කොළඹ මහ නගර සභාව ඇතුළු තවත් පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කරන ලද අයවැය පරාජය වීමත් සමග එවැනි අවස්ථාවක දී අදාළ වන නීතිමය තත්වය කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක් ව ඇත. ඊට කෙටි පිළිතුරක් ලබා දීමට මෙම ලිපියෙන් අපේක්ෂා කර තිබේ.
 
පළාත් පාලන ආයතන
 
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පිහිටුවා තිබෙන ප්‍රධාන නීති තුනකි. එනම්,
(අ) 1947 අංක 16 දරන මහ නගර සභා ආඥාපනත
(ආ) 1939 අංක 61 දරන නගර සභා ආඥා පනත
(ඇ)1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
 
පළාත්පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ මහනගරයක්, නගරයක් හෝ ප්‍රාදේශීය සභා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සීමා අනුව ඒ ඒ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වේ.
 
අයවැය (හෝ පරිපූරක අය වැය) පරාජය වීම සම්බන්ධයෙන් බලපාන නීතිය
 
ඉහත සඳහන් නීතිවල ඒ ඒ පළාත්පාලන ආයතනවල ගිණුම්, අයවැය- පරිපූරක අය වැය ලේඛන හා ඇස්තමේන්තු සම්බන්ධයෙන් බලපාන වගන්ති කිහිපයක් තිබේ. 2012 අංක 21 දරන පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත මගින් ඉහත පනත් තුනටම සංශෝධන කිහිපයක් සිදු කර තිබේ. එම සංශෝධන පනත ද සැලකිල්ලට ගැනීමේ දී පළාත් පාලන අයතනයක අයවැයක් සම්මත වීමට අදාළ වන වගන්ති මෙසේ දැක්විය හැකිය. එනම්,
 
(අ) මහනගර සභා ආඥා පනතේ 215, 215අ හා 2012 අංක 21 පනතේ 7 වන වගන්තියෙන් (215අ ට) එකතු කරන ලද ව්‍යතිරේකය
 
(ආ) නගර සභා ආඥා පනතේ 178, 178අ හා 2012 අංක 21 පනතේ 12 වන වගන්තියෙන් (178අ ට) එකතු කරන ලද ව්‍යතිරේකය 
 
(ඇ) ප්‍රාදේශීය සභා පනතේ 168, 169 හා 2012 අංක 21 පනතේ 17 වන වගන්තියෙන් (169 ට) එකතු කරන ලද ව්‍යතිරේකය
 
ඉහත සඳහන් 2012 අංක 21 විශේෂ විධිවිධාන පනතින් සිදුකරන ලද්දේ යම් පළාත් පාලන ආයතනයක නිල කාලය ආරම්භ වී වසර 2 කින් පසුව ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් අභිනව තත්වයක් ඇති කිරීමය. ඒ අනුව ප්‍රස්තුත කාරණයට අදාළ වන වගන්ති හා ඒවායේ බලපෑම ඉහත පනත් තුනෙහිම එක හා සමානය.
 
මුල් වසර 2ට බලපාන නීතිය
 
නිල කාලය ආරම්භ වී එළඹෙන පළමු වසර 2 ට අදාළ වන්නේ  මහ නගර සභා පනතේ 215අ, නගර සභා පනතේ 178අ හා ප්‍රාදේශීය සභා පනතේ 169 වන වගන්ති වේ. එම වගන්ති එකිනෙකට සමරූපී වන බැවින් මහ නගර සභා පනතේ 215අ වගන්තිය මෙහි සඳහන් කරමි. එනම්,
 
“යම් අය වැය ලේඛනයක හෝ පරිපූරක අය වැය ලේඛනයක සියලු‍ම විෂයයන් හෝ ඉන් යම් විෂයයක් හෝ සභාව විසින් සුළු වශයෙන් වෙනස් කරනු ලැබුවහොත් හෝ ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඊට යම් විෂයයක් එක් කරනු ලැබුවහොත්, සභාවේ එවැනි යම් තීරණයකට නගරාධිපතිවරයා එකඟ නොවන්නේ නම්, ඔහු විසින් එම අය වැය ලේඛනය තවදුරටත් සලකා බැලීම සඳහා සභාව වෙත නැවතත් ඉදිරිපත් කළ යුතුය. අය වැය ලේඛනය හෝ පරිපූරක අය වැය ලේඛනය නැවතත් සභාවට ඉදිරිපත් කරනු ලැබ එය එසේ නැවත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සති දෙකක් ඇතුළත සම්මත කරනු නොලැබූ අවස්ථාවක, එම අය වැය ලේඛනය හෝ පරිපූරක අය වැය ලේඛනය එය සභාව විසින් සම්මත කරනු නොලැබීම නොතකා, සභාවේ යථා පරිදි පිළිගන්නා ලද අය වැය ලේඛනය හෝ පරිපූරක අය වැය ලේඛනය ලෙස ලෙස සැලකිය යුතුය.”
 
අනෙක් පනත් දෙකෙහි ඇති වගන්තිවල ඇති එකම වෙනස වන්නේ මෙහි නගරාධිපති’ වෙනුවට ඒවායේ සභාපතිවරයා’ යන වචනය ආදේශ කර තිබීම ය. 
 
අය වැය/ පරිපූරක අය වැය ප්‍රතික්ෂේප වූ විට නගරාධිපති/සභාපති ගත යුතු පියවර ඉහත වගන්තියට අනුව අදාළ අය වැය හෝ පරිපූරක අය වැය යම් සභාවක් විසින් ප්‍රතික්ෂේප කළ විට එහි නගරාධිපති / සභාපති විසින් එම අයවැය සලකා බැලීම සඳහා නැවතත් සභාවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය. 
 
එසේ ඉදිරිපත් කිරීමෙන් සති දෙකක් ඇතුළත එය සම්මත නොකළහොත් එය නොතකා එම අය වැය- පරිපූරක අය වැය ලේඛනය සභාවේ යථා පරිදි පිළිගන්නා ලද අය වැය ලේඛනය බවට සලකා කටයුතු කළ යුතුය.
 
මෙම වගන්තියේ බලපෑම
 
අය වැය ප්‍රතික්ෂේප කළ විට එම අය වැය/ පරිපූරක අය වැය ක්‍රියාත්මක කිරීම සිදු කළ නොහැකිය. එම තත්වය මග හැරිය හැක්කේ එම අය වැය ලේඛනය නැවත වරක් සභාවට ඉදිරිපත් කිරීමෙන් ය. එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත වරක් එය ප්‍රතික්ෂේප කළ ද ඉන් කිසිදු හානියක් සභාවේ මූල්‍ය කටයුතුවලට සිදුවන්නේ නැත. ඊට හේතුව එම අය වැය/ පරිපූරක අය වැය නීතිය මගින්ම සභාව විසින් පිළිගන්නා ලද බවට සලකා කටයුතු කළ යුතු බවට පනවා තීබීම ය.  
 
පළාත් පාලන ආයතනයක නිල කාලය ක්‍රියාත්මක වීමෙන් පසුව එහි කටයුතු දේශපාලන බල අරගලවල බලපෑම හේතුවෙන් අකර්මණ්‍ය වීම හෝ අඩාළ වීම වැළැක්වීම මෙම ප්‍රතිපාදනයෙන් අරමුණු කර තිබෙන බව පෙනේ. 
 
මුල් වසර 2 න් පසුව
 
නිල කාලය ආරම්භ වී පළමු වසර 2 ඉක්ම වූ පසුව යම් අය වැයක් / පරිපූරක අය වැයක් යම් සභාවක් විසින් ප්‍රතික්ෂේප කළ හොත් අදාළ වන නීතිය 2012 අංක 21 දරන පනතින් ඒ ඒ මුල් පනත්වලට ගෙන එනු ලැබූ සමරූපි වගන්තිවල සඳහන් වේ. ඒවා අතුරින් මහ නගර සභා පනතේ 215අ වගන්තියට (පසුව) හඳුන්වා දුන් ව්‍යාතිරේකය යට දැක්වේ.
 
“එසේ වුව ද, සභාවේ නිල කාලය ආරම්භ වී වසර දෙකකින් ඉක්බිතිව නගරාධිපතිවරයා විසින්, කවර හෝ අවස්ථාවක සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය හෝ පරිපූරක අයවැය ලේඛනය සම්බන්ධයෙන් මෙම ආඥාපනතේ 214 වන සහ 215 වන වගන්ති අනුව කටයුතු කිරීමෙන් අනතුරුව එම අයවැය ලේඛනය හෝ පරිපූරක අයවැය ලේඛනයේ සියලුම විෂයයන් හෝ ඉන් යම් විෂයයක් හෝ සභාව විසින් සුළු වශයෙන් වෙනස් කරනු ලැබුව හොත් හෝ ප්‍රතික්ෂේප කරනු ලැබුව හොත් හෝ ඊට යම් විෂයයක් එකතු කරනු ලැබුව හොත්, සභාවේ එවැනි යම් තීරණයකට නගරාධිපතිවරයා එකඟ නොවන්නේ නම්, ඔහු විසින් එම අයවැය ලේඛනය තවදුරටත් සලකා බැලීම සඳහා සභාව වෙත නැවතත් ඉදිරිපත් කළ යුතු ය. එය එසේ දෙවන වරටත් නැවත ඉදිරිපත් කරනු ලැබීමෙන් සති දෙකක් ඇතුළත සම්මත කරනු නොලැබූ අවස්ථාවක, එකී සති දෙකක කාලය අවසන් වීමෙන් පසුව නගරාධිපතිවරයා ස්වකීය නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකනු ලැබිය යුතු ය.
 
පනතේ 214 වගන්තිය අදාළ වන්නේ පරිපූරක අය වැය සම්බන්ධයෙන් වන අතර 215 අදාළ වන්නේ අය වැය හෝ පරිපූරක අය වැය සම්මත කිරීමේ අභිමතයට ය. ඒවා 215අ වගන්තියට ද අදාළ පොදු වගන්ති වන බැවින් මෙහි දී සලකා බැලීම අනවශ්‍ය වේ.
 
ධුරය අහෝසි වීම
 
මෙහි දී වැදගත් වන්නේ නිල කාලය ආරම්භ වී පළමු වසර දෙකකින් පසුව අය වැය/ පරිපූරක අය වැය ප්‍රතික්ෂේප වුවහොත් හා එය නැවත වරක් සභාවට ඉදිරිපත් කර දෙවන වරටත් ප්‍රතික්ෂේප වුවහොත් නගරාධිපතිවරයා (නගරසභාවක හෝ ප්‍රාදේශීය සභාවක නම් සභාපතිවරයා) ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකනු ලැබිය යුතු බවට නීතියෙන්ම පනවා තිබීමය. එනම් එසේ දෙවන වර අය වැය (හෝ පරිපූරක අය වැය) ප්‍රතික්ෂේප වුවහොත් නගරාධිපතිගේ (හෝ සභාපතිවරයාගේ) ධුරය අහෝසි වේ. 
 
සංශෝධිත නීතියේ දේශපාලනමය බලපෑම
 
ඉහත ව්‍යතිරේකයට පදනම් කර තිබෙන පදනම ලෙස දැකිය හැකි වන්නේ යම් නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද අය වැය හෝ පරිපූරක අය වැය ලේඛනයක් යම් සභාවක් විසින් ප්‍රතික්ෂේප කිරීම මගින් එම නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා සම්බන්ධයෙන් එම සභාවේ තිබූ විශ්වාසය බිඳ වැටී තිබෙන බවට සැලකීම යි. මුලින් බිඳ වැටුණු විශ්වාසය දෙවන වර එම අය වැය ලේඛන ඉදිරිපත් කිරීමේ දී ඊට සහය ලබා ගැනීමෙන් නැවත දිනා ගැනීමට අවස්ථාවක් ද මෙහි දී ලබා දී තිබේ. 
 
එහෙත් එම සිද්ධාන්තයම මුල් අවුරුදු දෙකට ද අදාළ කරගත හොත් එළඹිය හැකි නිගමනය වන්නේ සභාවේ විශ්වාසය අහිමිකරගත් නගරාධිපතිවරයෙකුට හෝ සභාපතිවරයෙකුට එසේ විශ්වාසය අහිමි වීම නොතකා එම ධුරයේ අවුරුදු දෙකක් කටයුතු කිරීමට නීතියෙන් අවසර ලබා දී ඇති බවයි. නීතිය මගින් නිර්මාණය කර තිබෙන මෙම තත්වය ප්‍රායෝගිකව හා කොතෙක් දුරකට අදාල පළාත් පාලන ආයතනවල හා ඒවාට යටත් පුරවැසියන්ගේ යහපත පිණිස දායක වන්නේ ද යන්න විමසිය යුත්තකි.
 
අධිකරණ නඩු තීන්දු
 
පළාත් පාලන ආයතනයක අය වැය ලේඛනයක් (හෝ පරිපූරක අය වැය ලේඛනයක්) යම් සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදාළ වන නීතිය ගරු අභියාචනාධිකරණය විසින් නඩු තීන්දු කිහිපයක දී ම සාකච්ඡා කර තිබේ. එහි දී මුල් අවුරුදු දෙක තුළ දී හා ඉන් පසුව බලපාන නීතියේ වෙනස කෙරෙහි ද ගරු අධිකරණයේ අවධානය යොමු කර  තිබේ. ඒවා අතර ගරු අර්ජුන ඔබේසේකර (වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි) හා ගරු මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණය කර තිබෙන වැල්ලවත්තගේ සරත් පීරිස් එදිරිව කටුනායක-සීදුව නගර සභාව (CA/Writ/24/2021) , ගරු සෝභිත රාජකරුණා (වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි) සහ ගරු ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණය කර තිබෙන මාදම්පගේ නන්ද විජේරත්න සිල්වා එදිරිව එයාමාෂල් රොෂාන් ගුණතිලක සහ තවත් අය (CA/WRIT/649/2021) යන නඩු තීන්දු වැඩිදුර අධ්‍යයනය සඳහා වැදගත් වේ.