ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස බොහෝ දෙනකුට තවමත් සාමාන්‍ය ආණ්ඩු මාරුවක් ලෙස පෙනෙන්නට තිබේ. මැතිවරණයකින් පැරණි පාලකයන් පරාජය වී නව පාලකයන් බලයට පැමිණීම දේශපාලන ඉතිහාසයේ අලු‍ත් දෙයක් නොවේ. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ එවැනි සරල බල හුවමාරුවක් නොවේ. මෙය පැරණි දේශපාලන සදාචාරය, බලය පිළිබඳ සමාජ අවබෝධය, රාජ්‍ය ව්‍යුහය සහ ජනතාවගේ දේශපාලන පරිකල්පනය එකවර වෙනස් වෙමින් පවතින තීරණාත්මක අවස්ථාවකි.

පැරණි දේශපාලන නායකත්වය තවමත් ජීවමානය. එහි සංකේත තවමත් සමාජය තුළ පවතී. එහි පුද්ගලයෝ තවමත් දේශපාලන වේදිකාවට පැමිණෙති. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ වත්මන් සන්දර්භයට ඔවුන්ගේ අදාළත්වය බරපතළ ලෙස වෙනස් වී ඇත. නමුත් එය ඔවුන්ට අවබෝධ වී ඇත්තේ ද යන්න පැහැදිලි නැත. දේශපාලනයේ සැබෑ අර්බුදය ආරම්භ වන්නේ නායකයන් පරාජය වූ විට නොවේ; ඔවුන්ගේ වචන තවදුරටත් ජනතාවගේ ජීවිතය අර්ථවත් කිරීමට අසමත් වූ විටය. ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින්නේ එවැනි සමාජ වෙනසකටය. මෙය පැරණි දේශපාලන පන්තියක පරාජය පමණක් නොවේ. එය පැරණි දේශපාලන පරිකල්පනයක අවසානය තීරණය කරන මොහොතක් බවට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන සදාචාරය ගොඩනැඟී තිබුණේ නායකයා සහ ජනතාව අතර පැවති විශේෂ සම්බන්ධතාවක් මතය. මැතිවරණයක් පැමිණි විට දේශපාලන පක්ෂ ජනතාව ඉදිරියේ තමන්ගේ ප්‍රතිපත්ති, පොරොන්දු සහ නායකත්වය ඉදිරිපත් කළහ. ජනතාව ඡන්දය ලබාදුන්හ. ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු එම ඡන්දයෙන් ලැබුණු බලය බොහෝ විට නායකයාගේ පවුල, ඔහුගේ සමීප දේශපාලන වළල්ල හෝ විශ්වාසවන්ත අභ්‍යන්තර වටයක් තුළ සංකේන්ද්‍රණය විය.

ජනතාව රාජ්‍ය බලය ලබාදෙන ප්‍රධාන මූලාශ්‍රය වූ නමුත් එම බලය ක්‍රියාත්මක කළේ ජනතාවට වඩාත් සමීපව නොව නායකයාට වඩාත් සමීපව සිටි පිරිසක් විසිනි. මැතිවරණයෙන් ලැබුණු ජනතා අනුමැතිය සහ ආණ්ඩුව තුළ බලය ක්‍රියාත්මක වූ සැබෑ ස්ථානය අතර පැවති මෙම පරතරය ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන සංස්කෘතියේ මූලික ලක්ෂණයක් විය. ජනතාව ආණ්ඩුවක් තෝරාගත්හ. එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔවුන්ගේ බලපෑම සීමා විය. දේශපාලන පක්ෂය ජනතාවගේ නියෝජිතයා ලෙස පෙනී සිටියද, රාජ්‍ය බලය අවසානයේ නායකයාගේ පෞද්ගලික විශ්වාසය සහ අභ්‍යන්තර සම්බන්ධතා මත රඳා පැවතුණි. බලය ලබාගැනීමෙන් පසු ජනතාව වූකලී හුදු විෂයක් බවට පත්විය.

එහෙත් අද සිදුවෙමින් පවතින්නේ එම බල සම්බන්ධතාවයේ වෙනස් වීමකි. දේශපාලන පක්ෂ තවමත් පවතී. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තවමත් රාජ්‍යයේ ප්‍රධාන ආයතනික බලය දරති. එහෙත් දේශපාලන බලය අප සිතනවාට වඩා වෙනස් ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය වෙමින් ඇත. බලය යනු ජනාධිපතිවරයාගේ කාර්යාලය තුළ හෝ ඔහුගේ සමීප දේශපාලන කණ්ඩායම තුළ පමණක් පවතින දෙයක් නොව තොරතුරු පාලනය කරන ආයතන, ආර්ථික සම්බන්ධතා, සමාජ මාධ්‍ය, තාක්ෂණික පද්ධති සහ ජනතාවගේ අවධානය හැඩගස්වන විවිධ බලවේග අතර විසිරී පවතී.

මෙහිදී මතුවන අලු‍ත්ම ප්‍රශ්නය වන්නේ බලය දරන්නේ කවුද යන්න පමණක් නොවේ. බලය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකින්ද, එය ජනතාවට හඳුනාගත හැකි ද, එයට වගකීම පැවරිය හැකි ද යන්නයි. පැරණි දේශපාලන ක්‍රම තුළ බලයේ මධ්‍යස්ථානය හඳුනාගැනීම සාපේක්ෂව පහසු විය. නායකයා, ඔහුගේ පක්ෂය සහ ඔහුගේ සමීප කණ්ඩායම එහි ප්‍රධාන තලයේ සිටියහ. අද එම බල මධ්‍යස්ථානය වඩාත් සංකීර්ණ වෙමින් පවතී. බලය ඛණ්ඩනය වී නැත. එය වඩාත් අපැහැදිලි, විසිරුණු සහ ඇතැම් විට හඳුනාගැනීමට අපහසු ආකාරයකට සූත්‍රගත වෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන ජයග්‍රහණය මෙම සමාජ වෙනසට පැහැදිලි දේශපාලන ප්‍රකාශනයක් ලබාදුන්නේය. එහෙත් එම වෙනස නිර්මාණය කළේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පක්ෂය පමණක් නොවේ. දශක ගණනාවක් තිස්සේ එකතු වූ සමාජ අසතුට, ආර්ථික අත්දැකීම්, දේශපාලන විශ්වාසභංගත්වය සහ නව පරම්පරාවේ විකල්ප පරිකල්පනය ඒ සඳහා පසුබිම සකස් කළේය. එබැවින් මෙම පරිවර්තනය ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ සම්පූර්ණයෙන් පාලනය කළ හැකි දෙයක් නොවේ. ඔහුට එය වේගවත් කළ හැකිය; එය ප්‍රතිසංස්කරණවලට යොමු කළ හැකිය.

එහෙත් එහි අවසාන දිශාව තීරණය කරන්නේ ආණ්ඩුව හෝ රාජ්‍යය පමණක් නොවේ. සමාජය තමන්ගේ අනාගතය පිළිබඳ නව අදහස් නිර්මාණය කරමින් සිටී. දේශපාලන නායකත්වය මෙම වෙනසට අනුගත නොවන්නේ නම්, එය වෙනසේ නියෝජිතයා ලෙස පැමිණ වෙනසටම අභියෝග කොට දුර්වල කරනු ඇත. පැවැත්ම සහතික කරගැනීමට නම් ආණ්ඩුවට පැරණි දේශපාලන බල සම්බන්ධතා නැවත වෙනස් ස්වරූපයකින් නිර්මාණය නොකරන බව ඔප්පු කිරීමට සිදුවනු ඇත. එය තීරණය වන්නේ නායකයන්ගේ ප්‍රකාශවලින් නොවේ; බලය බෙදාගන්නා ආකාරය, ආයතනවල ස්වාධීනත්වය සහ ජනතාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇති ප්‍රවේශය මතය.

මෙම තත්ත්වය තේරුම් ගැනීමට ඉතාලි මාක්ස්වාදී චින්තක ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චිගේ අන්තර්කාලීනත්වය පිළිබඳ අදහස වැදගත් වේ. පැරණි ලෝකය මියයමින් සිටින අතර නව ලෝකය උපත ලබා නොමැති කාලය ඔහුගේ දේශපාලන චින්තනය තුළ විශේෂ අර්ථයක් ගනී. එවැනි අවස්ථාවක සමාජය අස්ථාවරත්වයට පමණක් නොව, පැරණි විශ්වාසයන් නැවත නැවතත් තම බලය තහවුරු කිරීමට උත්සාහ කරන අමුතු දේශපාලන හැසිරීම්වලටද මුහුණ දෙයි. ග්‍රාම්ස්චිගේ ප්‍රසිද්ධ සටහනක දැක්වෙන්නේ, “පැරණි ලෝකය මියයමින් පවතින අතර නව ලෝකය උපත ලැබීමට අරගල කරයි” යන අදහසයි. ඔහු එම අතරමැදි කාලය තුළ විවිධ රෝගී ලක්ෂණ මතුවිය හැකි බවද පෙන්වා දෙයි.

මෙහි වැදගත්කම වන්නේ පැරණි සමාජ ක්‍රමය අසාර්ථක වීමෙන් නව සමාජ ක්‍රමය අනිවාර්යයෙන්ම යහපත් වන බවට සහතිකයක් නොමැති වීමයි. පැරණි බලය දුර්වල වී ඇති නමුත් නව බලය තවමත් සමාජයට පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැත. එවැනි තත්ත්වයකදී නව සමාජ පරමාදර්ශයක් උපත ලැබිය හැකිය. එසේම මිනිසාගේ නිදහස තවදුරටත් සීමා කරන නව පාලන ක්‍රමයක්ද මතුවිය හැකිය. ශ්‍රී ලංකාව අද ගමන් කරන්නේ මෙම දෙක අතර පවතින අන්තර්කාලීන අවකාශය තුළය. එය අතිශය සංවේදී සහ භයානකය.

මෙම අන්තර්කාලීනත්වයේ තවත් ලක්ෂණයක් වන්නේ පැරණි දේශපාලන සංකේතවලට තිබූ ස්වයංක්‍රීය ගෞරවය ක්‍රමයෙන් අහිමි වීමයි. පැරණි දේශපාලන සංස්කෘතිය තුළ ජාතිකත්වය, ආගම, පවුල් සම්බන්ධතා සහ නායකත්වය එකිනෙක සම්බන්ධ වූ සදාචාරාත්මක පද්ධතියක් පැවතුණි. නායකයා යනු ජනතාව වෙනුවෙන් තීරණ ගන්නා පුද්ගලයා පමණක් නොව, ඔවුන්ගේ ජීවිතය අර්ථවත් කරන සංකේතයක්ද විය. එහෙත් අද එම සම්බන්ධතාව බිඳ වැටෙමින් තිබේ. ජනතාව නායකයාට පක්ෂපාතී වීම පමණක් නොව, ඔහුගේ හැසිරීම විමසීමට, ඔහුගේ වචන ප්‍රශ්න කිරීමට සහ ඔහුගේ අධිකාරීත්වය ප්‍රතික්ෂේප කිරීමට පමණක් නොව නිර්දය ලෙස නින්දා කිරීමටද කිසිදු මැළිකමක් නොදක්වති. දේශපාලන නායකයා තවදුරටත් ජනතාවගේ සිතුවිලිවල එකම මධ්‍යස්ථානය නොවේ. ඔහු සමාජයේ පවතින විවිධ අදහස් අතර තවත් එක් අදහසක් පමණක් බවට පත්වී ඇත. මෙය දේශපාලන බලය අහිමි වීමකට වඩා සමාජයේ ගැඹුරු ව්‍යුහීය වෙනසකි. එය සමාජය තුළ අධිකාරීත්වය පිළිබඳ අදහසම වෙනස් වීමකි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැමිණි පාගමන සහ එහි අවසානය මෙම සමාජ තත්ත්වය පිළිබඳ උදාහරණයක් ලෙස කියවිය හැකිය. එවැනි සිදුවීමක වැදගත්කම එයට සහභාගී වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව හෝ එය සංවිධානය කළ දේශපාලන පිරිස පමණක් නොවේ. එහි වැදගත්කම පවතින්නේ ආගමික උරුමය සහ දේශපාලන බලය අතර පැවති පැරණි සම්බන්ධතාවයට අද සමාජය තුළ කෙසේ ප්‍රතිචාර ලබන්නේද යන්න මතය. බෞද්ධ උරුමය යනු අතීතයේ සිට පවතින සංකේතයක් පමණක් නොවේ. එය සමාජය තුළ කරුණාව, විනය, අහිංසාව සහ මනුෂ්‍ය ගෞරවය පිළිබඳ අදහස් ද ගෙන යන සදාචාරාත්මක සම්ප්‍රදායකි.

එම උරුමය තමන්ට රිසි පුද්ගලයන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් පමණක් යොදාගැනීමට උත්සාහ කරන විට, එහි සමාජ අර්ථයම ප්‍රශ්න කිරීමකට ලක්වේ. වසර ගණනාවක් තිස්සේ එලෙස ප්‍රශ්න කිරීම්වලින් පසු එම සංස්ථා වෙනස් නොවීම නිසා ඊට අභියෝග එල්ලවේ. ඉන් පසුද එය වෙනස් වීමට සූදානම් නැතිනම් පහරදීම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙය මහා කුලකයට පමණක් නොව අනු කුලකවලට එනම් අනෙකුත් ආගම්වලටද ක්‍රමිකව තල්ලු‍ විය හැකිය.
මෙම වෙනස සමාජ මාධ්‍යයේ භූමිකාව තුළින්ද පැහැදිලි වේ. අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ ජනතාවට තොරතුරු ලබාගැනීමේ නව මාර්ගයක් පමණක් නොව, තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සමාජයේ අනෙකුත් පිරිස් සමඟ සම්බන්ධ වීමටද අවස්ථාව ලබාදුන්නේය. පැරණි දේශපාලන පද්ධතිය තුළ ප්‍රධාන මාධ්‍ය ආයතන, දේශපාලන පක්ෂ සහ බලවත් පුද්ගලයන්ට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකි විය. අද එම පාලනය සම්පූර්ණයෙන්ම අහිමි වී නැතත්, එය තවදුරටත් ඒකපාර්ශ්වික නොවේ. සමාජ මාධ්‍ය ජනතාවට දේශපාලන සිදුවීම් පිළිබඳ තමන්ගේම අර්ථකථන නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

එහෙත් එය සත්‍යය ස්වයංක්‍රීයව නිර්මාණය කරන යන්ත්‍රයක් නොවේ. එහිදී වැරදි තොරතුරු, අසත්‍ය චෝදනා, ප්‍රචාරක හැසිරීම් සහ සමාජ වෛරයද වේගයෙන් පැතිරේ. එබැවින් සමාජ මාධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී බලය එහි තොරතුරු ප්‍රමාණය තුළ නොව, ජනතාවට පැරණි අධිකාරීත්වය ප්‍රශ්න කිරීමට ලබාදෙන හැකියාව තුළ පැවතුණි.

එහෙත් සමාජ මාධ්‍ය එහි උච්චතම අවස්ථාවට ළඟා වෙමින් තිබේ. එය තොරතුරු සම්ප්‍රේෂණය කරන අවකාශයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ අවධානය පාලනය කරන ව්‍යුහයක් ලෙස ක්‍රියා කරමින් තිබේ. මීට යා හැකි දුර සීමිතය. මන්ද දේශපාලන ප්‍රචාරණය, අතිශයෝක්තියෙන් පිරුණු වීඩියෝ, වෛරය නිර්මාණය කරන ප්‍රකාශ සහ ක්ෂණික ප්‍රතිචාර මත ගොඩනැඟු‍ණු දේශපාලන සංස්කෘතියට පැවතිය හැකි කාලයක් තිබේ. සමාජ මාධ්‍යයේ සෑම දෙයක්ම දේශපාලන සටනක් බවට පත් කිරීමෙන් ජනතාවගේ අවධානය ලබාගත හැකි වුවද, එම අවධානය දිගුකාලීන විශ්වාසයක් බවට පත් කළ නොහැකිය. තොරතුරු වේගයෙන් ගමන් කරන සමාජයක විශ්වාසය තවදුරටත් වේගයෙන් නිර්මාණය කළ නොහැකි දෙයක් බවට පත්වෙයි. වැදගත් කාරණය වන්නේ සමාජ මාධ්‍යයේ බලය අසීමිත වීම එහි උච්චතම අවස්ථාව නොව එහි බලය පිළිබඳ සමාජයම නැවත සිතීමට පටන්ගන්නා අවදියයි. මේ වන විට සිදුවෙමින් පවතින්නේ මෙය වන නමුත් මින් පසු බිහිවන මෙවලම සහ එහි බලපෑම ගැන අපට තවමත් පැහැදිලි අවබෝධයක් නැත.

කෘත්‍රිම බුද්ධිය මෙම නව බල ව්‍යුහයේ තීරණාත්මක කොටසක් විය හැකිය. AI  යනු නව උපකරණයක් හෝ තොරතුරු සැකසීමේ වේගය වැඩි කරන තාක්ෂණයක් පමණක් නොවේ. එය සමාජය තුළ දැනුම, තීරණ ගැනීම, ආර්ථික බලය සහ මිනිස් හැසිරීම් පාලනය කිරීමේ ක්‍රම වෙනස් කරමින් තිබෙන විප්ලවයකි. අප අද දකින්නේ තාක්ෂණික සංවර්ධනයක් පමණක් නොවේ. මිනිසා සහ රාජ්‍යය අතර තිබූ පැරණි සම්බන්ධතාවය වෙනස් කළ හැකි නව බල ව්‍යුහයක මතුවීමකි. දත්ත යනු එහි ප්‍රධාන සම්පතයි. මිනිසුන්ගේ හැසිරීම්, ඔවුන්ගේ තීරණ, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිචාර පිළිබඳ තොරතුරු විශාල තාක්ෂණික පද්ධති තුළ එකතු කර විශ්ලේෂණය කළ හැකි යුගයක, බලය තවදුරටත් සම්ප්‍රදායික රාජ්‍ය ආයතන තුළ පමණක් පවතින්නේ නැත.

එය දත්ත පාලනය කරන, ඒවා විශ්ලේෂණය කරන සහ ඒවා මත පදනම්ව මිනිසුන්ගේ හැසිරීම් හැඩගස්වන පද්ධති තුළද පවතිනු ඇත. මෙම පද්ධති ක්‍රියාත්මක කරන සමාගම්වලට රාජ්‍යයන්ට පවා නොමැති තොරතුරුමය බලයක් හිමිය. එබැවින් AI  යුගයේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය තාක්ෂණය භාවිත කරනවා ද යන්න නොවේ. එය පාලනය කරන්නේ කවුද, එහි තීරණවලට වගකීම දරන්නේ කවුද, සහ මිනිසාට එම පද්ධතිවලින් නිදහස් වීමට ඇති හැකියාව කුමක් ද යන්නයි.

මෙම තාක්ෂණික පරිවර්තනය මිනිසාගේ මූලික නිදහසට අභියෝගයක් විය හැකිය. පැරණි දේශපාලන නායකයා ජනතාවගේ ඡන්දය ලබාගැනීමට උත්සාහ කළේය. නව තාක්ෂණික බලය මිනිසුන්ගේ අවධානය, හැසිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැඩගස්වා ගැනීමට උත්සාහ කරමින් තිබේ. පැරණි පාලන ක්‍රමය තුළ ජනතාවට තමන්ගේ නායකයා හඳුනාගැනීමට, ඔහුගේ තීරණ ප්‍රශ්න කිරීමට සහ මැතිවරණයකදී ඔහු ප්‍රතික්ෂේප කිරීමට හැකියාව තිබුණි. එහෙත් දත්ත මත පදනම් වූ පාලන ක්‍රමයකදී බලය ක්‍රියාත්මක වන්නේ කුමන මධ්‍යස්ථානයකින් ද යන්න ජනතාවට අපැහැදිලිය.

මිනිසාගේ නිදහස සීමා කිරීම සඳහා සෑම විටම සෘජු නියෝගයක් අවශ්‍ය නොවේ. ඔහුට පෙනෙන තොරතුරු, ඔහුට ලබාදෙන විකල්ප සහ ඔහුගේ හැසිරීම පිළිබඳව නිර්මාණය කරන පුරෝකථන මඟින්ද ඔහුගේ තීරණ හැඩගැස්විය හැකිය. මෙහිදී මතුවන අනතුර වන්නේ මිනිසා තමන් නිදහසේ තීරණ ගන්නා බව සිතන අතරතුර, ඔහුගේ තීරණ ගැනීමේ පරිසරය වෙනත් බලවේග විසින් පාලනය කරනු ලැබීමයි. එය පැරණි දේශපාලන අධිකාරීත්වයට වඩා සංකීර්ණ පාලන ක්‍රමයකි. මිනිසා තාක්ෂණය භාවිත කරන පුද්ගලයා ලෙස සිටිනවා වෙනුවට, තාක්ෂණය විසින් විශ්ලේෂණය කර හැඩගස්වන දත්තමය පැවැත්මක් බවට පත්වීමේ අවදානමක් පවතී.

මෙම තාක්ෂණික විප්ලවය සඳහා අප භාවිත කළ හැකි දේශපාලන උපමාවක් වන්නේ රූබිකන් ගඟ තරණය කිරීමයි. ජුලියස් සීසර් රූබිකන් ගඟ තරණය කිරීම රෝමයේ පැරණි දේශපාලන සීමාවක් ඉක්මවා යාමක් ලෙස ඉතිහාසයේ සංකේතවත් වේ. එය තීරණයක් ගැනීමෙන් පසු පැරණි තත්ත්වයට යා නොහැකි මොහොතකට තල්ලු‍ වේ. අද කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන්ද එවැනි සීමාවක් අප පසුකරමින් සිටින බව පැවසිය හැකිය. එහෙත් මෙම උපමාව තාක්ෂණික සංවර්ධනයේ සියලු‍ම ප්‍රතිඵල දැනටමත් තීරණය වී ඇති බවට අදහස් නොකරයි. අප පසුකරමින් සිටින්නේ ආපසු හැරවිය නොහැකි ලෙස සමාජය වෙනස් කළ හැකි තීරණාත්මක අවස්ථාවකි.

AI  පද්ධති ආර්ථිකය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය සහ දේශපාලන සන්නිවේදනය තුළ වඩාත් ගැඹුරින් ඇතුළත් වන විට, ඒවායේ බලපෑම තාක්ෂණික කාර්යක්ෂමතාවයට පමණක් සීමා නොවනු ඇත. ඒවා මිනිසාගේ නිදහස, පෞද්ගලිකත්වය සහ තමන්ගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවද වෙනස් කළ හැකිය. එබැවින් මෙම ගඟ තරණය කිරීමේදී අප විමසිය යුත්තේ තාක්ෂණය ඉදිරියට යනවාද යන්න පමණක් නොවේ; එය මිනිසාගේ නිදහස සමඟ කුමන සම්බන්ධතාවයක් ගොඩනඟන්නේ ද යන්නයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනයද මෙවැනි තීරණාත්මක සීමාවක් පසුකරමින් සිටී. පැරණි දේශපාලන ක්‍රමය තවදුරටත් ජනතාවගේ අනාගතය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට අසමත් වන විට, නව දේශපාලන බලවේගයක් මතුවීම අනිවාර්යය. එහෙත් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු පැරණි දේශපාලන පද්ධතියේ සියලු‍ම සීමා ඉක්මවා ගොස් ඇති බව අදහස් නොකෙරේ. ශ්‍රී ලංකාව දැන් පවතින්නේ පැරණි දේශපාලන රාමුවෙන් සම්පූර්ණයෙන්ම පිටතට පැමිණ ඇති අවස්ථාවක නොව, එම රාමුව තවදුරටත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වෙමින් පවතින අවස්ථාවකය. මෙය පුද්ගලබද්ධ කාරණයක් නොව සමාජ ව්‍යුහයට සම්බන්ධ කාරණයකි. එබැවින් තම පැවැත්ම අහිමි වීමෙන් පසු ඊට වගකිව යුතු පුද්ගලයා යැයි තමන් සිතන අයකු හෝ පිරිසක් ඉලක්ක කරගෙන සිදුකරන විවේචනවලට වඩා මෙම ව්‍යුහීය වෙනස හඳුනාගෙන ඊට අනුගත වීම වැදගත් වේ.

මෙම වෙනස පිළිබඳව අවබෝධයක් නොමැති දේශපාලන බලවේගවලට අනාගතයේදී තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම අපහසු වනු ඇත. පැරණි පක්ෂ ක්‍රමය, පැරණි ප්‍රචාරක උපක්‍රම සහ පැරණි නායකත්ව සංකේත නැවත භාවිත කිරීමෙන් පමණක් නව සමාජයක විශ්වාසය ලබාගත නොහැකිය. ඔවුන්ට තමන්ගේ දේශපාලන යන්ත්‍රණය නැවත සැලසුම් කිරීමට සිදුවනු ඇත. එසේ නොවුවහොත් ඔවුන්ගේ පරාජය තාවකාලික මැතිවරණ පරාජයක් නොව, නව සමාජය තුළ ඔවුන්ගේ දේශපාලන අදාළත්වය අහිමි වී ක්‍රමිකව වඳවනු ඇත.

එහෙත් මෙම අන්තර්කාලීනත්වය යහපත් අනාගතයක් කරා ගමන් කරන බවට අපට සහතිකයක් නැත. නව සමාජ පරමාදර්ශය නිදහස, සාධාරණත්වය සහ මනුෂ්‍ය ගෞරවය මත ගොඩනැඟිය හැකිය. එසේම එය තාක්ෂණික පාලනය, දත්ත මත පදනම් වූ අධිකාරීත්වය සහ මිනිසාගේ තීරණ ගැනීමේ හැකියාව සීමා කරන නව පද්ධතියක් බවටද පත්විය හැකිය. පැරණි දේශපාලන බලය දුර්වල වීමෙන් නව බලය ස්වයංක්‍රීයව ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැත. නව තාක්ෂණය මිනිසාගේ නිදහස වැඩි කරනවාද, නැතහොත් ඔහුගේ හැසිරීම වඩාත් කාර්යක්ෂමව පාලනය කිරීමට උපකාරී වනවාද යන්න තීරණය වන්නේ එය භාවිත කරන සමාජයේ සදාචාරාත්මක සහ දේශපාලන තීරණ මතය. එබැවින් ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින ප්‍රශ්නය පැරණි දේශපාලනය පරාජය කිරීම පමණක් නොවේ; පැරණි දේශපාලනය වෙනුවට මතුවන නව බලය පුරවැසියන්ගේ ගෞරවනීය ජීවිතයට සහ රාජ්‍යයේ ප්‍රගමනයට අවශ්‍ය බලයක් බවට පත්කරගන්නේ කෙසේ ද යන්නයි.

අද ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ එවැනි සමාජමය තීරණාත්මක මොහොතකටය. ජනාධිපතිවරයාට මෙම වෙනස නියෝජනය කිරීමට හැකිය. ඔහුට එය ප්‍රතිසංස්කරණවලට යොමු කළ හැකිය. එහෙත් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින නව පරිකල්පනය ඔහුගේ දේශපාලන පාලනයට පමණක් අයත් නොවේ. එය ජනතාවගේ අත්දැකීම්, ඔවුන්ගේ විශ්වාසභංගත්වය, ඔවුන්ගේ නව සම්බන්ධතා සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් තුළින් ගොඩනැඟෙයි. මෙම වෙනසට නායකත්වය දෙන දේශපාලන බලවේගයට පවා එහි අවසානය තීරණය කළ නොහැකිය. මන්ද සමාජය තමන්ගේම අනාගතය පිළිබඳව නව අදහස් නිර්මාණය කරමින් සිටින අතර ආණ්ඩුවේ අනාගතයද මෙම සමාජ පරිවර්තනයට කෙතරම් දුරට අවබෝධයෙන් ප්‍රතිචාර දක්වන්නේද යන්න මත තීරණය කරනු ඇත.

(ලේඛකයා නිදහස් විශ්ලේෂකයෙකි. මෙහි පළ කර ඇති අදහස් සහ මතවාද කතුවරයාගේ පෞද්ගලික අදහස් වන අතර, ඒවා කිසියම් ආයතනයක හෝ සංවිධානයක අදහස් හෝ ස්ථාවරය නියෝජනය නොකරයි.)

නිලන්ත ඉලංගමුව