IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


Aids තාමත් බයද ?

වැඩිපුර තියෙන්නේ මේ නගරයේ කියා සමීක්ෂණයක් කර නෑ

යෞවන පරපුර සීරුවෙන් තැබිය යුතුයි

අවදානම් ලිංගික එක්වීමකින් පැය 72ක් ඇතුළත ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී නිසි ප්‍රතිකාර ගැනීමෙන් වෛරසය ශරීරගතවීම වළක්වාගත හැකියි

අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාවෙනි.
ලෝක එ්ඩ්ස් දිනයක් පිළිබඳව මුලින්ම අදහසක් මතුවන්නේ 1987 වසරේ අගෝස්තු මාසයේ දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනේ මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනකු වූ ජේම්ස් බන් හා තෝමස් නෙට්ටර්ට ය. ඒ අනුව 1988 දෙසැම්බර් පළමු දා පළමු ලෝක එ්ඩ්ස් දිනය සැමරිණි. මේ වසරේ සමරන්නේ 36වන එ්ඩ්ස් දිනයයි. මෙවර එ්ඩ්ස් දිනය අලළා තේමාව වී ඇත්තේ ‘අයිතීන් සුරකිමු- එ්ඩ්ස් නවතමු’ යන්නයි.


මෙරට පළමු රෝගියාගේ සිට 


ලංකාවේ පළමු එ්ඩ්ස් රෝගියා වාර්තාවන්නේ ද 1988 වසරේදී ය. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙනි. එනම් මීට වසර 36කට පෙරය. ඒ වසර තිස් හය ඇතුළත එ්ඩ්ස් දිනය සමරා විවිධාකාරයේ දැනුම්වත් කිරීම් සිදුකළද අද වනවිට අපේ රට පුරා එ්ඩ්ස් රෝගය පිළිබඳවද එය වළක්වාගැනීම පිණිස අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද ඇත්තේ ඉතා අල්ප දැනුමකි. විශේෂයෙන් ඒ පිළිබඳව කතිකාවක් ඇතිවීම එක් දිනකට පමණක් සීමා වී ඇති බවක් දක්නට ලැබේ.
අපේ රට තුළ වර්තමානය වෙද්දී එච්. අයි. වී. ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබේ. ඒ අනුව 2023 වසරේදී පමණක් නව අසාදිතයෝ 694ක් හඳුනාගෙන සිටිති. එය සැබැවින්ම ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙම තත්ත්වයේ වඩාත්ම බරපතළම කරණාව වන්නේ එයින් 613ක්ම පිරිමි පුද්ගලයන් වීමයි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට88ක ප්‍රමාණයකි.


රෝගය වැඩිම දිස්ත්‍රික්කය 


නව ආසාදිතයන් හඳුනාගැනීම අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තාවන අතර එම එච්.අයි.වී. ආසාදිතයක් වැඩි ප්‍රමාණයක් අසවල් නගරය අශ්‍රිතව දක්නට ලැබෙතැයි නිසි නිගමනයකට එළඹ නැති වග පවසන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එ්ඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහයි. ඇය පවසන පරිදි මෙම වෛරසය වැඩිවශයෙන් ව්‍යාප්ත වන්නේ කුමන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද යන්න සමීක්ෂණයක් සිදුකර නොමැත.
අනුරාධපුරය, කුරුණෑගල වැනි නගර ආශ්‍රිතව එච්. අයි. වී. ආසාදිතයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන බැව් පසුගියදා ලැව්ගින්නක් සේ පැතිරුණු පුවතකි. ඇතැමුන් එම නගර ආශ්‍රිතව මෙම රෝගය බහුල වශයෙන් දක්නට ඇතැයි අනුමාන කර තිබුණේ දිනපතා වැඩි වශයෙන් එම නගරවලට උපකාරක පන්ති සඳහා දරුවන් පැමිණෙන නිසාවෙනි. නමුත් නිසි සංගණනයක් නොමැතිව යම් අනුමාන කිරීම් මත එවැනි මත පළ කිරීම තුළින් රෝගය පාලනයට නොව ව්‍යාප්තවීමට අතවැනීමකි.


යෞවනය ගොදුරුවීම


කෙසේ වෙතත් 2018 වර්ෂයේ සිට වයස අවුරුදු 15 සිට 24 දක්වා යෞවනයන් අතර එච්.අයි.වී. ආසාදනය කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ඇත. ඒ අනුව 2023 වසරේ පමණක් නව ආසාදිතයන්ගෙන් 105ක් ම මෙම වයස් කාණ්ඩවලට අයත්වීම මෙහි ඇති බරපතළම කාරණාවයි. එය එම වසරේ වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් සියයට 15ක ප්‍රතිශතයක් ගනී. එතැන ද සියයට 87 ක්ම යෞවනයෝ වෙති.
රටක අනාගතය බාරගන්නට සිටින තරුණ පරපුර තම ජීවිතය අරඹද්දීම මෙවැනි රෝගයකට ගොදුරු වූයේ ඇයිදැයි ඉතා ඉක්මනින් පිළිතුරු සෙවිය යුතු කාරණාවකි. විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසන පරිදි මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ වර්තමාන තරුණ පරපුර තාක්ෂණික මෙවලම් සමග ඕනෑවටත් වඩා ඇබ්බැහිවීමේ කාරණාවයි.
අද වනවිට ජංගම දුරකතනය මගින් ඕනෑම අවස්ථාවක ඕනැම තැනකට ලිංගික කාර්යයන් සඳහා ගැහැනියක හෝ පිරිමියකු ගෙන්වා ගැනීමට තරම් වූ නව තාක්ෂණික ක්‍රමවේද සැකසී ඇත. අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ගෙවා මේ ආකාරයට තම අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට ලිංගික ක්‍රියාවන්ට කෙනකු ලබාගැනීමට හැකිවීම තුළින් ඉන් වඩාත් ප්‍රයෝජන ගත්තේ තරුණ පරපුරයි. මේ සඳහා නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අන්තර්ජාලය හරහා විවිධ පරිගණක යෙදවුම් ඔස්සේ කණ්ඩායම් නිර්මාණය කර ඒ හරහා තම ලිංගිත අවශ්‍යතා හුවමාරු කරගැනීම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.
විශේෂයෙන් මෙම තරුණ පරපුර අතර සමලිංගික සේවනයට යොමු වූ පිරිස් ද වැඩි වශයෙන් දක්නට ඇති අතර ඒ සඳහා වඩාත් උඩගෙඩි දෙන්නේ අන්තර්ජාලයයි.


ලිංගික අධ්‍යාපනය 


ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදය තවමත් ඇත්තේ ප්‍රාථමික අවදියේය. මීට වසර කිහිපයකට පෙර පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර විවිධ පාර්ශ්වයන්ගේ කඹ ඇදීම් හේතුකොටගෙන එම වැඩපිළිවෙළ ආරම්භයේදීම හමස් පෙට්ටියට වැටුණි. එය ක්‍රියාත්මක කර මෙම රෝගය මෙන්ම සෙසු සමාජ රෝග පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබාදුන්නේනම් පසුගිය වසරේදී තරුණ පරපුර අතර එච්. අයි. වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව බාගයකට වඩා අඩු කර ගැනීමට හැකියාව තිබුණි. මන්ද මෙම රෝගය ව්‍යාප්තවීමට ප්‍රබලම හේතුව වන්නේ නොදැනුවත්කම නිසා බැවිනි.
ෆාමසියකින් කොණ්ඩමයක් මිලදී ගැනීමට දෙසැරයකට වඩා සිතන වැඩිහිටි පරම්පරාවක් සිටින අපේ රට තුළ ඔවුන්ගෙන් තම දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාගැනීම තව කල්පයක් ගතවූවත් සිදුනොවන කාරණාවකි. ඒ නිසා යෞවන වයසේ පසුවන්නන්ට මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීම සඳහා නව ක්‍රමවේද තාක්ෂණය හරහාම ක්‍රියාත්මක කළ යුතු කාලය එළැඹ ඇත.
මේ වනවිට එච්. අයි. වී. වෛරසය පැතිරෙන ප්‍රබලම කාරණාව ලෙස සැලකෙන්නේ සමලිංගික සේවනයයි. ලංකාව වැනි සංස්කෘතිමය අගයකින් පෙරමුණ ගන්නා රටක එම කාරණාව බරපතළ වී ඇත්තේ එය තවමත්‍ අපේ නීති පද්ධතියට අනුව වරදක් බැවිනි. නමුත් මේ වනවිට සමලිංගික ප්‍රජාව එච්. අයි. වී. වෛරසය සමාජගතකරන ප්‍රබලම පිරිස වී ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතා තවම සිදුවන්නේ සමාජ විරෝධී ආකාරයෙන් බැවිනි. 
නගරාශ්‍රිත වැසිකිළි, පාළු උද්‍යාන, මං මාවත් ඔස්සේ හොර රහසේ සිදුවන මෙම අනාරක්ෂික ක්‍රියාකාරකම් හේතුවෙන් සමාජය පුරා පිළිලයක් වී ඇත්තේ විවිධ සමාජ රෝගයි. පසුගිය කාලයේ නගරබද වැසිකිළි පද්ධති අවට මෙන්ම තෝරාගත් ස්ථානවල කොන්ඩම් රැඳවුම් තැබීමට යෝජනාවක් ක්‍රියාත්මක වූ අතර එයද නිසි පරිදි ක්‍රියාත්මක වූවාදැයි ප්‍රශ්නයකි.


පැතිරීම අඩුවීම සතුටට කරුණක් නොවේ


මේ වනවිට අපේ රටේ එච්. අයි .වී. ආසාදනය සමඟ පුද්ගලයන් 4700ක් පමණ ජීවත්වන අතර මෙම වෛරසය පැතිරීම සම්බන්ධයෙන් 0.1 ට වඩා අඩු අගයක් පවතින රටකි. එය එසේ වුවද පැත්තකට දමා සිටිය යුතු කාරණාවක් නොවේ.
“එච්. අයි. වී. ආසාදනය පාලනයට අපේ රටෙත් මේ වනවිට දියුණු ප්‍රතිකාර ක්‍රමවේද ක්‍රියාත්මකයි. ඇත්තටම මේක පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්. ඒවගේම තමයි මෙයට නිසි ප්‍රතිකාර ගන්නවා නම් එම පුද්ගලයාගේ රුධිරයේ වෛරස ප්‍රමාණය නොතිබිය හැකි තරම් කුඩා අගයක පවතී. ඒ අනුව එවැනි පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වෛරසය සම්ප්‍රේෂණය නොවන බවට සායනික පරීක්ෂණවලින් තහවුරු කර තිබෙනවා. අද වනවිට එ්ඩ්ස් කියන්නේ අනිසි බියකින් තොරව නිසි ප්‍රතිකාරවලින් පාලනය කරන්න පුළුවන් රෝගයක්‍.”
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසන්නේ එවැනි රෝගියකු කොන් කර තැබීම තුළින් සිය දිවි හානි කරගැනීමේ තත්ත්වයකට පවා පෙලඹිය හැකි අතර අවදානම් ලිංගික එක්වීමක් නම් පැය 72ක් ඇතුළත ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී නිසි ප්‍රතිකාර ගැනීමෙන් වෛරසය ශරීරගතවීම වළක්වාගතහැකි බවයි. 
එ්ඩ්ස් යනු බිල්ලකු මවාපාන රෝගයක් නොවේ. අවශ්‍යවන්නේ නිසි දැනුවත් කිරීමයි.
සුජිත් ප්‍රසංග 



අදහස් (0)

Aids තාමත් බයද ?

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ
2025 ජනවාරි මස 20 41 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.


මියන්මාරයෙන් ආ අනාථයන් තවත් කල්ලතෝනි ප්‍රශ්නයක් වේද?
2025 ජනවාරි මස 20 28 0

ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ


සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා
2025 ජනවාරි මස 15 38 0

න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.


උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 128 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 90 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගී මිහිර අපට දී නික්මගිය ප්‍රියාදර ප්‍රියා
2024 දෙසැම්බර් මස 30 93 0

සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 19 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 551 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 648 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site