IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට

(නාලක සංජීව දහනායක)

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ.

එබැවින් රටට ආදරයක් ඇත්නම් කිසිවකුත් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩක් නොදිය යුතු යැයිද උන්වහන්සේ කීහ.

”එළිය” සංවිධානය විසින් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ (03) සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

අභයතිස්ස හිමියෝ මෙසේද පැවසූහ.

මේ රට ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් සමන්විත ෆෙඞ්රල් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවෙමින් තිබෙනවා. ”යුනිටරි” කියන වචන සමඟ මේ අය හැප්පෙන හැප්පිල්ලෙන් අපිට ඒ බව ඉතාම පැහැදිලි වෙනවා. ඒ වචනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පසුගිය කාලයේ බොහොම දැඩිව කතා කළා. යුනිටරි වචනය භාවිතයට නොගන්නා ලෙස බෙදුම්වාදීන් ඉතාම දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වචනයට ජාත්‍යන්තර අර්ථයක් තිබෙනවා. ඒ අර්ථය ප‍්‍රතික්ෂේප කර සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට අයිති වචන සමඟ මේ ගමන යෑම හරහා ඔවුන් රටේ ඒකීය බව නැතිකර ගැනීමේ මූලික පදනම සකස් කර ගන්නා බව පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය යන වචනය ඉවත් නොකරන බව ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් මහානායක හිමිවරුන්ට නිතරම පවසනවා. ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් නොකරන ලෙස අපිත් ඉල්ලීමක් කරනවා.

පැරණි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේ රටේ දිස්ත‍්‍රික්ක 25 පිළිගෙන තිබෙනවා. නමුත් සකස්වීගෙන යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එය පළාත් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පළාත් ප‍්‍රමාණය කොපමණදැයි සඳහන්කර නැහැ. එමෙන්ම ජාතික ගීය ශ‍්‍රී ලංකා මාතා හා ශ‍්‍රී ලංකා තායි යන දෙයාකාරයෙන්ම තිබිය යුතු බවත් මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් අලූත් දෙයක් අවශ්‍ය නැහැ. මේ තිබෙන විදියටම ඒවා පැවැතිය යුතුයි. ශ්‍රී ලංකාව බුදුදහමට මූලිකත්වය පිරිනමන්නේය කියල වගන්තියක් මෙයට ඇතුළත් කර තිබෙනවා. අමුතුවෙන් පිරිනමන්න දෙයක් නැහැ. කොහොමටත් ශ්‍රී ලංකාව බුදුදහමට ප‍්‍රමුඛස්ථනය පිරිනමා තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප‍්‍රමුඛස්ථානය පිරිනමනවා යනුවෙන් වෙනස්විය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය යන වචනය ඇතැම් අවස්ථාවල ක‍්‍රමානුකූලව මෙම කෙටුම්පතින් හලලා තිබෙනවා. මේ කරුණු දෙස බැලූවම රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා.

සම්ප‍්‍රදායට පිටින් කටයුතු කරමින් වත්මන් රජය බොහෝ දේවල් ඉටුකරවා ගත්තා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගත්තෙත් තක්කඩි ක‍්‍රමයටයි. එමෙන්ම ඒ වගේම ක‍්‍රමවේදයන් භාවිතා කරමින් පළාත් සභා ඡුන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත කර ගත්තා. ඒ නිසා සදාචාර සම්පන්න නොවන ක‍්‍රමයට ව්‍යවස්ථාවත් සම්මත කරගනීවි. පොලිස් බලතල හා ඉඩම් බලතල සම්බන්ධයෙන් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර නැහැ. ඒවා සම්බන්ධව කතා නොකරන්නේ ඇයි. එම යෝජනා ඇතැම්විට කාරක සභා අවස්ථාවන්හිදී මෙයට රිංගවාවි. එසේ වුවහොත් එය ඉතාම භයානක තත්ත්යවයක් වෙනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අලූත් ආණ්ඩුව බලයට පැමිණ තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් පසුගියදා ප‍්‍රකාශ කළා. එමෙන්ම මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව තමන්ට විශ්වාස බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබුණා. මෙම අතුරු වාර්තාව ගෙන්වාගෙන කියවා බලන ලෙස අපි මහානායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් අපි ඉදිරි දින කිහිපයේදී මහානායක හිමිවරුන්ට බාරදෙනවා.

සංඝ සභාවේ විද්වත් හිමිවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් උන්වහන්සේලාට ව්‍යවස්ථාව වැනි කරුණු සම්බන්ධයෙන් වඩාත් හොඳින් දැනුම්වත් බවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොමැතිව පුද්ගලික අවශ්‍යතා මත හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති ප‍්‍රසාදය මුල්කරගෙන රටක අනාගතය සම්බන්ධයෙන් තීරණ නොගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ රට වින කරන්න කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේලා ජනතාව අතරේ අප‍්‍රසාදයට පත්ව සිටිනවා. ඒ තත්ත්වයම මහානායක හිමිවරුන්ටත් අත්වෙනවට මම කැමති නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස්, යෝජනා හා තමන්ට තිබෙන ගැටලූ පිළිබඳ අදහස් ලබාදුන්නා. එය සතුරා ශක්තිමත් කිරීමක්. ඒ දේවල් නිවැරදි කිරීමෙන් මෙම ව්‍යවස්ථාව පාරිශුද්ධ ඒකීය ව්‍යවස්ථාවක් යැයි සිතීම මුළාවක්. මොවුන් මෙම කටයුත්තේදී බොහොම උපක‍්‍රමශීලීව කටයුතු කරනවා. ඒ නිසා මේ කටයුත්තේදී මහානායක හිමිවරුන් පරිස්සම් විය යුතුයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොවන බව ජයම්පති වික‍්‍රමරත්න මහතා තමන්ට ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළා. ජයම්පති වික‍්‍රමරත්න වසර තිහක විතර කාලයක සිට බෙදුම්වාදය පෝෂණය කිරීමට කටයුතු කළ කෙනෙක් බව අපි දන්නවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම සඳහා පසුගිය රජය එළවා දැමිය යුතු බව ඔහු අමිර්තලිංගම් දේශනයේදී ප‍්‍රකාශ කළා. බෙදුම්වාදයේ වර්තමාන න්‍යායාචාර්යවරයාගෙන් ජයම්පති වික‍්‍රමරත්නයි. ඒ නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තිබෙන නීතීඥවරුන්ගෙන් උපදෙස් ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් තිබෙනවා. ඒ ස`දහා අවශ්‍ය පසුබිම මොවුන් සකස් කරමින් පවතිනවා. එවැනි විටකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ආකර්ෂණීය පොරොන්දු ඉදිරිපත් කරාවි. ඉන්දියාවේ නාමමාත‍්‍රික ජනාධිපතිවරයෙක් හිටියත් පළාත් ආණ්ඩු සම්බන්ධයෙන්  ඕනෑම විටක තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙනවා. යාපනයේ වෙනම ආණ්ඩුවක් සකස් කිරීම සම්බන්ධව පසුගියදා වෛයිකෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී කතා කළා. ද්‍රවිඩ ජනතාව බහුලව සිටින තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ගැන ඔවුන්ට ඉන්දියාවෙදී කතාකරන්න බැරි ඇයි. ඉන්දියාවේදී ඔවුන්ට ඒ ගැන කතාකරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉන්දියානු රාජ්‍ය ශක්තිමත්. රාජ්‍යයක් යනු ශක්තිමත් විය යුත්තක් මිස දුර්වල විය යුත්තක් නොවෙයි. රාජ්‍ය දුර්වල කරලා ඒ හරහා පළාත් ආණ්ඩු ශක්තිමත් කිරීමෙන් බෙදුම්වාදය කරා රට යොමු වෙනවා. ඒ නිසා රටට ආදරේ නම් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉඩක් නොදිය යුතු යැයි පැවසූහ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට හෝ ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙන්නේ ඇයි?. අපි කවුරුවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලූවේ නැහැ. ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 2015 වසරේදී ජිනීවා මානව හිමිකමි මණ්ඩලයේ දී සම්මතවූ යෝජනා නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිදුව තිබෙනවා. දේශපාලන විසඳුමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව එම යෝජනාවලියේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.

අපේ හමුදා යුධ අපරාධ කළ බවට චෝදනාවක් තිබෙනවා. නමුත් විද්‍යා නැමැති පාසල් දැරිය දුෂණය කර ඝාතනය කළේ යාපනයේ දෙමළ තරුණයන්. එම දුෂණය වීඩියෝ කර යුරෝපයේ සිටින දෙමළ ජනතාව අතර බෙදාහැරීමට ඔවුන් කටයුතු කර තිබුණා. එමෙන්ම ඒ ඝාතනයත් හමුදාව මත පැටවීමට උත්සාහ ගත්තා. එම සිද්ධිය ආරක්‍ෂක අංශ සම්බන්ධ නැති බව පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම ඝාතනය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් එම සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් මේ ආණ්ඩුව නියෝජනය කරන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. මේ වගේ අශීලාචාර වැඩ නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපෙන් අදහස් විමසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකීය රටක තිබෙන්නේ එකම නීතියයි. නීතිය පළාත් වශයෙන් වෙනස් වෙන්න බැහැ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුකමිටු හයක් පත් කළා. ඉන් එක් අනුකමිටුවක් වන මධ්‍ය පර්යන්ත අනුකමිටුවේ සභාපතිවරයා ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙක් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් පත්කළා. ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කර සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු බවට ඔහු නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ විධායක බලය පළාත තුළ ක‍්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයායි.

ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කිරීමෙන් පළාත් සභා තුළ  ඕනෑම ආකාරයට කටයුතු කිරීමට මහ ඇමතිවරුන්ට හැකියාව ලැබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකර සමගාමී ලැයිස්තුවත් අහෝසි කළොත් රටේ ඒකීය බව නැතිවෙනවා. මේ ඇත්ත යට ගසමින් ජයම්පති වික‍්‍රමරත්න පට්ටපල් බොරු කියනවා. මේවා ගැන ඔහුගෙන් විමසන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.           

ප‍්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ පැවසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක් බවට පත් කරන බව මොවුන් ප‍්‍රකාශ කළා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පටන් මේ රටේ සිටි සියලූම විධායක ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට වග කිව්වා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ 42 වැනි වගන්තිය කිසිදු වෙනසක් නොකර 33 ඒ වගන්තිය වශයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ව්‍යවස්ථාමය හා නීතිමය වශයෙන් තක්කඩිකම් මේ අය කළා. එසේ තක්කඩිකම් කරලා විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කළේ අපියි කියලා දැන් ප‍්‍රචාරයක් ගෙනියනවා.

2015 මාර්තු 17 වැනිදා වන විට මැතිවරණ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට හා අපේ‍්‍රල් මස 20 වැනිදා වන විට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවටත් මොවුන් බලයට පත්වීමේදී ලිඛිත පොරොන්දුවක් දුන්නා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතාවක් එදා තිබුණේ නැහැ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා අතුරුකමිටු වාර්තාවේ 27 වැනි පිටුවේ යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පළාතේ පාලන බලය සම්පූර්ණයෙන්ම ගැනීමට හැකිවන පරිදි ප‍්‍රතිපාදන සකස් කර තිබෙන බව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලික කාර්යභාරයක් කරන ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. එවැනි තත්ත්වයකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වෙන්වී තිබෙනවා. ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයාගේ යෝජනාවලට වඩා ඒ යෝජනාවන් ඉතාම හොඳ බව පැවසීය.



අදහස් (0)

ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site