
සීතල නත්තලේ මිහිරියාව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සංචාරක පුරවරයට ද දැනෙමින් තිබුණේ දෙස්විදෙස් සංචාරකයන්ගේද සිත් අමන්දානන්දයට පත්කරමිනි. ඇල්ල සංචාරක පුරවරය දිට්වා සුළි කුණාටුවෙන් පසුව යළි පිබිදීමට පටන්ගෙන තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත් නොවුණ ද දින විස්සකට පසුව බදුල්ල, අඹේවෙල අතර දුම්රිය ධාවනය යළි ආරම්භවීමත් සමග විදේශික සංචාරකයන් ද යළි ඇල්ල සංචාරක පුරවරයට පැමිණීමට පටන් ගැනීම නිසා ඇල්ලේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙමින් පවතී.
මේ අතර සංචාරක රියැදුරෝ ද සිය සංචාරක රථවාහන මගින් ඇල්ල සංචාරක පුරවරයට විදේශීය සංචාරකයන් රැගෙන එමින් සිටිති.
නත්තල් සීතලෙන් ඇලී තිබෙන ඇල්ල සංචාරක පුරවරය පසුගියදා එක්වරම උණුසුම්වීමට පටන් ගත්තේ ඇල්ල නගරයේ කුලී ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඇල්ලට සංචාරකයන් රැගෙන ආ සංචාරක රියැදුරන් අතර ඇතිවූ අනපේක්ෂිත ගැටුමකිනි. මේ ගැටුමට පොලිසියේ දෙදෙනෙකුද මැදිහත් වී ඔවුන්ද ඇල්ලේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ පාර්ශ්වය ගෙන ඇප් මගින් මගීන් සම්බන්ධකර ගන්නා වාහනවලට ඇල්ල ප්‍රදේශයේ කුලී ගමන් තහනම් යැයි පවසන වීඩියෝව සමාජ ගතවීමෙන් තත්ත්වය සංකීර්ණ විය.
සිද්ධිය මෙසේය. සීගිරියට පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක් එහි සිට ඉකුත් 21 වැනි දින ඇල්ල සංචාරක නගරයට රැගෙන පැමිණ ඇත්තේ තඹුත්තේගම රැජින හන්දිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සංචාරක රියැදුරුවරියක විසිනි. සංචාරක පිරිස ඇරලවා ඇය සිය මෝටර් රථය ඇල්ල බිංගෙය ආසන්නයේ පිහිටි මාර්ගය අසල නවතාගෙන සිටියේ තවත් විදේශික සංචාරක පිරිසකගෙන් ඇමතුමක් ලැබෙනතුරු ය.

ඇය සිය මෝටර් රථයට වී සිටින අතරතුරේ ඒ අසලට ත්‍රිරෝද රථයකින් පැමිණි පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්වරම මෝටර් රථයෙහි සිටි තැනැත්තියට බැණ තර්ජනය කර පරුෂ වචන කියමින් ඉතාමත් නොහොබිනා ලෙස හැසිරෙන්නට වූ අතරතුර තවකෙක් ඇයගේ දකුණු අත අල්ලාගෙන අඹරන්නට විය. අයෙකු ඇගේ හිසට පහරදෙමින් සිටියදී තවකෙක් ඇය ඇඳ සිටි හැට්ටයෙන් අදින්නට විය. මේ අතර ත්‍රිරෝද රථ කීපයකින් තවත් පනහක පමණ පිරිසක් පැමිණ ඇය සිටි මෝටර් රථය වටකරගත්හ. ඇය සතු මුදල් රුපියල් 75,000ක්, රියැදුරු බලපත්‍රය ඇතුළු බැංකු කාඩ්පත්, ලියකියවිලි දමා තිබූ මුදල් පසුම්බිය රියැදුරු අසුන අසල තබා තිබියදී එම පිරිස විසින් කොල්ලකා ඇත. මින්පසු ඇල්ල නගරයට නොයන ලෙස බැණ තර්ජනය කර ඔවුන් පලාගොස් ඇත.
දිවයින පුරා විදේශීය සංචාරකයන් සිය මෝටර් රථයේ නංවාගෙන රට පුරා සිය මෝටර් රථය පදවාගෙන යමින් සංචාරක රියැදුරුවරියක ලෙස කටයුතු කරන තඹුත්තේගම රැජින හන්දිය ප්‍රදේශයේ පදිංචි සමන්ති විජේසිංහ පතිරණ (43) මහත්මිය එදා ඇල්ල සංචාරක පුරවරයේ දී තමන් මුහුණ පෑ ඒ බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කරන්නට වූවාය.
“මම දැනට අවුරුදු දෙකක පමණ කාලයක් පුරා සංචාරක රියැදුරුවරියක ලෙස මගේම මෝටර් රථයේ කටයුතු කරනවා. මගේ සැමියා නාවික හමුදාවේ සේවය කළේ. ඔහු දැනට ජීවතුන් අතර නෑ. මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. පුතාත් දැනට මෙම සංචාරක ව්‍යාපාරයේ කටයුතු කරන්නේ. දුව නැන්දා, මාමා සමග මගේ ගෙදර ඉන්නෙ. මම කොහොමත් දින දෙකකට සැරයක් ගෙදර යනවා.
එදා මම සංචාරකයන් ඇල්ල නගරයේ බස්සවා මම මෝටර් රථය පදවාගෙන ඇල්ල බිංගෙය ආසන්නයේ මාර්ගය අසලට ගොස් මෝටර් රථය නවතාගෙන මගේ ඇප් එක හරහා තව සංචාරකයන් පිරිසක් සම්බන්ධ වෙනකම් බලා සිටියා. මේ වනවිට දහවල් 12.45ට පමණ ඇති. ඒ අසල තවත් මෝටර් රථයක් නවතාගෙන සංචාරකයන් පිරිසක් රැගෙන ආ මල්ලි කෙනෙක් හිටියා. එතැනදි තමයි මේ බිහිසුණු සිද්ධිය වුණේ. මම ජංගම දුරකථනය මගින් සියල්ල වීඩියෝ කළා. ඒ වෙලාවේ තමයි හිරිහැර කළේ. ඇත්ත වශයෙන්ම ඒ පිරිමි ද කියා මට හිතුණා . ඒ තරමට ඔවුන් මෝඩ විදියට හැසිරුණේ. මම ඇල්ලට ආවාම මට පොඩි මුදල්වලට එන රුපියල් 700, 1000, 2000 වගේ හයර් දුවන්නේ නෑ. දුර හයර් එකක් ලැබුණොත් පමණයි යන්නේ. ඒක නිසා ඇල්ලේ ත්‍රිරෝද රථ රියැදුරන්ට අපෙන් කිසිදු කරදරයක් නෑ. මෙතන ත්‍රිරෝද රථ මාෆියාවක් තියෙන්නේ.”
විදේශීය සංචාරකයන් තමන්ට කැමති ආකාරයෙන් සේවාව ලබා ගන්න පුළුවන්. ඇප් මගින්, ගූගල් පේජ් මගින් තෝරාගන්න පුළුවන්. සංචාරකයන් අත ඇති මුදලට, කැමති අය ත්‍රිරෝද රථවල යනවා. සමහර අය කුඩා මෝටර් රථවල යනවා. සමහරු හොඳ මෝටර් රථවල යනවා. ඒ සංචාරකයන්ට අවශ්‍ය සේවාව විශ්වාසනීය ලෙස සාධාරණව ලබාදීම අපගේ වගකීම. වැලිගම ප්‍රදේශයේදීත් ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් අනවශ්‍ය ලෙස කෑකෝ ගසමින් පහත් විදියට හැසිරුණා. ඇයි ගෑනියෙකුට පිරිමි මේ විදියට කෑගසන්නේ කියා මටම ලැජ්ජා හිතෙනවා. අපට කොහේ ගියත් ත්‍රිරෝද රථ රියැදුරන් තමයි මෙහෙම කරදර කරන්නේ.
අපි වැරදි වැඩකරන්නේ නෑ. මගෙ මෝටර් රථයේ සංචාරකයන් ප්‍රවාහනය කරන එක වැදගත් රැකියාවක්. අපිට නියමිත මුදලක් තිබෙනවා. ඒක නිසා අපි කිසි විටෙක වැඩිපුර මුදල් අයකරන්නේ නෑ.

මෝටර් රථයට පහර දී ඇති අයුරු
දේශීය සංචාරක පිරිස් මම ප්‍රවාහනය කරන්නේ නෑ. මට හිතේ බයක් තියෙනවා දැන් රටේ තිබෙන වාතාවරණය හමුවේ දේශීය සංචාරක පිරිස් මගෙ මෝටර් රථයෙ යන ගමන් නීතීවිරෝධි ක්‍රියාවල නිරතවෙමින් විවිධ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරයි කියලා. ඒක නිසා මම කැමති නෑ නිකම් අමාරුවේ වැටෙන්න. දේශීය සංචාරකයන්ගෙන් කාන්තාවන් වන අපට විවිධ කරදර හිරිහැර වෙන්න පුළුවන්.
නමුත් විදේශීය සංචාරකයන් එහෙම නෑ. ඔවුන් අඩු වශයෙන් අතින්වත් අල්ලන් නෑ. ඒක නිසා ඔවුන් එක්ක බය නැතිව තනිව රට පුරා එක්ක යන්න පුළුවන්.”
ඇල්ල සංචාරක පුරවරයේ දී ත්‍රිරෝද රථ රියැදුරු පිරිසකගේ පහරකෑමට ලක්වී මෝටර් රථයට දැඩි ලෙස අලාභහානි වූ වැලිගම, මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි සංචාරක රියැදුරකු ලෙස කටයුතු කරන එම්. එල්. සුභාෂණ (43) මෙසේ සිය සිදුවීම ආවර්ජනය කළේය.
“මම යුද හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව ඉන්නේ. මට දරුවන් දෙදෙනකු සිටිනවා. මම දැනට වසර තුනක පමණ කාලයක් පුරා සංචාරක රියැදුරකු ලෙස මගේ මෝටර් රථයේ කටයුතු කරනවා.
එදා 21 මම නුවරඑළිය සිට විදේශික සංචාරකයන් පිරිසක් රැගෙන ඇල්ල සංචාරක නගරයට ආවා. ඒ ඇවිත් ඔවුන් බස්සවා මම ඇල්ල නගරයේ වැල්ලවාය මාර්ගයේ අයිනේ මෝටර් රථය නවතාගෙන හිටියා මගේ ඇප් එකට තව සංචාරකයන් පිරිසක් එන තෙක්. මේ වෙලාවේ ත්‍රිරෝද රථයක පිරිසක් ඇවිත් “උඹ මෙතන පික්මි දුවනවා නේද” කියා ඇසුවා. මම කිව්වා “මගේ ඇප් එකට එන දුර හයර් විතරයි යන්නේ. ළඟ ඒවා යන්නේ නැහැ” කියා . ඔවුන් දිගින් දිගටම මට බැණ වදිමින් තර්ජනය කළා. මේ වනවිට දවල් 12.40ට පමණ ඇති. මම මගෙ දුරකථනය මගින් මේ සිදුවීම වීඩියෝ කරන විටත් ඔවුන් බැන්නා. ඒ සමගම මම මෝටර් රථය හරවාගෙන ඇල්ල නගරයේ බිංගෙය අසලට ඇවිත් මාමාගේ ගෙදර වත්තේ කාර් එක පාක් කළා. වෙනදාට ආවාම මාමාගේ ගෙදර තමයි කාර් එක පාක් කරන්නේ. මේ වෙලාවේ නැවතත් ත්‍රිරෝද හයකින් පමණ තිහක විතර පිරිසක් ආවා මා සිටි මෝටර් රථය ළඟට. ඔවුන් මට බැණ වදිමින් තර්ජනය කරන්න පටන් ගත්තා. පිරිසක් මෝටර් රථයට පහරදුන්නා. මෝටර් රථයේ වින්ස්ඩ්ක්‍රීන් එක කැඩී අලාභහානි වුණා.
පසුව මාමා ඇවිත් කිව්වා “ඇයි මේ මගේ ගෙදර නවතා තිබෙන මෝටර් රථයට පහරදෙන්නේ අලාභහානි කරන්නේ” කියා. එහෙම කියා මාමා පිරිස එලවා දැම්මා. පසුව මම අපේ මිතුරන්ගේ වට්සැප් ගෲප් එකට මගේ වීඩියෝ එක මම දැම්මා. ඒ අනුව එම අවස්ථාව වනවිට ළඟ හිටිය මිතුරන් කිහිප දෙනෙකු ආවා.”
“මම මේ රැකියාව පටන්ගෙන ප්‍රථම හයර් එක ආවේ උණවටුණේ සිට ඇල්ලට. එදා සිට මම නිතරම ඇල්ලට සංචාරකයන් රැගෙන එනවා. සංචාරකයන් ප්‍රවාහනය කරන අපට ඇල්ල වගේම අනිකුත් පළාත්වල පහසුකම් තිබෙනවා. මෙහෙම අපට එන්න එපා කියා තර්ජනය කළොත් එය සංචාරක ව්‍යාපාරයටත් දැඩිව බලපානවා. අපි සංචාරකයන් මෙහෙම ගෙනත් දැම්මාම කී දෙනකුට එයින් ආර්ථික වාසි ලැබෙනවා ද? එමෙන්ම කී දෙනෙක් ජීවත්වෙනවා ද? ඇල්ල නගරය තුළ මුදල් සැරිසරනවා.
අපි සමග කුලී ගමන් යන විදේශික සංචාරකයන් අපි ගැන විශ්වාසය තියලා අපේ දුරකථන අංක අරන් ගිහින් ඒ රටවලට ගියාට පසුව ලංකාවට එන ඔවුන් ගේ මිතුරන්ට, පවුල්වල අයට අපේ දුරකථන අංක දීලා ලංකාවට ගියාම මෙයා එක්ක බය නැතුව ඇවිදින්න යන්න කියනවා. ඒ අනුව මට සෑහෙන්න ඇමතුම් එනවා. ඔවුන් කියන්නේ කටුනායක ගුවන්තොටුපළට ඇවිත් ඔවුන් රැගෙන යන්න කියලා. ඔවුන් සමග කතාකර කිලෝමීටර් ගානට හරි, දවස ගානට හරි හයර් එක කතාකරගන්නවා. ඇත්ත වශයෙන්ම එහෙම සංචාරකයන් අපි අතර විශ්වාසය තියෙන්නේ. අපි ජරා වැඩ කරන්නේ නෑ. සංචාරකයන් හූරා ගෙන කන්නේ නෑ.”
“ඇල්ලට ගියත් දුර හයර් තමයි අපි යන්නේ. මම විශ්‍රාමික රණවිරුවෙක්. ඇත්ත වශයෙන්ම මමත් ත්‍රිරෝද රථ රියැදුරන්ට සෑහෙන්න උදව් කරනවා. එහෙම කරලා ත්‍රිරෝද රථ රියැදුරන් මේ වගේ පහත් ක්‍රියාවක් කිරීම ගැන මම කනගාටු වෙනවා.
මේ රටේ ඕනෑම පුද්ගලයකුට රටේ ඕනෑම තැනකට ගිහින් නීත්‍යනුකූල රැකියාවක් කරන්න පුළුවන්. ඒ අයිතිවාසිකම් ලබා දී තිබෙනවා.
මේ සිද්ධියෙන් මගේ මෝටර් රථයට රුපියල් ලක්ෂ 3ක පමණ අලාභහානිවී තිබෙනවා. එදිනෙදා හොයාගත් ආදායම නැති වී තිබෙනවා. මම කියන්නේ මේ වගේ සිදුවීම් ඉදිරියේදී ඇති නොවන්නට වග බලා ගන්න කියලයි.”
ඇල්ල එකමුතු ත්‍රිරෝද රථ සංගමයේ උපසභාපති ඇල්ල පස්සර පාර සපුමල්තැන්න පදිංචි ඒ. එච්. සුමින්ද සිල්වා (48).
“මම දැනට අවුරුදු 25 ක් පමණ ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව කරනවා. අපි ජීවත්වෙන්නේ මේ ආදායමෙන්.
මේ සිදුවීමෙන් පසුව අපිට සමාජ මාධ්‍ය මගින් විශාල වශයෙන් මඩ ප්‍රහාර එල්ලවෙනවා. අපි කියන්නේ නෑ පික්මී, ඌබර් නවත්තන්න කියලා. ඒ සමාගම් සමග අපිට කිසිම ගැටලුවක් නෑ. ඇල්ල සංචාරක කලාපයට ආවාම ඇතැම් රියදුරන් එම නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. සමහරු ඇල්ලට ඇවිත් පොඩි, පොඩි ගානට හයර් දුවනවා. සමහරු ඇවිත් ඇල්ල නගරයේ දින තුනක් පමණ නැවතී සිටිනවා. ඒ අතරතුරේ පික්මි ඇප් ඕන් කරගෙන එන හයර් දුවනවා. මේ නිසා අපිට අසාධාරණයක් වෙනවා. සමහරු පික්මී හයර් යන්නේ නැතුව ඒක ඕෆ් කරලා අඩුවෙන් හයර් දුවනවා. ඇතැම් රියැදුරන් පික්මී ආයතනයේ නම අවභාවිත කර මේ කරන වැඩෙන් සමාගමට පහර එල්ලවෙන්නේ.”
“ඇල්ල සංචාරක කලාපයට පිටස්තර ප්‍රදේශවල සිට ඇවිත් අඩු මුදලට හයර් දුවනවා. මේ නිසා ඇල්ලේ ත්‍රිරෝද වෑන් රථවලට පහරවදින්නේ. අපි කියන්නේ සියලුම පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබාදෙන්න කියලයි.”
ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක : “ඇල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ අනුමත ලියාපදිංචි ත්‍රිරෝද රථ ගාල් 40ක පමණ ත්‍රිරෝද රථ 600ක් පමණ තිබෙනවා. එම ත්‍රිරෝද රථ රියැදුරන් ප්‍රාදේශීය සභාවට බදු ගෙවනවා .
ඒ වගේම තමයි පික්මී ආයතනය. ඒ ආයතනය රජයේ ලියාපදිංචි නීත්‍යනුකූල ආයතනයක්. ඒ අයත් රජයට බදු ගෙවනවා. අපිට ඒක නවතන්න බෑ.
ඇල්ල කියන්නෙ සංචාරක කලාපයක්. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මේ නගරයේ තියෙන්න ඕනෑ. නැත්තම් ඔවුන් ගිහින් මේ ඇල්ල නගරය ගැන විවේචනය කරනවා.
දැන් ඇල්ල නගරයට සංචාරකයන් රැගෙන එන මෝටර් රථ, වෑන් රථ නගරයේ හැම තැනම ත්‍රිරෝද රථ ගාල්, වෑන් රථ ගාල් අසල නවතා තබාගෙන සිටිනව. ඔවුන්ට සංචාරකයන්ගෙන් හයර් එනකම්. ඒක නිසා තමයි මේ ගැටලුව ඇල්ල නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඇල්ලට එන පික්මී රියැදුරන් අතර හටගත්තේ.
හැබැයි ඇල්ල ප්‍රදේශයේත් ඉන්නවා පික්මී ඇප් එක දාලා දුවන පිරිසක් . ඇල්ල නගරයට පිටස්තර වාහන ආවට ගියාට නගරයේ හැමතැනම, වෑන් පාක්, ත්‍රිරෝද රථ ගාල් අසල නවතා තබාගෙන ඉන්න බෑ. ඊට අදාළ දැන්වීම් පුවරු දැන් සවිකර තිබෙනවා නගරයේ.”
“මින් ඉදිරියට ඇල්ල නගරයේ දුම්රිය ස්ථානය, ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය සහ මාර්ග සංවර්ධන අධිකාරිය අසල රථගාලේ පමණක් පිටපළාත්වල සිට එන පික්මී, ඇප් මගින් දුවන රථවාහන නවතා තබන්න ඕන. අපි ඒ සඳහා ප්‍රාදේශීය සභාවට පැයකට සාධාරණ මුදලක් අයකරනවා. වෙන තැන්වල ඒ අයට වාහන නවතාගෙන ඉඳලා හයර් දුවන්න බෑ, පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක කරාවි.
ඉදිරියේදී ගාස්තු සංශෝධනයක් ගෙන ඒමට දැනට කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඒ අනුව සියලුම දෙනාට එක හා සමාන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙනවා.”
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව පසුදින දකුණු පළාත, කොළඹ ඇතුළු දිවයින පුරා විසිර සිටින සංචාරක රියැදුරු මෝටර් රථ පන්සියයක් පමණ ඇල්ල නගරයට, බණ්ඩාරවෙලට පැමිණ සිදුවීමට විරෝධය පළකර තිබිණි. ඒ සම්බන්ධයෙන් ද විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. මේ සමගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ඒ. ආර්. පී. අමරසිංහ, සහකාර පොලිස් අධිකාරි 1 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. කේ. එම්. පී. ඉලංගසේකර, පොලිස් පරීක්ෂක කැලුම්, පොලිස් සැරයන් 75637 රත්නායක, 104638 වාසල යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකර අඩංගුවට ගත් ඇල්ල ඌවකරඳගොල්ල, රාවණා ඇල්ල, පස්සර පාර 3කණුව යන ප්‍රදේශවල පදිංචි ත්‍රිරෝද රථ රියැදුරන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් රුවන් බස්නායක මහතා විසින් 29 සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඇල්ල පොලිසිය සඳහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
ඕනෑම අයකුට ඕනෑම ස්ථානයකට යෑමේ ඒමේ නිදහස තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර්
රටේ උත්තරීතර නීතිය යටතේ ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයකට යාමේ ඒ්මේ නිදහස තිබෙනවා.එසේම තමන් කැමති නීත්‍යනුකූල වෘත්තියක නිරතවීමේ නිදහස තිබෙනවා. ඒ් අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනක් යම් අදහසක් පළ කළා. ඒ්ක වැරදි ප්‍රකාශයක්. ඕනෑම කෙනෙකුට ඒ් පළාතේ ගිහින් ඒ් කටයුත්ත කරන්න පුළුවන්.
මේ අවස්ථාවේ නොහික්මුණු පිරිසක් අයුතු අවහිරයක් සිදුකර පහරදීමක් හා බලහත්කාරක් සිදු කර තර්ජනය කිරීමට අදාළව ඇල්ල පොලිසිය විසින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් 29දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.
එසේම වැරදි ප්‍රකාශයක් සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනාට විනය පරීක්ෂණයකට යටත්ව ඇල්ල පොලිස් ස්ථානයේ සිට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දක්වා ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කළා.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.