IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ

 (ඩයනා උදයංගනී)

ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් සිටින බවත්, එම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් යළි බෝතලයට ඇතුළ කළ නොහැකි බව ඔවුන් දැනගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය.

නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැතැයි කී අනුර කුමාර දිසානායක මහතා ජාතිවාදී ප්‍රවණතාවන් ප්‍රතික්‍ෂේප කරන ලෙස සියලු දේශපාලන පක්‍ෂවලිනුත්, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එසේ නොකළහොත් රට අනාගතයේ ලේ විලක් බවට පත්විය හැකියැයි ද හෙතෙම කියා සිටියේය.  

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද කීය.   

“මේ වනවිට ක්‍රමානුකූලව ජාතිවාදී ප්‍රවණතාවන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප්‍රවණතාවන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් එකට පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. සාමකාමී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. මේ ජාතිවාදී ප්‍රවණතාවන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව්‍ර කරනවා මිස කිසිදු ජන කණ්ඩායමකට සේවයක් සපයන්නේ නැහැ. 

මෙම ජාතිවාදී ප්‍රවණතාවන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව දේශපාලනමය අරමුණු මත ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප්‍රවණතාවන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. 

රටේ ප්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. ආණ්ඩුවට සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ලවන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට මෙම ජාතිවාදී ප්‍රවණතාව වාසිදායකයි.

ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක  සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවට පත්වී සිටීම ඇතුළු සියලු ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප්‍රවණතාවයකට යොමුකොට තිබෙනවා.

ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවැති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කර ගැනීමට නොහැකිවී තිබෙනවා. 

එම නිසා ඔවුන් ජාතිවාදී ප්‍රවණතාව වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුළු කිරීමට පහසු දෙයක් නොවේ.

මෑත කාලයේ සිදුවුණු ජාතිවාදී ගැටුම් කිහිපයක් තිබෙනවා. 2014 ජූනි මාසයේ අලුත්ගම ගැටුම, 2017 නොවැම්බර් ගිංතොට සිදුවීම, 2018 පෙබරවාරි 27වැනිදා අම්පාරේ හෝටලයක සිදුවීම, පසුගිය දින දෙකේ සිදුවූ තෙල්දෙණිය සිදුවීම. මහනුවර තෙල්දෙනිය සිදුවීමේ ප්‍රධාන සාධකයවී තිබුණේ පිරිසක් විසින් රියැදුරකුට පහරදී ඝාතනය කිරීමයි. මේ ආකාරයටම අපේ රටේ ඝාතන සිදුවෙනවා. 2016දී මිනී මැරුම් 507ක් වාර්තා වී තිබෙනවා. 2017දී මිනී මැරුම් 452යි, 2016දී ළමා දූෂණ 290ක් සිදුවී තිබෙනවා. 2017දී ළමා දූෂණ 232ක් වාර්තා වී තිබෙනවා. 

මේ ආකාරයට ඝාතන, ළමා දූෂණ, ගැටුම් සිදුවන රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මෙවැනි එක් සිදුවීමක් තමයි පසුගියදා වාර්තා වුණේ. එහිදී ත්‍රීවීල් රථයක ගිය කණ්ඩායමක් රියදුරෙකු ඝාතනය කර තිබෙනවා. එහි විශේෂත්වය වී තිබෙන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වීමත්, පහරදුන් අයත් මුස්ලිම් වීමත්ය. මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් අරගෙන තියෙනවා. 

අපේ රටේ තිබෙන හෝටල්වල ආහාරවල විවිධ අපද්‍රව්‍ය තිබුණු අවස්ථා හමුවෙලා තිබෙනවා. නමුත් අම්පාරේ හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ කිසිදු ගැටුමක් අනුමත කරන්නේ නැහැ. පිරිසක් විසින් රියදුරෙකු පහර දී ඝාතනයට ලක්කිරීම දැඩිලෙස ප්‍රතික්‍ෂේප කළයුතු දෙයක්. එනිසා එම ඝාතකයින්ට උපරිම ආකාරයේ නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදිය යුතුයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඉන් නොනැවතී ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. 

ආණ්ඩුව මෙම සිදුවීමේදී ජාතිවාදී ප්‍රවණතාවයන් උත්සන්න වන බව තේරුම්ගත යුතුව තිබුණා. නමුත් අද ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ කුමක් සඳහාද? අගමැතිවරයා තමන්ගේ අගමැති පුටුව බේරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටිකූට්ටු වැඩක් කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු තමන්ට ලැබුණු ඇමැති පුටුව වෙනස්වේදැයි හිතමින් ඉන්නවා. පාලකයන් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් අවධානය යොමුකොට තිබෙනවා.

මේ ආණ්ඩුව මන්ද මානසික ආණ්ඩුවක් යැයි අප හිතන්නේ නැහැ. ඔවුන් වුවමනාවෙන්ම මෙම ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මහ දවාලේ කඩ, නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරන කණ්ඩායම් වළක්වන්න ආණ්ඩුවට නොහැකි නම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අපේ රටේ ජනතාවගේ ජීවිත, දේපළ ආරක්‍ෂා කරන්න බැරිනම් ඒ ආණ්ඩුවක් කුමටද? ආණ්ඩුවක මූලික වගකීම තමයි රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම. නමුත් මේ ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. අද රටේ සාකච්ඡා විය යුතු ඇත්ත ප්‍රශ්න යට ගිහින් තිබෙනවා. එය තමයි ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ. ආණ්ඩුව හිතාමතාම මේ තත්වය පාලනය කරනවා වෙනුවට මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ලබාදී තිබෙනවා. 

මෙම ගැටුම ඉතාම සැලසුම්සහගත ලෙස සැලසුම් කළ සිදුවීමක් බව සමාජ ජාලා දෙස බැලුවාම පේනවා. මියගිය තරුණයාගේ දේහයේ අවසන් කටයුතු සිදුවන මොහොත පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතුයි. දිගන ප්‍රදේශයේ ජනතාවට අමතරව වෙනත් කණ්ඩායම් මෙම ගැටුමට කැඳවා තිබෙන බව පැහැදිලියි. ඔවුන් තුළ පූර්ව සූදානමක් තිබුණු බව මුහුණු ආවරණය කරගෙන සිටින ආකාරයෙන් පොළු-මුගුරුවලින් දේපළ ගිනි තැබීම්වලින් පෙනෙන්නට තිබෙනවා. 

රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි ගැටුම් වළක්වා ගත යුතුයි. ඒවා පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද? 

අපි අනෙකුත් සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීමක් කරනවා, අපේ  රට වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධයකට මුහුණ දුන්නු රටක්. මේ මහ පොළොව ලේවලින්, කඳුළින් තෙත් වුණා. උතුරේත් දකුණේත් මිනී කඳු ගොඩගැසුණා. එම ජාතිවාදී යුද්ධයේ ගොදුරු බවට අපේ පරම්පරාවේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් පත්වුණා. එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලනිපය හෝ දෙමළ ජාතික සන්ධානය, අනෙකුත් ඕනෑම දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති අතර වෙනස්කම්, ගැටුම් තිබෙන්නට පුළුවන්. 

එම පක්‍ෂ අතර රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අනෙකුත් කාරණා පිළිබඳව සංවාද, විවාද තිබෙන්නට පුළුවන්. නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැහැ. අපි සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා ජාතිවාදී ප්‍රවණතාවන් ප්‍රතික්‍ෂේප කරන්න කියලා. ඒ වගේම ජනතාවට අනතුරු අඟවනවා, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන්, එය අගය කිරීම අපේ රට අනාගතයේ ලේ විලක් බවට පත්කළ හැකියි කියලා. 

ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, යළි මේ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට උල් පන්දම් නොදිය යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ සියලුම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. තමන්ට කුමන අරමුණක් තිබුණත් ජනමාධ්‍ය තුළින් ජාතිවාදය වර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතුව තිබෙනවා. ජාතිවාදය වර්ධනය කිරීමට නොව ජාතිවාදය පරාජය කිරීමටත් ජාතිවාදයට එරෙහිවත් ජනමාධ්‍ය යොදාගත යුතුව තිබෙනවා. මෙසේ නොවුවහොත් සිය භාවිතාවන් ඉදිරියේදී ව්‍යසනයක් බවට පත්විය හැකිව තිබෙනවා. සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ජාතිවාදය හෙළා දකින්න කියලා. අපේ පරම්පරාවේ බොහෝ දෙනා යුද්ධයෙන් ජීවිත අහිමි වුණා. ජීවිත භීතියට පත්වුණා. බොහෝ දෙනාට අතපය අහිමි වුණා. යුද ව්‍යසනයෙන් ඉතාම පීඩාවට පත්වුණා. එම නිසා අපේ දරු පරම්පරාව එවැනි පීඩාවකට පත්කළ යුතු නැහැ. අපේ අනාගත පරම්පරාව කුමන හෝ යුද ගැටුමටක මුහුණ දිය යුතු නැහැ. 

අපි සියලු දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වීමට පෙර සියලු දෙනා මිනිස්සු බව තේරුම් ගතයුතුව තිබෙනවා. එම නිසා ජාතිවාදී ගැටුම් එපා. ජාතිවාදය පරාජය කිරීමට කටයුතු කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් ජාතිවාදය ප්‍රතික්‍ෂේප කළ පක්‍ෂයක්. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජාතිවාදීන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක්. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න පක්‍ෂයක්. එම නිසා ජාතිවාදී ප්‍රවණතාවන් පරාජය කරන්න කුමන වර්ගයේ බාධා ආවත් කුමන වර්ගයේ අවලාද ප්‍රහාර එල්ල වුණත් කටයුතු කරන්න අපි සූදානම්. ජාතිවාදී ප්‍රවණතාවන් ලත් තැනම ලොප් කළ යුතුයි. මොකද, අපේ රට යුද රාජ්‍යයක් විය යුතු නැහැ. එම නිසා ජාතිවාදයට එරෙහිව සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි නැවතත් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා, යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර දිසානායක මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පැවසීය.

ප්‍රශ්නය: මෙවැනි මොහොතක රජය ගත යුතුව තිබූ මූලිකම පියවර කුමක්ද?
පිළිතුර - 
රජය මේ තත්ත්වය පිළිබඳව පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව එවැනි කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වුණා. දැන් ඔවුන් කළ යුතුව ඇත්තේ මේ ජාතිවාදී ප්‍රවණතාව පරාජයට පත්කිරීමට, නීතිය හමුවට ගෙනයන්නට, දඬුවම් ලබා දීමට අවශ්‍ය වේගවත් ක්‍රියාමාර්ග ගැනීමයි. මෙය තවත් තැනක ඇතිවීම වැළැක්වීම අරමුණු කරගෙන ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ගනීවියැයි මා සිතන්නේ නැහැ.


ප්‍රශ්නය: ආණ්ඩුව හිතාමතාම මෙවැනි තත්ත්වයන් නිර්මාණය කරන බවට මතයක් නිර්මාණය විය හැකියි නේද?

පිළිතුර - මේ ජාතිවාදී ප්‍රවණතා පිටුපස ඉතා පැහැදිලි දේශපාලන අරමුණු ඇති බව මා කිව්වේ ඒ නිසායි. මේ සෑම සිදුවීමකින්ම ආණ්ඩුවට තමන්ගේ ප්‍රශ්න යටගැසීමට අවස්ථාව ලැබෙනවා. එය පැහැදිලිවම පාලකයන්ට ආශීර්වාදයක්.

ප්‍රශ්නය: මේ සිදුවීම වෙලා දින 10ක් පමණ ගතවුණා. නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා යටතේ තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ ඇයි?

පිළිතුර - නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා විසින් පවරාගනු ලැබුවේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොවෙයි. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා තමයි ඔහු එම අමාත්‍යාංශය පවරාගනු ලැබුවේ. ඒ බව මේ සිද්ධියෙනුත් පැහැදිලි වෙනවා. අගමැතිවරයාට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගෙන මෙවැනි සිදුවීම් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඔහු මුළුමනින්ම මෙම ඇමතිධුරය පවරා ගැනීම උපයෝගී කර ගන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා පමණයි. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා පරාජිත අය ඇතුළු සියලුදෙනා තමන්ගේ අරමුණු වෙනුවෙන් මේ සිද්ධිය උපයෝගී කරගෙන තිබෙනවා. 

ප්‍රශ්නය: අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර -  අගමැතිවරයා තම වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. ඔහු වංචා දූෂණවලට එරෙහිව පත්වූ නායකයෙක් වුවත් ඔහු එවැනි සිද්ධීන්වල යෙදෙමින් වංචනිකයන් ආරක්‍ෂා කළා. ඒ නිසා අගමැතිවරයාගේ විශ්වාස භංග යෝජනාවේ අඩංගු කරුණු හා එහි දේශපාලන අරමුණු ගැන සලකා බලා ඒ ගැන තීරණයක් ගන්නවා. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති නිශ්චිත කරුණු පැහැදිලිව සඳහන් වී තිබෙනවා නම් එයට සහාය දීමට අපි සූදානම්.

ප්‍රශ්නය: ලෝකයේ විපක්‍ෂය බලා ඉන්නේ පාලනය අතට ගන්නයි. නමුත් සම්බන්ධන් මහතා අගමැතිවරයා ආරක්‍ෂා කර ගන්න හදනවා නේද?

පිළිතුර - දේශපාලන පක්‍ෂ තීන්දු ගන්නේ තමන්ගේ අරමුණු සලකා බලලයි. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන පක්‍ෂය ලෙස තීන්දු ගන්න පූර්ණ අයිතියක් තිබෙනවා. 

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ද සහභාගි විය.  



අදහස් (2)

ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ

ajithkaru Wednesday, 07 March 2018 11:55 AM

අනුරකුමාර මහත්තයගේ මේ සැරේ කතාව යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද?

:       32       59

Bamunuarachchi Wednesday, 07 March 2018 03:06 PM

එක ජාතියක් අනෙක් ජාතිය පරයා යන්න වර්ගයා බෝ කරන්න පටන් ගත්තොත් ජාතිවාදී භූතයා කොහොම වෙතත් මහා ජාතිය තම ජාතිය රැක ගැනීමට සුදුසු දේ කරනු ඇත. එතකොට ඔය බයිලා වලින් වැඩක් නැත.

:       3       67

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 395 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1581 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site