IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇප දුන්නත් චන්දෙ අතරමං

මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේ විවාදයට ගත්හැටි

‘‘එදා ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුව පැත්ත බලන්නේවත් නැති කාලයේ ජනපති පාර්ලිමේන්තුවට එන්නේ නෑ කියා අඬපු විපක්ෂයේ අය අද ජනපති රනිල් පාර්ලිමේන්තුවට එද්දී විධායකයෙන් පාර්ලිමේන්තුව යටපත් කරන්න හදනවා කියා බෙරිහන් දෙනවා.’’ මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර වූ සංවාදයකි.
ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන විපක්ෂය චෝදනා කරද්දී පාර්ලිමේන්තු ලොබියේ වූ මේ කතා බහ ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න, ජනපතිගේ කනේ තැබුවේය.


‘‘හැමෝම ඉල්ලුවේ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක්. මම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ උත්තර දුන්නාම ඒකත් වැරදි කියනවා නම් මම ඒකට මොනවා කරන්න ද’’ ජනපති රනිල් කීවේ සිනහ සෙමිනි.


ජනපති ඉකුත් අඟහරුවාදා සහ බදාදා යන දෙදිනම පාර්ලිමේන්තු පැමිණියේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වෙනුවෙනි. ඔහු ජනපති වූ දා සිටම පාර්ලිමේන්තු පැමිණීම මඟ හැරියේ නැත. ඔහු ජනපති වූ ජුලි 20දා සිට ඉකුත් 18දා දක්වා කාලය තුළ දින 29 ක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.
‘‘සර් ජනාධිපති වුණ දවසේ ඉඳලා අද වෙනකම් දවස් 29ක් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා. මේක වාර්තාවක් වෙන්න ඕනෑ’’ මන්ත්‍රී සහන් ප්‍රදීප් කියද්දී සැවොම හිස සැලූහ.
ජනපති පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී ලොබියේ දී මුණ ගැසුණු විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප පොළක් විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැතිද යන්න ගැනය.


‘‘මම ඉතින් ඡන්දයට මැදිහත් වෙන්නේ නෑ. ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවානේ’’ ජනපති කීවේ සැහැල්ලුවෙනි.
‘‘නෑ සර් විපක්ෂය ඡන්දයක් ඉල්ලුවාට අපිත් කැමති නෑ ඡන්දයකට යන්න’’ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස කියද්දී ජනපති සිනාසී හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.
මෙහිදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විමසා සිටියේ මුජිබර් මන්ත්‍රීතුමා කොළඹට එන්න මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන්නේ කවදා ද යන්නයි. ‘‘තාම හරියට දිනයක් කියන්න දන්නේ නෑ’’ යැයි ඔවුන් කියද්දී වජිර මතු කළේ කවුරුත් නොසිතූ කාරණයකි.


‘‘එතුමා දැන් ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ. ඉල්ලා අස්වුණාට පස්සේ ඡන්දය නිකමට හරි කල් ගියොත් එතුමාගේ දේශපාලන දිවියට ප්‍රශ්නයක්. හැබැයි ඉල්ලා අස් නොවුණොත් බයේ අස්වුණේ නෑ කියලා මතයක් හැදෙනවා’’ වජිර කියද්දී ඔවුහු තුෂ්නිම්භූත වූහ.


ජනපති රනිල් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය. ඔහු එදින පාර්ලිමේන්තුවෙන් නික්ම ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙද්දී දැනගත හැකිවූවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ගැන විවාදය මාසයකින් කල් ගොස් ඇති බවය. එය 18 දින විවාදයට ගැනීමට තිබුණ ද අධිකරණ අමාත්‍යාංශ උපදේශක කරක සභාවේදී එය මසකින් කල් ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.
ජනපති වහාම අගමැතිට හා අධිකරණ ඇමැතිට කතා කොට මේ ගැන විමසීය. සිවිල් සමාජයේ ඉල්ලීමක් වූ මේ පනත කල් දාන්න දෙන්න බෑ. මේ ගැන තීන්දුවක් ගන්න, පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න ජනපති අගමැතිට උපදෙස් දුන්නේය.
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් හැර සෙසු පක්ෂ පැමිණ සිටි බැවින් පනත 19 දා විවාදයට ගෙන සම්මත කිරීමට තීන්දු කෙරිණි. එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මතු කළ තර්කය වූවේ මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ලැබුණු ආකාරය හෙළිවන මෙම පනතට විපක්ෂය විරුද්ධ වන්නේ මන්ද යනුවෙනි.


බදාදා පාර්ලිමේන්තුවේදී ජනපති රනිල් හමුවූ මැති ඇමැතිවරු රටේ ආර්ථිකය ගැන කතා බහ කරන්නට වූහ.
‘‘පො​හොර දුන්නා වගේම වී කිලෝවකට රුපියල් 100ක සහතික මිලක් අපි දෙනවා. ඒ වගේම සහල් අතිරික්තයක් ඇති වෙන නිසා අපි දිළිඳු පවුල් ලක්ෂ 20ට මසකට කිලෝ 10 බැගින් කිලෝ 20ක් දෙනවා. ඒ වගේම ඉන්දියාව, චීනය, ජපානය අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහාය දෙන්න එකඟ වෙලා ඉන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ අයි.එම්.එෆ්. එකඟතාවයන්ට අනුවයි.’’ ජනපති කරුණු පැහැදිලි කළේය.


‘‘අපි වී ගන්න බිලියන 10ක් වෙන් කරනවා. ඒක ඡන්දෙට දීලා වී මිල අඩු කර ගන්නවාද කියලා ගොවියෝ තීරණය කරන්න වෙයි’’ ඇමැති සියඹලාපිටිය ද ජනපති කතාවට ඌණපූරණයක් එක් කළේ එලෙසිනි.
‘‘ඔන්න දැන් ඔයාලටත් ගමට ගිහින් ජනපතිතුමා ජනතාව වෙනුවෙන් දෙන සහන ගැන මැතිවරණ වේදිකාවේ දී කියන්න පුළුවන්’’ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේ මන්ත්‍රීවරුන් දෙස එක එල්ලේ බලමිනි.


‘‘ආණ්ඩුව බිංදුවේ ඉඳලා දැන් ඉහළට එමින් තියෙනවා. ඒ නිසා අපේ ඡන්ද ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි විපක්ෂයේ පක්ෂවලින් 50% ගන්න බැරි වුණොත් එය තමයි ප්‍රශ්නය’’ ඇමැති සුසිල් ද කතාවට එක් වූවේය.


‘‘මැතිවරණ කොමිසම ඡන්දය තියන්න සල්ලි තියෙනවා කියලා උසාවියට කියලා තියෙනවා. දෙන්න සල්ලි තියෙනවාද? සර්’’ ඇමැති චාමර සම්පත් පැනයක් මතු කළේය.
‘‘මුදල් අමාත්‍යාංශයේ ලේකම් දිවුරුම් ප්‍රකාශයක් උසාවියට දීලා තියෙනවා මුදල් නෑ කියලා. තෙල් සංස්ථාවත් මැතිවරණ කොමිසමට කියලා තියෙනවා ඉන්ධන දෙන්න මුදල් නෑ කියලා. පොලිස්පති නිලධාරී හිඟය ගැන කියලා තියෙනවා. දැන් මැතිවරණ කොමිසමට තියෙන්නේ ගොඩනැගිල්ලයි. පුටු, මේස ටිකයි විකුණලා ඡන්දයට මුදල් වියදම් කරන්න තමයි’’ ඇමැති බන්දුල ගුණවර්ධන කියද්දී සැමට සිනහව නවතාගත නොහැකි විය.


පොදුජන පෙරමුණේ ප්‍රධානීන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධානී බදාදා සවස මුණ ගැසුණු ජනපති ඇමැතිධුර දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පවිත්‍රාදේවි වන්නිආරච්චි හා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන් කැබිනට් ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්හ.
දිවුරුම් අවසානයේ ජීවන් තොණ්ඩමන් ජනපති අසලට ගොස් ස්තූතිය පුද කරද්දී ජනපති අපූරු ඉතිහාස කතාවක් සිහිපත් කළේය. ‘‘ඔයාගේ සීයා සෞම්‍යමූර්ති ඇමැතිතුමා මම අගමැති වෙද්දී මගේ කැබිනට් එකේ හිටියා. ඔයාගේ තාත්තා ආරුමුගම් මම අගමැති වූ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. දැන් පුතා මම ජනාධිපති හැටියට මගේ ඇමැති මණ්ඩලයේ ඉන්නවා’’ ජනපති කියද්දී ඇමැති ජීවන් තොණ්ඩමන් හිසනවා ජනපතිට ගෞරවය පුද කළේය.


අැමැති දිවුරුම අවසන් වී පිටතට පැමිණෙද්දී ජනපතිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක හා මාධ්‍ය අධ්‍යක්ෂ භානුක කරුණාරත්න මුණ ගැසුණේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් විමසා සිටියේ ඇමැතිවරුන් දෙදෙනා ගේ දිවුරුම ගැනය.
‘‘ඔයාලා කිව්වානේ ඇමැති මණ්ඩලයේ කාන්තාවෝ නෑ කියලා. ඕන්න 75 වෙනි නිදහසට කලින් ඇමැතිතුමියක් ඉන්නවා. ඒ වගේම ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙකුත් ඇමැති මණ්ඩලයේ ඉන්නවා’’ යැයි කියමින් ජනපති පිටව ගියේය.

මන්ත්‍රීවරුන්ගේ දුක ජනපතිට

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සඳුදා හැන්දෑවේ රැස් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි . මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ගණනාවක්ම කතා කළේ නොසතුටිනි. ඔවුන් කීවේ නිවාසවලට වන්දි ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වී ඇති බවය. ඊට උත්තර දෙන්නට ජනාධිපති නීති අංශයේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ ද කැඳවනු ලැබ සිටියේය. ඔහු දිගින් දිගටම කියා සිටියේ වන්දි ගෙවීමේ කටයුතු ප්‍රමාද වූයේ තක්සේරු වාර්තා වල තිබෙන ගැටලු හේතුවෙන් බව ය. වර්තමාන මිල ගණන් අනුව තක්සේරු දෙපාර්තමේන්තුව ඒවා ඇස්තමේන්තු කරමින් තිබෙන බව ඔහු කීවේය.


අම්පාරේ ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා නැගී සිටියේය. ඔහු මේ ගැන කතා කළේ ආණ්ඩුවට චෝදනා එල්ල කරමිනි.”‍ අපේ ගෙවල් ගිනි තියලා දැන් මාස හත අටක් ගියා. අපට ඉන්න තැනක් නෑ. අපි අනුන්ගේ ගෙවල්වල ඉන්නේ එහෙම තියෙද්දී අපි ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යන්නේ කොහොමද? මන්ත්‍රීතුමා ඔබතුමාගේ ගේවත් හදාගන්න බැරි ඔබතුමා අපට උදව් කරන්නෙ කොහොමද කියලා මිනිස්සු අපෙන් අහනවා. ආයෙ දේශපාලනය කරන්නෙත් නෑ. එපා වෙලා තියෙන්නෙ. ගෙවල් ගිනි තියද්දී පොලිසිය බලාහිටියා. තාම මොකුත් වෙලා නෑ, යයි මන්ත්‍රීවරයා කීවේය. ඔහු කීවේ තමා බරපතළ ලෙස කලකිරීමට පත්ව සිටින බවය


නීතිමය තත්ත්වය ගැන ටිරාන් අලස් ඇමතිවරයා කතා කළේය. අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු කීවේය. වීරසිංහ මන්ත්‍රීවරයා යළිත් කතා කරමින් කීවේ ආණ්ඩුව දීපු ගෙවල් වලිනුත් ලබන ජූලි මාසෙදී ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව ය. ඔහු කීවේ මේ සම්බන්ධයෙන් සෙවීමට පත් කර ඇති කමිටු වාර්තා පවා මන්ත්‍රීවරුන්ට ලැබී නැති බව ය.
විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා ද මේ ගැන කතා කළේ ය. අපට වෙච්ච අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නෑ .අපට ඉන්න තැනක් නෑ. අපේ ගෙවල් ගිනි තිබ්බා. එහෙම කරපු අය අත්අඩංගුවට ගත්තෙත් නෑ. මේක අපේ ආණ්ඩුවකුත් නෙමෙයි කියලා අපිට පේනවා’’ යැයි කියමින් ඔහු කතා කරන ගමන්ම පිටව ගියේය.
නිවාස ප්‍රශ්නයෙන් අනතුරුව කතාබහට ලක් වූයේ විදුලි බලය සම්බන්ධයෙනි. ජගත් කුමාර මන්ත්‍රීවරයා තමන්ට මුහුණ දෙන්නට සිදු වූ අකරතැබ්බයක් ගැන කීවේය. ඔහු කිව්වේ පොහෝ දින දොම්පෙ ප්‍රදේශයේ මළ ගෙදරකට ගිය විට, අවමඟු‍ල් උත්සවයේ අනුශාසනාවක් කළ කෑරගල පත්මාවතී පිරිවෙනේ නායක හාමුදුරුවෝ කිව්වා පෝය දවසෙත් ලයිට් කපලා කියලා. මොළයක් නැති මිනිස්සු මේ කරන්නේ.මේ විදියට ගියොත් විලකවත් පොහොට්ටුවක් පිපෙන එකක් නැති වෙයි කියලා උන්වහන්සේ කිව්වා. ඒකෙන් පේන්නේ අපට ගම් වලට යන්න බෑ. ලයිට් බිල වැඩිකළොත් ලොකු අවුලක් ඇති වෙනවා. පන්සල්වල හාමුදුරුවෝ කියන දේ මිනිස්සු අහනවා. ඒ නිසා විදුලි බිල වැඩි කරන්නෙ නැතුව ඉන්න යැයි ජගත් කුමාර මන්ත්‍රීවරයා කීවේය. කංචන විජේසේකර ඇමැතිවරයා විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇති කාරණා ගැන ඔහු එකින් එක පැහැදිලි කළේය. ගියපාර විදුලි බිල වැඩි කරන්න කිව්වේ 200% කින්.ඒ වෙලාවේ වැඩිකළේ සියයට 71කින් විතරයි.දැන් ඩොලර් ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ රුපියල් ප්‍රශ්නයක්. බිල වැඩි නොකළොත් අපිට දවසකට පැය හතරක් පහක් කළුවරේ ඉන්න වේවි ‘කන්චන විජේසේකර කීවේය .ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ ගැන අදහස් දැක්වීය”‍ අපි අමාරු ගමනක් යන්නේ. දැන් කියන්නෙත් අපට අමාරුයි කියලයි. අපිට විදුලි බිල වැඩි කරන්න වෙනවා. මේ වෙලාවේ එක එක්කෙනා ඡන්ද ඉල්ලනවා. ඡන්ද තියනවට මම විරුද්ධ නෑ. අනිත් දේවල් නතර කරල තමයි ඡන්දෙ කරන්න වෙන්නේ යැයි ජනාධිපතිවරයා කීවේය.

ශ්‍රීලනිපය හෙලිකොප්ටරෙන් බහී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගයත් එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවා ගනු ලැබුවේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව ජනතාව එක කඳවුරක ට පෙළගැස්වීම අරමුණෙනි. එහෙත් සන්ධානය තුළ ඉකුත් සතිය වන විට ප්‍රශ්න ගැටලු‍ ගණනාවක් මතු වී තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ල වූයේ සන්ධානය නොව අත ලකුණින් තරග කරන්න කියාය. සති අන්තයේ මෙම බලපෑම වැඩි විය.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සඳුදා රැස්වී තීරණයක් ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවෙසේ පැවැති එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර ශාන් විජයලාල් ද සිල්වා, අන්ගජන් රාමනාදන්, දුෂ්මන්ත මිත්‍රපාල මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, ආචාර්ය ධම්ම දිසානායක සහභාගි වූහ. ඔවුන් කියා සිටියේ ශ්‍රීලනිපය අත ලකුණෙන් මැතිවරණයට තරග කිරීමට සූදානම් බවය. කුරුණෑගල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක හැර අනිකුත් දිස්ත්‍රික්කවලට අත ලකුණින් තරග කරන්නට පක්ෂය තීරණය කළේය.


සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද ශ්‍රීලනිපය ඔවුන් ගෙන ඇති තීරණය ගැන පැහැදිලි කළේය ඔවුන් කිව්වේ නාම යෝජනා සකස් කිරීමේ දී දිස්ත්‍රික්කවල ගැටුම් ඇති වී තිබෙන බවය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක බහුතරයක් පළාත් පාලන ආයතනවලට අත ලකුණ යටතේ තරග කරන්න තීරණය කර ඇති බව කීවේය.

කොළඹ නගර සභාවට සජබෙ  ලොකුම තුරුම්පුව දමයි

විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ හොරව්පොතාන ආසනයේ රැස්වීම්වලට සහභාගි විය. බලාපොරොත්තු වූවාට වඩා අතිවිශාල පිරිසක් ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. බල මණ්ඩලය සංවිධානය කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ය.


අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් සජිත් එහිදී පැවසීය.


මේ අතර ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට යොදන උප්පරවැට්ටි පිළිබඳව සමගි ජනබලවේගය දැඩි විමසිල්ලෙන් සිටියේ බොහෝ කලක සිටය.
වත්මන් ජනාධිපතිවරයාගේ සිහිනයක් වූ ජනාධිපති පුටුවේ වාඩිවීම සඵල වූ පසු ප්‍රජාතන්ත්‍රවාදයේ පියා යනුවෙන් හැඳින් වූ ඔහු විසින්ම මැතිවරණය වැළැක්වීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් මෙය ජනතාවගේ මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන්ට ඇති අඩු ජනතා ප්‍රසාදය වළක්වා ගැනීමට විවිධ උප්පරවැට්ටි සිදු කරන බවත් මේ අවස්ථාවේ විරෝධය පළ නොකළහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවා වැළැක්විය හැකි බවත් සජිත් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට පළාත් පාලන ආයතන අතර කොළඹ නගර සභාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කොළඹ පුරපති ධූරය හෙවත් කොළඹ නගරාධිපතිකම විශේෂයෙන්ම තීරණාත්මක තනතුරක් වනවා මෙන්ම, ඒ හරහා මෙරට දේශපාලනය තුළ ඉහළ කිරුළට ගිය චරිත ද බොහෝය.


පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුළ කොළඹ නගර සභාවේ භූමිකාව තීරණාත්මක වන්නේ මෙරට පාලන තන්ත්‍රය තුළ එහි පුරපතිවරයාට හිමිවෙන ප්‍රමුඛතම සුවිශේෂත්වය නිසාය.
එය මෙවර වඩාත් කතා බහට ලක්ව ඇත්තේ කොළඹ නගර සභාවට තරග වදින පුරපති අපේක්ෂකයා කවුද යන කාරණාව මතය.
සාමාන්‍යයෙන් එදා මෙදා තුර කොළඹ නගර සභාවේ පුරපති ධූරය වැඩිම වාර ගණනකට හිමිකම් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය. කොටින්ම කිවහොත් කොළඹ නගර සභාව යනු එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වූ අවස්ථාවක දී පවා එයින් ගිලිහී නොගිය බලකොටුවක් යන්නය.
එහෙත් මෙවර තත්ත්වය සහමුලින්ම වෙනස්‍් ය. සමගි ජනබලවේගය කොළඹ නගර සභාවේ බලය තහවුරු කරගැනීම සඳහා පාවිච්චි කළේ ඔවුන් සතුව සිටින ප්‍රබලතම තුරුම්පුවකි. ඒ මුජිබර් රහුමාන් ය.


අනිවාර්යයෙන්ම අපි රටම දිනනවා. කොළඹ ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය ගන්නවා”‍


මහලේකම් රංජිත් කීවේය. මේ අතර කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග වැදීම පිණිස මුජිබර් රහුමාන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
තමන් වෙත අසූ හාර දහසකට වැඩි මනාප ඡන්ද ප්‍රකාශ කරමින් තමන් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට එවූ ජනතාවට සිය කෘතවේදීත්වය පළකරන බව පැවසූ ඒ මහතා මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි බව ද සිහිපත් කළේය.


ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුජිබර් රහුමාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේය.
මුජිබර් රහුමාන් මහතාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් තමාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන බව එහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

නාමයෝජනා සහ  සජබ කාර්යාලය !

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය සති කිහිපයක් තිස්සේ අතිශයින්ම කාර්ය බහුලය. නාම යෝජනා කටයුතු අවසන් වෙමින් පැවති පසුගිය දින හතර මුළුල්ලේම කාර්යාලය පුරා එළිවෙනතුරු දෙතුන් සියයක් රැඳී සිටිනු දැකිය හැකි විය.


සමගි ජනබලවේගයෙන් තරග කිරීමට අපේක්ෂකයන් තුළ තිබූ අප්‍රමාණ උනන්දුව හේතුකොටගෙන නාම යෝජනා සැකසීමේ කටයුතු අතිශයින්ම කාර්ය බහුල විය. පසුගිය සති දෙක තුළ 15000 කට වැඩි පිරිසක් නාම යෝජනා අපේක්ෂාවෙන් සමගි ජනබලවේග කාර්යාලයට පැමිණෙනු දැකිය හැකි විය.
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්‍තනායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දින තුනක් පමණ අඛණ්ඩව නිදි වරා මේ කටයුතුවලට වෙහෙස මහන්සි වූහ.

ජවිපෙ පුංචි ඡන්දයට ජාතික මැතිවරණයක් ලෙස  මුහුණ දෙයි

ජාතික මැතිවණයක් ලෙස සලකා මෙවර පළාත් පාලන මැතිවණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
එම පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක්ම මෙවර මෙම මැතිවරණයට ඉදිරිපත් කිරීමට යයි. බදුල්ල නගර සභාවට සමන්ත විද්‍යාරත්න, අනුරාධපුර නගර සභාවට වසන්ත සමරසිංහ, පානදුර නගර සභාවට වෛද්‍ය නලින්ද ජයතිස්ස යනාදී වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික කමිටුව නියෝජනය කරනු ලබන හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙති.


මේ සති අන්තයේ ගම්පහ, කළුතර හා මහනුවර දිස්ත්‍රික්කවල ආසන සමුළු 6ක් පැවැත්වීමටද පක්ෂය ගිය සතියේ දී තීරණය කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12න් ආයතන 9ක් ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරනු ලබන බවට ඉදිරිපත් වී ඇති සමීක්ෂණ වාර්තාවක් ගැන ද ජාතික ජන බලවේගයේ විධායක සභාවේදී අවධානය දක්වා ඇත.


මේ අතර ​ඕමානයේ සංචාරයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාත් ජපානයේ සංචාරයක නිරත වූ සුනිල් හඳුන්නෙත්ති මහතාත් තම සංචාරවල ප්‍රගතිය විධායක සභාව හමුවේ ඉදිරිපත් කළහ. ඕමානයේ රැකවරණ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 100ක පිරිසක් ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළ විජිත හේරත් මෙම ගැටලු පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන බව ප්‍රකාශ කර ඇත.


ජපානයේ සංචාරය කළ සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් හමුවූ ව්‍යාපාරික පිරිසක් ජනතා විමුක්ති පෙරමුණු රජයක් සඳහා සියලු සහාය ලබාදීමට එකඟ වූ බව ප්‍රකාශ කර සිටියේය.

දූෂණ විරෝධී පනත  ඉක්මන් කරන ලෙස  කරු ඉල්ලයි

අල්ලස් හා දූෂණ පිටුදැකීම සඳහා නව පනතක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව තමන්ට දැනගන්නට ඇතැයි කරු ජයසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ රටේ ප්‍රමුඛතම සිවිල් සමාජ සංවිධාන නායකයන් රැසක් හමුවූ අවස්ථාවකදීය. පසුගිය අඟහරුවාදා එම හමුව සිදුවූයේ අමරසේකර මාවතේ පිහිටි කරුගේ නිවසේදීය. එයට හතළිහකට අධික සිවිල් සමාජ නායකයෝ පිරිසක් සහභාගී වී සිටියහ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ දූෂණ විරෝධී අනුකමිටුවේ ඉදිරි සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීම එකී හමුවට හේතු විය.


එහිදී කරු කීවේ දූෂණ විරෝධී නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තම සංවිධානය වෙත දැනුම් දී ඇති බවය. අද රට මේ තරම් පසුපසට ඇද වැටීමට මුල් වූ ප්‍රධානම හේතුව අල්ලස හා දූෂණය බව එහිදී අවධාරණය කළ කරු, ඊළඟ පරපුරට හෝ වඩා යහපත් රටක් උරුම කර දීමට නම් දූෂණයට එරෙහිව මුළු රටම එකට එක්ව බලවත් ලෙස නොපමාවම පියවර ගත යුතුව ඇතැයි එහිදී කීවේය.

 

ගජබා

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඇප දුන්නත් චන්දෙ අතරමං

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1189 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 978 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2167 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site