නොකියැවූ අය විරල ය. ඔහුගේ කෘති අතරින් බහුතරය මේ වනවිට සිංහලට පරිවර්තනය වී තිබේ. මේ පොත සහ ගුරු ගීතයට අමතර ව ජමිලා, අම්මා සහ මිහි මව, සුදු නැව, සමුගනිමු ගුල්සාරි, ධීවරී ගීතය, සියක් වසක් පවත්නා දවස, දංගෙඩිය එසේ පරිවර්තනය වී ඇති කෘතිවල සිංහල පරිවර්තනවල නම් වේ.
කිර්ගීස් සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස බුහුමන් ලබන අයිත්මාතොව්, සම්භාව්‍ය සෝවියට් ලේඛකයකු ලෙස විදේශයන් හි පවා පතළ කීර්තියක් ඇත්තෙකි. සිය ලේඛක දිවියේ මුල් අවධියේ සෝවියට් ක‍්‍රමය ප‍්‍රචලිත කිරීම සඳහා සිය පෑන මෙහෙයවුව ද පසුව ඔහුගේ ලේඛන රටාව වෙනස් විය. සමකාලීන ඇතැම් ලේඛක සගයින් මෙන් ඔහු දිගටම ප‍්‍රචාරක කෘති ඉදිරිපත් කළේ නැත. ‘සියක් වසක් පවත්නා දවස’ වැනි නවකතා සෝවියට් පාලනය රිස්සුවේ නැත. කෙසේවෙතත් ඔහු අවංක කොමියුනිස්ට්වාදියෙක් විය. රුසියානු පාලකයන් විසින් ද එය වටහා ගෙන සිටි බැව් පෙනේ. ඔහුගේ මරණයෙන් පසු 'ද ගාඩියන්' වෙබ් අඩවිය මෙසේ සටහන් තැබී ය: ”සිය මතය හැර අන් මතයක් පිළි නොගැනීම සහ නොඑකඟත්වය, අගතිය, කෲරත්වය, කාන්තාවන් පහත් කොට සැලකීම, පීතෘමය වධහිංසා, යනාදි මානුෂික ස්වභාවයේ නපුරුකම් වෙනුවට කරුණාව, ප‍්‍රඥාව, ආදරය සහ කැපවීම, දේශපාලනිකව නව පිබිදිමක් සහිත මධ්‍යම ආසියාවට කියා දීම ඔහුගේ අරමුණ වූයේ ය”
The Early Cranes හි පසුබිම දෙවැනි ලෝක යුද සමයේ කොමියුනිස්ට් පාලනය සහිත සෝවියට් සමූහාණ්ඩුවේ කිර්ගීස් දේශයයි. යුද්ධය අරඹා පවත්වා ගෙන යනු ලබනුයේ ධනවාදීන් අතරින් ඉස්මතුවුණු පැසිස්ට්වාදීන් විසිනි. සෝවියට් දේශය ඊට එරෙහිව සටන් කරයි. සටනට සහාය දීම සෑම සෝවියට් වැසියකුගේ ම යුතුකම වෙයි. ඒ අනුව එහි සියලූ වැඩිහිටියෝ යුද පෙරමුණට යවනු ලැබ සිටිති. එබැවින් ගොවි බිම් පවත්වා ගෙන යන්නට කිසිවකුත් නොමැති හෙයින් ඊළඟ කන්නයේ සිට අස්වැද්දිම යුද්ධයට යාමට තරම් සුදුසු නොවන වයසේ පසුවන හිරිමල් ගැටවුන්ට භාරවෙයි.
ඒ අනුව කිර්ගීස් ගමක පාසලේ හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා සුල්තන්මුරාත්, අනතායි වැනි තුදුස් වියැති ගැටවු පක්‍ෂයේ කමිටුව විසින් තෝරා ගනු ලබන අතර පුහුණුවක් ලබා දීමෙන් පසු ඔවුහු ඈත ගොවිබිම් වෙත යවනු ලැබෙති. මේවායේ ඔවුන්ට රැය පහන් කරන්නට වන්නේ මං පහරන්නන් සහ වන සතුන් මධ්‍යයේ ය. දවසක් රෑ ඔවුන් සිටිනා තැන කරා එළැඹෙන සොරු ඔවුන් බැඳ දමා අශ්වයන් පැහැර ගෙන යති. බැමි ලිහා ගන්නා ගැටවුන්ගේ නායක සුල්තන්මුරාත් සොරුන් හඹා යයි. අශ්වයන් නැවත තමන් සතු කැර ගන්නට ඔහු සමත් වන නමුත් අසෙකුට වෙඩි වැදි මරුමුවට පත් වෙයි. ඔහු සොරුන්ගෙන් ගැලවෙයි. එහෙත් අසුගේ ලේ ඉව ඔස්සේ ඇදෙන වෘකයෙක් ඔහු ඉදිරියේ දත් විළිස්සා ගෙන සිටියි.
'වෘකයා බියෙන් හැකිලී පසෙකට විය. උගේ වලිගය දෙකකුල් අතර දැවටිණි. ඌ දැන් යා යුතුය. මෙතැන ඉන්නේ මිනිසෙකි. මේ මිනිහා තමන් ගොදුර අත්පත් කරගන්නවාට බාධාවකි. පියවර කිහිපයක් පිටිපස්සට ගිය වෘකයා හදිසියේ නැවතී මිනිසා දෙසට හැරී ගොරවන්නට විය. උගේ ඇස් කුරිරු බවක් පෑය. හිස පහත් කොටගෙන දත් විළිස්සා සිය තිරිසන් ස්වරූපය ඉස්මතු කොට, ඌ සීරුවේ මිනිසාට කිට්ටු කළේය.
භයානක හඬක් නිකුත් කරමින්. ඌ නවතාලීමට සමත් වූ සුල්තන්මුරාත් චබ්දාර්ගේ හිසෙන් කටකාලියාව ගලවා ගත්තේය. ලොකු පොල්ලක කෙළවරට තබා තෝන් ලනුවෙන් කටකලියාව එතූ ඔහු එහි ලෝහමය කෙළවර පිටතට සිටින සේ එය අමෝරා ගත්තේය. එය ඔහුගේ ආයුධය වනු ඇත.
වෘකයා සිය උදරය පොළොවේ ගෑවෙන තරමට පහතින් ඔහු සමීපයට පැමිණ දඟර දුන්නක් සේ පහත් වී නැවතුනේ පිම්මකට සූදානම් ව ය.
ජීවිතයේ මුල් වරට මර බියෙන් තමාගේ හද ගැහෙණු සුල්තන්මුරාත්‍ට හැඟීය. එය සිය පපුව තුළ තදින් හැකිළුණු ගුලියක් සේ ඔහුට දැනෙන්නට විය.
කටකලියාවද අමෝරාගෙන තද ප්‍රහාරයකට සූදානම් වී, මඳක් වකගැසුණු ඔහු, අධිෂ්ඨාන සහගතව බලා සිටියේය.'
කතාව එතැනින් නිම වෙයි.
සුල්තන්මුරාත් නිසි වයස එළැඹෙන්නට මත්තෙන් මෙලෙස ඝෝර අත්දැකීමකට මුහුණ දුන්නත්, ඒ දවස්වල දී ම ප්‍රේමයේ නවමු මිහිරි අත්දැකීමෙන් ද පිරිපුන් වෙයි. ඔහුගේ පන්තියේ සිටි මිර්ගසල් නමැති තුදුස් හැවිරිදි දැරියගේ ප්‍රේමය ඔහු දිනා ගනී.
‘ඇය වෙත අත දිගු කරගෙන ඔහු බලා සිටියේ ය. ගල්වැටිය පසුකර කෙළින්ම ඔහු වෙත පැමිණි ඕ සිනා සෙමින් සිටියා ය.
”පරෙස්සමින්. වැටෙන්ඩ එපා” ඔහු යළිත් පැවසී ය.
ඇය පිළිතුරක් නොදුන්නාය. ඔහු දෙස බලා සිනාසුණා පමණි. ඒ සිනාවෙහි ඔහුට දැනගන්නට වුවමනා කළ සියල්ල ගැබ් වී තිබිණි. තමා හැසිරී ඇත්තේ මොන තරම් මෝඩයකු ලෙස ද? ඇයට ලියුමක් ලියා පිළිතුරක් එනතෙක් බලා සිටිමින් සිත් වේදනාවෙන් සිට ඇත්තේ මොන එහෙකට ද?
ඇය ඔහු දෙසට අත දිගු කරත්ම, හෙතෙම ඇගේ අතින් අල්ලා ගත්තේ ය. එකම පන්තියේ අවුරුදු ගණනක් එකට සිටි ඔහු ඇගේ අත මෙතරම් සංවේදි බව, මෙතරම් මිත‍්‍රශීලීබව දැන සිටියේ නැත. ”ඔන්න මම ආවා. ඉතින් මට හරි සතුටුයි. මම කොච්චර සතුටින් ඉන්නවද කියල ඔයාට පෙනෙනන්නේ නැද්ද?” කිසිවක් නොතෙපළන ඇගේ මුහුණේ සටහන්ව ඇත්තේ එ වදන් ය’
The Early Cranes නමින් ම චිත‍්‍රපටයකට නැගී ඇති මේ නවකතාවේ තිරපිටපත සැකසිමේ දී ද අයිත්මාතොව් සිය දායකත්වය ලබා දි ඇත.
ඩබ්.ඒ.අබේසිංහයන් විසින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම කෘතිය වේලාසන කොක්කු ඇවිත් නමින් 1990 වසරේ මුද්‍රණයෙන් නිකුත් විය. ඉහත උධෘත ගන්නා ලද්දේ 2006 වසරේ කුලියාපිටිය සාරද ප‍්‍රකාශන විසින් පළ කරන ලද එහි පුනර්මුද්‍රණයෙනි.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෙිලාසන කොක්කු ඇවිත් The Early Cranes