IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මැයි 06 පුංචි ජන්දයට උගත් පාඩමක් වන මහරගමින් පත්තු කළ ගින්න

2025 මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ තවත් එක් වැදගත් ඓතිහාසික මැතිවරණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ මෙම මැතිවරණය - මහජන නියෝජනයේ විනිවිදභාවය, නීත්‍යානුකූලභාවය, සහ අඛණ්ඩතාව තහවුරු කිරීමට මැතිවරණ බලධාරීන්ට, දේශපාලන පක්ෂවලට, සහ ඡන්දදායකයින්ට ඇති වගකීම පිළිබිඹු කරන නිසාය. 

ඒ සමග 2018 මහරගම නගර සභා මැතිවරණයේ දී සිදුවූ නීතිවිරෝධී මන්ත්‍රී පත්වීම් අභියාචනාධිකරණය මගින් අවලංගු කිරීම, මැතිවරණ නීතිවල මූලික අවශ්‍යතාවන්හි වැදගත්කම හා ඒවා උල්ලංඝනය කිරීමේ බරපතළ ප්‍රතිවිපාක අවධාරණය කරන ඓතිහාසික තීන්දුවක “උගත් පාඩමක්”‍ ඔබ හමුවේ තැබීමට සිත්විය.

ඒ මෙම නඩු තීන්දුව - අනාගත මැතිවරණ වලදී සුදුසුකම් නොලබන අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එරෙහිව බලවත් අනතුරු ඇඟවීමක් ලෙස ආදර්ශයට ගත හැකි අතර, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමේදී පුරවැසි විමසිල්ලේ බලය සහ වැදගත්කම තහවුරු කරන නිසාය.

  • හෘද සාක්ෂියේ බර !

දිනය 2024 මාර්තු 22 වනදා ය. එදින CA/Writ /222/2018 යන අංකය යටතේ අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩු කටයුත්තේ අවසන් තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් නිකුත්කර සිටියේය. ඊට අනුව2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මහරගම නගර සභාවේ බහුතරය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත්කර ගැනීම නීති විරෝධී බවට නිගමනය කෙරිණ. එසේම එකී මන්ත්‍රීවරුන් ගේ පත්කිරීම් වලංගු නොවන බවත්, ඒ සඳහා ඔවුන් විසින් සම්පූර්ණකර තිබිය යුතු වූ පදිංචිය හා ඡන්ද අයිතිය පිළිබඳ මූලික නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කර ඇති බවත්, මෙම තීන්දුව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

එවකට මම ද 2018 පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ජයග්‍රහණය කර, මහජන නියෝජිතයකු ලෙස මහරගම නගර සභාවට පත්ව සිටියෙමි. නමුත් මැතිවරණයේ වැඩි ආසන ප්‍රමාණය “මෝටර් බයිසිකලය” ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම ලබා තිබූ බැවින්, මා ක්‍රියා කළේ විපක්ෂය නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරයකු වශයෙන් ය. 

කෙසේ වෙතත් ඒ නිශ්චිත අවස්ථාවේ මහරගම බහුතරයට ගැනුණු ජනතාවගේ ආශීර්වාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය විසින්ම නගර සභාව සඳහා පාලක පක්ෂයක් පිහිටුවා ගෙන තිබුණු හෙයින් - සිදුව ඇති වරද නිවැරදි කිරීමට සෘජු ලෙස මැදිහත්වීමක් සිදුකිරීමට අවස්ථාවක් තිබුණේ නැත. එවකට පැවති දේශපාලන වාතාවරණය තුළ අපේ හඬට බහුතරයේ කන් යොමුව තිබුණේ නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජනතාවට සිදුව තිබූ වරදට එරෙහිව සටන් නොකර මුනිවත රැකීමට හෘද සාක්ෂිය ඉඩ දුන්නේද නැත.

සංඛ්‍යාත්මකව සුළුතරය වුවත් - වරද නිවැරදි කිරීම වෙනුවෙන් පුරවැසි අයිතිවාසිකම පෙරමුණේ තබා ක්‍රියා කිරීමට තීරණය කරණු ලැබුවේ ඒ අනුව ය. පරණ ලියනගේ සුනිල් බන්දුල, පිලානේ විතානගේ සිරිසේන, මුදුන් පොඩිගේ දොන් චන්ද්‍රසිරි දයානන්ද, දොන් පියසේන මනම්පේරි සහ හේවා පතිරණගේ නිහාල් වසන්ත කුමාර යන අය මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශ්වය ලෙස ඉදිරිපත් වූයේ ද ඒ අනුව ය. ඔවුන් සියලු‍ දෙනාම මහරගම නගර සභා බලප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයින් සහ පදිංචිකරුවන් වූහ. පෙත්සම්කරුවන් විසින් ඔවුන්ව නියෝජනය කළ බව කියන පළාත් පාලන ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනීතික භාවයකින් යුක්තව සිදු කරනු ලබන නිල කටයුතු වළක්වාලන “ක්වෝ වොරෙන්ටෝ රිට් අාඥාවක්” නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

  • ඓශ්වර්යය !

2018 පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් මෝටර් බයිසිකලය ලකුණ යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම - මහරගම නගර සභාවේ ආසන 25ක් ම හිමිකර ගත්හ. කෙසේ වෙතත් ඔවුන් ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොවන බව පසුව අනාවරණය විය. එය පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 8 වන වගන්තිය යටතේ පළාත් පාලන ආයතනයක සමාජිකයෙකු ලෙස පත්වීම සඳහා පැවතිය යුතු පූර්ව නීතිමය අවශ්‍යතාව නිශ්චිතවම උල්ලංඝනය කිරීමකි.

එම මැතිවරණයේ දී මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප වූ අතර, ඒ හේතුවෙන් ඔවුහු ස්වාධීන කණ්ඩායමක් ලෙස මෝටර් බයිසිකලය ලකුණින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම දිනවීම සඳහා විවෘතව සහාය දැක්වූහ. ඒ මොහොත නම් කර තිබුණේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහාය පළවන පොල් ලෙල්ලක් මැතිවරණයට ඉදිරිපත් කළත් ජය අත්කර ගන්නා මොහොතක් ලෙසය. 

කෙසේ වුවත් මෙම ආකස්මික දේශපාලන දීගය පිළිබඳව සහ විශේෂයෙන් තරග කණ්ඩායමේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම අවම වශයෙන් තමන්ගේ අපේක්ෂකත්වය පිළිබඳව හෝ දැන නොසිටීම, මහරගම නගර සභා බල ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයින් නොවීම සහ ඔවුන් දිවුලපිටිය, බඩල්ගම, වැල්ලවත්ත සහ කොච්චිකඩේ වැනි දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වීම වැනි කරුණු අනාවරණය වීමෙන් පසු මෙය දැනුම්වත් ජනතාවගේ සහ බොහෝ දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු විය.

පෙත්සම්කරුවන් විසින් මෙහිදී පෙන්වා දුන්නේ මෙම පුද්ගලයින්ට මහරගම නගර සභා බලප්‍රදේශය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔවුන්ගේ නාමයෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාම යෝජනා ප්‍රතික්ෂේප වුවහොත් ඒ වෙනුවට භාවිත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බවත්ය. 

ප්‍රස්තුත තතු අනාවරණය කරමින් 2018 පෙබරවාරි 21 වන දින “ඩේලිමිරර්” පුවත්පතේ පළ වූ මාධ්‍යවේදිනි කලනි කුමාරසිංහ විසින් ලියන ලද විශේෂාංග ලිපිය මෙම නඩුවේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය වූ බැව් මෙහි දී කෘතඥතා පූර්වකව සඳහන් කළයුතුය. 

පෙත්සම්කරුවන් විසින් අධිකරණයේ දී උපුටා දක්වන ලද මෙම ලිපිය මගින් - නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව ද සිය අණසකට නතුකර ගැනීම සඳහා, මෝටර් බයිසිකලය ලකුණින් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කර තිබූ කණ්ඩායමට සහාය දුන් ආකාරය හෙළි කර තිබිණි. තේරී පත් වූ අපේක්ෂකයින් කොපමණ සංඛ්‍යාවක් පිටස්තරයින් ද යන්න එම විශේෂාංග ලිපියේ කරුණු විස්තර කර දක්වා තිබූ අතර, නාමයෝජනා පත්‍රයේ සමහර නම් සඳහන් පුද්ගලයින් ඔවුන්ගේ අපේක්ෂකත්වය පිළිබඳව පවා නොදැන සිටි බවත්, තවත් සමහරුන්ට මැතිවරණයෙන් පසු ඉල්ලා අස්වීමට මුදල් ගෙවා ඇති බවත්, එකී ලිපිය මගින් අනාවරණය කර තිබිණි. 

එමෙන්ම තේරී පත් වූවන් වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලත් අපේක්ෂකයින් පත් කිරීමට ඉඩ සැලසීම සඳහා ගිවිසුමක් සහ දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කර ඇති බවට ද මෙම විශේෂාංග ලිපිය මගින් වැඩිදුරටත් චෝදනා එල්ල කර තිබිණ.

  • කෙරුම්කරුවන් ගේ ස්වාධීන නාඩගම් !

මෙහිදී ඔබගේ අවධානයට පාත්‍ර විය යුතුම සුවිශේෂී කාරණයක් ඇත. එය නම් මහරගම නගර සභා ඡන්දය පැවැත්වීමට අධිකාරී බලය ලත් තේරීම් භාර නිලධාරියා පමණක් නොව – එවකට මහින්ද දේශප්‍රිය සභාපතිත්වය දැරූ මැතිවරණ කොමිෂන් සභාව ද දැන හෝ නොදැන බරපතළ අඩුපාඩු සිදුකර ඇති බැව් අභියාචනාධීකරණ තීන්දුවේ දක්වා ඇත් බවය.

පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 31(1)(ආ) වගන්තියට අනුව සුදුසුකම් ලත් නිශ්චිත අපේක්ෂක සංඛ්‍යාව නොමැති නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා නීත්‍යනුකූලව බැඳී සිටී .

ස්වාධීන කණ්ඩායමක් ලෙස මෝටර් බයිසිකල් ලකුණින් ඉදිරිපත් වූ බොහෝ අපේක්ෂකයින් මහරගම නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් - මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොලබන බවට නිශ්චිත පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර තිබියදීත්, තේරීම්භාර නිලධාරියා විසින් නාමයෝජනා පත්‍රය පිළිගෙන තිබූ අයුරු නඩු විභාගයේ දී අපූරුවට චිත්‍රණය වූ අතර, ඒ අනුව අභියාචනාධිකරණය එය මුල සිටම අවලංගු වී තිබූ නාමයෝජනා පත්‍රයක් බැව් තහවුරු කොට තීන්දු කිරීමට යෙදුණි.

තවද මෙම තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරුන් අතුරින් බහුතරයක් ඇති වූ නීතිමය සහ මහජන පීඩනය හේතුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබූ අතර, එම අවස්ථාවේ දී තේරීම්භාර නිලධාරියා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් නාමයෝජනා ලැයිස්තුවෙන් එම මන්ත්‍රී ධූර සඳහා ආදේශක මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබෙන අතර, එම ලයිස්තුව මැතිවරණයට පෙර විධිමත් ලෙස ප්‍රතික්ෂේප වූ අපේක්ෂක ලැයිස්තුවකි.

අභියාචනාධිකරණය මෙම ක්‍රියාව රාජ්‍ය නිලධාරියෙකුට හිමි නෛතික බල අධිකාරීත්වයෙන් ඔබ්බට ගොස් අභිමතානුසාරීව සිදු කරන ලද කටයුත්තක් ලෙස හෙළා දැක - ප්‍රතික්ෂේප කරන ලද ලැයිස්තුවකින් අපේක්ෂකයින්ට පළාත් පාලන ආයතනයක පුරප්පාඩු නීත්‍යනුකූලව පිරවිය නොහැකි බව දැඩිව අවධාරණය කළේය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කරමින් අභියාචනාධිකරණය තීන්දු කරුණු ලැබුවේ - නීත්‍යනුකූල පදිංචිකරුවන් ලෙස තහවුරු වූ 12 වන සහ 14 වන වගඋත්තරකරුවන් හැර සෙසු සියලු සභා මන්ත්‍රීවරුන්ගේ පත්වීම් ශුන්‍ය සහ බලරහිත වන බවත්, මෙම මන්ත්‍රීවරුන්ට නගර සභාවේ අසුන් ගැනීමට ඡන්දය දීමට හෝ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, පදිංචිය සඳහා වන අවශ්‍යතාව සපුරා ලීමට අපොහොසත් වීම හේතුවෙන් මෝටර් බයිසිකලය ලකුණින් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුව තිබු බවත් ගෙන හැර දක්වමිනි. 

පැරෂුට් අපේක්ෂකයන් !

මෙහිදී සිදුවූ තවත් වැදගත් කරුණක් නම් පළාත් පාලන ආයතනයේ නිල කාලය අවසන් වී ඇති බැවින් මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යාම නිෂ්ඵල කරුණක් බවට ඉදිරිපත් වූ තර්කය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමය. එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදිරිව දයානන්ද දිසානායක යන නඩුව ඇතුළු අතීත ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශයන් ගැන සඳහන් කරමින් අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ මෙරට මැතිවරණ ක්‍රමය තුළ නිරන්තරයෙන් සිදුවන අවභාවිතයන් සැලකිල්ලට ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ අවභාවිතයන් පිළිබඳ නීතිමය පැහැදිලි කිරීම් අත්‍යවශ්‍ය වන බවය.

මෙම නීතිවිරෝධී ලෙස පත්වූ නාගරික මන්ත්‍රීවරුන් විසින් - තෙවන පාර්ශ්වයන්ට බලපෑමක් ඇතිවන අයුරින්, නිල තත්ත්වයෙහිලා සිදු කර ඇති ක්‍රියාවන්හි නීත්‍යනුකූලභාවය පිළිබඳ මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් අභියෝගයට ලක් කර නොමැති අතර, නගර සභාවේ පාලනය අවුල් කිරීම හෝ අනවශ්‍ය අර්බුද ඇති කිරීමේ අසද්චේතනාවන් ගෙන් සපුරා වියුක්තව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පෙත්සම ගොණු කෙරැණු බව ද දැක්විය යුතුය.

මැයි 5 ට උගත් පාඩමක් !

2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පැවැත්වෙන මෙරට පළමු පළාත් පාලන මැතිවරණය මැයි 06 වන දින පැවැත්වීමට සූදානම් වන බැවින් මෙම නඩු තීන්දුව අතිශයින් වැදගත් ය. ඒ මෙම නඩු තීන්දුව මගින් මැතිවරණ බලධාරීන්, දේශපාලන පක්ෂ සහ ඡන්දදායකයින් අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කරුණු රැසක් පෙන්වා දෙන අතර එය බලවත් පූර්වාදර්ශයක් මෙන්ම අනතුරු ඇඟවීමක් බවටද පත්වන නිසාය.

අපේක්ෂකයෙකු වීමට පෙර ඡන්ද දායකයෙකු වීමේ මූලධර්මය හුදෙක් තාක්ෂණික කරුණක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් බවත්, එය මහජන නියෝජිතයින්ට තමන් නියෝජනය කරන ජනතාව හා ප්‍රදේශය සමග සැබෑ සම්බන්ධතාවක් ඇති බව සහතික කිරීම සඳහා වැදගත් වන බවත්, අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් සිය තීන්දුව මගින් අවධාරණය කළේය.

පැෆරල් සහ කැෆේ වැනි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මෙම නඩු විභාගය අතරතුර දී මැදිහත් වූ අතර, අතයට ගනුදෙනු හෝ විවිධ උපක්‍රම මගින් ප්‍රදේශයෙන් පිටත පුද්ගලයින් මහජන නියෝජිතයින් බවට පත් කිරීමේදී මහජන විශ්වාසය පලුදු වන බවත්, නාමයෝජනා ලැයිස්තු වඩා හොඳින් පරීක්ෂා කර, ක්‍රමවේදය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම වැඩි කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙරට ජනතාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් අබියස සිටින මේ අවස්ථාවේදී - අභියාචනාධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව මගින්, මැතිවරණ ක්‍රියාවලීන් හුදෙක් මතුපිට නීත්‍යනුකූල බවින් පමණක් නොව, විනිවිදභාවයක් සහිතව නීත්‍යනුකූල විය යුතු බව පෙන්වා දෙයි. කෙතරම් දක්ෂ ලෙස දේශපාලන උපක්‍රම යොදවා තිබුණත්, නීත්‍යනුකූලව සුදුසුකම් නොලබන අයට ප්‍රජාවක් නියෝජනය කිරීමට ඉඩ දිය නොහැකි බවට මෙම තීන්දුව හරහා ඉතා වැදගත් පූර්වාදර්ශයක් ලබාදෙයි.

මෙම අධිකරණ තීන්දුව මගින් රට තුළ විශාල බලපෑම් ඇති කිරීමට ඉඩ ඇති අතර, අනාගතයේ ඇතිවන නීතිමය අභියෝග පිළිබඳව දැනුවත් කිරීම පමණක් මෙන්ම විශේෂයෙන්ම මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීමට මැතිවරණ කොමිසමට ද බලපෑමක් එල්ල කරයි.

මෙවැනි ඓතිහාසික වටිනාකමක් රැඳි තීන්දුවක් ලබාගැනීම වෙනුවෙන් සිය නීතී ක්ෂේත්‍රයේ දැනුම සහ අත්දැකීම් අඩු නොකර ලබාදුන් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා සහ නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න යන මහත්වරුන් ගේ කැපවීම ද මෙහිදී සිහිපත් කළ යුතුමය. එහිදී ඔවුන් අප වෙත ලබාදුන් සහාය සහ අප ව්‍යායාමය යුක්තියේ ජයග්‍රහණයක් බවට පත්කර දීමට සිදුකළ කැපවීම - අපගේ ධෛර්යය නැංවූ මෙන්ම, තවත් පන්නරය වැඩූ බවද කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුමය.

මේ සියලු මැදිහත්වීම් මාධ්‍යයේ අභියාචනාධිකරණය වෙතින් ලද තීන්දුව ප්‍රාදේශීය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙසත්, විමසිලිමත් භාවයෙන් කටයුතු කරන පුරවැසියන් සතු යුක්තිසහගත භාවය තහවුරු කිරීමක් ලෙසත්, මෙන්ම දේශපාලන වාසි තකා නීතිය යටපත් කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙකුට සිදු කරන දැඩි අනතුරු ඇඟවීමක් ලෙසත් පෙන්වා දිය හැක.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ ඉතිහාසයට අදාළව මහරගමින් ඇවිලූ ගින්නෙන් උපන් පාඩම:
ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය රැක ගැනීමට නීතියේ බලයත්, පුරවැසි විමසිල්ලත් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම තහවුරු කරන්නේය. එසේම එය 2025 පළාත් පාලන මැතිවරණය අබියස - කවුරු කොහොම අනීතික දේශපාලන ප්‍රයෝග, උපක්‍රම දියත් කළද, ඒ පිටුපස බලවේග කොතරම් ශක්තිමත් වුවද, ඒ කිසිවක් ජනතාවගේ හඬ සහ නීතියේ ආධිපත්‍යය ජයග්‍රහණය කරවීමට බාධාවක් නොවන බව තහවුරු කළ ඓතිහාසික උගත් පාඩමක් බවද කිව යුතුමය.

ධනුෂ්ක රාමනායක



අදහස් (0)

මැයි 06 පුංචි ජන්දයට උගත් පාඩමක් වන මහරගමින් පත්තු කළ ගින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3489 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1005 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2141 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site