IMG-LOGO

පාන් සහ වයින් Bread and Wine - ඉග්නාෂියො සිලෝනෙ

පොතක මතක 26

 

 

විරෝධයක් නොපා ආණ්ඩුව කියන කරන දේ සියලූ දෙනා ම ඉවසා දරා ගෙන සිටියොත් කුමක් වේද? එහෙත් හැම දෙනාම එසේ නොවේ. ජීවිත අනතුර ගැන නොසිතන එක් කුදු මිනිසෙක් ඒවාට විරුද්ධව තනිව හඬ නඟයි. එවිට අනෙක්හු ද කෙමෙන් අවදි වෙති. අන්තිමේ දී එය මහත් ප‍්‍රවාහයක් බවට පත් වෙයි. පෙරැළිය ඇති වනුයේ එලෙසිනි. 

‘ ඕනෑම ඒකාධිපතිත්වයක’ ඔහු බියෙන්චිනාට කීවේ ය. ‘එකම එක මිනිහෙක්, තමන්ගේ ඔළුව පාවිච්චි කරන එකම එක පුංචි මනුස්සයෙක්, ආණ්ඩුවේ සම්පූර්ණ පොදු ක්‍රියා පටිපාටියම විපතේ හෙළනවා. අද ආණ්ඩුවේ මතය මහ ජනතාව වෙත ගෙනියන්නෙ දහස් ගණන් ශබ්ද විකාශ, දහස් ගණන් පෝස්ටර්, අත්පත්‍රිකා යනාදිය මගිනුයි. මේ කඩදාසි හැම අස්සක් මුල්ලක් ගානේ ම බෙදා හරින්නේ නොමිලේ. ඒ වගේ ම කථිකයෝ විශාල සංඛ්‍යාවක් රට පුරා විසිරී ගිහිල්ලා ගම්බද පිට්ටනිවල සෙනඟ රැස්කරවා. ආණ්ඩුවේ මතය ප‍්‍රචාරය කරනවා. මේවා නිරන්තරයෙන් ම මහජනයා ඉදිරියේ කියන නිසා ඒවා ඔවුන්ගේ ජීවිතවල කොටසක් වනවා. ඒත් එක් මිනිහෙක්, එක පුංච් මිනිහෙක් ”නෑ” කියා කිව්වොත් පදනම දෙදරනවා. තර්ජනයට ලක් වෙනවා.’

තරුණිය බියට පත් ව සිටි අතර පූජකයා ප්‍රීතියෙන් පසු විය.
”ඒ තැනැත්තාව අත්අඩංගුවට ගෙන මරලා දැම්මොත්?”

”ඒ වගේ නෑ කියන මිනිහකු මරා දැමීම බොහොම අවදානම් ක්‍රියාවක් ” පූජක තැන කීය. ” එයාගෙ මිනිය පවා  ‘නෑ. නෑ නෑ.’ කියා මුමුණන්නට පටන් ගන්නවා. ඒකෙ දෝංකාරය මහා දරුණු හඬක් වන්නට පටන් ගන්නවා. ඒක මහා මුරණ්ඩු හඬක් වෙනවා. මළ මිනියකින් නැගෙන ඒ වගේ හඬක් නවත්තන්නට පුළුවන් මොන ජගතාට ද? ජියෝකොමෝ මැටියෝටි ගැන කවදාහරි අහලා තියෙනවද? ”

”මට මතකක් නෑ ” බියන්චිනා කීවා ය. ”කවුද ඒ? ”
”කාටවත් නිහඬ කරවන්නට බැරි වුණු මළ මිනියක්”

ඉහත උධෘතය ගන්නා ලද්දේ ‘පාන් සහ වයින්’ නම් පරිවර්තිත නවකතාවෙනි.

මේ කෘතියේ නිර්මාණකරු ඉතාලි ලේඛක ඉග්නාෂියෝ සිලෝනෙ (1900 - 1978) ය. 1937 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ ඔහුගේ Pane e vino නම් කෘතිය එරික් මොස්බැචර් නම් ලේඛකයා විසින් Bread and Wine  නමින් ඉංගිරිසියට පරිවර්තනය කරන ලදුව ඒ ඇසුරෙන් ‘පාන් සහ වයින්’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ තිබේ.
මෙය ද ඔහුගේ මුල් ම නවකතාව වූ Fontamara  සහ පසුව ලියන ලද The Seed Beneath the Snow  ලෙස ඉංගිරිසියට පරිවර්තනය වී ඇති නවකතා තුන Abrusso ත්‍රිත්වය ලෙස ගැනේ. ඇබ‍්‍රෑසෝ යනු ඔහු උපන් ගම් පියසයි. එහි වුසූ ගොවීන්, අඳ ගොවින් යනා දී නුගත් රළු  මිනිසුන් මුහුණ දෙන ගැටලූ සහ ඔවුන්ගේ අරගල මේ කෘතිවල තේමාවයි.
1921 දි ඉතාලි කමියුනිස්ට් පක්‍ෂය පිහිටුවීමේ පුරෝගාමියා වූ ඉග්නාෂියො සිලෝනෙ 1930 දී ඉතාලියෙන් පිටමං ව ස්විට්සර්ලන්තයේ පදිංචියට ගියේ මුසොලීනිගේ පාලනය තුළ තවදුරටත් ඔහුට ඉතාලියේ දිවි රැක ගැනීම කළ නොහැකි සේ පෙනී ගිය හෙයිනි. එහි දී ද ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු සිලෝනේ ස්ටාලින්ට එරෙහිව අදහස් පළ කළ හෙයින් ඉතාලි කමියුනිස්ට් පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලදී. ඉක්බිති සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු සිලෝනේ සිය ප‍්‍රථම නවකතාව වු ෆොන්ටමාරා 1933 දී අවසන් කළේ ය. දෙවැනි ලෝක මහා යුද සමයේ නාසීන්ට එරෙහි රහසිගත සංවිධානයක ක්‍රියාධරයකුව සිටි ඔහු CIA  හි පූර්වගාමියා වූ OSS  නම් අමෙරිකානු ඔත්තු සේවාවේ ඒජන්තයකු ලෙස ද කටයුතු කොට තිබේ. ඔත්තුකාරයකු වශයෙන් සිලෝනේට ඇත්තේ කොමියුනිස්ට්වාදී ලේඛකයකු වශයෙන් ඇති පිළිිගැනීමට ඉඳුරාම පටහැනි තත්වයකි. 1922 සිට 1930 දක්වා කාලය අතර ඔහු ඉතාලි කොමියුනිස්ට් පක්‍ෂයට එරෙහිව ෆැසිස්ට් පොලිසියට ඔත්තු සැපයී ය’යි ඉතාලියේ පෙරුජියා සරසවියේ ඉතිහාසය කථිකාචාර්ය දාරියෝ බියෝකා විසින් රචිත අමෙරිකාවේ රිසොලි ප‍්‍රකාශන ආයතනය විසින් 2005 දී එළි දක්වන ලද 'Ignazio Silone, La Doppia Vita di un Italiano' (ඉංගිරිසි: 'Ignazio Silone, The Double Life of an Italian' නම් කෘතියේ සහ ඔහු සමග තවත් ඉතිහාස මහාචාර්යවරයකු වන මොරෝ කැනලි විසින් රචිත L'Informatore. Silone, i Comunisti e la Polizia (ඉංගිරිසි: The Informant. Silone, the Communists and the Police නම් කෘතිවල සඳහන් බව පැවසේ. එහෙත් මේ මතයට දැඩි විවේචන මෙන් ම අප‍්‍රසාදය ද එල්ල වු බව ද සඳහන් ය. 
කෙසේවෙතත් සිලෝනේගේ කෘති මානව දයාවෙන් පිරිපුන් ඒවා ලෙස ප‍්‍රකට ය. ඉතාලියේ දුෂ්කර ගම්බද පළාතක් ලෙස කර්තෘ විසින් මන:කල්පිතව නිර්මාණය කරන ලද ඇබ්රුසෝ පෙදෙස පසුබිම් කැර ගනිමින් නිර්මිත මේ නවකතා තුනෙන් ‘ෆොන්ටමාරා’ හි තේමාව වී ඇත්තේ ගොවි ජනයා සහ ඉඩම් හිමියන් අතර පවතින සදාකාලික ආරවුලයි. මර්සිකා නමැති කල්පිත ගම්මානයේ වෙසෙන නූගත් දිළිඳු ගොවියෝ බාහිර සමාජයේ වන කිසිවක් නොදනිති. ඒ වන විට ෆැසිස්ට්වාදය ඉතාලිය වැනි යුරෝපීය රටවල් ආක‍්‍රමණය කරමින් පවති. බ්‍රෙඩ් ඇන්ඩ් වයින් හි පසුබිම වනුයේ ඒ පළාතේ ම තවත් එබඳුම ගම්මානයක් වන පියැට‍්‍රසැකා ය.
තරුණ විප්ලවකාරයකු වන පිියැට්‍රෝ ස්පීනා මෙහි ප‍්‍රධාන චරිතය වෙයි. රහසිගත සංවිධානයක නායකයකු වන ස්පීනා රහස් පොලීසියෙන් වහංගු වෙමින් දොන් පාඕලෝ ස්පාදා නමැති පූජකයකු ලෙස වෙස්වලාගෙන් මේ ගමට එන්නේ ක්‍ෂයරෝගය ය’යි සැක කළ හැකි පෙණහල්ලේ ආබාධයක් නිසා ය. පූජකවරයකු නොමැති මේ ගමේ මිනිිස්සු පව් සමා කිරීම්, යාච්ඤා මෙහෙය පැවැත්වීම් යනාදී සේවා ඔහුගෙන් බලාපොරොත්තු වන නමුත් ඔහු ඒවා මග හරින්නේ විවේකය ගැනීම සඳහා පමණක් මෙහි පැමිණ සිටින තමාට ඒ සඳහා පල්ලියේ අවසරය නොමැති බව කියමිනි. එහෙත් පූජකයා මරණාසන්න තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත ගලවා ගන්නා නිසා ඔහු හාස්කම් සහිත සාන්තුවරයකු ලෙස මිනිස්සු සලකති.
ඔහුගේ ගුරුවරයා වන දොන් බෙනඩෙට්ටෝ නමැති වෘද්ධ පූජකයා නුදුරේ ගමක වෙසෙයි. පල්ලියේ සම්ප‍්‍රදායයට එරෙහි ඇතැම් ක්‍රියා නිසා දොන් බෙනඩෙට්ටෝට මීසමක් භාර නැත. ඔහු කරන්නේ ඉගැන්වීම පමණි. සමාජය වෙනස් කිරීමේ අරමුණ එතුමාට ද තිබේ. සිය සිසුන් අතර සිටින හමුදා නිලධාරීන්, වෛද්‍යවරුන් යනාදීන්ට වඩා ඔහු ස්පීනා ගැන විමසිලිමත් බව පෙනේ. රහස් සංවිධානයකට බැඳී සිටින ස්පීනා මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා බන්ධනාගාර ගත කරනු ලැබ සිටින බව අනෙක් අතීත සිසුන්ගෙන් දොන් බෙනඩෙට්ටෝට දැන ගන්නට ලැබෙතත් ඒ ඇත්ත නොවේ.
දොන් පාඕලෝ ස්පාදා ලෙස පියැට‍්‍රසැකාවේ ගත කරන ස්පීනාට රූමත් තරුණියන් කිහිප දෙනකුම ඇසුරු කිරීමට අවස්ථා ලැබුණ ද ඔහුගේ සිත ඇදී යන්නේ අතිශය ශෝභා සම්පන්න ක්‍රිස්ටිනා නම් යුවතිය කෙරෙහිය. කන්‍යාරාමයක වැඞී දේවධර්මය හදාරා ඇති ඇය හා ඔහු අතර විරසකයක් ඇති වන නමුත් අවසානයේ ඔහු පාඕලෝ නමැති පූජකයා නොව පියෙට්‍රෝ ස්පිනා නමැති කැරලිකාරයා  බව දැන ගන්නා ඇය ඔහුට ආලය කරන්නට පෙලඹෙයි.
පියැට‍්‍රසැකාවේ දී ඔහුට විවිධාකාර ගම්වැසියන් බොහෝ දෙනෙකු ඇසුරු කරන්නට ඉඩ ලැබේ. එහි දී ඔහු වටහා ගන්නා කාරණය නම් පවත්නා පීඩිත තත්වයෙන් ගැලවෙන්නට ඔවුන්ට වුවමනා නැති බවයි. ඔවුන්ට පාන් තිබේ. ඒවා පොඟවා කන්නට වයින් තිබේ. සැමවිටම ඉස්මතු වන්නේ මේ පරිභෝජන ද්‍රව්‍ය දෙක ය. ඒ මිස වෙනත් කිසිම දෙයක් ඔවුන්ට නැත. ඔවුහු කිළිටු ඇඳුම් හඳින ගඳ ගසන නූගත් මිනුස්සයෝ ය.
"මේ පාන් සාදා තිබෙන්නේ තිරිඟු ඇට ගොඩක් පාවිච්චි කරලා." පියෙට්‍රෝ කීවේ ය. "ඒ තුළින් පිළිබිඹු වන්නේ සමගියයි. මේ මිදි සාදා තිබෙන්නේ මිදි ගෙඩි බොහෝ ගණනක් මිරිකලා. ඒ නිසා එයිනුත් ඇඟ වෙන්නේ සමගියයි. සමාන දේවල තිබෙන සමගිය. ඒ නිසාම එයින් සත්‍යයත් සහෝදරත්වයත් පිළිබිඹු වනවා. මේවා බොහෝ විට එකට පවතිනවා."
"දේව සත් ප‍්‍රසාදයට අයත් පාන් සහ වයින්." මහලු මිනිසා පැවසි ය. "මේ ධාන්‍ය සහ මිදි පාගා දමන ලද ඒවායි. සිරුර සහ රුධිරය." ’
මේ අතර යුද්ධය ඇරඹයි. පියැට‍්‍රසැකාවේ තරුණයෝ යුද්ධයට යති. ස්පීනා රහසිගතව යුද්ධයට එරෙහි වදන් අඟුරුවලින් බිත්තිවල ලියයි. ලියුවේ කවුරුන්දැයි කිසිවකු නොදන්නා අතර ගැමියෝ ඒවායින් කෝපයට පත් වෙති. මෙය හෙළිකරන්නේ මිනිසුන්ගේ යුද්ධයට ඇති කැමැත්තයි. හමුදාවට බැඳී අප්‍රිකාවට යාම සඳහා වන සම්මුඛ පරීක්‍ෂණ සඳහා තරුණයෝ පෝලිම් ගැසෙති. සමහර අම්මලා සිතන්නේ යුද්ධය හොඳයි කියා ය. එයට බැඳුන හොත් තමාගේ පුතාට යමක් කමක් හරිහම්බ කැර ගන්නට අවස්ථාව උදා වන හෙයිනි. මෙය දොන් පාඕලෝගේ සිතේ කෝපයක් ඇති කරවයි. ගමේ තරුණියෝ සොල්දාදුවන් හා රමණයට කැමැති වෙති. 
‘ "ඔබ හිතනවාද මේ දුප්පත් ගොවීන් අතර යුද්ධයට එරෙහි මතවාදයක් තිබෙනවාය කියා?" දොන් පාවුලෝ ඇසී ය. "දුප්පත් මිනිසුන් ඉන්නේ බඩගින්නේ. ඒ නිසා ඔවුන් කොහොමද දේශපාලනයක් ගැන හිතන්නේ?" සැබැග්ලියෝනේ කීවේ ය. "දේශපාලනය කියන්නේ හොඳට කාලා බිලා ඉන්න අයට තිබෙන සුඛෝපභෝගී අංගයක්. ඒත් තරුණ කොටස් අතර යම් තරමක අප‍්‍ර‍්‍රසාදයක් තිබෙනවා." ’
කතාව අවසන් වන්නේ තමා ලුහුබඳින පොලීසියෙන් ගැලවීම පිණිස ස්පීනා හිම වැටෙන ඇඳිරියක කඳුකරයට පලායාමත් සමගිනි. ඔහු ගිය බව තානායම් හිමිකාරියගෙන් දැන ගන්නා ක්‍රිස්ටිනා ඔහුගේ අසනීප තත්වය ගැන සිතා ඔහු කෙරේ වූ ප්‍රෙමයෙන් රාත්‍රියේ ම ඔහු හඹා යයි. වෘකයන්ගේ ගෙරැවිලි ළං ළං ව ඇයට ඇසේ.’
Bread and Wine  අභය හේවාවසම් විසින් පාන් සහ වයින් යන නමින් සිංහලට පරිවර්තනය කරන ලදුව සූරිය ප‍්‍රකාශනයක් ලෙස 2003 වසරේ නිකුත් විය. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි. මේ කෘතියේ තවත් සිංහල පරිවර්තන දෙකක් ද තිබේ.



අදහස් (0)

පාන් සහ වයින් Bread and Wine - ඉග්නාෂියො සිලෝනෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1543 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site