IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පළාත් පාලනයට මන්ත්‍රීවරුන් ඕනෑ ද?

තවත් මැතිවරණයක් මුවවිටටම පැමිණ තිබේ. මහ මැතිවරණයෙන් මාස හයකට පසු පැවැත්වෙන මෙම පළාත්පාලන මැතිවරණය එක් අතකින් ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ ජනප්‍රියතාව උරගා බලන ජනමත විචාරණයක් ලෙසද සැලකිය හැකිය. 

මැතිවරණයක් යනු ලොකුම බොරුකාරයන් කලඑළි බසින මංගල්‍යයයි. මැතිවරණයෙන් දිනන්නේ හොඳම වැඩකාරයා නොව ලොකුම බොරුකාරයාය. මෙම පළාත් පාලන මැතිවරණයද සුපුරුදු ලෙසම ඇතැම් අපේක්‍ෂකයන් ජාතික මට්ටමේ පොරොන්දු ලබාදෙන මැතිවරණයක් බවට පත්වී තිබේ.

අද ඡන්දදායක ජනතාවට මෙම ඡන්දය ගැන උනන්දුවක් නැත. දේශපාලන ක්‍රමයම පෙන්වන්න බැරිව සිටි ජනතාවට, පළාත් පාලන මැතිවරණය නිසා අලුත් උනන්දුවක් ඇති වූයේ නැත. උනන්දුව ඇත්තේ අපේක්‍ෂකයන්ටය. මැතිවරණ කොමිසමේ කුමන නීති රීත් ඇතත්, අද ගම්බද පළාත්වල ඡන්ද අපේක්‍ෂකයන්ගේ පෝස්ටර් වැහි වැහැලාය. ලයිට් කණු - දැන්වීම් පුවරු පමණක් නොව, ගස්-ගල්වල පවා අපේක්‍ෂකයන් දත් විළිස්සාගෙන සිටින මැතිවරණ පෝස්ටර් පොලිසියට පෙනෙන්නේත් නැත. 

මැතිවරණය සඳහා ජනතා උනන්දුව අවම වී ඇත්තේ, ඡන්දය ඉල්ලීමට අපේක්‍ෂකයන් අතර ඇති උනන්දුව තරමටම, ජයග්‍රහණ කිරීමෙන් පසු ඔවුන් ලබාගන්නා වැටුපට නිසි සේවය සැලසෙනවා ද යන්න අපැහැදිලි නිසාය. මෙරට පවත්වන මැතිවරණවලින් අවම ඡන්ද ප්‍රතිශතයක් භාවිත ​වන්නේ පළාත් පාලන මැතිවරණයට වුවත් වර්තමානය වනවිට එම ප්‍රමාණය තවදුරටත් අවම වී ඇත්තේ පළාත් පාලන මන්ත්‍රීන් පිළිබඳව තිබූ විශ්වාසය විශාල වශයෙන් අඩු වී ඇති නිසාය. ඒ නිසා “මන්ත්‍රීවරුන්” ලෙස හිස උදුම්මා නොගන්නා පිරිසක් එම තනතුරුවලට පත්වීම සහ ගම්සභා යුගයේ වැටුප් නොගෙන අපක්‍ෂපාතීව ගමට සේවය කළ “මැම්බර් මහත්මයා”ගේ භූමිකාව යළිත් මෙරට ක්‍රියාත්මක විය යුතුය. ඡන්දයෙන් නියෝජිතයන් පත්කිරීම ජනතා අයිතියක් සේම පත්වන සභිකයන් ජනතා සේවය ඉටු නොකර එම තනතුර තම යැපීම සඳහා යොදාගන්නේ නම් මහජන මුදලින් එම ආයතන නඩත්තු කිරීම ගැන ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් ඇත. 

පණ්ඩුකාභය රජ දවස සිට පැවත ආ “ගම්සභා” මෙරට පළාත් පාලන ක්ෂේත්‍රයේ ආරම්භයයි. යටත් විජිත යුගයේ “සනීපාරක්‍ෂක සභා” අරඹා බ්‍රිතාන්‍ය පාලකයන් සිදුකළේත් ගම කඩවීදිය පිරිසිදු කර ලෙඩ රෝග අවම කිරීමය. 

මෙරට පවත්වන මැතිවරණවලින් අවම ඡන්ද ප්‍රතිශතයක් භාවිත ​වන්නේ පළාත් පාලන මැතිවරණයට වුවත් වර්තමානය වනවිට එම ප්‍රමාණය තවදුරටත් අවම වී ඇත්තේ පළාත් පාලන මන්ත්‍රීන් පිළිබඳව තිබූ විශ්වාසය විශාල වශයෙන් අඩුවී ඇති නිසාය. ඒ නිසා “මන්ත්‍රීවරුන්” ලෙස හිස උදුම්මා නොගන්නා පිරිසක් එම තනතුරට පත්වීම සහ ගම්සභා යුගයේ වැටුප් නොගෙන අපක්‍ෂපාතීව ගමට සේවය කළ “මැම්බර් මහත්මයා”ගේ භූමිකාව යළිත් මෙරට ක්‍රියාත්මක විය යුතුය.

1866 දී කොළඹ නගර සභාව පිහිටුවා වැඩිකල් යාමට පෙරම සාමාන්‍ය නගරවැසියන්ට නිලධාරීන්ගේ හිරිහැර සිදුවිය. අල්ලස දූෂණයට නැඹුරු වූ නිලධාරීන් ගැන එකලද පුවත්පත් වාර්තා කළේය. 1869 ජූලි 23 වැනිදා “ලක්රිවිකිරණ” පුවත්පතේ මෙවැනි සටහනක් ඇත. 

“නාගරික සභාව යටතේ ඉන්නා කිසි නිලධාරියකුට එම සභාව ගණනේ “කොන්ත්‍රාත්තුවකට” හෙවත් බඩු දීමට පොරොන්දුවට බැඳෙන්ට බැරිහැටියට නාගරික සභා ආඥාපනතේ තහනම් කර තිබෙනවාය. මෙය මෙසේම තිබෙද්දීත් සභාවේ සමහර නිලධාරීන් නගරය තුළ කුණු ඇදීමේ සහ පාරවල්වල වැඩවලටත් කරත්ත සහ හරක්දීමට “කොන්ත්‍රාත්” අරන් තිබෙන බව ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රවල නොබෝදා ප්‍රසිද්ධ වී තිබුණ සමහර ලියුම්වලින් අපට දැනගන්නට ලැබුණාය. මේ තැනැත්තෝ තමුන්ගේම නම්ගම් වලින් පොරොන්දු පත්‍රවලට බැඳී නැති නමුත් ඔවුන්ගේ නෑවන තැනැත්තන්ගේ නම්ගම් ඊට දී තිබෙනවාලු... මෙසේ කිරීමෙන් විනාශ වන්නේ නගරවාසීන්ගේ මුදල්ය...”

අද පමණක් නොව එදාද නගර සභා ඇතුළු මහජන ආයතනවල අතයට ගනුදෙනු හා අයථා ගනුදෙනු සිදුව ඇති බව එයින් පෙනෙයි. නීතියෙන් තහනම්කර ඇතත් නීතිය නැවීමට ලාංකිකයා දක්‍ෂය.

ප්‍රාදේශීය සභාවලට දිගු ඉතියාසයක් නැත. ප්‍රාදේශීය සභා ආරම්භ කරන ලද්දේ 1987 වර්ෂයේදීය. එම වර්ෂයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දිවයිනේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා නොහැකිවීමෙන් පළමු ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලද්දේ 1991 වර්ෂයේදීය. මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවද අභිනවයෙන් 1987 දී පිහිටුවන ලද ප්‍රාදේශීය සභා 75ක් සඳහා සභිකයන් තෝරා ගැනීම නිතරගයෙන් සිදුවිය. 1987 දී ප්‍රාදේශීය සභා හඳුන්වා දෙන ලද්දේ ඒ දක්වා පැවැති සුළු නගර සභා සහ ගම්සභා වෙනුවටය. ඒ යටතේ ප්‍රාදේශීය සභා 257 ක් ස්ථාපනය කෙරිණි. ඒ වනවිට මහ කොළඹ ආර්ථීක කොමිසම මගින් පාලනය වූ බියගම නිදහස් වෙළෙඳ කලාපය හැරුණුවිට දිවයිනේ සෙසු ප්‍රදේශ සියල්ල මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් ආවරණය විය. 

1987 පළමු ප්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා පත්‍ර කැඳවීම විශේෂිත හේතුවක් නිසා ඉතිහාසගත වී තිබේ. එනම් අපේක්‍ෂකයන්ගේ සහභාගීත්වය ඉතාම අල්ප වීම හේතුවෙනි. මහනගර සභා දෙකක්, නගර සභා පහක් සහ ප්‍රාදේශීය සභා 68 ක් සඳහා නාමයෝජනා ලබා දුන්නේ එක් පාර්ශ්වයක් පමණකි. ඒ එවකට පැවැති ආණ්ඩු පක්‍ෂයය. එම සභා හැත්තෑපහ සඳහා එම අපේක්‍ෂකයෝ මැතිවරණයකට මුහුණ නොදී නාමයෝජනා භාරදුන් දාම නිතරගයෙන් තේරී පත්වූහ. 

සභා 153ක් සඳහා පමණක් මැතිවරණය කැඳවුවද රටේ උද්ගත වූ කලබල නිසා එම මැතිවරණය 1991 දක්වා කල් දමන ලදී. 1991 පැවැත්වූ පළාත්පාලන මැතිවරණයේදී පාලක එජාපය පළාත් පාලන ආයතන 191 ක්ද ශ්‍රීලනිපය ආයතන 35ක්ද මහජන එක්සත් පෙරමුණ පළාත් පාලන ආයතන 2ක්ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය පළාත්පාලන ආයතන 3ක්ද ජයග්‍රහණය කර සභාවල බලය හිමිකර ගත්තේය. සියළු පළාත් පාලන ආයතන සඳහා එකම දිනක ඡන්ද විමසීමක් පැවැත්වූ පළමු අවස්ථාව වූයේද 1991 පළාත් පාලන මැතිවරණයයි. 

1987 ප්‍රාදේශීය සභා පිහිටුවන මුල් අවස්ථා වන විට පළමු මැතිවරණය සඳහා සභා 75ක් සඳහා මන්ත්‍රීවරුන් නිතරගයෙන් පත්වීම වර්තමාන තත්ත්වය අනුව සලකා බලන විට පුදුමයට කරුණකි. එක් පක්‍ෂයක් පමණක් නාමයෝජනා ලබාදී නිතරගයෙන් පත්වීමට එක් හේතුවක් වූයේ ජවිපෙ සහ රජය අතර ඇතිව තිබූ ආයුධ සන්නද්ධ අරගලය ය. අනෙක් හේතුව වූයේ, ඒ වනවිට පළාත් පාලන ආයතන සභිකයන්ට සමාජයේ එතරම් පිළිගැනීමක් නොතිබීමය. 

එවක නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යැයි කොට්ඨාසයක් සිටියේ නැත. ඔවුන් හැඳින්වූයේ “සභික” යන නමිනි. නගර සභික සහ ප්‍රාදේශීය සභා සභික යන නමින් ඔවුන් හැඳින්වෙද්දී “මන්ත්‍රී වැටුපක්ද” නොවීය. ඔවුන්ට ලබාදුන්නේ රුපියල් දහසක දීමනාවකි. 1991 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම දහසක දීමනාව දෙදහස් පන්සීය දක්වා වැඩි කළේය. එතැන් සිට රාජපක්‍ෂවරුන් රටපාලනය කරන වකවානුවේ “ආනුභාව සම්පන්න ගමේ මන්ත්‍රී” හෙවත් “ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්” ලෙස නම වෙනස් කර විමධ්‍යගත අරමුදල් ඔවුන් වෙත ලබාදෙනතුරුම පළාත් පාලන ආයතන සඳහා අපේක්‍ෂක පොරයක් පැවතුණේ නැත. 

වර්තාමනය වනවිට මන්ත්‍රීවරුන් නොමැතිව වුවත් පළාත් පාලන ආයතනවල කටයුතු නිසිපරිදි සිදුවෙයි. වරිපනම් එකතු කිරීම, කුණු කසළ ඉවත් කිරීම නිලධාරීන් යටතේ මනා පාලනයකින් සිදුවෙයි. පළාත් පාලනයට මන්ත්‍රීවරුන් වුවමනාදැයි ඇතැමුන් ප්‍රශ්න කරනුයේ මේ නිසාය. 

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පසුගිය වකවානුවේ “කොන්ත්‍රාත්කාරයන්” යන අන්වර්ථ නාමයක් පටබැඳුණි. ගම්බද මාර්ග සහ සංවර්ධන කටයුතු සඳහා එතෙක් දේශපාලකයන්ට රජයේ කොන්ත්‍රාත් ලබාගත නොහැකි බවට තිබූ නීතිය වෙනස් කරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට රජයේ මුදල් රුපියල් මිලියනයක් ප්‍රදේශයේ කටයුතු වෙනුවෙන් ලබාදුන්නේය. මෙහි කොන්ත්‍රාත් කටයුතු මන්ත්‍රීවරයාට ලබාගත හැකිවිය. ප්‍රාදේශීය සභා බොහෝ මන්ත්‍රීවරුන් මෙම රුපියල් මිලියනය අයථා ලෙස භාවිත කළේය. ප්‍රාදේශීය දේශපාලකයා හොරකු බවටත් ප්‍රචලිතවූයේ මෙම තීන්දුවත් සමඟය. 

රාජපක්‍ෂවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් යොදා ගත්තේ ඔවුන්ට ස්ථාවර බලපදනමක් ගොඩනඟා ගැනීම සඳහාය. පෙරදී නාමයෝජනා දීමට පවා උනන්දුවක් නොතිබූ පළාත් පාලන ආයතන “රන්රුවන් ආකරයක්” බවට පත් කරගත් යටිපෙළ දේශපාලන බලවතුන් කණ්ඩායමක් ඇති කළේ 2005 දී බලයට ආ කණ්ඩායම විසිනි. එයට පෙර පළාත් පාලන ආයතන සභිකයන්ට මැති ඇමැතිවරුන්ගෙන් ලැබෙන කොන්ත්‍රාත් ආදිය තම හිතවතකුට ලබාදී ඔහු හරහා යම් වාසියක් ලබා ගත්තද 2005 පත්වූ රජය තම සංවර්ධන කටයුතු හා ඒ හා බැඳුණු කොන්ත්‍රාත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදීමට පියවර ගැනීමේ ප්‍රතිඵලය වූයේ ධනයෙන් හා බලයෙන්ද හිස උදුම්මාගත් දේශපාලන යටි පෙළක් බිහිවීමය. ස්ත්‍රීදූෂණ හා මිනීමැරුම් සිදුවීමකට චෝදනා එල්ලවූ තංගල්ල නගරාධිපතිවරයාගේ සිට පෞරාණික ගොඩනැගිල්ලක් ඩෝසර් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළුව සිරගත කරනලද පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බිහිවූයේ ඔවුන්ට වරදාන – වරප්‍රසාද දීමට දේශපාලන හාම්පුතුන්ගත් තීන්දුව නිසාය. 

2018 දී කිසිම හේතුවකින් තොරව එතෙක් 4486ක්ව පැවැති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණන 8356 දක්වා දෙගුණයකින් වැඩිවිය. එසේ වීමට හේතුවූයේ රාජපක්‍ෂ රජය සකසා තිබූ පළාත් පාලන නව ඡන්දක්‍රමය 2015 පත්වූ යහපාලන රජය විසින් වෙනසකට ලක් කර සම්මත කළ නිසාය. පක්‍ෂ දෙකක බල අරගලය නිසා පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණන දෙගුණයකින් ඉහළ යද්දී මන්ත්‍රීවරුන්ට පඩිනඩි දීම ඇතුළු පළාත් පාලන ආයතන වියදම්ද දෙගුණයකින් ඉහළ ගියේය.

2018 දී කිසිම හේතුවකින් තොරව එතෙක් 4486ක්ව පැවැති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණන 8356 දක්වා දෙගුණයකින් වැඩිවිය. එසේ වීමට හේතුවූයේ රාජපක්‍ෂ රජය සකසා තිබූ පළාත් පාලන නව ඡන්දක්‍රමය 2015 පත්වූ යහපාලන රජය විසින් වෙනසකට ලක් කර සම්මත කළ නිසාය. පක්‍ෂ දෙකක බල අරගලය නිසා පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණන දෙගුණයකින් ඉහළ යද්දී මන්ත්‍රීවරුන්ට පඩිනඩි දීම ඇතුළු පළාත් පාලන ආයතන වියදම්ද දෙගුණයකින් ඉහළ ගියේය. මෙම මැතිවරණය පවත්වන්නේ එම වරද නිවැරදි නොකරය. 

පළාත් පාලන ආයතන එක් සභිකයකුගේ මාසික වැටුප රුපියල් පහළොස් දහසකි. ඉන්ධන හා දුරකථන දීමනාව ලෙස රුපියල් හය දහසක්ද ලැබේ. ඒ අනුව මාසිකව අතට ලැබෙන මුළු මුදල රුපියල් විසි එක් දහසකි. සභාවේ සභාපතිවරයාට රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක්ද දුරකථන දීමනාවක් හා ඉන්ධන ලීටර් 500ක්ද රජයෙන් ලැබේ. ලංකාවේ සිටින පළාත් පාලන නියෝජිතයන් 8356 දෙනාට මේ අනුව මාසිකව රුපියල් දාහත් කෝටි පනස් හතර ලක්‍ෂ හැත්තෑ හයදහසක මුදලක් ඔවුන්ගේ දීමනා ලෙස පමණක් රජයෙන් වැයවේ. 

වසරක දීමනා සඳහා යන මුදල රුපියල් කෝටි 210 ඉක්මවයි. මෙසේ වැය කරන්නේ මහජනතාවගේ බදු මුදලින් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතුවන ජනතා අරමුදල්ය. මන්ත්‍රීවරුන් 4486 දෙනකු සිටි යුගයේ මාසික වැටුප් සඳහා රුපියල් නවකෝටි හතළිස් දෙලක්‍ෂයක් වැය වූ අතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවීම නිසා එම වියදමද දෙගුණයකින් වැඩිවිය. එහෙත් ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාද වැඩිබව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන අඩු කිරීමට කෑගසන සංවිධාන සහ උද්ඝෝෂකයන් කිසිම හේතුවකින් තොරව පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාම ගැන වචනයක්වත් කතා නොකිරීමය. 

මේ වනවිට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය ජනතා මතය නිවැරැදිව නියෝජනය නොවන විකෘතියකි. 2018 සම්මත කළ පළාත් පාලන ඡන්ද සංශෝධන පනත අනුව කොට්ඨාස ලැයිස්තුවක් මෙන්ම සමානුපාතික ලැයිස්තුවක් යටතේද මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සිදුවෙයි. මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතියකි. 

ජනතාවගේ වැඩි කැමැත්තෙන් ග්‍රාමීය ඡන්ද කොට්ඨාස දිනා ගන්නා පක්‍ෂය බැලූ බැල්මටම මැතිවරණ ජයග්‍රහණ කළ බව පෙනී ගියත් මන්ත්‍රීවරුන් බෙදා දීමේදී කොට්ඨාස ජයගත් පක්‍ෂයට එම ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට සිදුවෙයි. එයට හේතුව වන්නේ එම පක්‍ෂයට සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් හිමි නොවීමය. 2018 මැතිවරණ ක්‍රමය අනුව එම වසරේ පැවැති මැතිවරණයේදී බොහෝ ප්‍රාදේශීය සභාවල ජයග්‍රාහක පක්‍ෂයක් සිටි නමුත් එම පක්‍ෂයට සභාවේ බලය පිහිටුවීමේදී පරාජිත පක්‍ෂයක් මත යැපෙන්නට සිදුවිය. මැතිවරණයකදී එසේ වියයුතු නැත. ජයග්‍රාහී පක්‍ෂයට සභාවේ බලය ඍජුව ලබාගැනීමේ අයිතිය මෙම ඡන්ද ක්‍රමයෙන් වළක්වා තිබේ. 

2018 මැතිවරණයෙන් පසු අවස්ථා ගණනාවකදීම විවිධ ප්‍රාදේශීය සභාවල අයවැය පැරදවීම රැල්ලක් සේ දැකගත හැකිවූයේ ජයග්‍රාහී පක්‍ෂයට වැඩි මන්ත්‍රීවරුන් ගණනක් නොලැබූ නිසාය. 2019 දී විවිධ දේශපාලන පක්‍ෂ පළාත් පාලන මැතිවරණ (සංශෝධිත) පනතට නව සංශෝධන ගෙන ආ යුතු බව කියා සිටිමුත් ජාතික ජනබලවේග නව රජය පත්වූ පසු එම උනන්දුව කිසිදු පක්‍ෂයකට තිබුණේ නැත. මෙවරත් ඡන්දය කැඳවූයේ එම අංගවිකල ඡන්ද ක්‍රමය යටතේය. නව රජය පත්වූ පසු මහමැතිවරණයට පෙර පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් මෙම පනතේ අංගවිකල බව ඉතා පැහැදිලිව පෙනුණේ සභාව ජයග්‍රහණය කළ ජාතික ජනබලවේගයට ඇල්පිටිය සභාවේ මන්ත්‍රී ආසන 15ක් ලැබෙද්දී පරාජිත සියලු විපක්‍ෂ කණ්ඩායම්වලටද මන්ත්‍රී ආසන 15ක් ලැබීම නිසාය. මෙවැනි අංගවිකල ඡන්ද ක්‍රමයකින් සැබෑ ජනමතයක් නියෝජනය වන්නේ කෙසේද? 

ප්‍රේමකීර්ති රණතුංග



අදහස් (0)

පළාත් පාලනයට මන්ත්‍රීවරුන් ඕනෑ ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3489 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1005 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2143 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 31 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site