
දිට්වා සුළි කුණාටුවේ පසු විපරම් කතා බොහෝය. ඒවා මතුපිටින් මහ වැස්සට හා කඳුවලට යට නොවුණ කතන්දරය. මේ එවන් කතාවකි.
ඔබ මීමුරේ ගැන අසා තිබෙන්නට ඇත. එහි සිරි නැරඹීමට කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත. ඇතැම් විට ඔබ එහි ගොස් සිරි අසිරි විඳින්නට ඇත. කෙසේ වුවද මීමුරේ සිරි අසිරිය ගැන යළි වචන ගළපන්නට මේ මෙහොතේ සිත නොනැවේ. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස පහක් අතරින් මීමුරේ එකල සාමාන්‍ය ජන සමාජයෙන් වෙන් වූ වෙනම කලාපයක් ලෙස නම් දැරූ ඉතා සුන්දරතම ගම්මානයකි. ඒ මීට වසර 10 ට පමණ පෙරය. විදුලිය හා සන්නිවේදන පද්ධති ඒ අපූරු ගම්මානයට ඇතුළු වූ දා පටන් කෙමෙන් කෙමෙන් වාණිජකරණයට ලක් වන්නට විය. සූරිය අරණ චිත්‍රපට කණ්ඩායම සහ ඇඩ්වෙන්චර්කරුවන් මෙහි පැමිණෙන තෙක්ම මී මුරේ පැවතුණේ නිස්කලංක හුදෙකලා පරිසරයකි. මීමුරේ ගම්මානය වචනයෙන් කිව නොහැකි තරම් සුන්දරත්වයකින් පිරී ඉතිරී ගිය තැනක් වුවත් එහි වර්තමාන කතාව ගඟ දියේ කඳුළුවලට වඩා බලවත්ය.
පසුගිදා ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වය මත මීමුරේ ගම්මානයටද අත් වූයේ කිසිදා බලාපොරෙත්තු නොවූ ඉරණමකි. කඳුකරයටම අකාරුණික වූ මහ වැස්ස මීමුරේ ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කළේ ගම්මානයට ප්‍රවේශ වීමට තිබූ සියලු මාවත් මහ වැස්සත්, කඳු නාය යෑම්වලිනුත් අවහිර කරමිනි. මේ මොහොත වන විටද ආපදාවෙන් පසු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්වූ මීමුරේ ගමට පිවිසීමේ ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ස්ථාන 54 ක් නාය යෑම්වලට ලක්ව ඇති අතර මීමුරේ ගම්වැසියන් හුදෙකලා වී අදට මාසයක කාලයකි.
ආර්ථිකය මෙන්ම සාමාන්‍ය ජීවන රටාවද උඩු යටිකුරු වී තිබෙන මීමුරේ ගම්වැසියන්ට තවමත් අවශ්‍ය ආහාර, වෛද්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා දෙන්නේ ගුවන් මගින් ය. මී මුරේ ගම්මානයේ අපට නොඇසෙන නොපෙනෙන කතා බොහෝය. ඒවා ප්‍රාතිහාර්ය නොව ශක්තිවන්ත මිනිසුන්ගේ ධෛර්ය සම්පන්න කතාය.ඔහු හතළිස් දෙහැවිරිදි දඹගොල්ලේ වලව්වේ විජිත බණ්ඩාර ය. විජිත බණ්ඩාර දෙදරු පියෙකි. මීමුරේ ගම්මානයට නිතිපතා ලියුම් රැගෙන යන තැපැල් මහතා ඔහුය. දඹගොල්ල ප්‍රදේශයේ පදිංචි විජිත තැපැල් මහතෙකු ලෙස ස්ථිර සේවයට බැඳුණේ 2017දීය. එතැන් පටන් රාජකාරිය දේව කාරිය ලෙස ඉටු කරන විජිත මීමුරේ ගම්මානයට ලියුම් රැගෙන යන්නේ වසර දෙකකට අධික කාලයක සිටය. විජිත කතාවට මුල පිරුවේ කවුරුත් දන්නා තැපැල් වංගුවෙන්ම ය.
“මීමුරේ ගම්මානයට ලියුම් ප්‍රවාහනය සුද්දාගේ කාලේ පටන් ඉතා අසීරු කටයුත්තක්. හේතුව තමයි හරි හැටි මං මාවත් නොමැති වීම සහ ප්‍රවාහන පහසුකම් නොමැති වීම. තෙල්දෙණිය තමයි අපේ ප්‍රධාන තැපැල් කන්තෝරුව. එතනින් ලියුම් ටික රංගල උපතැපැල් කාර්යාලයට එවනවා. මීමුරේ ගමට ආසන්නම නගරය රංගල. ඒත් රංගල තැපැල් කන්තෝරුවට මීමුරේ ඉඳලා කිලෝ මීටර් 22ක් තියෙනවා. මේ දුර තනිව පයින් එක්කෙනෙකුට යන්න අමාරු නිසා දෙන්නෙක් එක්ක තමයි මේ රාජකාරිය කරන්නේ. රංගලින් එන තැපැල් මහත්තයා කිලෝ මීටර් 11 ක් පා ගමනින් මී මුරේ දෙසට එනවා. මීමුරේ ඉඳන් මමත් කිලෝ මීටර් 11ක් රංගල පැත්තට යනවා. අපි දෙන්නාම තැපැල් වංගුව කියන තැනදි මුණගැහිලා පාර්සල් දෙක හුවමාරු කරගන්නවා. අදටත් මේ වංගුව තැපැල් වංගුව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔය විදිහට තමයි මීමුරේ ගමට තැපැල් යන්නේ. ගමන කොයිතරම් දුෂ්කර වුණත් මම මේක බොහොම ආසාවෙන්, අවංකව කරන රස්සාවක්.
වෘත්තීය ගමනේ අසීරුතම කාල සීමාවට විජිතට මුහුණ දෙන්නට සිදු වූයේ පසුගියදා ඇති වූ ස්වාභාවික අපදා තත්ත්වයත් සමඟය. මීමුරේ ගමට පිවිසීමට තිබූ එකම මාර්ගයත් මහා වැස්සෙන් නාය ගොස්ය. ගමට යන ලියුම් කෙසේ හෝ රැගෙන යා යුතුමය. ජීවිත අවදානම ඇස්පනාපිටය. විජිතට ආපසු හැරිය හැකි වුණත් ඔහු සිය රාජකාරිය වෙනුවෙන් ඉදිරියට තැබූ අඩිය ආපස්සට නොගත්තේය.
“27 මහවැස්සත් එක්ක පාරවල් නාය ගියාට පස්සේ ගමට යන්නේ කොහොම ද කියලා හිතාගන්නවත් බැරි වුණා. ඇත්තම කියනවා නම් ගම විතරමයි ඉතුරු වෙලා තිබුණේ. ගමට පාරක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. නමුත් ගමට ලියුම් ටික ගෙනියන්නත් ඕන. ගමන දුෂ්කර වුණ නිසා මීමුරේ තැපැල් මල්ල රංගල කන්තෝරුවට නොයවා හුන්නස්ගිරිය කන්තෝරුවට ගෙන්නවා ගන්න හැකියාව ලැබුණා.
හුන්නස්ගිරිය මගේ පදිංචි ගමේ ඉඳන් මීමුරේ තැපැල් කන්තෝරුවට කිලෝ මීටර් 32 ක් තියෙනවා. ගිහින් එන්න කිලෝ මීටර් 64 ක්. පස්සේ නිලධාරි මහත්තුරුත් සමඟ කතා කරලා අපහසුතා ගැන සලකා බලලා වෙනදා උදේ ගිහින් හවස තනිව ආව ගමන අපි දෙන්නෙක් එක්ක මාරුවෙන් මාරුවට රාජකාරි කරන්න පටන් ගත්තා.
වැස්සයි නාය යෑමයි එක්ක දවස් තුනක් විතර ගමට යන්න බැරුව හිටියා. වැස්ස පොඩ්ඩක් අඩු වුණ නිසා කඳු නාය යෑමේ අවදානම තිබුණත් අපි 5 වෙනිදා ඉඳලා නැවත රාජකාරි පටන් ගත්තා. 5 වැනිදා තමයි මගේ ජීවිතේ අභියෝගාත්මක ගමනට මුහුණ දුන්නේ කිව්වොත් හරි.
5 වැනිදා රජකාරි පටන් ගත්ත දවසෙම හුන්නස්ගිරියේ ඉඳලා කිලෝ මීටර් 9 ක් පමණ දුරට තමයි වාහනයක යන්න ලැබුණේ. එතන ඉඳලා මීමුරේ තැපැල් කන්තොරුවට යනකම් කිලෝ මීටර් 23 ක් යන්න වුණේ පයින්. මේ විදිහට දවස් 6-7 ක් ගියා.”
මහ ඝන වනාන්තර මැදින් නොනවතින වැස්ස විජිතට ගෙන දුන් අභියෝගය වචනයෙන් විස්තර කළ නොහැකිය. වැස්ස පමණක් නොව ඒ කඳු යළි යළිත් කඩා නොවැටේ කියා ඔහුට සහතියක් නැත. පපුවට තුරුලු කරගත් ලියුම් මල්ලත් , ලියුම් මල්ල පපුවට තියා ගැට ගසා ගත් ලණු කැරැල්ලත් ඇරෙන්නට විජිතට තිබුණේ ආත්ම ශක්තියත් තමන් කළ පිනක බල මහිමයත් පමණකි.
තනියම පාරවල් සුද්ද කරගෙන තමයි ගමට ගියේ මීමුරේ තැපැල් මහත්තයා විජිත බණ්ඩාර
“මුල් දවස් දෙක තුන සමහර තැන්වලින් තනියම පාරවල් සුද්ද කරගෙන තමයි ගමට ගියේ. මේ ගමනේ අවදානම සියයට සීයයි. ඒ වෙනකොට නවනගල, කොබෝනිල්ල මේ ග්‍රාම සේවා වසම්වල ජනතාව ගම්වලින් අයින් කරලා සුරැකුම් මධ්‍යස්ථානවලට යොමු කරලා තිබුණේ. එක පැත්තකින් මීදුම, වැස්ස එනවා, සමහර තැන්වල පාර පේන්නේ නැති තරමට මීදුම, සමහර වෙලාවට එක පාරටම පරිසරයම අඳුරු වෙනවා ,මිනිස් පුලුටක් නැහැ. බය කියන එක නොදැනුණ වෙලාවක් නැහැ.
මහ වැස්සේ අඩුවකුත් නැහැ. රේන්කොට් එකට අමතරව ඉටි කොළේකිනුත් ආවරණය කරගෙන තමයි මම ගියේ. ගමට ගිය පළමු දවසේ යද්දි එක තැනක් තිබුණා පාර තිබුණ තැනක්වත් හොයා ගන්න නැහැ. මම එතනට ඇවිත් විනාඩි පහක් විතර කල්පනා කළා කොහොමද එගොඩ වෙන්නේ කියලා. ඇත්තටම මට ආපහු හැරිලා යන්න හිතුණා. අඩිය පස්සට තියන්න හිතුණත් මම මේ ලියුම් ටික අරගෙන නොගිහින් කෙනකුගේ ජීවිතේට අතපසු වීමක් වුණොත් මට ඒක ජීවිත කාලෙම බලපානවා. මට ඒ ගැන හිතුණාම ආපහු හැරෙන්න හිතුණේ නැහැ.
අවදානම අරන් කොහොම හරි යනවා කියලා හිතාගෙන එගොඩ වෙන්න විදිහක් කල්පනා කළා. නාය ගිය තැනින්ම ලයිට් කණු කඩාගෙන ගිය කම්බි තිබුණා. යන්න තැනක් නැති නිසා ඔයෙන් තමයි එහා පැත්තට යන්න වුණේ. අඩි 150 ක විතර දුරක් ඔය මැදින් එගොඩ වෙන්න තිබුණා. වතුර ප්‍රමාණය වැඩියි. ගල් ලිස්සනවා. ලිස්සුවොත් අල්ලගන්වත් ගලක් නෑ. ඒ තරමට දියසෙවෙල. කැඩිච්ච ලයිට් කම්බි දෙකක් අටවගෙන බඩටත් ලණුවකුත් දාලා එක පැත්තක් කම්බියේ ගැට ගහල නෙළුම් කොළෙ උඩ කොරවක්ක යනවා වගේ තමයි ඔයෙන් එගොඩ වුණේ.

පය ලිස්සලා දැන් වැටෙයි වැටෙයි කියලා බය කියන දේ උපරිමෙන්ම තිබුණා. අල්ලාගෙන යන කම්බිය අතහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දෙයියෝ ම තමයි සිහි වුණේ. ඔයෙන් ගොඩ වෙද්දි ලිස්සලා ගියා නම් මරණෙවත් හොයාගන්න බෑ එතන. සමහර තැන්වල වැල්වල එල්ලිලා එගොඩ වෙන්න වුණා. වැල් කඩන් වැටිලා සියපාරකට වඩා වැටුණා. සමහර තැන්වල ඉනක් හරියට විතර මඩ, වෙච්ච තුවාල ප්‍රමාණය අනන්තයි, කාපු කූඩැල්ලෝ ප්‍රමාණය අනන්තයි.
කඩෙන් පොලිතින් අරන් මල්ලක් හදාගෙන ඉටි මල්ලේ දෙපැත්තෙන් ලණුවක් දාලා ඒක පපුවට තියලා ගැටහලා තමයි ලියුම් ටික නොතෙමී අරන් ගියේ. මගේ ජීවිතේටත් වඩා මම ලියුම් ටික ආරක්ෂා කළා. මට කොච්චර තුවාල වුණත් එක ලියුමකටවත් හානි වෙන්න නම් දුන්නේ නැහැ.’’
‘‘මගේ රැකියාවෙ ලොකු වටිනාකමක් නොපෙනුණාට සමහර විට මනුස්සයෙකුගේ ජීවිතේ තීරණාත්මක දෙයක් මේ ලියුම් අස්සේ රැඳිලා තියෙන්න පුළුවන්. වටිනා සහතිකයක්, සම්මුඛ පරීක්ෂණයකට ලියුමක්, පත්වීම් ලියුමක්, දරුවකුගේ අධ්‍යාපනික ලේඛනයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ලියුම් ටික අංක එකට තියාගෙන මගේ ආරක්ෂාව දෙකට තියාගෙන තමයි මේ ගමන ගියේ.”
රැකියාවේ සුව පහසුව, සැප හොයන බොහෝ මිනිසුන් අතර විජිත රාජ්‍ය සේවයට ණය නැති මිනිසෙකු බව ඔහුගේ කතාවේ දරාගත් අත්දැකීම් ප්‍රමාණවත්ය. විජිත වසර කිහිපයක සිට ඖෂධ ලබා ගන්නා හෘද රෝගියෙකි. සමහර දිනවලට දවසටම බෙහෙත් පෙත්තට පීල්ලකින් උගුරට හලා ගන්නා වතුර ටික පමණි. කුසට හරි ආහාරයක්, නින්දක් නැතිව රාජකාරිය දේවකාරියක් ලෙස කරන මිනිසුන් අද විරළය. සිටිනවා නම් ඒ විජිත කෙනෙක්ම ය.
“දැනටත් ගම ඇතුළට කිලෝ මීටර් 20 ක් විතරම පයින් තමයි යන්න තියෙන්නේ. උදේ 8 ට විතර හුන්නස්ගිරියෙන් මීමුරේ ගමට යද්දි හවස 4 -5 විතර වෙන අවස්ථාත් තිබුණා. ගමට ගියාම දැන් එක දවසින් ආපස්සට එන්න බැරි නිසා තැපැල් කන්තෝරුවේ මේසේ උඩ කාඩ්බෝඩ් එකක් එලන් නිදාගන ඉඳලා පහුවෙනිදා උදේම ආයේ හුන්නස්ගිරි එනවා. එහෙම තමයි රාකාරිය මේ ටිකේම කරගෙන යන්නේ. කෑම එකක් උදේට ගෙදරින් අරන් යනවා. පහුවැනිදා එනකම්ම කන්න නැහැ කියලා දන්න නිසා උදේට අරන් යන කෑම එක කන්නේ කෑම එක නරක් වෙන්න ඔන්න මෙන්න තියලා හවස්ම වෙලා ම. දවසට එක වේලයි කෑවේ. වැඩි පුරම බඩ පුරවා ගත්තේ වතුර බීලා. බඩගින්නක් ඇල්ලුවම හොඳ හුස්මක් අරන් වතුර ටිකක් ගැහුව්වාම පණ ගහලා එනවා. මම බඩගින්න ගැන හිතුවෙම නැහැ. ඒ ගමට ගියාම මිනිස්සුන්ට කරන්ට් එක නැහැ. කන්න බොන්න නෑ. මට එහේ මිනිසුන්ගෙන් තේ එකක්වත් ඉල්ලන්න හිතදෙන් නැහැ.
පය ලිස්සලා දැන් වැටෙයි වැටෙයි කියලා බය කියන දේ උපරිමෙන්ම තිබුණා. අල්ලාගෙන යන කම්බිය අතහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දෙයියෝ ම තමයි සිහි වුණේ. ඔයෙන් ගොඩ වෙද්දි ලිස්සලා ගියා නම් මරණෙවත් හොයාගන්න බෑ එතන.
මේ රස්සාව හිතුණ හිතුණ වෙලාවට කරන්න බැහැ. අපි දිනපතා යා යුතුමයි. මට තියෙන දුෂ්කරතා මම තාවකාලිකව හිතින් යටපත් කරගෙන මේක මගේ යුතුකමක් කියලා හිතාගෙන රජකාරිය කළා. රාජකාරි මට්ටමින් මීමුරේ ගමට ගියේ තැපෑල තමයි. ගමේ නාය ගිය තැන් මුලින්ම දැක්කෙත් මම. කොයිතරම් අපහසුතා තිබුණත් රාජකාරිය පැහැර හිරින්න මට හිත දුන්නේම නැහැ. මීමුරේ සුන්දරයි. ඒ සුන්දර ගමට ගිය අසුන්දර ගමනක් වුණත් සුන්දර විදිහට යනවා කියලා හිතාගෙන මම හිත හදාගත්තා. ඒ වගේම අපෙන් විය යුතු සේවාව අඩුවක් නැතුව කළා කියන සතුට මට තියෙනවා. මට ආධාර දෙන්න වත්කමක් නැහැ. හැබැයි මගේ සේවාව සැපයුවා කියන යුතුකම ඉටු කිරීමේ සතුට තියෙනවා. මම හදෘ රෝගියෙක්, අවශ්‍ය බෙහෙතුත් අරන් තමයි මම ගියේ. බය ලොකුවට දැනෙන්න හොඳත් නැහැ කියලා කියනවානේ, බය දැනුණත් මම ඕනවට වැඩිය හිතන්න යන්නේ නැහැ. කොච්චර දුෂ්කර වුණත් මම සුබවාදීව හිතලා ගමන ගියා.
මීමුරේ ගම්මු කියන කතාව
‘‘මගේ නම් යූ. ජී. ගුණරත්න බණ්ඩා. මා උපන් මීමුරේ ගම ඇතුළේ පවුල් 400 ක් විතර ඉන්නවා. අපේ අප්පච්චිලා ලොකු අත්තලාවත් මෙහෙම දේකට මීට කලින් මුහුණ දීලා නැහැ, දැකලා නැහැ. 1982 තමයි මීමුරේ මුලින්ම නාය යෑමක් සිද්ධ වෙන්නේ. ඒකෙදිත් කුඹුරු කෑලි ටිකක් නාය ගියා මිසක් ලොකු හානි වෙලා නැහැ. වහ වැසි අපිට නුහුරු නැහැ. ඒ නිසා මේ පාර වැස්සෙදිත් මේ වගේ භයානක දෙයක් වෙයි කියලා ඉඟියක්වත් දැනුණේ නැහැ.
මීමුරේට දැනුණේ නැති කීපයක් තියෙනවා, යුද්දේ දැනුණේ නැහැ. කොරෝනා දැනුණේ නැහැ, ජල ගැලුම් දැනුණේ නැහැ. මේ පාර තමයි මීමුරේට රිදෙන්නම දැනුණේ. ගමට පිවිසෙන මාර්ගයේ ස්ථාන 54 ක් දරුණු ලෙස නාය ගිහින් තියෙනවා. පහුගිය දවස්වල පොඩ්ඩක් පායන්න ගත්තාම කට්ටිය එකතු වෙලා ත්‍රීවීල් එකක් යන්න පුළුවන් මට්ටමට කිලෝ මීටර් 12 ක් විතර දුරකට පාර හදාගත්තා ගල් පෙරළලා. දවස් 15 ක් විතර ගියා පාර ඒ තත්ත්වයට හදාගන්න. තාමත් විදුලිය නැහැ. ගමේ මිනිස්සු ගම ඇතුළට ලයිට් කණු ඇද්දේ කරෙන්. කිලෝ මීටර් 34 ක් තැනින් තැන පාර වැහිලා. තාමත් මීමුරේ ගම හුදෙකලා වෙලා ඉන්නේ.’’

‘‘නොවැම්බර් 27 වැනිදා ඉඳලා අපි ගමෙන් එළියට තොරතුරු දුන්නේ ගස් උඩ නැගලා සිග්නල් තියෙන තැන් බලලා. ග්‍රාමසේවක මහත්තයාටත් ගම ඇතුළට එන්න දවස් කීපයක් ගියා. දැනට මීමුරේ ගම ආරක්ෂිතයි. ප්‍රවේශ මාර්ග ආරක්ෂිත නැහැ.
සූරිය අරණ චිත්‍රපටයෙන් පස්සේ තමයි මීමුරේ මිනිස්සු අතරට ගියේ. සංචාරයෝ වැඩියෙන් එන්න පටන් ගත්තේ 2014 න් පස්සේ. පාරම්පරික ලෙස ජීවත් වෙච්ච අපට එකපාරටම විදුලිය, සන්නිවේදනය හා මහා මාර්ග ලැබුණා. ඒ සියල්ල එකපාරටම අහිමි වෙලා ගියා. මීමුරේ නැවත වසර 10 කින් ආපස්සට ගියා වගේ දැනුණා.
සංචාරකයන්ට නැවත මීමුරේට එන්න නම් තව සෑහෙන කාලයක් යයි. සමහර තැන්වලින් තාම අපි යන්නේ කඹදාලා. සමහර නාය ගිය තැන්වලින් දිය ඇළි පාරවල් ඉබේටම හැදිලා.
ඒ වගේම ගමේ පාසල තියෙන භුමිය ආරක්ෂිතයි. නමුත් තාමත් පාසල් වලට පිවිසීමට තියෙන ප්‍රවේශ මාර්ග නැහැ. දරුවෝ තාමත් ගෙවල්වල ඉන්නේ. සාමාන්‍ය පෙළ ලියන පාසල් දරුවන් මධ්‍යම පළාත් සභාවයි තෙල්දෙණිය කලාපෙයි එකතු වෙලා නුවරට ගෙන්නගෙන නේවාසික කඳවුරක් විදිහට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.’’
Q සංචාරකයන්ට ගම නිරාවරණය වීම ගමට අනතුරු දායක දෙයක් වුණා ද?
‘‘හොඳ නරක දෙකම වුණා. මීමුරේ ලස්සන වගේම හරිම ස්වයංපෝෂිත ගමක්. කොරෝනා කාලෙදිවත් මිනිස්සුන්ට කන්න නැති වුණේ නැහැ. ගම ඇතුළෙම කෑම බීම නිෂ්පාදනය කර ගැනීමේ සියලු පහසුකම් ටික තියෙනවා. අරුමෝසම් කෑම නැති වුණාට දේශීය එළවළු ටික අපට තියෙනවා.
ලෙඩකට දුකකට වුණත් වෙදකම්, සාම්ප්‍රදායික වෙදහෙදකම්, කෙම් ක්‍රම, බෙහෙත් පැළෑටි ඕනෑම දෙයක් අපට තියෙනවා. දේශීය සංචාරකයෝ තමයි වැඩිපුරම ආවේ. මේ දේශීය සංචාරකයන් එන්‍න ගත්තාම මහ සමාජේ බලපෑමත් එක්ක මීමුරේ ගම් වැසියන්ගේ ඇවතුම් පැවතුම්වල වගේම ආකල්පමය වෙනසක් සිදු වුණා. හොඳ පැත්තටත් වුණා නරක පැත්තටත් වුණා. මුලින්ම දුරකතන සිග්නල් දෙද්දි ගමම අකමැති වුණත් දැන් වෙද්දි විදුලිය, දුරකතන අපට අත්‍යවශ්‍ය සාධකයක් වෙලා. හැම දේමටම තාක්ෂණය අවශ්‍යයි.”
විශේෂ ස්තූතිය: චමිල උඩුකුඹුර
නදීශා අතුකෝරළ






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.