
ඒ 2022 වර්ෂයයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වර්ධා දිස්ත්‍රික්කයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ඇතැම් රෝගීන්ගේ රෝගී තත්ත්වය හදිසියේ උත්සන්න විය.
සිදුවූයේ කුමක්දැයි කඩිනමින් විමර්ශනය කරද්දී- එම රෝගීන්ට “මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන්” නමැති එන්නත ලබා දී තිබූ බැව් අනාවරණය විය.
මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් යනු ස්ටෙරොයිඩ් ඖෂධයකි. එම එන්නත නිපදවා තිබුණේ ඉන්දියාවේ “සී ලැබෝරටරීස්” නමැති ප්‍රසිද්ධ ඖෂධ පර්‌යේෂණ සහ නිෂ්පාදන සමාගමය. රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න කළ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න මතුවෙද්දී අදාළ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු වන සුමන්ත් වාග්ට එම ගැටලුවට පිළිතුරු සෙවීමට සිදුවිය .
රොයිටර් පුවත් සේවය හා අනුබද්ධ “කොන්ටෙස්ට්” නමැති ගවේෂණාත්මක පුවත් වෙබ් අඩවිය - සුමන්ත් වාග් සමග සම්බන්ධ වූයේ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් එන්නතේ ගුණාත්මකභාවය ප්‍රත්‍යාවේක්ෂණය කිරීමේ අරමුණින්ය. රෝගීන්ට දුන් මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධයේ සාම්පල මූලික පරීක්ෂණවලට යොමු කෙරුණු අතර, එහිදී නිශ්චිත වැදගත් කරුණු කීපයක්ම අනාවරණය විය. එම වෙබ් අඩවිය ඒ සියල්ල නොසඟවා ජනතාවට හෙළි කළේය.
මූලික විමර්ශනවලින් අනාවරණය වූයේ මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් එන්නත් සාම්පලවල බැක්ටීරියා අඩංගු බවය. රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වූයේ මෙම බැක්ටීරියාව නිසාය. මෙම අනාවරණයත් සමග ඉන්දීය ඖෂධ පරීක්ෂක සතීෂ් චව්හාන් ගේ මැදිහත්වීමෙන් මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය තත්ත්ව පරීක්ෂාවක් සඳහා යොමු කෙරුණේ මුම්බායි නුවර රසායනාගාරයකටය. කෙසේ වෙතත් අවසන් රසායනාගාර වාර්තාව ලැබීමට තවත් මාස හතක කාලයක් බලා සිටීමට සිදුවූ බැව් වෙබ් අඩවිය දක්වයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුමන්ත් වාග් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ - රෝගී සංකූලතා අනාවරණයවීමෙන් පසු අදාළ ඖෂධය රෝහල් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කරන විටත්, අදාළ නිෂ්පාදන කාණ්ඩයට අයත් බැක්ටීරියාව සහිත එන්නත් කුප්පි 100 කට වැඩි ප්‍රමාණයක් රෝගීන්ට ලබා දී තිබුණු බවය.
කොන්ටෙස්ට් වෙබ් අඩවිය හරහා මෙම කරුණ අනාවරණය වූ විට - එය සමස්ත ඉන්දියාවම කලඹන්නට හේතු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද අවසානයේ ඊට යොමු විය.
අද වනවිට සී ලැබෝරටරීස් ඖෂධ පර්‌යේෂණ සහ නිෂ්පාදන සමාගම ඉන්දීය නියාමකයන් විසින් පවත්වනු ලැබූ තත්ත්ව පරීක්ෂණ අවම වශයෙන් 86ක් අසමත් වී ඇති අතර – නීති කෘත්‍ය කීපයකට ද මුහුණ දෙමින් සිටී. සී ලැබෝරටරීස් යනු ලොව පුරා භාවිත වන සාමාන්‍ය ඖෂධවලින් (පේටන්ට් බලපත්‍රය කල් ඉකුත් වූ පසු නිපදවන ලාභදායී ඖෂධ) පහෙන් එකක් නිෂ්පාදනය කරන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඖෂධ පර්‌යේෂණ සහ නිෂ්පාදන සමාගමකි.
“ලෝකයේ ෆාමසිය” ලෙස හඳුන්වන ඉන්දීය ඖෂධ කර්මාන්තය; සාමාන්‍ය ඖෂධ, වට්ටෝරුවකින් තොරව ලබාගත හැකි ඖෂධ, තොග ඖෂධ, එන්නත් වර්ග, කොන්ත්‍රාත් පර්‌යේෂණ, බයෝ-සිමිලර් ඖෂධ (වෙළෙඳපොළේ ඇති - සන්නාම සහිත, ජීව විද්‍යාත්මක ඖෂධයකට අතිශය සමාන ආකාරයට නිපදවන ඖෂධ) සහ ජීව විද්‍යාත්මක ඖෂධ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදනවලින් සමන්විත වෙයි.
“ද ජපෑන් ටයිම්ස්” පුවත්පත පැහැදිලි කරන ආකාරයට අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් වන්නේ - ඉන්දීය ඖෂධ සමාගම් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ඖෂධ වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තහවුරු කරගෙන ඇති බවය. ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනයේ අනුමත නිෂ්පාදනාගාර 650 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙයි.
ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ නිපදවන ඖෂධවල ගුණාත්මකභාවය විටින් විට ප්‍රශ්න කිරීමට ලක් කෙරෙන අවස්ථා එමටය.
“ඉන්දියන් බ්‍රීෆින්” පුවත් වෙබ් අඩවිය පැහැදිලි කරන ආකාරයට - 2024 නොවැම්බර් මාසයේ ෆෝබ්ස් වාර්තාවකට අනුව, ඇමෙරිකාවේ ජෙනරික් ඖෂධ වෙළෙඳපොළෙන් සියයට 40 ක් සහ එක්සත් රාජධානියේ සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 25 ක් සපයනු ලබන්නේ ඉන්දියාව විසිනි. ලෝකයේ අඩු පිරිවැය සහිත ජෙනරික් ඖෂධ සහ එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ද ඉන්දියාවය. දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 58ක පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති ඉන්දීය ඖෂධ ක්ෂේත්‍රය, ජෛව තාක්ෂණික භාවිතයන් සහ සෞඛ්‍ය සේවා වාණිජකරණයවීමත් සමග දිනෙන් දින වර්ධනය වෙයි. ගෝලීය ඖෂධ වෙළෙඳපොළ 2024 සිට 2032 දක්වා සියයට7.5ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගනිමින්, 2032 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3,148.31ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අඛණ්ඩ ව්‍යාප්තියෙන් ගෝලීය ඖෂධ සැපයුම් දාමයේ ඉන්දියාව සතු තීරණාත්මක කාර්යභාරය මනාව පැහැදිලි වෙයි.
“ෆියුචර් බිස්නස් ඉන්සයිට්” වෙබ් අඩවිය ඇස්තමේන්තු ගතකර ඇති අන්දමට – 2023 දී ගෝලීය ඖෂධ වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් බිලියන 1,661.26 කි. එය 2024 වන විට ඩොලර් බිලියන1,763.9 දක්වා ඉහළගොස් ඇත. පිළිකා, දියවැඩියාව සහ ස්නායු ආබාධ වැනි නිදන්ගත රෝග ඉහළයෑම, වයස්ගත ජනගහනය වැඩිවීම සහ නැඟී එන වෙළෙඳපොළවල සෞඛ්‍ය වියදම් ඉහළ යාම මීට හේතු වී ඇත. මීට අමතරව නිදන්ගත රෝග සඳහා වන නව ප්‍රතිකාර ක්‍රම සහ “ඔසෙම්පික් මවුන්ජාරෝ” වැනි තරබාරුව පාලනය කරන ඖෂධ සඳහා ඇති ඉල්ලුම ඉදිරියේ දී ඖෂධ අලෙවිය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇත.
2022 සැප්තැම්බර් මාසයේ දී වර්ධා දිස්ත්‍රික්කයේ රෝහල්වල රෝගීන් අසරණ කළ අපවිත්‍ර මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් එන්නත් සාම්පල හරහා පෙන්නුම් කරන්නේ - ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල ප්‍රමිතිය පිළිබඳ බරපතළ අර්බුදයකි. මෙය තවත් එක් සිදුවීමක් පමණි. මීට වසර කීපයකට පෙරත්, එනම් පසුගිය 2024 වසරේදීත් ඉන්දීය ඖෂධ සමාගම්වල නිෂ්පාදනය කෙරෙන කැස්ස පැණි වර්ගයක් ආන්දෝලනයකට හේතු විය. ඒ වෛද්‍ය නිර්දේශ මත අදාළ කැස්ස පැණිය ලබාගත් ඉන්දීය දරුවන් 24 දෙනකු මියයෑම නිසාය.
ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් නිපදවූ එම කැස්ස පැණිය බිලිගත්තේ ඉන්දීය දරුවන් පමණක් නොවීම කනගාටුවට කරුණකි. ලොව පුරා රටවල් කීපයක දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම පැණිය ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වී යැයි වාර්තා වුණි.
මෙවැනි හේතූන් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් අනතුරු ඇඟවීම් කිහිපයක්ම නිකුත් කර තිබේ. 2022 දී අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවෝ 70 දෙනෙක් උග්‍ර වකුගඩු ආබාධ හේතුවෙන් මියගියහ. සිදුකළ විමර්ශනවලින් හෙළි වූයේ ඊට හේතුව ඉන්දියාවේ “මේඩන් පාමසියුටිකල්” සමාගම නිපදවූ සිරප් වර්ග බවය.
2022 දෙසැම්බරයේ දී ඉන්දියාවේ “මැරියන් බයෝටෙක්” සමාගම නිපදවූ “ඩොක් 1 මැක්ස්” නමැති කැස්ස සිරප් වර්ගය ලබාගත් දරුවන් 18 දෙනකුට වැඩි පිරිසක් මියගිය බව උස්බෙකිස්ථානය තහවුරු කළේය. සිරප් වර්ගවල අඩංගු වූ අධික විෂ සහිත ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් යන රසායනික ද්‍රව්‍ය දෙක මරණවලට සෘජුවම බලපෑ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කළේය.
කැස්ස සිරප් සෑදීමට යොදාගන්නා “ග්ලිසරින්” වෙනුවට, පිරිවැය අඩු කිරීමට යොදාගත් කාර්මික ද්‍රාවකයක තිබූ යම් විෂ ද්‍රව්‍යයක් සිරප් සමග මිශ්‍ර වී පැවති බැව් විමර්ශනවලදී හෙළි විය. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ සිරප් වර්ග භාවිතයෙන් ඉවත් කරන ලෙස ලොව පුරා රටවලට නිවේදනය කළේය. ඉන්දියානු රජය අදාළ සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට සහ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත් අතර, 2023 ජූනි මාසයේ සිට අපනයනය කරන සෑම කැස්ස සිරප් තොගයක්ම රජයේ රසායනාගාරයකින් පරීක්ෂා කර සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කෙරුණි.
මේ අයුරින් සිදුවන මරණ හේතුවෙන් ඩොලර් බිලියන50ක් වටිනා ඉන්දියන් ඖෂධ ක්ෂේත්‍රයේ ආරක්ෂිත ප්‍රමිතීන් පිළිබඳව යළිත් දැඩි අවධානයක් යොමු වී තිබේ. 2022 සහ 2023 වසරවලදී ද ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි හේතුවෙන් අප්‍රිකාවේ සහ මධ්‍යම ආසියාවේ දරුවන් 140කට වැඩි පිරිසක් මියයාම නිසා ඉන්දීය ඖෂධ කර්මාන්තයේ කීර්ති නාමයට හානි සිදුවිය. එම මරණවලින් පසු ගුණාත්මක පාලනය ඉහළ නංවන බවට නවදිල්ලි පාලනය පොරොන්දු වී තිබුණි.
ඖෂධ නිෂ්පාදනයේ දී ඇතැම් සමාගම් මිල අධික“ප්‍රොපිලීන් ග්ලයිකෝල්” වෙනුවට වංචනික ලෙස හෝ නොදැනුවත්ව “ඩයිඑතිලීන් ග්ලයිකෝල්” නමැති විෂ සහිත රසායන ද්‍රව්‍යය භාවිත කරන බව ඉන්දියාවේ “මින්ට්” නමැති වෙබ් අඩවිය වාර්තා කර ඇත. ඩයිඑතිලීන් ග්ලයිකෝල් ශරීර ගත වූ විට වකුගඩුවලට හානි සිදුවීමටත්, ඇතැම්විට මරණයටත් හේතු වේ යැයි කියති .
රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති අතර, රසායනික ද්‍රව්‍ය බෙදාහැරීමේ දී සිදුව ඇති ගෝලීය ඖෂධ ආරක්ෂණ පිළිවෙත් උල්ලංඝනය කිරීම් පිළිබඳ විස්තර ලොවට හෙළි කර ඇත. මේ වනවිට යට කී ඩයිඑතිලීන් ග්ලයිකෝල් භාවිතයට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ “රෙසාන්” නමැති සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කර ඇතැයි ද පැවැසෙයි. එම සමාගමේ නිර්මාතෘ ජී.රංගනාදන් අත්අඩංගුවට ද ගැනුණි. ඉන්දීය ඖෂධ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය මැදිහත් වී සිටීම සතුටට කරුණකි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට හේතුවක් විය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ, තමන් ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම් වැඩිකර ඇති බවත්, දරුවන් සඳහා කැස්ස පැණි භාවිතය පිළිබඳව නැවත සමාලෝචනයක් කරන බවත්ය.
ලුසිත ජයමාන්න

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.