IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ‘පොහොට්ටුව’තර්ජනයක්

(*** අංජුල මහික වීරරත්න)

‘‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට පොහොට්ටු පක්ෂයෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි’’ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ 21 වැනිදා පැවැසීය.

‘‘ක්‍රමානුකූලව දියවෙමින් පවතින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැවතත් ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු එකම දේ අගෝස්තු 5 වැනිදා ‘‘අලියා’’ ලකුණට ඡන්දය දී නැවත එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීම බව’’ ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පිටකෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද සඳහන් කළේය.

ජනතාව ඇරඹූ සටන් නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මිනිස් අයිතීන් ශක්තිමත් වුණා. 2015 වසරේදී උද්ඝෝෂණ කර, පාද යාත්‍රා ගොස් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මිනිස් අයිතීන් තවත් ශක්තිමත් කෙරුණා.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අප මැතිවරණ කොමිසම ස්ථාපිත කළා. හිටපු ජනපති පවා සහභාගි වන මැතිවරණ රැස්වීම් නතර කරන නියෝග නිකුත් කරන තරමට මැතිවරණ කොමිසම බලවත්වී තිබෙනවා. මැතිවරණය සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නියෝග නිකුත් කරනවා.

පොලිස් කොමිසම ස්ථාපිත කරන්නටත් අපට හැකියාව ලැබුණා. පොලිස් නිලධාරී පත්වීම්වලදී දේශපාලන පත්වීම් දීම අප නතර කළා. ඒ අනුව ස්වාධීන පොලිසියක් බිහිවුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී පැය කිහිපයක් ඇතුළත පළමු සැකකරුවන් පිරිස අල්ලා ගත්තා. රාජ්‍ය සේවය දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කළා. රාජ්‍ය සේවයට බලපෑම් ඇති වීමට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අපට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න හැකි වූවා.

අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොහොට්ටුවෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. මොවුන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට බණින හැටි බලන්න. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට බනිනවා. රත්නජීවන් හුල් මහතාට ප්‍රසිද්ධියේ බණිනවා. බොරු චෝදනා නගනවා. විවිධ බලපෑම් එල්ල කරනවා.

ඡන්දය ජූනි මාසයේ පවත්වන්න බලපෑම් කරනවා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජූනි මාසයේ ඡන්දය පවත්වන්නයි. ආර්ථිකය තවත් කඩා වැටෙන්නට පෙර මැතිවරණය පැවැත්වීම ඔවුන්ගේ අරමුණ වුණා.

නැවතත් කොරෝනා ව්‍යාප්ත වී මැතිවරණය කල් දැමුවහොත් තවත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ක්‍රමානුකූලව නැති කිරීම ඔවුන්ගේ අරමුණ බව පේනවා.

පොලිස් කොමිසමට වී ඇති දේ බලන්න. පොලිස් නිලධාරීන් හැම තැනකටම මාරු කරනවා. පොලිස් නිලධාරීන් කටයුතු කළ තැන්වලට හමුදා නිලධාරීන් යොදවලා. පොලිසියට පත් කරලා. පොලිසියට නියමාකාර වැඩ කොටසක් බාර දෙන්නේ නැහැ. මෙම දේශපාලනීකරණය නිසා සිදුවී ඇත්තේ කුමක්ද?

ජනාධිපතිවරයා හමුවීම සඳහා ත්‍රිරෝද රථයකින් එහි ගිය ත්‍රිරෝද රථ සංගම් සභාපතිවරයා අමු අමුවේ මරා දැමුවා. අප මීට පෙර නිදහස් චතුරශ්‍රයේදී මළසිරුරු දැක නැහැ. ඒ මරණය සියදිවි නසා ගැනීමක් බව කියනවා. සිය දිවිනසා ගැනීමක් වුවත් එය සිදු වූයේ ස්වේච්ඡාවෙන්ද, නැතිනම් බලහත්කාරයෙන් ද කියා නීතිඥයන් ප්‍රශ්න කරනවා. ඇතැම් විට මොවුන් විහිළුසහගත තර්ක ඉදිරිපත් කරනවා. මෙවැනි දේ වන්නේ පොලිසියට දේශපාලන වශයෙන් ඇඟිලිගැසීම් කළ නිසයි.

ඉහත මරණය ගැන තවමත් සොයා ගෙන නැහැ. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් එදා සවස වන විට අල්ලා ගන්නට අපට හැකි වුණා.

රාජ්‍ය සේවා කොමිසමට වී ඇත්තේ කුමක්ද? රාජ්‍ය නිලධාරීන් මාරු කිරීමට බැරි නම් ඒ තැන්වලට හමුදා නිලධාරීන් ගෙනැවිත් දමනවා. ආයතන ප්‍රධානීන් ලෙස පත් කර ඔවුන්ට ආයතන බාර දෙනවා. කාර්ය සාධක බළකා සඳහා හමුදා නිලධාරීන් පත් කරනවා.

අපට ලෝකයේ හොඳම රණවිරු කණ්ඩායමක් සිටිනවා. සටන් හා ඊට අදාළ වැඩ කටයුතු සඳහා ඔවුන් විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා. ඔවුන්ට ඒ කාර්යයන් බාර දිය යුතුයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවය යුද්ධයට දැමුවහොත් වන්නේ කුමක්ද? පරිපාලන සේවකයන්ට යුද්ධ කරන්න දක්ෂකම් නැහැ. එහෙත් රටේ පාලනය මෙහෙයවීමට ඔවුන් දක්ෂයි. එහෙත් ඒ වැඩ කටයුත්ත රණවිරුවන්ට කරන්නට බැහැ. එහි වෙනස තේරුම් ගත යුතුයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක වැඩකටයුතු සඳහා අපේ රණවිරුවන් යැවිය යුතුයි. මා අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ එලෙස පිටත් කළා.

රජයේ සේවකයන්ගේ නිදහස ආරක්ෂා කළ යුතුයි. ඉකුත් මහ මැතිවරණයේදී මෙන්ම පළාත් පාලන මැතිවරණයේදී බහුතර රාජ්‍ය සේවක පිරිසක් ඡන්දෙ දුන්නේ පොහොට්ටුවටයි. එසේ වූවා කියා අප රාජ්‍ය සේවකයන් ඉවත් කළේ නැහැ.
දින 51ක කුමන්ත්‍රණයේදී රතිඤ්ඤා පත්තු කළ රාජ්‍ය සේවකයන් සිටියා. අප ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ නිදහස් රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට අපට හැකි වුණා. යහපත් රාජ්‍ය සේවයක් සඳහා නිදහස තිබිය යුතුයි. දැන් සියලු නිදහස නැති වෙමින්  යනවා.

පොහොට්ටුවට රට බාර දුන්නොත් යහපතක් වන්නේ නැහැ. එවිට සියලු නිදහස නැති වෙනවා. රට නැවත ඒකාධිපති පාලනයකට නතු වෙනවා. ඒ නිසා ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත යුතුයි.

රාජ්‍ය සේවකයන්ට දොස් නැගීම, විටින් විට මාරු කිරීම භයානක තත්ත්වයක පෙරනිමිතියි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අද ක්‍රමානුකූව දියවෙමින් පවතිනවා. කොරෝනා වසංගතය මැද ප්‍රජාතන්ත්‍රවාදය දියවෙන්නට පටන් ගත්තා. ඒ තත්ත්වයක් උදා වෙන්නට ඉඩ දෙන්න බැහැ. අගෝස්තු 5 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගන්න අවස්ථාව ලැබෙනවා.

පොහොට්ටුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට අවශ්‍ය නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ පිළිබඳව අද මාධ්‍යයත් කතා කරන්නේ නැහැ. මාධ්‍යයත් නිහඬයි.
ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපි සියලුම දෙනා පෙළ ගැසෙමු. අගෝස්තු 5 වැනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරමු යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (0)

ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ‘පොහොට්ටුව’තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site