විගණකාධිපති ධුරය මාස අටකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම මතභේදාත්මක කාරණයක් වී තිබේ. ජනාධිපතිවරයා විසින් මේ දක්වා තනතුරට පත්කිරීම සඳහා පුද්ගල නාම හතරක් යෝජනා කරනු ලැබුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ කිසිවකට අනුමැතිය නොදුන්නේ ය. මේ හේතුවෙන් විගණන සේවයේ කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ද පැවසේ. ධුරය හිස්ව පැවතීමෙන් විගණන කටයුතු වලට බලපෑම් එල්ල වන්නේ ද යන්න ගැනත් විගණන සේවයෙන් පරිබාහිර අයකු පත් කළ හැකි ද යන්න ගැනත් ආදී වශයෙන් මේ විෂය හා බැඳුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ (2015-2019) සමග කළ සාකච්ඡාවක සටහන මෙසේ ය.

Q විගණකාධිපති ධුරය මාස අටක් තිස්සේ පුරප්පාඩුව පැවතීම හේතුවෙන් විගණන සේවයේ කටයුතු වලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බව පැවසෙනවා. හිටපු විගණකාධිපතිවරයෙක් විදියට ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොම ද?

විගණකාධිපති ධුරය හිස්වෙලා තියෙනවා කියන එක වැරදි ප්‍රකාශයක්. මොකද වැඩබලන විගණකාධිපතිවරයෙක් පත්කරලා තියෙන නිසා. පසුගිය කාලයේත් මාස හයට වඩා වැඩි කාලයක් වැඩබලන විගණකාධිපතිවරුන් පත්වෙලා හිටියා. උදාහරණයක් විදියට මම විගණකාධිපති වශයෙන් පත්වෙන්න කලින් චුලාන්ත වික්‍රමරත්න අවුරුදු එකයි කාලක් විතර වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කළා. සරත් මායාදුන්නෙ මහත්තයා වැඩබලන විගණකාධිපති වශයෙන් අවුරුදු එකහමාරක් විතර හිටියට පස්සෙ තමයි එතුමව විගණකාධිපති ධුරයට පත් කළේ. ඒ නිසා වැඩබලන විගණකාධිපතිවරයෙක් පත්කර තිබීම ගැටලුවක් නෙවෙයි. මොකද ඒක පහුගිය කාලය තිස්සෙම වෙලා තියෙන නිසා. නමුත් විගණකාධිපති ධුරය හිස්ව තිබීම හොඳයි කියලා මම කියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම විගණකාධිපති ධුරයේ ඉන්න කෙනා විශ්‍රාම ගන්න මාසයකට කලින් ඊළඟට පත්වෙන කෙනා පත් කළ යුතුයි. එතකොට ඉන්න කෙනාට කරදරයකින් තොරව අලුත් කෙනාට තනතුර භාරදීලා විශ්‍රාම යන්න පුළුවන්. නමුත් ඒ දේ කිසිම ආණ්ඩුවකින් සිදු වුණේ නෑ. මෙවර මොකක් හරි හේතුවක් නිසා ඒක ප්‍රමාද වෙලා තියෙනවා. 

විගණකාධිපතිවරයෙක් නැති වුණාට වැඩබලන කෙනාට විගණන වාර්තා වලට අත්සන් කරන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ ධුරය හිස්ව පැවතීම හොඳයි කියලා මම කිසි වෙලාවක කියන්නෙ නෑ.

Q විගණන කාර්යාලය සම්බන්ධ නීතිමය ප්‍රශ්නයක් මතු වුණොත් විගණකාධිපතිවරයෙක් නොමැතිවීම ගැටලුවක් නෙවෙයි ද?

වැඩබලන විගණකාධිපති කෙනෙක් පත් කරලා ඉන්නවා කියන එකේ තේරුම නිසි බලධරයා ඉන්නවා කියන එකනෙ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නෑ. වැඩබලන විගණකාධිපතියි විගණකාධිපතියි අතර ලොකු වෙනසක් නෑ. විගණකාධිපතිවරයෙකුත් වැඩබලන විගණකාධිපතිවරයෙකුත් නැති වුණොත් තමයි ප්‍රශ්නය.

වැඩබලන විගණකාධිපතිවරයෙක් විගණන වාර්තාවකට අත්සන් කළහම ඒ වාර්තාවේ බලයෙහි කිසිම වෙනසක් වෙන්නෙ නෑ

 

Q වැඩබලන විගණකාධිපතිවරයකුට ධුරයේ කටයුතු කළ හැකි උපරිම කාලසීමාවක් ගැන අලුත් විගණන පනතෙ විධිවිධාන ඇතුළත් ද?

මම දැනුවත්ව පනතෙ එවැනි විධිවිධානයක් නෑ. මොකද විගණකාධිපති පත්කිරීම සම්බන්ධ විධිවිධාන දැක්වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ.  ව්‍යවස්ථාවෙ 41(ඇ) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයකු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ලෙස පත්කළ යුතුයි. විගණකාධිපති ධුරය අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා වෙත අයැදුම්පත්‍ර ඉදිරිපත් කරන සුදුසුකම්ලත් අය ගෙන් වඩාත් සුදුසු තැනැත්තා තෝරා ගෙන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කරනවා. වංචාවෙන්, දූෂණයෙන් තොර යහපත් පාලනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන ජනාධිපතිවරයෙකු මෙම නිර්දේශය කිරීමේ දී වඩාත් පරෙස්සම් විය යුතුයි. ඒ නිසා අයැදුම්කරුවන්ගෙන් ඉතාම සුදුසු පුද්ගලයා නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පසුබට වෙන්නෙ නෑ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෝ බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. වෘත්තීය සමිති හෝ විපක්ෂ කණ්ඩායම් හෝ ඉල්ලීම් සිදු කළ පමණින් ජනාධිපතිවරයාගේ නිර්දේශය වෙනස් කිරීමට හැකියාවක් නෑ. විගණකාධිපති තනතුර ජාතික විගණන කාර්යාලයේ තනතුරුවල උසස් වීමක් නොවන බැවින් ජ්‍යෙෂ්ඨතාව යන කාරණය ජනාධිපතිවරයාගේ නිර්දේශයට විශේෂ කාරණයක් වෙන්නෙ නෑ. දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් හෝ බාහිර පාර්ශවයකින් හෝ සුදුසුකම් සහිත පුද්ගලයින් අතරින් තෝරාගනු ලබන සුදුසුම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිර්දේශයට හිමිකම් ලබනවා. ඒ අනුව විගණන කාර්යාලයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විගණකාධිපති වශයෙන් පත්කළ යුතුය යන මතය සමාජගත කිරීමට ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා මහත් වෙහෙසක් දරන නමුත් එය නිකම්ම නිකං පුහු තර්කයක් පමණයි.

Q විගණකාධිපති ධුරයට පත්වෙන කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් මොනවා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුදුසුකම් ගැන කතා කරන එකම තනතුර විගණකාධිපති තනතුර. වෘත්තීය සුදුසුකම හැටියට වරලත් ගණකාධිකාරීවරයෙක් විගණකාධිපති හැටියට අනිවාර්යයෙන් පත්කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

Q පාඨකයාගේ දැනගැනීම පිණිස විගණකාධිපතිවරයාගේ සහ විගණන කාර්යාලයේ ප්‍රධාන කාර්ය භාරය ගැන ඔබට යම් පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද?

ව්‍යවස්ථාවේ සඳහන් වෙන විදියට ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විගණන කාර්යාලයේ ප්‍රධාන කාර්ය භාරය වෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ආයතන සඳහා වෙන් කරන ලද මුදල් නිසි ආකාරයට වියදම් කරලා තියෙනවා වැනි කාරණා ඒ කියන්නෙ රාජ්‍ය ආයතනවල මූල්‍ය කාර්ය සාධනය ගැන පාර්ලිමේන්තුවට වාර්තා කිරීමත් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයක්. මුදල් වැරදි විදියට භාවිත කරලා තියෙනවා නම් ඒවා ගැන විශේෂ වාර්තා පිළියෙල කරලා ඒවාත් භාරදිය යුතුයි. 

Q විගණකාධිපති ධුරය හිස්ව තිබීමෙන් අවසන් විගණන වාර්තා වලට විගණකාධිපතිවරයාගේ අත්සන යෙදීම අර්බුදකාරී වී ඇති බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙනවා. මෙහි සත්‍යතාවක් තියෙනවා ද?

වැඩබලන විගණකාධිපතිවරයෙක් ඉන්නවා නම් ඒකෙ ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න වැඩබලන විගණකාධිපතිවරයා පහුගිය මාස අටක කාලය තිස්සෙ විගණන වාර්තාවලට අත්සන් තබලා තියෙනවා. චුලාන්ත වික්‍රමරත්න මහතා වැඩබලන විගණකාධිපති වශයෙන් සිටි කාලයේත් විගණන වාර්තා වලට අත්සන් කරලා තියෙනවා. සරත් මායාදුන්නෙ මහතාත් එහෙමයි. වැඩබලන විගණකාධිපතිවරයෙක් විගණන වාර්තාවකට අත්සන් කළහම ඒ වාර්තාවේ බලයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ.

විගණකාධිපති කියන්නේ විගණන තනතුරක් නෙ​ාවේ.

 

Q විගණන සේවයෙන් පරිබාහිර පුද්ගල නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය සඳහා යොමු කිරීමත් ඇතැම් පාර්ශ්ව විසින් විවේචනය කරන බවක් පෙනෙන්නට තියෙනවා. මේ ගැන ඔබේ ස්වාධීන අදහස මොකක් ද?

විගණකාධිපතිවරයා පත් කිරීම විගණන සේවයට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒ ගැන නීතියේ කොහෙවත් සඳහන් වෙන්නෙත් නෑ. විගණකාධිපතිවරයෙක් කියන්නෙ විගණන සේවයේ සිටිය යුතුම කෙනෙක් නෙවෙයි. නමුත් විගණන සේවයේ සිටින කෙනෙක් පත්කිරීමට බාධාවක් නෑ. ජනාධිපතිවරයාගේ බලතල අනුව පත්කරන තනතුරක් තමයි විගණකාධිපති කියන්නෙ. විගණන සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ධුරය ඉසිලීමට තරම් කාර්යක්ෂම නොවන බව ජනාධිපතිවරයාට හැඟෙනවා නම් සුදුසුකම් සපුරන විගණන සේවයෙන් පිට කෙනෙක්ව වුණත් නාමයෝජනා කිරීමේ බලය ඔහුට තියෙනවා.

Q පත්කරන විගණකාධිපතිවරයෙකු ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ඉවත් කළ හැකි ක්‍රමවේදය කුමක් ද?

විගණකාධිපතිවරයා වැඩ කළ නොහැකි තත්ත්වයක සිටින්නේ නම් සහ මානසික ආබාධයකින් පෙළෙන්නේ නම් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන්න පුළුවන්. එසේ නැතුව විගණකාධිපතිවරයා ඉවත් කරන්න නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කළ යුතුයි. හිටපු පොලිස්පති ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත විගණකාධිපති ඉවත් කිරීම සම්බන්ධයෙනුත් අදාළයි.

Q විගණන ව්‍යුහයේ විගණකාධිපතිට පසු සිටින නිලධාරීන් සහ ඔවුන් විගණන කටයුතුවලදී විගණකාධිපතිට සහාය වෙන්නේ කෙසේ ද?

විගණකාධිපති දෙපාර්තමේන්තුව කියන්නෙ විගණකාධිපතිගේ දෙපාර්තමේන්තුව. විගණන වාර්තාවල දැක්වෙන්නෙත් විගණකාධිපතිගේ මතය කියලා. ඒ නිසා විගණකාධිපතිගේ මතය සකස් කිරීම සඳහා සහාය දක්වන කොටසක් තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන්නෙ. ඒ වෙනුවෙන් ස්ථර ගණනාවක් යටතේ සේවය කරන නිලධාරීන් ඉන්නවා. 

Q විගණකාධිපති වාර්තාවල විගණකාධිපතිගේ මතය හෝ නිර්දේශ යනුවෙන් සඳහන් වුණත් විගණන වාර්තා සකස් කිරීමේදී ඊට සම්බන්ධවෙන නිලධාරීන් සහ විගණකාධිපති මතය අතර පරස්පරතා ඇති වුණොත් ඒවා විසඳගන්නේ කොහොම ද?

ඇතුළෙ කමිටු පත්කරලා සාකච්ඡා කරමින් තමයි අවසන් වාර්තා විගණකාධිපති දක්වා එන්නෙ. පරස්පර මතයක් තියෙනවා නම් නිලධාරීන් සහ විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ මතය සලකා බලා අවසන් නිගමනයට පැමිණිය යුත්තේ විගණකාධිපතිවරයා.

විගණන කාර්යාලයට අවශ්‍ය සේවය සැපයීම සඳහා තමයි විගණන කොමිසම පත් කළේ.

Q විගණන සේවාව සඳහා 2018 සිට ක්‍රියාත්මක කළ අලුත් විගණන පනතෙන් අපේක්ෂා කළ අරමුණු මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා ද? විගණන සේවයේ බලතල වැඩිවීමක් වෙලා තියෙනවා ද?

ඒ විගණන පනත සම්මත කරගන්න අපිට සාකච්ඡා වට විස්සකට වැඩි ප්‍රමාණයක් පවත්වන්න සිද්ධ වුණා. රාජ්‍ය සේවය හැම වෙලේම විගණනයට විරුද්ධයි. විගණනයෙන් රාජ්‍ය ආයතනවල වැරදි අඩුපාඩු හොයනවා වගේ මතයක තමයි රාජ්‍ය සේවයත් දේශපාලන අධිකාරියත් ඉන්නෙ. ජාත්‍යන්තර සම්මත මගින් විගණකාධිපතිවරයාට ලැබී තිබුණු ස්වාධීනත්වය ලංකාවේ විවිධ හේතු මත අවහිර වෙලා තිබුණෙ. ඒවා ඉවත් කරන්න තමයි ඒ අලුත් පනත ගෙනාවෙ. විගණකාධිපති දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කළේ මුදල් අමාත්‍යාංශයෙන්. නමුත් මුදල් අමාත්‍යාංශය විගණනය කරන්නෙත් විගණකාධිපතිවරයා විසින්. මේ තත්ත්වයත් විගණන සේවයේ ස්වාධීනත්වයට බාධාවක් නිසා දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කිරීමත් මේ පනතේ එක් අරමුණක්. විගණන සේවාවේ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, විනය පාලනය වැනි කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්. නමුත් ඒ කොමිෂන් සභාව විගණනය කළෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්. විගණකාධිපති කොමිසම විගණනය කරද්දි කොමිසමට විගණන සේවයේ නිලධාරීන් පත්කිරීමට මාරුකිරීමට බලය තියෙනවා. මෙයින්ද විගණන සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙන නිසා විගණන සේවයේ නිලධාරීන්ගේ පත්කිරීම් මාරුකිරීම් ආදී කටයුතු ස්වාධීන කළ යුතුයි කියන එකත් පනතේ සඳහන් වෙනවා. ඒ ස්වාධීනත්වය ගොඩනගන්න තමයි විගණන සේවා කොමිෂන් සභාව පිහිටුවූවෙ. 

Q විගණන කාර්යාලය සහ විගණන සේවා කොමිෂන් සභාව අතර වෙනස පැහැදිලි කරන්න කුමක්ද?

ගොඩක් අයට මේ දෙකේ වෙනස තේරෙන්නෙ නැති බවක් දකින්න තියෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව දැන් හඳුන්වන්නෙ ජාතික විගණන කාර්යාලය විදියට. ඒක වෙනස් වුෙණත් අලුත් පනතෙන්. විගණන කාර්යාලයට අවශ්‍ය සේවය සැපයීම සඳහා තමයි විගණන කොමිසම පත් කළේ. විගණන කාර්යාලයේ නිලධාරීන් පත්කිරීම, මාරුකිරීම, උසස්කිරීම, විශ්‍රාම ගැන්වීම සහ විනය පාලනය යන කටයුතු ස්වාධීනව කිරීම තමයි විගණන කොමිසමේ ප්‍රධාන කාර්ය භාරය. ඉන් එහාට ගිහින් විගණන කටයුතු කිරීමේ බලයක් කොමිසමට නෑ.

Q විගණන නිර්දේශ ක්‍රියාත්මක නොවන බවට කාලයක් තිස්සේ චෝදනා නැගෙනවා. අලුත් පනතෙන් මේ සඳහා ප්‍රතිකර්ම හඳුන්වාදීමක් කළා ද?

මේ වෙනකොට සෑහෙන බලපෑම් එල්ල වෙනවා විගණන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ සඳහා විගණන පනත හොඳට ශක්තිමත් වුණා. නමුත් මීටත් වඩා පනත ශක්තිමත් කරලා විගණකාධිපතිවරයාට තව බලතල දෙන්න ඕන. විගණන වාර්තාවක ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් විගණකාධිපතිට පුළුවන් අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මාර්ගයෙන් ඒවා ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දෙන්න. ඒ වගේම යම් රාජ්‍ය ආයතනයක වංචා දූෂණ සිදුවෙලා කියලා විගණකාධිපතිවරයාට සාක්ෂි ලැබුණොත් වහාම ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ ආයතනය අයත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට හෝ අමාත්‍යාංශයේ ඉහළට දැනුම් දෙන්න පුළුවන්.

විගණන පනත සම්මත කරපු වෙලාවේ පනතට අවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතු යෝජනා කිහිපයක් අපි ඉදිරිපත් කළා. නමුත් ඒවා ඉවත් කළා. මීට මාස දෙකකට විතර උඩදී මේ පනතට සංශෝධනයක් ගෙනාවා. අපි එදා ඉදිරිපත් කරපු යෝජනා තමයි මේ සංශෝධනයට ඇතුළත් කරලා තියෙන්නෙ. යම් ආයතනයක දූෂණ වංචා වෙලා තියෙනවා නම් විගණකාධිපතිවරයාට කලින් වගේ පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය වෙන්නෙ නෑ. අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් මගින් නීති අංශ වෙත ඒ කාරණා ගෙන යෑමේ හැකියාව ඔහුට තියෙනවා. මේ අනුව මෙම සංශෝධනයත් සමග විගණකාධිපතිවරයාට විශාල බලයක් හිමිව තියෙනවා. ඒ බලතල කොතරම් දුරට ක්‍රියාත්මක වනවා ද යන්න රඳාපවතින්නෙ ධුරයේ සිටින විගණකාධිපතිවරයාගේ පෞරුෂය මත.

Q ඒ බලතල ක්‍රියාත්මක කිරීමට විගණකාධිපති ධුරය පුරප්පාඩුව පැවතීම ගැටලුවක් නෙවෙයි ද?

නෑ. එහෙම ගැටලුවක් නෑ. ඒ වුණාට අනිවාර්යයෙන්ම මේ පුරප්පාඩුව පිරවිය යුතුයි. ජනාධිපතිවරයා මේ දක්වා නම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළත් ඒ සභාව ඒ එකකටවත් අනුමැතිය දුන්නෙ නෑනෙ. මේකෙ දි කවුද වැරදි කියන එක ගැන මම කතා කරන්න කැමති නෑ. නමුත් මෙතන තියෙන්නෙ ව්‍යවස්ථාමය ගැටුමක්. ජනාධිපතිවරයා තමයි මේ රටේ ප්‍රධාන පුරවැසියා. ඒ නිසා මේ තනතුරට සුදුසු පුද්ගලයා පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිවරයාට. ඔහු නාම යෝජනා කරන පුද්ගලයා සුදුසුද? නැද්ද? කියන එක වෙනම කතාවක්. ජනාධිපතිවරයා නාම යෝජනා කරන පුද්ගලයා ව්‍යවස්ථා සභාව අනුමත නොකළොත් එතනින් එහාට කළ යුතු දේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වෙන්නෙ නෑ. එතනයි මේ ප්‍රශ්නය තියෙන්නෙ.

Q මේ ප්‍රශ්නය විසඳගන්න ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුයි කියලා ඔබ හිතනවා ද?

ඉස්සරහට ගේන්න වෙනවනෙ. මේ ප්‍රශ්නය මාස ගාණක් ඇදෙන්නෙ ඒකනෙ. විගණන සේවයට පිට කෙනෙක්ගෙ නම් යෝජනා කළ නිසා ඒවා අනුමත නොකළ බවත් කියනවානෙ. අපි මේ ප්‍රශ්නය කතා කරන්න ඕනැ නීත්‍යනුකූලව නෙ. විගණන සේවයෙන් පිට කෙනෙක්ව විගණකාධිපති ධුරයට පත් ​ෙනාකළ යුතුයි කියලා නීතියේ කොහෙවත් සඳහන් වෙන්නෙ නෑ. මම විගණකාධිපති වශයෙන් පත් වුණෙත් රාජ්‍ය සේවයෙන්. මට පසු පත් කළ ප්‍රේමතිලක මහතාත් විගණන සේවයේ කෙනෙක් නෙවෙයි.

Q විගණකාධිපති තනතුරට විගණන සේවයෙන් පිට කෙනක් පත් කරද්දි විගණන දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?

විගණකාධිපති කියන්නෙ විගණන සේවයේ තනතුරක් නෙවෙයි කියන එක මම දිගන් දිගටම කිව්වෙ ඒ නිසයි. මොකද විගණන සේවය අතිරේක විගණකාධිපති ගෙන් ඉවරයි. පිට කෙනක් මේ තනතුරට පත්කිරීමට කිසිම නීතිමය බාධාවක් නෑ. නමුත් විගණන සේවය ඇතුළෙ දක්ෂ නිලධාරියෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇයව විගණකාධිපති වශයෙන් පත් කිරීමේ ගැටලුවක් නෑ. නමුත් ඒක අනිවාර්ය අවශ්‍යතාවක් නෙවෙයි. විගණකාධිපති වශයෙන් පිටින් පත් වූ අය විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා.

උපුල් වික්‍රමසිංහ