IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


හිරු උදාවෙයි The Sun Also Rises

පොතක මතක - 18

 

 

 

'උඹල හැමෝම නන්නත්තාර වෙච්චි එවුං'

'ඉන්න පරපුර නැති වෙලා වෙනත් පරපුරක් ඒවි. ඒත් මහ පොළොව සදාකාලිකයි. ඉරත් පායයි. බැහැල යයි ආයෙත් හිටපු  තැනට ම. සුළඟ දකුණට හමයි. හැරිල උතුරට හමයි. සුළි කුණාටු ඇති කරල නැවත  චාරිකාව අරඹයි. හැම නදියක් ම සාගරේට ම ගලාවි.. ඒත් සාගරේ කවදාවත් ම පිරෙන්නෑ.'

'යුද්ද ඒවි. තරුණයන් බෙලහීන කරාවි. ඔවුන්ගෙන් වීදි පුරවාවි. ආතක්පාතක් නැති ඒවුං බවට පත් කරාවි.'

මේ නවකතාව අපට දේවල්  වෙන හැටි අපූරුවට කියා දේවි.


The Sun Also Rises 20 වැනි සියවසේ විසූ අමෙරිකානු ලේඛකයන්  අතර සම්භාව්‍යයකු ලෙස සැලකෙන 1954 වසරේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි කැර ගත් අර්නස්ට් හෙමිංවේ (1891 - 1961) විසින් 1926 වසරේ දී රචිත ඔහුගේ දෙවැනි නවකතාවයි.

විශ්ව සාහිත්‍යය පරිශිලනය කරන ලොව කවර දේශයක වුව අයකුට හෙමිංවේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ඔහුගේ The Old Man and the Sea එතරම් ප්‍රකට හෙයිනි.  එය කලකට ඉහත සිරිල් සී. පෙරේරා මහතා විසින් 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලට පර්වර්තනය කොට ඇති අතර  මෙරට පාඨකයන් අතර අතිශය ප්‍රකට වූවකි. ඔහුගේ Farewell to Arms සම්මානනීය නවකතාව ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ විසින් 'යුද්ධය හා ‌ ප්‍රේමය' නමින් සිංහල පාඨකයන්ට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙය නන්නත්තාර වූ පරපුරක කතාවකි'යි කර්තෘ ම අපට කියයි. 

20 වැනි සියවසේ දෙවැනි හා තුන්වැනි දශකවල ක්‍රියාත්මක වූ පළමුවන ලෝක මහා යුද්ධය ලෝකය නන්නත්තාර කළේ ය. පංච මහාද්වීපය ම පැටලුණු මෙහි දී කෝටියකට ආසන්න මිනිස්සු පිරිසක්  ඝාතනය වූවෝ ය. තවත් මිලියන හතහමාරක් පමණ අතුරුදන් වු අතර තුවාල ලැබූ සංඛ්‍යාව මිලියන 21 පමණ ‌විණි'යි ගණන් බලා ඇත.  එවකට පැවැති රුසියානු, ජර්මානු, ඔටෝමාන් සහ ඔස්ට්‍රියා - හංගේරියා යන අධිරාජ්‍ය හතර ම බිඳ වැටී එක් පසෙක සෝවියට් දේශය සහ අනෙක් පස අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇලිය නව අධිරාජ්‍ය ලෙස ඉදිරියට ආයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. මේ නවකතාවේ අන්තර්ගත වන්නේ බිහිවූ අලූත් ලෝකයේ ආරම්භක අවධියේ තරුණ පරපුරේ ස්වභාවයයි.

නවකතාව ඇරඹෙන්නට පෙර එහි ප්‍රස්තාව (epigraph) ලෙස හෙමිංවේ සිය සමකාලීන ලේඛිකාවක වන ගර්ටෘඩ්  ස්ටෙයින්ගේ (1874 - 1914) වැකියක් සහ පුරාණ හීබ්රූ බයිබලයේ එක්සලියාස්ටිස් වෙතින් උපුටා ගත් පාඨයක් ඉදිරිපත් කරයි.

'ඔබ සියල්ලන් ම අතරමං වූ පරපුරකි' (You are all a lost generation.) 

‌මෙහි සඳහන් අතරමං වූ පරපුර යනු 1883 සිට 1900 දක්වා උපන් අයයි. මේ පදය ස්ටෙයින් විසින් මුලින්ම යොදනු ලැබ ඇත්තේ සෑම සෙනසුරාදා දිනකම පැරිසියේ සිය නිවස්නය වෙත එළැඹෙන අමෙරිකාව හැර දමා ආ හෙමිංවේ ද ඇතුළු පිරිසක් හඳුන්වන්නට ය. මෙම සන්දර්භය තුළ 'අතරමං' යන්නෙන් අදහස් කරන්නේ මුල් පශ්චාත් යුද සමයේ යුද්ධයෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුගේ 'නොමඟ ගිය, ඉබාගාතේ යන, දිශානතිය නැති' වෙනස් ආකාරයකින් කියන්නේ නම් නන්නත්තාර ආත්මය යි.  

මේ හැඳින්වීම ඇතැම්විට රළු විය හැකි නමුත් ඒ ඉතාම සුදුසු ආකාරයයි.

පුරාණ හීබ්රූ බයිබලයෙන් ගත් උධෘතය මෙසේ ය:

'පරපුරක් නැති වී යයි. වෙනත් පරපුරක් එයි. එහෙත් මහ පොළොව සදාකාලික ය. හිරු ද පායයි. හිරු බසියි. නැවත නැංග තැනට ම යයි. සුළඟ දකුණට හමයි. හැරී උතුරට හමයි. අනවරතව සුළි නගයි. නැවත සිය චාරිකාව අරඹයි. සියලු නදීහු සයුරට ම ඇදෙති. එහෙත් සයුර නොපිරෙයි. නදීහු නැවත පිරෙති. නැවත ගලති.' (Ecclesiastes )

ඉන් අදහස් වනුයේ සොබාදහම ය. මිනිසුන්ට සොබා දහමට එරෙහිව යා නොහැකි ය. 

The Sun Also Rises ගැන blackfoxlitmag නම් බ්ලොග් අඩවියට 2021 ජුනි 23 දින ලිපියක් සපයන අමෙරිකා ඒක්සත් ජනපදයේ සම්මානලාභී නවකතාකරුවකු සහ විචාරකයකු වන ඩේවිඩ් මැසේගේ එම ලිපියේ ආරම්භය මෙසේ ය.

'මගේ පැරණි මිතුරෙක් අර්නස්ට් හෙමිංවේගේ The Sun Also Rises "කාලාවධි කෘතියක්" (period piece) ලෙස බැහැර කළේය. අපි එය ටිකක් විමසා බලමු.

( කාලාවධි කෘතිය: බොහෝ විට වර්තමානයේ මිනිසුන්ට විමතිය දනවන, ඉතා පැරණි තාලයේ පොතක්, නාට්‍යයක්, චිත්‍රපටයක් වැනි දෙයක්)

පළමුව, සියලු නවකතා කාලාවධි වේ. The Tale of Genji, Don Quixote de la Mancha සහ The History of Tom Jones, a Foundling, මේ සියල්ල කාලාවධි කෘති වේ. ඕනෑම අවස්ථාවක ඇති ප්‍රශ්නය වන්නේ “නවකතාව එහි කාලය හා ස්ථානය ඉක්මවා යනවාද නැතහොත් එහි යුගය සමඟ මිය යනවාද?” යන්නයි. ඉහත උදාහරණ ලෙස ගෙන ඇති නවකතා තුන ඒසේ  ඉක්මවා යයි.  The Sun Also Rises ද එආකාර ය.

සෑම නවකතාවක් ම ඉල්ලා සිටින්නේ, එය, 'එහි සංකල්පයේ සම්පූර්ණ සන්දර්භය හරහා පෙරා බලන ලෙස'යි. හෙමිංවේ මෙම නවකතාවේ ඒ් සඳහා සන්දර්භයේ විශාල කොටසක් යොදාගනියි, ඔහුගේ ප්‍රස්තාව, පැරණි තෙස්තමේන්තුවෙන්උපුටා ගන්නා ලද්දකි: “එක් පරම්පරාවක් පහව යයි, තවත් පරම්පරාවක් පැමිණේ; නමුත් පෘථිවිය සදහටම පවතිනු ඇත…”  උපුටා දැක්වීමට තවත් බොහෝ දේ ඇත, නමුත් මෙම ඛණ්ඩනය නවකතාවේ චිරස්ථායී සදාචාරය වෙත යොමු කරයි; එක්ලසියයාස්ටිස් වෙතින් ගත් ඉහත උධෘතය  මනුෂ්‍ය ප්‍රාර්ථනාවල නිස්සාරත්වය ගැන වන අතර, The Sun Also Rises, සිය පාර්ශ්වයෙන් පුහු අහංකාර ලෝකය සහ කෙනකු එය ඉක්මවා යන ආකාරය ගැන වේ. නිසැකව ම මෙය සදාකාලික තේමාවක් මිස කාලීන අවශ්‍යතාවලින් බැඳුණු  එකක් නොවේ.'

සරලව කියන්නේ නම් මේ නවකතාවේ අන්තර්ගතය වනුයේ එක්දහස් නවසිය විසි ගණන්වල තරුණ කැල ගේ නන්නත්තාර ජීවිතයේ පැතිකඩක් බව සැබැවි. එහෙත් එය සැමදාට ම වලංගු ය. සමහරවිට ලොව පුරා දැන් පවතින විවිධ යුද්ධ හා ව්‍යසන හමුව් අද එදාටත් වඩා වලංගු ය.

මෙහි කතාව අපට කියන්නේ එහි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන ජේකබ් බාර්න්ස් නමැති පැරීසියේ දිවි ගෙවන අමෙරිකානු පත්තරකාරයා ය. යුද්ධයෙන් තුවාල ලැබූ ජේක් ඒ හේතුවෙන් ලිංගික බෙලහීනතාවකින් පෙළෙයි. ඔහු බ්‍රෙට් ඈෂ්ලි නමැති දෙවරක් දික්කසාද වූ ඉංගිරිසි කතක හා පෙමින් බැඳී සිටියි. බ්‍රෙට් ඒ යුගයේ අමෙරිකාවේ උපන් ලිබරල් ලිංගික නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් ඒ සම්බන්ධ අත්හදාබැලීම් කරමින් සිටින තරුණියකි. මේ දිනවල ජේක්ට සිය පාසල් සගයකු වන රොබර්ට් කෝන් මුණ ගැසෙයි. ඔවුන් එකල විලාසිතාවක් ලෙස සැලකුණු ‘ආපනශාලා සමාජය’ට (cafe society) අනුගත වූ ආපනශාලාවලින් කමින් බොමින් පිස්සු කෙළින අතමිට සරු තරුණ පරපුරට අයත් වුවන් ය. 

කොටස් තුනකින් සමන්විත පොතේ පළමුවන කොටසේ දී සිදු වන්නේ ඔවුන් හඳුන්වා දීමයි. ඒ කොටස අවසාන වන්නේ තමන්ට කිසිදා එක්විය නොහැකි බව දෙදෙනාම දන්නා නමුත් එකිනෙකාට ආදරය කරන බව කියා ගන්නා ජේක් හා බ්‍රෙට් ඔවුනොවුන්ගෙන් සමු ගැනීමෙනි. 

පොතේ දෙවැනි කොටසේ දී ජේක්ට නිව්යෝක් සිට මෑතක පැරීසියට පැමිණි රොබර්ට් ගෝර්ටන් ද බ්‍රෙට්ගේ අලූත් පෙම්වතා වන ස්කොට් ජාතික මයික් කැම්බල් ද මුණ ගැසෙති. ජේක් හා බිල් එක්ව ස්පාඤ්ඤයට මාළුබෑමේ සහ ගොන්පොර බැලීමේ චාරිකාවක නිරත වෙති. නැවතත් ඔවුහු සියල්ලෝ ද තවත් අය ද එහි දී එක්වෙති. ඔවුහු මාළුබාමින්, ගොන්පොර නරඹමින් අධික ලෙස බොමින් හා කමින් විනෝදකාමී ජීවිතයක් ගත කරති. ඔවුන් අතර ඉඳහිට ගැටුම් ඇති වුවත් ඒවා එතරම් දුර දිග යන්නේ් නොවේ. මෙහි දී රොමේරෝ නමැති 19 හැවිරිදි ගොන් පොරකරුවෙක් ද ඔවුන්ගේ සමාගමයට එක්වෙයි. 34 හැවිරිදි බ්‍රෙට් ඔහුට වසඟව ඔහු කාමුකත්වයට පොලඔවා ගනිමින් ඔහුට ලිංගිකව හිංසා කරන්නී ය. ඒ අතර ම ඇය සහ මයික් අතර පෙම් සබඳතාව මෙන් ම ඇය සහ ජේක් අතර සබැඳියාව ද එලෙසින් ම පවතියි.

තුන්වැනි කොටසේ දී අපට මුණ ගැසෙන්නේ සංහිඳියාවට පත් පිරිසකි. බ්‍රෙට්, රොමෙරෝ සමග කණ්ඩායම හැර ගොසිනි. ජේක් ආපසු පැරිසියට යන්නට සූදානම් වෙමින් සිටින අතරවාරයේ ඔහුට බ්‍රෙට්ගෙන් විදුලි පුවතක් ලැබේ. රොමෙරෝ තමා අත් හැර ගොස් බැවින් ඇය ඔහුගෙන් පිහිටක් ඉල්ලයි. තමා පූර්ව ජීවිතය අතැර තැන්පත් වන්නට සිතා සිටින බව ජේක් හා පවසන ඇය තමාට මයික් හා විවාහ වන්නට ඇත්නම් ය’යි කියයි. එහෙත් ඇය ජේක් සමග ටැක්සියක නැගී ඔහුට තුරුලූව මැඩ්රිඩ් නුවර සිසාරා චාරිකාවක යෙදෙයි.

මුළුමණින් ම පාහේ සංවාදවලින් පිරී ඇති, මතුපිටින් ඉතා සරල, කිසිම ගැඔුරක් නැති සේ පෙනෙන මෙය අතරමං වුණු, ඉවක් බවක් නැති, නන්නත්තාර තරුණ පරපුරක් ගැන කියන නවකතාවල ආරම්භක කෘතිය ලෙස සැලකිය හැකි ය. 


රොබර්ට් කෝන් සිටින්නේ අපේක්‍ෂා භංගත්වයෙනි. ඔහු වරෙක මෙසේ කියයි:

‘ ”මට දැනෙනව, මගේ ජීවිතේ විගහට ගෙවිල යනව කියල. ඒත් මං හරි විදිහට ජීවිතේ ගත කරන්නෙ නෑ. ඒක මට දරාගන්න බෑ.”

තමන් සිත පෙළන කරදරවලින් නිදහස් වීමට දකුණු අමෙරිකාවට යා යුතු ය කියන රොබර්ට්ට ජේක් කියන්නේ ‘මේ අහනව රොබට්, වෙන රටකට ගියාය කියල කිසිම වෙනසක් වෙන්නෙ නෑ. එක තැනකින් තවත් තැනකට ගිහින් තමන්ගේ ජීවිතෙන් ඈත් වෙන්න බෑ.ඒකට කරන්න කිසිම දෙයක් නෑ’ කියා ය.

‘ ”ඒත් ඔයා කවදාවත් දකුණු අමෙරිකාවට ගිහිල්ල නෑනේ”

”කෙහෙම්මල් දකුණු අමෙරිකාව! ඔයා එහේ ගියත් දැං දැනෙන විදියම තමයි දැනෙනව ඇත්තෙ. කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මේක හොඳ ටවුමක්. ඔයා මොකද ඉතිං මේ පැරිස්වල ඉඳල ජීවිතේ පටන් ගන්නෙ නැත්තෙ?” ’

මෙ බිල් සහ ජේක් අතර සංවාදයකින් කොටසකි.

‘ඔහු තම බඳුනේ වු කෝපි පානය කළේ ය.

‘”ඒක හරි ශෝක් ජීවිතයක්” මම කීවෙමි. ”මම කොයි වෙලාවෙ ද වැඩ කරන්නෙ?”

”ඔයා වැඩ කරන්නෙ නෑ. එක කට්ටියක් කියනව ගෑනු ඔයාට සහයෝගෙ දෙනව කියල. තව කණ්ඩායමක් කියනව ඔයාට ලිංගික දුබලතාවක් තියෙනව කියල”

”නෑ” මම කීවෙමි. ” මට ඇක්සිඩන්ට් එකක් වුණා  එච්චරයි” ’

තරමක් දිග මේ නවකතාව නිමාව දකින්නේ මෙසේ ය:

‘.... මම යා යුතු තැන රියැදුරාට දන්වා රියට ගොඩ වී බ්‍රෙට්ගේ පසෙකින් හිඳ ගතිමි. බ්‍රෙට් මා සමීපයට ළං වූවා ය. අපි දෙදෙන එකිනෙකා ස්පර්ශ වන සේ ළං වී හිඳ සිටියෙමු. මා ඇය වටා අත යවා ඇය තුරුලු කොට ගත් අතර ඇය මගේ සිරුරට හේත්තු වී සුවපහසුවෙන් සිටියා ය. දැඩි උණුසුම සමග දීප්තිමත් බව අවට පැතිර තිබිණි. අවට වූ ගෙවල් පැහැදිලිව සුදු පැහැයෙන් දිස් විය. අපි ග‍්‍රාන්වියා වෙත යාමට හැරුණෙමු.

”අයියෝ ජේක්” බ්‍රෙට් කීවා ය. ”අපි දෙන්නට කොයි තරං සතුටෙන් එකට ඉන්න තිබුණ ද?” 

හිටි ගමන් රථයේ වේගය අඩු කෙරිණි. බ්‍රෙට් මගේ සිරුරට තෙරපුණා ය.

”ඔව්.” මම කීවෙමි. ”එහෙම හිතන එක කොයි තරම් සුන්දර ද?”

හෙමිංවේගේ මේ කෘතිය වර්තමානයේ අපේ රටේ වෙසෙන, මිල අධික ආපන ශාලාවලින් කමින් බොමින්, මහ රැයේ පාළු පාරවල මිල අධික රියවලින් මෝටර් රේස් යමින් ආතල් ගන්නා ඇතැම් සල්ලිකාර විසේකාර තරුණයන් ගැන ලියැවුණු දෘෂ්ටාන්තයක් විය හැකි ය’යි මෙවර එය කියැවූ මට සිතිණ.

හිරු උදාවෙයි මහාචාර්ය කුසුමා කරුණාරත්නගේ පරිවර්තනයකි.



අදහස් (0)

හිරු උදාවෙයි The Sun Also Rises

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site