
“ආපදා සහන කඳවුරුවල රාජකාරි කටයුතු කරන ඇතැම් නිලධාරීන් හා සේවකයින්ගෙන් - අයැදීමේ හා තොරොම්බල් ස්වභාවයෙන් කෙරෙන ලිංගික යෝජනා, ආපදා නිසා වින්දිතයින්ව සිටින කාන්තාවන්ට හරිම හිසරදයක්. ලිංගික ශ්‍රමසේවා සැපයීම වෘත්තියක් වශයෙන් කරන අපට පවා එවැනි තත්ත්වයකට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් නෑ. ඒ තුළ අනෙකුත් වෘත්තීන්වල නියැළෙන හා ගෘහණියන් ලෙස සිටින කාන්තාවන් කොපමණ නම් අපහසුතාවට පත්වෙනවා ඇත්ද? මේක ලොකු මානසික පීඩාවක් සහ ලොකු කරදරයක්.”
වෘත්තීය ලිංගික ශ්‍රමසේවා සපයන්නියන් ගෙන් මේ ආකාරයේ චෝදනාවක් එල්ල වූයේ - ආපදා සහන සේවා කඳවුරුවලදී කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අප කළ විමසීමකදීය.
ලිංගික ශ්‍රමසේවා සපයන්නියන් ගේ සංවිධානයක් වන tet සංවිධානයේ සභාපති සකුනි මායාදුන්නේ “ඉරිදා ලංකාදීප”ය හා එක්වෙමින් මෙසේ කීවාය.
“ඇත්තටම මම සංක්‍රාන්තික කාන්තාවක්. ලිංගික ශ්‍රමසේවා සැපයීමයි මගේ වෘත්තිය. ඊට අතිරේකව ලිංගික ශ්‍රමිකයන් සඳහා මනෝ උපදේශනය ලබාදීමත් මම සිදුකරනවා. මම ඒ විෂය සම්බන්ධව විදේශීය පුහුණුවක් ලබලා tet කියන ආයතනය පවත්වාගෙන යනවා. අපේ සංවිධානයේ සෑම සාමාජිකාවක්ම ඉතා පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන අය. ආවට ගියාට හුදෙක් මුදල් මත පමණක් අපේ සාමාජිකාවෝ සේවාලාභීන් සම්බන්ධ කරගන්නේ නෑ.”
“අපේ ගොඩක් දෙනෙක් ජීවත්වෙන්නේ නගරාශ්‍රිත බෝඩින්කාමරවල. පසුගිය ආපදා තත්ත්වයේ දී අපේ ගොඩක් දෙනෙක්ට ආපදා සහන සේවා කඳවුරුවල ඉන්න සිද්ධ වුණා. අනිත් අය වගේම මමත්, ඔය ගැටලුවට මුහුණ දුන්නා. ලිංගික එකතුවීම් සඳහා ඒවායේ රාජකාරි කළ ඇතැම් නිලධාරීන්ගෙන් ඇරියුම් ලැබුණා. අයැද සිටීම් වගේම- ඊට එකඟ වුණොත් මේ ප්‍රතිලාභය ලබා දෙන්නම් වැනි තොරොම්බල් කිරීම් ද සිදුකෙරුණා. ඇත්තටම අපි ඒ වගේ දේවල්වලට සූදානම් නෑ. අපිටත් ගෞරවයක්, ප්‍රතිපත්තියක්, ආචාරධර්ම පද්ධතියක් තියෙනවා.”
“ඇත්තටම අඳින්න හරිහමන් ඇඳුමක්වත් නැතුව, ඇඳිවත පිටින් පණ කෙන්ද විතරක් බේරගෙන සහන කඳවුරකට ගාල්වෙලා හව්හරණක් නැතුව තනිවෙලා, අසරණවෙලා ඉන්න කොට එවැනි යෝජනා හා සෞම්‍ය ස්වභාවයේ වුණත් බලපෑම් හරිම හිසරදයක් වෙනවා. විශේෂයෙන් ඒ වගේ හදිසි අහඹු අවස්ථාවක ඇතැම් තැනැත්තන් තැනැත්තියන්ටත් වඩා අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් අපි කොන්ඩම් භාවිත නොකර ලිංගික එක්වීමක යෙදෙන්නැහැ. ඉතින් සහන කඳවුරුවලට ඇඳිවතින් ආවාම, ඒවා කොහෙන්ද අපිට ? යෝජනා ගේන කෙනාට තමුන්ගේ කායික අවශ්‍යතාව මිසක් එවන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන වගේ වගක් නෑ.”
“අනෙක් මූලික කාරණේ විපතකට ලක්වෙලා කරදරේ වැටිලා ඉන්න අවස්ථාවක එවැනි දේ බලාපොරොත්තුවෙන පුද්ගලයන් ගේ මානසිකත්වයයි. ඇත්තටම ඒ පිළිබඳව හරිම කනගාටුයි. මුන් මනුස්සයෝ ද කියලාත් විටෙක හිතෙනවා. මේක මට විතරක් සිදුවුණු අහඹුවක් නෙවෙයි. අපේ කාර්යාලයට එන ගොඩක් දෙනෙකුට මේ සිද්ධිවලට මුහුණ දෙන්න වෙලා තිබුණා. කාන්තා ඇඳුමකින් සැරසී සිටියත්, පිරිමි කටහඬක් නිසා සමාජයේ අනිත් පුද්ගලයන් අපි දිහා වැරදි විදිහටයි බලන්නේ. මේක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. ආපදා සිදුවෙච්ච බොහෝ අවස්ථාවල දී අපිට ඔය තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබෙනවා. විශ්වාස කරන්න, ඉකුත් කොවිඩ් වසංගත සමයේ අපේ ඇතැම් සාමාජිකාවන්ට බත්පැකට් එකට නිලධාරීන් එක්ක බුදිය ගන්න යන්න සිද්ධ වූ අවස්ථා තිබුණා.”
කේ. පු. ෂ්පරාණි - වසර පහක පමණ සේවා කාලයක් ඇති ලිංගික ශ්‍රමසේවා සැපයීම ජීවන වෘත්තිය කරගත් කාන්තාවකි. ඈ ද ඉකුත් ආපදාවට මුහුණ දී සහන සේවා කඳවුරුවල නේවාසිකව සිටීමට සිදුවූ තැනැත්තියකි.
ඇය කියා සිටියේ - බෝඩින් හවුස් එක අයිති තැනැත්තාට රජයෙන් ලබා දුන් රුපියල් විසිපන්දාහේ ගේදොර පවිත්‍ර කිරීමේ දීමනාව ලැබුණ ද, මුළු නිවසම ශුද්ධ පවිත්‍ර කළ තමා ඇතුළු සෙසු බෝඩින්කරුවන්ට තේ ටිකක් බොන්නට හෝ මුදලක් වැය නොකෙරුණු බවය.
“ඇඳිවතින් සහන කඳවුරුවලට ගිය අපිට රජයෙන් ලැබෙන කිසිම දෙයක් ලැබුණේ නෑ. ඒ ස්ථානවලදී අපි නොතකා හැරී ලොකු අසාධාරණයකට ලක්වුණා.” පුෂ්පරාණි මැසිවිලි හඬින් පැවසුවාය.
කාන්තාවක් - ආපදාවක් හේතුවෙන් තාවකාලික සරණාගත තත්ත්වයකට පත්ව ආපදා සහන සේවා මධ්‍යස්ථානයක නේවාසිකව සිටින විට දී, එහි රාජකාරි කරන ඇතැම් පිරිමින්ට ලිංගික හැඟීම් පාලනය කරගත නොහැකිවීම ලැජ්ජා සහගතය. අනාරක්ෂිත ලිංගික එක්වීම් ගැන සෞඛ්‍ය අංශ කෙතරම් දැනුවත්වීම් සිදුකළත් - කිසිදු වගවිභාගයක්, සුපරීක්ෂණයක් නොමැතිව අවිචාරවත්ව සම්භෝග රස විඳීමට ලොල්වීම අතිශය කනගාටුදායකය.
දිනකට පුද්ගලයන් කීපදෙනෙකුට සේවා සපයන ලිංගික ශ්‍රමිකයකු කෙතරම් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළත්, ඇතැම් අවස්ථාවක අවාසනාවන්ත සිදුවීමක් නිසා හෝ වැරදි සම්බන්ධතාවයකට යොමු වී ඒ හේතුවෙන් යම් සමාජ රෝගයක් වැලඳුනහොත්, තවත් බොහෝ දෙනෙකු එම අවදානමට ලක්වීමට හැකියාවක් ඇති බව අවධාරණය කළ යුතුය .
ලිංගික ශ්‍රමිකයන් පිළිබඳව කටයුතු කරන Stand Up Moviement හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා අශීලා දන්දෙනිය අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මෙසේ කීවාය.
“ඇත්තටම ලිංගික වෘත්තිකයන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත නෑ. ලංකාවේ කිසිම ආයතනයකට ඒ පිළිබඳ නිශ්චිත දත්ත සොයා ගැනීමේ හැකියාවක් හා ක්‍රමවේදයක් ඇත්තේත් නැහැ. කෙසේ වෙතත් 2010 වසරේ දළ සංගණන දත්තවලට අනුව ලිංගික ශ්‍රමිකයන් පනස් දෙදහක් පමණ අප රටේ ඉන්න බව සඳහන් කළ හැකියි. දැන් ඒ තත්ත්වය සාමාන්‍යයෙන් සියයට විස්සකින් විතර ප්‍රසාරණය වෙලා කියලා අපි අනුමාන කරනවා. ඒ ප්‍රතිශතයත් නිශ්චිත නැහැ. දළ වශයෙන් තමයි අපිට ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ. මොකද මේ වෙන විට, පූර්ණකාලීනව වෙනත් වෘත්තියක නියැළෙමින්, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස අර්ධකාලීනව ලිංගික ශ්‍රමසේවා සපයන්නියක් ලෙස කටයුතු කරන විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. විශේෂයෙන්ම විද්‍යුත් සබඳතා ඔස්සේ මේ සේවාව ලබාගන්නා සහ ලබාදෙන පිරිස් වැඩිවීමත් සමග, ඒ අය පිළිබඳව නිශ්චිත සංඛ්‍යා දත්ත සකස් කිරීම දුෂ්කර වී තියනවා.”
“ලිංගික ශ්‍රමිකයන්ටත් - වෙනත් ඕනෑම වෘත්තියක නියැළෙන හෝ නොවන සෙසු කාන්තාවන්ට වගේම නීත්‍යනුකූලව හිමි පුරවැසි සේවාවන් ලබාගැනීමේ අයිතිය තිබිය යුතුයි. ලිංගික ශ්‍රමිකයන් කියන්නේත් රටේ පුරවැසියන්. ඔවුන් අහසින් වැටුණු පිරිසක් නොවේ. නමුත් අපේ රටේ දී ඔවුන් විශාල ලෙස අනවශ්‍ය අපහසුතාවනට පත් වෙනවා. නිදසුනක් ලෙස ලිංගික ශ්‍රමසේවා සපයන්නියක් ගර්භණී වූ අවස්ථාවක දී පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හොඳ සේවාවක් ලැබෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරිවරයා වුණත් ඔහු හෝ ඇය ලිංගික ශ්‍රමිකයෙක් බව හඳුනාගතහොත්, ඔවුන්ට සේවාව ලබානොදී බොහෝ අවස්ථාවල මගහරිනවා, කල්දානවා. කාගේ හෝ තාඩන පීඩනයකට ලක්වෙලා පොලිසියේ සේවාව ලබාගැනීමට යෑමට සිදුවුවහොත් එතනදීත් අනවශ්‍ය ගර්හාවන්ට ලක්වීමට බොහෝවිට සිදුවෙනවා. ලිංගික ශ්‍රමසේවා සපයන්නියක් ලෙස හඳුනාගත් විට බොහෝ මිනිසුන් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගෙන් ඈත්වෙලා සිටිනවා. එය අනුගමනය කරමින් ඇතැම් නිලධාරීන් ද ඔවුන්ට සේවාව ලබා නොදී මගහරිනවා. මේ නිසා පුද්ගලයන්ගේත්, විශේෂයෙන් රජයේ නිලධාරීන්ගේත්, ආකල්ප වෙනස් විය යුතුයි කියන තැනයි අපි ඉන්නේ. දැනට පාර්ශ්වකරුවන් සමග දිස්ත්‍රික්ක ගණනාවක රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කරමින් සිටිනවා.”
රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ - ආචාර්ය සුරංජිත් ගුණසේකර “ඉරිදා ලංකාදීප”ය හා එක්වෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
“ආපදා තත්ත්වයක දී යම් ආපදා මධ්‍යස්ථානයක නේවාසිකව ඉන්න සියලු දෙනා වින්දිතයන් බව වටහාගෙන - ඒ අනුව සියලු දෙනා කටයුතු කළ යුතුයි. මෙහිදී ලිංගික ශ්‍රමිකයන් සමාජයේ පිළිගැනීම අහිමි වුවන් ලෙසත් වින්දිතභාවට පත්වෙනවා. සංක්‍රාන්ති ලිංගික සාමාජිකයන් නැවත නැවතත් වින්දිතයන් බවට පත්වෙනවා. මේ කාරණාවලින් පුද්ගල ඇතුළාන්තයේ අසංවේදීකම පිළිබිඹුවෙනවා.”
“උපේක්ෂාසහගතව මධ්‍යස්ථ ඇසින් ලෝකය දැකිය හැකි දියුණු සමාජ සංස්කෘතික තත්ත්වයක් නිර්මාණය වෙලා නෑ . ආපදා සහන මධ්‍යස්ථානවල හා සහන සේවා සැලසීමේ කණ්ඩායම්වල රාජකාරි කරන ඇතැම් පුද්ගලයන්ගේ අශ්ලීල, අසංවේදී තත්ත්ව හා සිදුවීම් වාර්තා වේ නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. ආපදා සහන සේවා කඳවුරක සිටින යම් අයෙකුට ලිංගික බලපෑම් සිදුවෙනවා නම්, ඔවුන් එතැනදී තවත් වින්දිතභාවයට පත්වෙනවා. මෙයින් අපිට පෙනෙන්නේ පිළිගත් මහා සමාජයේ යැයි සැලකෙන කොටස්වල අශ්‍ලීල බව. ආපදා තත්ත්වයන් වලදී මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද සංවේදී වන සමාජයේ යම් පුද්ගල පිරිසක් හිතාමතා තවත් පිරිසක් වින්දිතභාවයට පත් කරන්නේ නම්, එහි ඇත්තේ අශ්ලීල බව සහ අසංවේදී බවයි. යමෙක් ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම, කුලය, වෘත්තිය, තරාතිරම, ප්‍රදේශය හෝ එවැනි ඕනෑම සාධකයක් මත වින්දිතභාවයට පත්වන්නේ නම්, එහි වරද ඇත්තේ මහාසමාජය ලෙස සම්මත සමාජයේ බලපවත්වන ආකල්පයන් ය.”
චාන්දනී දිසානායක

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.