IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉන්දු - පාකිස්තාන ගැටුම කොයිබටද

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී ඉන්දීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් (එම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයන් 26 ක් ද නේපාල ජාතිකයෙකු ද ඝාතනයට ලක් විණි) ඉන්දියාවත් පාකිස්තානයත් අතර ගැටුම්කාරී වාතාවරණයක් මේ වෙනවිට උද්ගතව ඇත. 

දෙරටේ පුරවැසියන් පිටමං කිරීම, දේශසීමා ආසන්නයේ වෙඩි තබා ගැනීම්, ජල ගිවිසුම ඉන්දියාව විසින් ඒකපාර්ශ්වීයව තාවකාලිකව අත්හිටුවනු ලැබීම ආදී යුද්ධයකට මුලපිරිය හැකි යැයි සිතිය හැකි වර්ධන ගණනාවක් සිද්ධ වී අවසන් ය. ඒ අල්ලපනල්ලේ, පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ යැයි මාධ්‍ය වාර්තා කර තිබුණේ, පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක අංශවලට පූර්ණ බලතල පවරා ඇති බවය. කාශ්මීර ප්‍රදේශය මුල් කොට ගෙන තෙවතාවක දී මේ දෙරට යුද වැදි ඉතිහාසය සිහිපත් කරන විශ්ලේෂකයෝ, දැන් මතුව ඇති ආතතිකාරී තත්ත්වය යුදමය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට ද අනතුරු අඟවති. 

එවැනි යුද ගැටුමක් හටගතහොත් එහි අනිටු බලපෑම් කලාපයටත් එයින් නොනැවතී ලෝකයටත් ඉතා ඉක්මනින් ළඟා වෙනු ඇත. එවැනි ආතතිකාරී වාතාවරණයකින් ශ්‍රී ලංකාවට විය හැකි රාජ්‍යතාන්ත්‍රික, ආරක්ෂක සහ ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ද විවිධ විග්‍රහ කථන ආදිය ද ඉදිරිපත් වේ. ඒ සම්බන්ධයෙන් විද්වතුන් කිහිපදෙනෙකු ඉරිදා ලංකාදීපයට දැක් වූ අදහස් මෙසේ ය.

තමන්ගෙ හමුදා බලය ලෝකයාට පෙන්වීම සඳහා ඉන්දියාව මේ අවස්ථාව පාවිච්චි කරනවා

මේ ඉන්දු-පාකිස්තාන අර්බුදය දුරදිග ගියොත් ඒක ලෝක දේශපාලනයට බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි, මේ ප්‍රශ්නය ඓතිහාසිකව තිබුණු එකක්. ඒක මේ දක්වා විසඳාගන්න බැරි වෙලා තියෙනවා. මීට කලිනුත් දෙරට අතර අර්බුද ඇති වෙලා ඒවා අඩුවැඩි වශයෙන් උත්සන්න වුණා. නමුත් මේ අවස්ථාවේදි ඉන්දියාව ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරන බව පේනවා. තමන්ගෙ හමුදා බලය ලෝකයාට පෙන්වීම සඳහා මේ අවස්ථාව ඉන්දියාව පාවිච්චි කරන බව තමයි මගේ පෞද්ගලික මතය. 2019 දිත් දෙරට අතර අර්බුදයක් හටගත්තා. 

ඒ අවස්ථාවෙ ඉන්දියාව සතුව තිබුණු හමුදා හැකියාවට වඩා වැඩි හැකියාවක් දැන් ඔවුන් අත්කරගෙන තියෙනවා. මේ සිද්ධිය මුල්කරගෙන යුද්ධයක් ඇති වුණොත්, ලංකාව වගේ රටවලට නරක විදිහට බලපානවා. මොකද, ලංකාව ඉන්නෙ කේවෙල් කිරීම අතින් දුර්වල තත්ත්වයක. එවැනි පසුබිමක, ලංකාව අවට හමුදා බලය වැඩි වෙනවා කියන්නෙ රටට එච්චර හොඳ නෑ. ගැටුම් පවතිනවට වඩා යම් ආකාරයක හෝ ස්ථාවරභාවයක් පැවතීම ලංකාවට වඩාත් හොඳයි. නමුත් යුද ගැටුමක් හටගත්තොත්, අපිට සැපයුම් දාමය පවත්වාගෙන යෑම, කලාපීය සහයෝගීතාව පවත්වාගෙන යෑම අතින් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. 

ඒ වගේම තමයි, එවැනි ගැටුමකදී පැත්තක් තෝරාගන්න වෙනවා කියන එක භයානක අවස්ථාවක්. ඒ නිසා පැත්තක් තෝරා ගන්නවා කියන්නෙ තවත් අර්බුදයක්. මේ ඉන්දු-පාකිස්තාන විරසකය පිටුපස ගෝලීය බලවතුනුත් ඉන්නවා. එවැනි සන්ධානවලින් බාහිර බලවතුන්ට මේ කලාපය සඳහා තියෙන ප්‍රවේශය පෙන්වනවා. වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග සමීප සම්බන්ධතාවක් පවත්වන බව ලෝකෙට පෙන්වලා තියෙනවා. පසුගියදා සිදුවුණු ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුට ලබා දුන් ඉහළ පිළිගැනීමෙනුත් ඒ බව තහවුරු වුණා. ඒ සංචාරයේදී දෙරට අතර ගිවිසුම් හතකට අස්සන් තැබුණා. ඉන්දීය විරෝධී කටයුතුවලට ශ්‍රී ලංකා භූමිය පාවිච්චි කරන්න ඉඩ නොදෙන බවත් අපි ඉන්දියාවට සහතික කළා. එහෙම තත්ත්වයකදි වුණත්, මේ ගැටුමෙදි අපිට ඉන්දියාවෙ පැත්ත ගන්න බෑ. මොකද, තෝරාගැනීමේ හැකියාව සීමා සහිතයි. පාකිස්තානය කියන්නෙ කලින් ප්‍රමාණයට වඩා අඩුවෙන් වුණත් චීනය සමග කිට්ටුවෙන් කටයුතු කරන රාජ්‍යයක්. ඒ නිසා මම හිතන්නෙ පැත්තක් තෝරා ගැනීම කියන්නෙ අප විසින් අත නොගැසිය යුතු කාරණයක්.

ජල ගිවිසුම ඒකපාර්ශ්වීයව අත්හිටුවීමෙන් ඉන්දියාව යම් පණිවුඩයක් දෙනවා. තමන්ගෙ නැගී සිටීම ලෝකයාට යහපත් විදිහට සිදු වෙන්නක් බව ඕනෑම නැගී එන බලවතෙකු විසින් තහවුරු කිරීමට උත්සාහ දරන තත්ත්වයක්. ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව ගත්ත තීරණයෙන් ඔවුන්ගෙ මේ ආස්ථානයේ යම් බිඳවැටීමක් වෙනවා. මොකද, එය මානව අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් නිසා. ඔබට යුද්ධයෙන් වැළකී සිටීමට නම් ඔබ යුද්ධයට සුදානම් බව පෙන්විය යුතු බවට ජාත්‍යන්තර සබඳතා විෂයෙ පිළිගත් සිද්ධාන්තයක් තියෙනවා. මට හිතෙනවා, ඉන්දියාව මේ ප්‍රශ්නයෙදි ඒ වගේ ප්‍රවේශයක් අනුගමනය කරනවා කියලා. යුද්ධයක් ආසන්නයටම යනවා. හමුදා හැකියාව පිළිබඳ සංඥාවක් දෙන්න තමයි ඉන්දියාව උත්සාහ කරන්නෙ.

මේ දෙරට අතර දරුණු යුද්ධයක් ඇති වුණොත් එයින් ලංකාවටත් බලපෑම් එල්ල වෙනවා

ඉන්දියාවයි පාකිස්තානයයි අතර ගැටුම් ඇතිවීම කාලයක් තිස්සෙ සිදුවෙනවා. මම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ඉඳිද්දි, පුල්බාමාවලදී ඉන්දියානු හමුදා අනුකණ්ඩයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදීත්, මේ රටවල් දෙක අතර ආතතියක් නිර්මාණය වුණා. 2008 දි මුම්බායි නුවර ටාජ් හෝටලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා.
 
මේ අවස්ථාවේ ප්‍රහාරය එල්ල වූ පසු ඉන්දියාව තීරණය කළා ජලය සම්බන්ධයෙන් දෙරට අතර තියෙන ගිවිසුම අත්හිටුවන්න. තානාපති සබඳතාවලට අදාළ කටයුතු නතර කරන්නත්, ඉන්දියාවේ සිටින පාකිස්තානු ජාතිකයන් පිටුවහල් කරන්නත් පියවර ගත්තා. පාකිස්තානයත් එකට එක ලෙස ඒ පියවරම අනුගමනය කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාව, ඊශ්‍රායලය යන රටවල නායකයනුත් ප්‍රකාශ සිදු කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කීවේ, ඉන්දියානු ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන බවත් ඉන්දියාවට සම්පූර්ණ සහාය ලබා දෙන බවත්. බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් කනගාටුව ප්‍රකාශ කළා. ඉන්දියාවේ ඉන්න චීන තානාපතිවරයාත් කනගාටුව පළ කළා.
 
කාශ්මීර ප්‍රදේශය මුල්කොටගෙන මේ රටවල් දෙක අවස්ථා කීපයකදි යුද්ධ කළා. පළමු යුද්ධයෙන් පසු 1948 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දුවක් ගත්තා මේ දෙරට අතර යුද මුක්ත කලාපයක් ඇති කළ යුතුයි කියලා. කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් තීරණය කළා. ඔය අතරෙ, 1950 දි ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කාශ්මීරය සඳහා විශේෂ තත්ත්වයක් ලබා දුන්නා. 1980-1990 දසකවල ඉන්දියාවෙන් ඉවත් වී පාකිස්තානය සමග එකතු විය යුතු බව අවධාරණය කළ ව්‍යාපාර ඇති වුණා. මම ඉන්දියාවෙ හිටපු කාලෙ, ව්‍යවස්ථාවෙන් කාශ්මීරයට ලබා දුන් විශේෂ තත්ත්වය ඉවත් කිරීමට ඉන්දියාව කටයුතු කළා.
 
පසුගියද සිදුවූ ප්‍රහාරය මුල් කරගෙන තානාපති සබඳතා හා වෙනත් දේවල් සම්බන්ධයෙන් ඉන්දියාව පියවර ගත් පසු පාකිස්තානය ප්‍රකාශ කළා ෂිම්ලා ගිවිසුමෙන් ඉවත් විය යුතු බව. 1971 දි බංග්ලාදේශය පිහිටු වූ පසු 1972  දී එවක ඉන්දියානු සහ පාකිස්තාන අගමැතිවරුන් අස්සන් කළ ගිවිසුමට කිව්වෙ ෂිම්ලා ගිවිසුම කියලා. රටවල් දෙකෙන් එකක්වත් මේ ගිවිසුමෙන් ඒකපාර්ශ්වීයව ඉවත් නොවෙන අදහසින් තමයි ඒක ක්‍රියාත්මක වුණේ. මේ ගිවිසුමෙන් රටවල් දෙක ඉවත් වුණොත් ඒ ගිවිසුමෙන් එකඟ වුණු හොඳ දේවලුත් නතර වෙනවා. 
 
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලවතුන් නිසා දැනට දේශසීමාවල කෙරෙන වෙඩිතබාගැනීම්වලින් ඔබ්බට ගොස් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත් විය හැකි බලපෑම විශාලයි. මේ දෙරට අතර දරුණු යුද්ධයක් ඇති වුණොත් එයින් ලංකාවටත් බලපෑම් එල්ල වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළෙඳාමට විය හැකි අහිතකර බලපෑම් නිසා ලංකාවටත් එහි ප්‍රතිවිපාක විඳින්න සිදු වෙයි. අපේ ජනාධිපතිවරයාත් නිවේදනයක් නිකුත් කරමින් මේ ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව ගැන සානුකම්පිත වෙන බව ප්‍රකාශ කළා. ඕනෑම රටක මිනිසුන් මිය ගියොත් මෙවැනි ප්‍රකාශ කිරීම අවශ්‍යයි.
 
ජල ගිවිසුම නතර කිරීම තමන්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් හා සමානව සලකන බව පාකිස්තානය ප්‍රකාශ කළා. ඒ ගිවිසුම නතර කළහම පාකිස්තානයේ මිලියන 250 ක් වෙන ජනතාවට ආර්ථික වශයෙන් බලපානවා කියලා තමයි පාකිස්තාන බලධාරීන් කියන්නෙ. ඒ ගිවිසුම අනුව ඉන්දියාවට රවී, බීස් සහ සුට්ලෙජ් කියන ගංගා තුනකිනුත් පාකිස්තානයට ඉන්දුස්, ජේලම් සහ චෙනාබ් කියන ගංගා තුනකිනුත් ජලය ලැබෙනවා.

මේ රටවල් දෙක ආහාර ද්‍රව්‍ය අපනයනය නතර කළොත් එයින් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට බලපෑම් ඇති වෙනවා

මේ වෙද්දි ලෝකයේම ආර්ථිකය යම් ආකාරයක හැකිළීමකට ලක්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු හැම ආර්ථිකයක් ම පසුපසට ගමන් කළා. ඇමෙරිකානු ආර්ථිකය පවා යම් කැලඹීමකට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි, අධික ණය බර. ඇමෙරිකාවෙ මුළු ණය ඩොලර් ට්‍රිලියන 36 ක් පමණ වෙනවා. ආනයන-අපනයන පරතරය ඩොලර් ට්‍රිලියන 1.2 දක්වා වැඩි වෙලා තියෙනවා. 
 
සමස්තයක් වශයෙන් ගත්තහම, යුරෝපය යම් ආකාරයකට අස්ථාවර වෙලා තියෙනවා. ට්‍රම්ප් පරිපාලනය පැනවූ තීරු බදු මේ අස්ථාවරභාවය ඉහළ යෑමට හේතුවක් වෙලා තියෙනවා. මෙවැනි පරිසරයක යුදමය වතාවරණයක් ඇතිවුණොත් තත්ත්වය තවත් බැරූරුම් වෙනවා. අප අමතක නොකළ යුතුයි, රුසියානු - යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල - පලස්තීන ගැටුම් තවමත් පවතින බව. මේ සියල්ල අතරෙ තමයි ඉන්දියා-පාකිස්තාන ගැටුම ඇතිවෙලා තියෙන්නෙ.
 
යුරෝපා ආර්ථිකය කඩාවැටුණට පස්සෙ, ආසියානු ආර්ථිකය තමයි විශාලතම ආර්ථිකය හැටියට පිළිගන්නෙ. අපි හිතුවෙ අපේ ඉදිරි වෙළෙඳපොළ ආසියාව කියලා. ආසියානු වෙළෙඳපොළේ යුදමය වාතාවරණයක් ඇති වෙලා, ආසියානු වෙළෙඳපොළත් යුරෝපා වෙළෙඳපොළ වගේ කඩා වැටුණොත්, ඒක ලෝකයටම බලපානවා. ලෝක ආර්ථිකයෙ යම් ආකාරයක අවපාතයක් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාව කියන්නෙ තනි රටක් නොවෙයි. එය බ්‍රික්ස් සාමාජික රටක්. බ්‍රික්ස් ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 26 ක් විතර වටිනවා. මේ විදිහෙ ප්‍රබල ආර්ථිකයන් කඩා වැටුණොත් ලංකාව වැනි කුඩා රටවලට දරා ගන්න බැරි පීඩනයක් එල්ල වෙනවා. මෑත කාලයේදී ලංකාව ඉන්දියාව සමග ආර්ථික එකඟතාවලට එන්න උත්සාහ කරන බවක් අපි දැක්කා. වර්තමාන ආණ්ඩුවත් ඒ සඳහා උත්සාහ ගන්නා බවක් පේනවා. පාකිස්තානය කියන්නෙත් හොඳ වෙළෙඳපොළක් සහ ලංකාවට හිතවත් රාජ්‍යයක්. මෙවැනි තත්ත්වයක ලංකාව රජයක් වශයෙන් හිර වෙනවා මේ ගැටුම සම්බන්ධ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමේදී. විදේශ ප්‍රතිපත්තියේදී ලංකාව නොබැඳි පිළිවෙතක් අනුගමනය කළත් මේ වෙලාවෙ ඉන්දියාව සහ පාකිස්තානය සමාන කොට සලකන්න පුළුවන් ද කියන ප්‍රශ්නය මතු වෙනවා. රටවල් දෙක තරාදියට දැම්මොත් සාපේක්ෂව ඉන්දියාව වැදගත්.
 
ඉන්දියාව සමග ගිවිසුම්ගත වීමම පාකිස්තානය ලංකාව සමග තරහ වීමට හේතුවක් විය හැකියි. මේ ගැටුම හේතුවෙන් ලංකාවේ ආර්ථිකයටත් වෙළෙඳපොළටත් සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටි රාජ්‍යයක්. නමුත් ලංකාවෙ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉන්දියාව පදනම් කරගත් සංවර්ධනයක් ගැන අපි කතා කරන්නෙ. පසුගියදා අස්සන් කළ ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමෙන්, ත්‍රිකුණාමලයෙ ඉන්දියානු ආයුධ නිෂ්පාදන ඒකකයක් හදන්න එරට උත්සාහ ගන්නා බවට පසුගිය දිනවල මාධ්‍යයේ තොරතුරු පළ වුණා. ඒක සමාජ මාධ්‍යයෙ කියවුණු කාරණයක්. ඒ ගිවිසුම් කිසිවක් ප්‍රසිද්ධ කර නැති නිසා, ඒවායෙ ඇත්ත නැත්ත ගැන අපි දන්නෙ නෑ. මේ දෙරටම න්‍යෂ්ටික බලවතුන් නිසා ඔවුන් අතර යුද්ධයක් ඇති වුණොත් ඉලක්ක වෙන්නෙ ආයුධ නිෂ්පාදන ස්ථාන. යම් විදියකට ඉන්දියාවේ ආයුධ නිෂ්පාදන ඒකකයක් ලංකාවේ පිහිටුවුවහොත් එය නිසැකවම පාකිස්තානයේ ඉලක්කයක් විය හැකියි. ඒ නිසා මෙවැනි ගිවිසුම් මගිනුත් යම් ආකාරයක අස්ථාවරභාවයක් ඇති කරනවා.
 
ලංකාව හාල්, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ රටවල් දෙකෙන්ම ගෙන්වනවා. රටක් ස්වයංපෝෂිත වෙන්න නම් ආහාර සුලබ වෙන්න ඕනැ. ලංකාව කෘෂිකාර්මික රටක් කියලා කිව්වට, කෘෂිකර්මයෙන් ලැබෙන්නෙ සියයට 7 ක දායකත්වයක් විතරයි. ඉන්දියාව එක වතාවක් කහ අපයනයනය කරන්නෙ නෑ කියලා නිවේදනය කළහම ලංකාවේ කහ මිල ශීඝ්‍රයෙන් වැඩි වුණා. යුදමය වාතාවරණයක් ඇති වුණොත් මේ රටවල් අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතභාවය ගැන හිතනවා. එහෙම හිතලා ඉන්දියාව සහ පාකිස්තානය ආහාර ද්‍රව්‍ය අපනයන කටයුතුවලින් වැළකුණොත් ඒක ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දැඩි ලෙස බලපානවා. ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව ගත් තීරණය පාකිස්තානයේ සියයට 80 ක ජනතාවට සෘජුව බලපානවා. මේ හේතුවෙන් පාකිස්තානයේ ආහාර නිෂ්පාදනය පහත වැටුණොත් එහි බරපතළ බලපෑම් ලංකාවටත් ඇති වෙනවා.
 
සාකච්ඡා සටහන:
උපුල් වික්‍රමසිංහ
 



අදහස් (0)

ඉන්දු - පාකිස්තාන ගැටුම කොයිබටද

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3490 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1005 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2144 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 32 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site