ක්ලාන්තය සහ වමනය සඳහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත භාවිතයෙන් පසු ඇතිවූ බවට සැකකරන සංකූලතා නිසා රෝගීන් දෙදෙනෙකු මියයාමෙන් එම ඖෂධය සම්බන්ධව කතාබහක් සමාජයෙහි වර්ධනය විය. විශේෂයෙන් මීට පෙර ඉමියුන්ග්ලෝබියුලින් ඖෂධය නිසා ඇතිවූ ගැටලු‍කාරී තත්ත්වය ගැන සවිඥානික ජනයා හා සමාජ ක්‍රියාකාරීන් විසින්‍ ද මෙම ඖෂධ ගැන සැක මුසුව විවිධ මතවාද ඉදිරිපත් කරනු ලැබිණ. 

මෙවන් පසුබිමක එම ඖෂධය රෝහල්වල භාවිතය තාවකාලික තහනම් කෙරුණ අතර සිද්ධිය ගැන පරීක්ෂණ ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පරීක්ෂණ කමිටු කිහිපයක්ම පත්කර තිබේ.
එසේම ඖෂධවල තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙළක් යටතේ සිදු කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology - SLINTEC) , ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology - SLIBTEC) , කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute - ITI) , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution – SLSI), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්‌යේෂණ ආයතනය (MRI)  යන ආයතන නියෝජිතයන් සමග සාකච්ඡාවක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා පවත්වනු ලැබීය. 

කෙසේ නමුත් ඔන්ඩෙන්ස්ට්‍රෝන් සමග ඇතිවූ ගැටලු‍කාරී තත්ත්වය  සමග කරළියට ආ තවත් කාරණයක් වූයේ ඉන්දියන් පාමකෝපියා සමග අත්සන් කළ ගිවිසුමය. ඒ නිසා මේ  පිළිබඳව තවදුරටත් විමසා සිටීමට  පා‌ර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කළෙමු. 

“ සිදුවීම දේශපාලන පොරපිටියේ ෆුට්බෝලයක් වෙන්න ඉඩදීලා බලා ඉන්න අප සූදානම් නැහැ”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

“දෙසැම්බර් 11 හා 14 දා අයි.ඩී. එච්. රෝහලේ මරණ දෙකක් සිදුවුණා. ඔවුන් ඇතුළත්ව තිබුණේ මරණයෙන් කෙළවර වෙන රෝගාබාධ නිසා නොවෙන බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මේ දෙදෙනාම උණ, වමනය හා හිසරදය වැනි රෝග ලක්ෂණවලින් පෙළීම නිසා තමයි රෝහල් ගතවෙලා තිබුණේ .  රෝගීන් දෙදෙනාටම ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබාදී තිබුණා. ඉන් පසු  මේ ඖෂධය නිසා ඇතිවූ සංකූලතා මත  මරණ ඇතිවූවාද කියන සැකය මත පරීක්ෂණ කීපයක් සිදුකරමින් තිබෙනවා. මේ මරණ සම්බන්ධයෙන් අපි කනගාටුවෙනවා. සිදු නොවිය යුතු මරණ. ඒ නිසා මේ  ඖෂධය නිසා මේ මරණ සිදුවූවාද යන්න ගැන අපි පරීක්ෂණ කරමින් සිටිනවා.  මෙහි ඇතැම් පරීක්ෂණ වාර්තා එන්න දින කිහිපයක් ගතවෙනවා. එසේම මේ සමස්ත ක්‍රියාවලිය ගැන පරීක්ෂා කරන්න වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් යටතේ කමිටුවක්  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කර තිබෙනවා. එම වාර්තාව සතියක් තුළ ලබාදිය යුතුයි. එමගින්    හෙළිදරව් වුණොත් ඔන්ඩෙන්ස්ට්‍රෝන් ඖෂධය නිෂ්පාදනය කළ මාන් ෆාමටියුසිකල් සහ එහි දේශීය නියෝජිතයා  ලෙස කටයුතු කළ පීටීසී මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මීට වරදකරුවන් බව අපේ රටේ අධිකරණ මගින් ඉහළම නීතිය ක්‍රියාත්මක කරනවා. 

ඒ අතරෙ අපි හොයා බලනවා අපේ සෞඛය අමාත්‍යාංශය පැත්තෙන් එවැනි ඖෂධයක සංකූලතාවක් ඇතිවුණොත් එය වාර්තා වී ඖෂධය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවාද කියලා. 12 වැනිදා සවස 6.10 පමණ වන විට නුවර ජාතික රෝහලින් ලැබුණු තොරතුරු මත මේ ඖෂධය ඉවත් කරගන්න කියලා අවශ්‍ය කරන සන්නිවේදනය සියලු‍ රෝහල්වලට දන්වලා තිබෙනවා. ඒ අනුව කටයුතු නොකිරීම නිසා යම් මරණයක් සිදුව තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් කරමින් තිබෙනවා. ඒක අපි වළක්වාගන්න ඕනෑ, ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත සිද්ධි නොවෙන්න නම්. 

මේ මරණ දෙක ගැන කම්පා වන අතරෙම මේ ආකාරයේ කිසිදු මරණයක් අපේ රෝහල් පද්ධතියෙහි සිදු නොවීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මීට සම්බන්ධ සියලු‍ දෙනාට අමාත්‍යාංශ පැත්තෙනුත්, අධිකරණය පැත්තෙනුත් ගත යුතු සියලු‍ පියවර ගන්නවා.  කිසිදු ලිහිලක් දෙන්නෙත් නැහැ. මේ සිදුවීම දේශපාලන පොරපිටියේ ෆුට්බෝලයක් වෙන්න ඉඩදීලා බලා ඉන්න අපි සූදානම් නැහැ. අපි ඉන්නෙ මීට වගකිවයුත්තන් හඳුනාගෙන නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරලා මෙවැනි දේවල් යළි සිදුනොවන්න කටයුතු කරන්න සහ මේදේවල් සිදුනොවන්න අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටයි.  

ඒ වගේම කිව යුතු කාරණයක් තමයි 1998 සිට අපි ඉන්දියන් පාමකෝෆියා යටතේ අනුමත ඖෂධ අපි ගෙන්වා තිබෙනවා. ඒ නිසා 2025 අප්‍රේල් මාසයේදී ඉන්දියන් පාමකෝෆියා එක පිළිගැනීමට එකඟතාවකට පැමිණීම ඒ කටයුතු විධිමත් කිරීමක් මිස අලු‍තින් දෙයක් සිදුකිරීමක් නෙවෙයි. අපට බ්‍රිටිෂ්, යූඑස්, ජැපෑන්, ඉන්ටර්නැෂනල්, ඉන්දියන් පාමකෝෆියා ඇවිත් තිබෙනවා. ඒ සියල්ල මේ රටේ භාවිත වුණා. ඒ ඖෂධවලට සමහර විට විටින් විට රිඇක්ෂන් ඇවිත් ඇති. මේ කළේ කොහොමත් මේ රටේ භාවිත කරමින් තිබූ ඉන්දියන් පාමකෝෆියා එකට අදාළ පිළිගැනීම විධිමත් කිරීමක් මිස අලු‍ත් දොරටුවක් විවෘත කිරීමක් නෙවෙයි. 

මම දැක්කා සමහරු බොරු කියමින් යනවා දැන් BP, USP  ඖෂධ ලංකාවේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. 

ඒ වගේම ඉන්දියාවේ නිෂ්පාදනය කළහම BP, USP  එකේ කොලිටිය අඩුවෙනවා කියලා හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා මම දැක්කා. ෆාමාකොලිජි මහාචාර්යවරයෙක් කියන අයෙක් මෙවැනි දෙයක් කීම ගැන කනගාටුවෙනවා. BP, USP  සම්මතය තිබෙනවා නම් ඒකෙ කොහේ නිෂ්පාදනය කළත් ඒකෙ ගුණත්වය එකයි. 

“ඖෂධ නියාමන අධිකාරිය හරියට වැඩ කළා නම් රටට පැමිණි ඖෂධවල විෂබීජ තිබෙන්න බැහැ”

රවී කුමුදේශ්ස - භාපති-සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

මෙතන මූලික ප්‍රශ්නය විදිහට දකින්නේ ඖෂධ නීතිගත සංස්ථාවේ නියාමනය කියන කාරණය දූෂිතයි යන්නයි. නියාමනය තර්කානුකූල පදනමකින් විධිමත් විද්‍යානුකූල පදනමකින් සිදුවිය යුත්තක්. මේ වෙලාවෙත් අපට පැහැදිලිව අපට පෙනෙනවා ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපත් කර තිබෙන තිබෙන තොරතුරු සාමාන්‍ය මහජනතාව රවට්ටනසුලු‍ නියාමන තාක්ෂණය ගැන අවබෝධයක් නොමැතිව සිදුකරන ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නෙ. මේ වෙලාවෙ ඖෂධ 10ක් නතර කරලා තියෙන්නෙ මහනුවර රෝහලේ සිදුකළා යැයි කියන පරීක්ෂණයක් අනුවයි. නමුත් මහනුවර රෝහලේ පරීක්ෂණයකින් ඖෂධයක් නවත්වනවා යැයි කීම දැනට තිබෙන රෙගුලාසි අනුව වැරදියි. මහනුවර රෝහලට එවැන්නක් කිරීමේ බලයක් හෝ පහසුකමක් නැහැ. 

එසේම මේ ඖෂධ 10ම ගෙන්වලා තිබෙන්නෙ SPC  ආයතනය විසිනුයි. SPC කියන කතාව හරි නම් මේ ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වන විටම කන්ටැමිනේට් වෙලා තිබෙන්න ඕනෑ. SPC ආයතනය මේ ඖෂධය ගෙන්වන්න පෙර සාම්පල් ගෙනවිත් ඒවා විධිමත් පරීක්ෂණාගාරවල පරික්ෂාවට ලක්කොට තමයි අනුමැතිය ලබාදිය යුත්තෙ. මේ ක්‍රියාවලිය හරියට සිදුවුණාද?  

ඖෂධ නියාමන අධිකාරිය මෙම ඖෂධය ලියාපදිංචි කිරීමට පෙර සිදුකළ යුතු කටයුතු නිවැරදිව සිදු කළාද? ඒවා හරියට සිදුවුණා නම් රට තුළට පැමිණි ඖෂධවල විෂබීජ තිබෙන්න බැහැ. එක්කො ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදීමට පෙර සිදුකළ යුතු ක්‍රියාවලිය හරියට සිදුකරලා නැහැ. එසේ නැත්නම් SPC ආයතනය තමන්ගෙ ඇනවුම ගෙන්වීමට පෙර සිදුකළ යුතු කටයුතු හරියට සිදුකරලා නැහැ. එසේත් නැති නම් ඖෂධ නියාමන අධිකාරිය කියන කතාව බොරු. 

මේ සියලු‍ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට නම් ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය සිදුකිරීමට පෙර සිදුකළ පරීක්ෂණ ක්‍රියාවලියත්, SPC ආයතනය මෙම ඖෂධය ගෙන්වීමට පෙර සිදුකළ පරීක්ෂණ ක්‍රියාවලියත් රටට හෙළිකළ යුතුයි. නැත්නම් ඖෂධ සම්බන්ධව ඇතිවන බිය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවැටෙනවා. 

ඒ නිසා අපි කියන්නෙ මූලික වශයෙන් ඖෂධ නියාමන අධිකාරිය තමන්ට ඕනැ විදිහට හෝ තමන්ගේ හිතවත් විශේෂඥ වෛද්‍යවරු කියන විදිහට වැඩ කිරීම තුළ බරපතළ අවුලක් හදලා තියෙනවා. ඒ නිසා තාම කවුරුත් දන්නෙ නැහැ මේකෙ විෂබීජයක් තියෙනවද නැද්ද කියලා. එහෙම කියන්න තරම් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවෙලා නැහැ. විෂබීජයක් තිබෙනවා නම් ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය සිදුවෙලා නැහැ. මේකම තමයි ඉමියුන්ග්ලෝබියුලින් ඖෂධය සම්බන්ධයෙනුත් සිදුවුණේ. 

නලින්ද ජයතිස්ස ඇමතිවරයා හෝ ආණ්ඩුව නොකියන කාරණයක් තිබෙනවා. අපි ඖෂධ සම්බන්ධයෙන් ලෝකයේ කිසියම් තැනක සිටි රටක්. බිටිෂ් ෆාමකෝෆියා හෝ ඇමරිකන් ෆාමකෝෆියා ලෝකයම පිළිගන්නා උසස්ම ආයතනයි. අපි Indian Pharmacopoeia  එකට අනුමැතිය දෙන්නෙ ඇයි? අපි තත්ත්වයෙන් උසස් තැනක ඉඳලා පහත් තැනකට යාමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? තත්ත්වයෙන් බාලවීම නිසා ඇතිවන ලාභයක් ගැන සමහරු හිතනවා. ඒ ලාභයත් විවිධාකාරයි. සමහරු කොමිෂන් එකේ ලාභය හිතනවා. සමහරු ඖෂධයේ ලාභය හිතනවා. මිනිස්සුන්ට පාලන මිලක් දානවා කියන එක නෙවෙයි ඔය වෙන්නෙ. මිනිස්සුන්ට බාල ඖෂධ විකුණන්න අවසරය දීම තමයි පාමකොෆියා එකෙන් අපි සිදුකරලා තියෙන්නෙ. ඉස්සරත් බාල ඖෂධ ගන්න ඕනැ නම් ගන්න හැකියාව තිබ්බත් මිනිස්සු ගත්තෙ නැහැ. රටක් ලෙස එවැනි දේ ගන්න එපා කියන ඉන්ඩිකේෂන් එක දීපු නිසා. නමුත් දැන් අපි රටක් ලෙස අපි ඒක කියනවා.

අපට සමාගම් හදන්න බැරිවුණත් අපේ යාන්ත්‍රණය ඇතුළෙ තමයි ජනතාවගෙ ආරක්ෂාව තිබෙන්නෙ. ඒ නිසා ඖෂධ සම්බන්ධව කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නීතිගත සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කනෙන් රිංගලා මෙවැනි දේ සිදුවනවා කියලා ඔවුන්ම පැවසීම තමයි මෙතන ප්‍රශ්නය. ඒ නිසා මේ ගැටලු‍ව සමාගමකට පවරලා නිහඬ වෙන්න එපා. මීට අදාළ වගකිවයුත්තෝ හඳුනාගන්න, යාන්ත්‍රණයේ දුර්වලතා හදාගන්න.    

ප්‍රශ්නයට වගකිවයුතු පාර්ශ්ව රැසක් දැන් කිසිවක් දන්නෙ නැහැ වගේ ප්‍රකාශ නිකුත් කරනවා

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

මෙතන කාරණා දෙකක් පෙනෙන්න තිබෙනවා. සමහර පුද්ගලයෝ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිත කරමින් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිසුන් තුළ රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව ඇති විශ්වාසය කඩා බිඳ දමන්න කැත, නින්දිත වෑයමක යෙදෙනවා. සෞඛ්‍ය සේවාවේ අවුරුදු තිස් ගණනක සේවයේ යෙදුණු අයෙක් විදිහට මේ ගැන ලොකු දුකක් තිබෙනවා. අපි දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම. අපි පිටරටවලත් වැඩකරලා තියෙන නිසා දන්නවා දියුණුයි කියන රටවලට වඩා කොතරම් සේවාවක් අපේ රටෙන් සිදුවනවාද කියලා. ඒ සේවාව සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම බෙහෙවින් බලපා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලයක් නැතිවෙනවා මේ විශ්වාසය කඩාබිඳ දැමීමෙන්. 

දැන් මෙතන ප්‍රශ්න දෙකක් ගැන කතාකරනවා. එකක් තමයි ඔන්ඩෙන්ස්ට්‍රෝන් ඖෂධය නිසා ප්‍රතික්‍රියාවක් ඇතිවීමේ තත්ත්වය සහ ඉන්දියන් පාමකෝෆියා තත්ත්වය. 

ඖෂධ සඳහා පාලන මිලක් ගෙන ඒමෙන් වැඩිමලට ඖෂධ අලෙවි කර අසීමිත ලාභ ලැබූ සමහර ආයතනවලට වැදුණා. ඒ ආයතන මෙම අසත්‍ය ප්‍රචාර පිටුපස සිටින බව අපි දන්නවා. උදාහරණයක් විදිහට පණු බෙහෙත් පෙත්තක් ලංකාවට එනවිට  මිල රු. 29යි. නමුත් විකුණුවෙ රු. 83කට. හිතන්න ලාභය කොතරම්ද කියලා. ඔවැනි තත්ත්ව පාලන කිරීමේ ප්‍රතිඵලය තමයි බාල බෙහෙත් මතයක් සමාජ ගත කිරීම.

සමහර ඖෂධ තිබෙනවා අතුරු ආබාධ ඇතිකරන. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර ඖෂධ නියමිත ප්‍රමිතියට නැතිවීමෙනුත් ගැටලු‍ ඇතිවෙන්න පුළුවන්. ප්‍රමිතිය හරිද කියලා බලන්න අපි වරින්වර පරීක්ෂණ සිදුකරනවා. ඒකට NMRA  යටතේ අපේ ලැබ් එකක් තිබෙනවා. නමුත් මේ ලැබ් එක දියුණු කරන්න පසුගිය වසර වන තෙක් කිසිම රජයකින් කිසිම වැඩපිළිවෙළක් ගත්තෙ නැහැ. දැන් මේ ප්‍රශ්නයේදී හඬ නගන වෛද්‍ය චන්න ජයසුමන රාජ්‍ය ඇමතිව සිටියදී ඔහු යටතේ තමයි මේ ලැබ් එක තිබුණේ. නමුත් ඒක දියුණු කරන්න කිසිදු පියවරක් ගත්තෙ නැහැ. එක සේවකයෙක් බඳවාගත්තේ නැහැ. ඖෂධවල තත්ත්වය පරීක්ෂා කරන්න ඔහුගෙන් ලැබුණු සහයෝගය ගැන ඊට වඩා කියන්න දෙයක් නැහැනෙ. පසුගිය වසර වනවිට මේ ලැබ් එකේ වැඩ කළේ ඖෂධ විෂ්ලේෂකයෝ 11යි. මේ වසරෙදි තමයි මට හැකියාව ලැබුණෙ එම සංඛ්‍යාව 45 දක්වා වැඩි කරගන්න. 

ඒ නිසා මේ ප්‍රශ්නයට වගකිවයුතු පාර්ශ්ව රැසක් සිටිනවා. ඔවුන් දැන් කිසිවක් දන්නෙ නැහැ වගේ ප්‍රකාශ නිකුත් කරනවා. 

ඔන්ඩෙන්ස්ට්‍රෝන් කියන ඖෂධය හදලා තිබෙන්නෙ USP  ප්‍රමිතිය යටතේ. 

නමුත් දැන් ඉන්දියාවෙ ඖෂධවල අපද්‍රව්‍ය තිබෙනවා යැයි පවසමින් ඉන්දියන් භීතිකාවක් ඇතිකරමින් ඖෂධ හිඟයක් ඇතිකරන්න ඇතැමුන් උත්සාහ කරනවා. හැබැයි ඇමරිකාවෙ ඖෂධවලින් සීයට47ක් එන්නෙ ඉන්දියාවෙන්. ඇමරිකාව සීයට47ක් ගන්නවා නම් අපි ගත්තට කමක් නැහැනෙ. 

මම කතාකරන්නෙ දේශපාලනයක් නෙවෙයි. මම ඖෂධ නියාමන අධිකාරියෙ තනතුර බාරගත්තෙ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස ඖෂධ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු‍වට යම් විසඳුමක් ලබාදිය යුතු නිසයි. නැත්නම් ඒක රෝගීන් පැත්තෙන් සහ වෛද්‍යවරුන්ගේ පැත්තෙන් සිදුවන ලොකු අසාධාරණයක්. අපි  ලෙඩ්ඩුන්ට බෙහෙත් ලියන්නෙ ලෙඩේ හොඳ වෙන්නයි. බෙහෙත හොඳ නැත්නම් ලෙඩේ සුවවෙන්නෙ නැහැ වගේම අපි කරන වැඩෙනුත් වැඩක් නැතිවෙනවා. මම මේ තනතුර බාරගත්තෙ මේ ආණ්ඩුවෙන් නෙවෙයි පසුගිය ආණ්ඩුවෙනුයි.  ඒ නිසා පැහැදිලිවම කිවයුත්තෙ මේක දේශපාලන පත්වීමක් නොවන බවයි.  තිබුණු තත්ත්වයත් එක්ක අපි මේක සෑහෙන තත්ත්වයකට ගෙනත් තිබෙනවා. 

මම අපේ ආයතනය නියෝජනය කරමින්  ඉන්දියානු පාමකෝෆියා සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම කවුරු හරි ඉල්ලු‍වා නම් ලබාදීමේ කිසිදු ගැටලු‍වක් මට නැහැ.  මේක හොර ගිවිසුමක් නෙවෙයි. අපි IP  ස්ටෑන්ඩඩ් මීට වසර 20කට පෙර සිටම පිළිගත්තා. දැනුත් පිළිගන්නවා.

ඔන්ඩෙස්ටරෝන් ඖෂධය සම්බන්ධ පරීක්ෂණ අපි සිදුකරනවා. අමාත්‍යංශය පැත්තෙන් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරනවා. මෙතනදි පැහැදිලිවම කිවයුතු දේ තමයි ලෙඩ්ඩු මැරුණාට පස්සෙ මේ ඖෂධය ඉවත් කළේ නෑ. අපි මේ ඖෂධය භාවිතය තාවකාලිකව ඉවත් කළේ 12 වැනිදා . මෙම ඖෂධය භාවිතා කළ  රෝගියෙකු මියයාම  පළමුවරට වාර්තා වුණේ 13වැනිදා. ඒ නිසා මේ ඖෂධය ඉවත් කළේ රෝගීන් මියයාම නිසා නොව ඖෂධයේ බැක්ටීරියාවක් තිබේ යැයි ඇතිවූ සැකය නිසයි. ඒ අනුවයි මහනුවර රෝහලේ පරීක්ෂාවක් සිදු කළේ. දැනට NMRA  ලැබ් එකේ මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරනවා.

NMRA  ඖෂධවේදීන්ම ප්‍රශ්න කර සිටියදී ප්‍රමාණවත් විමර්ශනයක් වුණේ නැත්තෙ ඇයි?

හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය චන්න ජයසුමන 

ඔන්ඩෙන්ස්ට්‍රෝන් ඖෂධය හදපු සමාගමේ නිෂ්පාදන පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න ඖෂධවේදීන්ට මීට පෙර ප්‍රශ්න නැගී තිබුණා. එවිට සාමාන්‍යයෙන් කරන්නෙ ඒ නිෂ්පාදන ආයතනයට ලිපියක් දානවා එම නිෂ්පාදන ආයතනය බලන්න එන්න ඕනැ කියලා. නමුත් ඒ සමාගම ඒකට ඉඩදෙන්නෙ නෑ. එවිට කරන්නෙ එම සමාගමෙන් කරන සියලු‍ මිලදී ගැනීම් නවතා දැමීමයි. ඒ ක්‍රියාවලියට යන්නෙ නැතුව තවදුරටත් එම සමාගමේ ඖෂධ බෙදාහැරීමේ අවසර දීලා තිබෙනවා. ඒ වගේම තවත් සමහර ඖෂධ තහනම් කරලා තිබෙනවා ඒ සමාගමෙන් ගෙනාපු. එම නිසා එම ආයතනයේ ඖෂධ එක දෙකක ගැටලු‍ මතුවන විට අනෙක් ඖෂධත් පරීක්ෂා කළා නම් මෙවැනි ගැටලු‍වක් ඇතිවෙන්නේ නෑ. මෙම සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි. විශේෂයෙන් NMRA  ඖෂධවේදීන්ම ප්‍රශ්න කර සිටියදී ප්‍රමාණවත් විමර්ශනයක් වුණේ නැත්තෙ ඇයි, ඒ වෙලාවෙ නැවත කැඳවීමක් නොකළෙ ඇයි? කැඳවපු සමහර ඖෂධවලට නැවත අවස්ථාව ලබා දෙන්නෙ ඇයි? මේ ගැන NMRA  නිසි විමර්ශනයක් කළාද නැද්ද ගැන වෙනම විමර්ශනයක් කළ යුතුයි. 

මෙවැනි තත්ත්ව අනාගතයේ ඇතිනොවන්න ගත යුතු පියවර 3ක් තිබෙනවා. පළමුව මේ රටේ විශ්වවිද්‍යාල, අයි.ටී.අයි සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සහ තවත් ආයතන විද්‍යාගාර සමග සාකච්ඡා කරලා ඒවා යොදාගන්න කටයුතු කළ යුතුයි. මීට පෙරත් ඒ සඳහා අවස්ථාව දුන්නත් NMRA  ඒ කටයුත්ත කළේ නැහැ. දැන් ඉන්න අමාත්‍යවරයාත් ඒ සඳහා පියවර ගෙන තිබුණා වගේම එය අගය කරනවා. ඒ නිසා වහාම එකතුව වැඩ කළ යුතුවනවා. මෙතන ප්‍රශ්නය වන්නෙ NMRA  තනිවම වැඩකරන්න යනවා ඔවුන්ට පුළුවන් කියලා. 

දෙවැනි කාරණය වන්නෙ අත්සන් කළ ගිවිසුමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. 

තුන්වැනි පියවර වන්නේ මීට වසර 4කට පෙර මා සිටි සමයේදී ඖෂධ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් හැදුවා. ආනන්ද විජේවික්‍රම මහතාත් සිටි කමිටුවකින් තමයි ඒක සිදු කළේ. හැබැයි ඒක ක්‍රියාවට නැංවුණේ නෑ. දැන් ඊට අවශ්‍ය  තවත් සංශෝධන යොදාගෙන ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපේ පනත ශක්තිමත් කරගත යුතුවනවා. 

NMRA ආරම්භ කළ දිනයේ සිට අද වන තෙක්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් තමයි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම. ඒ නිසා ලැබ් එකේ ප්‍රශ්නයක් තිබේ නම් ලංකාවේ අනික් හැමෝටම වඩා එතුමා වගකියන්න ඕනෑ. මම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළේ මාස 18ක පමණ කාලයක්. ඒ කාලසීමාවේ තමයි වැඩිම බඳවා ගැනීම් ප්‍රමාණයක් සිදුකළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට. අපිට එය සම්පූර්ණ කරන්න බැරිවුණා. රටේ පැවති ආර්ථික අර්බුදය නිසා අලු‍ත් පත්කිරීම් කරන්නේ නැහැ කියන රජයේ ප්‍රතිපත්තිය මත. එදා අපි ගත්ත ප්‍රතිපත්ති තීරණය නිසා තමයි දැන් හෝ නව සේවකයන් ලැබ් එකට බඳවාගන්න පුළුවන් වුණේ. 

රජය වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටිමින් පසුගිය රජයේ දේශපාලඥයන්ට හා පසුගිය රජයට චෝදනා කිරීම ආනන්ද විජේවික්‍රම වැනි කෙනෙකුට කිසිසේත් ගැළපෙන්නේ නැහැ. එතුමා දේශපාලනිකව මට පහරදෙන්නේ ආණ්ඩුවේ අනිසි රැකවරණයක් බලාපොරොත්තුවෙන්ද කියන සැකය තිබෙනවා.  විශේෂයෙන් එතුමාට නැති බලයක් ආරූඪ කරගෙන මෙවේලේ කිසිසේත් අත්‍යවශ්‍ය නැති ඉන්දියානු පාමකෝපියා සමග ගිවිසුමක් අත්සන් කිරීම වහගන්න තමයි මට චෝදනා කරන්නෙ. ඔය චෝදනා එකක්වත් මට අදාළ නැහැ. කොවිඩ් මුහුණ දෙන ගමන්ම රටේ ආර්ථික ප්‍රශ්නයට මුහුණදෙන ගමන්ම පරීක්ෂණාගාර වැඩිදියුණු කරන්න, බඳවාගැනීම් සිදුකරන්න කටයුතු කළ බව ඔහු හොඳින්ම දන්නවා.  විශේෂයෙන් වැඩියෙන්ම බඳවා ගත්තෙත් ඒ කාලෙදි කියන කාරණය වගේම දැන් බඳවාගන්න හැකිවෙලා තිබෙන්නෙ එදා ගත්ත තීරණ නිසා බවත් හොඳටම දන්නවා. 

ඒ වගේම ස්වාධීන පරීක්ෂනාගාරයක් නාරාහේන්පිට ප්‍රදේශයේ ආරම්භ කරන්න ඉඩමක් වෙන්කරගෙන මූලික සාකච්ඡා පැවැත්වුවත් ආර්ථික ප්‍රශ්න එක්ක ඒක කරගන්න බැරිවුණා. ඒ නිසා එතුමා කරන චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බැහැර කරනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන එතුමා තම තනතුර රැකගැනීම හා රජය රැකගැනීම වෙනුවෙන් පත්වෙලා සිටින තැන ගැන විමතියට පත්වෙනවා. එතුමා අරගල සමයේ ගෝල්ෆේස් එකට වෙලා සිටි නිසා වෙන්න ඇති ලැබ් එකේ කටයුතු නිසි ලෙස කරගන්න බැරි වෙන්න ඇත්තෙ. මම පක්ෂයකට සම්බන්ධ කෙනෙක් වගේම හිටපු ඇමතිවරයෙක්. අපි දේශපාලනය කරන්නම්. එතුමා රාජ්‍ය නිලධාරියෙක් වගේම ලංකාවේ ඖෂධ නියාමනය සම්බන්ධව තිබෙන ආයතනයේ සභාපති ලෙස දේශපාලනය කරන්නේ නැතුව පැවරී ඇති වගකීම් ටික කරනවා නම් රට මෙවැනි අමාරු ප්‍රශ්නවලට පැටලෙන්නේ නෑ. 

අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය රැකගනිමින් එය ශක්තිමත් කිරීමට මිසක් කිසි සේත්  බිඳ වැට්ටවීමට කටයුතු කරලා නැහැ. දැන් බිඳවට්ටන්නේ අපි ද? ඉන්දියානු පාමකෝෆියා එකට අයත් ඖෂධ 3150න්  ඖෂධ 25 - 30 ක් මීට පෙර අප භාවිත කර තිබෙනවා. නමුත් දැන් කර ඇත්තේ 3150ම සම්පූර්ණයෙන්ම අනුමැතියට ගිවිසුමක් අත්සන් කිරීමයි. ඒ ගිවිසුමේ රටක් විදිහට බේරෙන්න වගන්ති කීපයක් දාලා තිබෙනවා. ඒ ගැන අපේ ස්තූතිය පිරිනමනවා. නමුත් රට ලොකු අවදානමකට දාලා තිබෙනවා. 

ඖෂධ ලබාදීමෙන් පසු සිදුවන සැක සහිත මරණ ගැන පරීක්ෂණ ඕනෑ

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත භාවිතයෙන් පසු ඇතිවූ බවට පැවසෙන මරණ දෙක සම්බන්ධයෙන් සේම දිවයින පුරා රෝහල් රැසක පසුගිය කාලයේ ඖෂධ ලබාදීමෙන් අනතුරුව සිදු වූ මරණ සම්බන්ධයෙන් රෝගීන්ගේ ඥාතීන් සහ ජනමාධ්‍ය ජුගුප්සාවක් මතු කරන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශන පවත්වා අදාළ විමර්ශන වාර්තා ප්‍රකාශයට පත් කළ යුතුයි.

ගම්පහ, කළුතර, මුල්ලේරියාව, අනුරාධපුර ඇතුළු ප්‍රදේශවල රෝහල් කිහිපයක ඖෂධ ලබාදීමෙන් පසුව ඇති වූ සැක සහිත මරණ සම්බන්ධයෙන් රෝගීන්ගේ ඥාතීන් සහ ජනමාධ්‍ය කරුණු අනාවරණය කොට ඇති බැවින් ඒ සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කොට සත්‍ය කරුණු අනාවරණයට පියවර ගත යුතුයි.  

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිව සිටි  කාලයේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කරන ලද නමුත් එම විමර්ශන වාර්තා පවා ප්‍රකාශයට පත් කිරීමට අසමත් වූ බැවින් සෞඛ්‍ය අර්බුදය වර්ධනය වුණා. ඔන්ඩෙන්ස්ට්‍රෝන් සිද්ධිය සම්බන්ධ විමර්ශන කමිටුවත් පත්කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් යටතේයි. ඒ නිසා එහි විමර්ශන වාර්තාවටත් පෙර විමර්ශන වාර්තාවලට සිදුවූ දේම සිදුවේදැයි ඇතැමුන් සැක පළකරනවා.

රෝහල්වල සිදුවන, වෛද්‍යමය හේතූන් මත හෝ නොසැලකිල්ල මත හෝ ඖෂධ මත හෝ සිදුවන මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන විමර්ශන සම්බන්ධව සාමාන්‍ය මහජනතාවට පැහැදීමක් නැහැ.

ඒ නිසා මෙවැනි විමර්ශන මධ්‍යස්ථ විශේෂඥ කණ්ඩායමක් හරහා සිදු කළ යුතුයි.

දිගින් දිගටම අසමත් වන ඇතැම් ඖෂධ සඳහා ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය ලබාදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් මේ සම්බන්ධව කඩිනමින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතුයි.  

පසුගිය වසර කිහිපයක කාලසීමාවේ දී අවස්ථා විසි තුනකට ආසන්න ප්‍රමාණයක දී තත්ත්වයෙන් බාල බවට නිරීක්ෂණය වූ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන Co Amoxyclave injection නමැති ඖෂධයට දී ඇති අවසරය වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය මගින් අවස්ථා කිහිපයකදී නැවත කැඳවා ඇති බව වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතිය අනුව තහවුරු වෙනවා. 

මීට පෙර මෙම ඖෂධය ලබාදීම නිසා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල් සමයේදී රෝගී මරණ සිදුවූ බවට අවසන් වරට නිකුත් වූ විගණන වාර්තාවන් මඟින් ද ප්‍රශ්න කොට තිබුන තාවකාලිකව භාවිතයෙන් ඉවත්කොට තිබූ එම ඖෂධ කාණ්ඩ රැසක් වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය මගින් වරින් වර නැවත කැඳවා ඇති බව අනාවරණය වන අතර පසුගියදා අනුරාධපුර, හුරුලු‍වැව රෝහලේ දී සිදු වූ මවකගේ මරණය සම්බන්ධයෙන් මෙම ඖෂධය අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක් මතුවී තිබෙනවා. අදාළ රෝගියාගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වමින් මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව තම බිරිඳගේ රෝගී තත්ත්වය උත්සන්න වී අනුරාධපුර රෝහලට රැගෙන ආ බවත් එහිදී තම බිරිඳ මියගිය බව ද ප්‍රකාශ කර තිබුණා. 

මෙයට සමගාමී ලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලේ ද මෙම ඖෂධය කාණ්ඩයක් තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කර තිබෙනවා . මෙය ලංකාවේ නිපද වූ ඖෂධයක් බව පැවසෙනවා.

ඉන්දියාව තුළ ඉහළ ගුණත්වයෙන් යුතු ඖෂධ  නිෂ්පාදනය කරන නමුත් මිල අඩුවට නිෂ්පාදනය කරන ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධව ප්‍රශ්න පවතිනවා. මේ නිසා ලංකාව තුළ ඖෂධ නියාමන අධිකාරිය තුළ ජාත්‍යන්තර මට්ටමේ නියාමනාධිකාරි පරීක්ෂණාගාරයක් වහා පිහිටුවිය යුතුයි.   

ප්‍රශ්න සහගත ඖෂධ සමාගම් සඳහා දිගින් දිගටම ලියාපදිංචිය ලබාදීම සහ අදාළ සමාගම් හරහා රාජ්‍ය ඖෂධ සංස්ථාව ප්‍රසම්පාදනය කිරීම ඉතා බරපතළ තත්ත්වයක්. එවන් ප්‍රශ්න සහගත සමාගම්වලට අවසරය ලබාදීම හරහා දූෂිත ගනුදෙනු රාජ්‍ය නිලධාරීන් අතර සිදුවන්නේ දැයි විමර්ශන කළ යුතු වන අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ විමර්ශනය ඊට කදිම උදාහරණයක්. 

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නියාමනාධිකාරී පර්‌යේෂණාගාරය සංවර්ධනය කළ යුතු වන අතර විෂය පථය ගැන අවබෝධයක් සහිත නව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. දීර්ඝ කාලයක් ආයතනවල රැඳී සිටින පිරිස් යටතේ දූෂණ වළක්වා ගැනීම අපහසුයි.