''ඉස්සර ඉඳල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරන්න  මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම අපි හැමෝම පොඩි කාලේ හරි ආසාවෙන් බලපු හැරී පෝටර් ෆිල්ම් එකේ පෙන්නපු ඩයිනින් එක ඇත්තටම බලන්න,ඒකෙ එක පාරක් හරි කෑම කන්න. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට තේරිලා එංගලන්තයට ගිය පළවෙනි දවසෙම රෙන්ට් එකට ගත්ත ගෙදරවත් අස් කළේ නැතුව මම ගියේ කැම්පස් එක බලන්න. ඉතින් අද වෙද්දි ඒ හැම හීනයක්ම දෑස් ඉදිරිපිටම මම අත්විඳිනවා. ''

කාන්තාවන් දස දහස් ගණනකගේ කිරි සිහිනය සැබෑ කරමින්, සුව කළ නොහැකි යැයි අත්හළ රෝග ගණනාවකට ප්‍රතිකාර කරමින් අද වන විට ලෝකයේ අංක එකේ විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට තේරී පත්වූ  ලංකාවේ එකම ආයුර්වේද වෛද්‍යවරිය   ඇයයි.ඇය නමින් ධනුෂ්කා ග්‍රේරෝය. මේ ඇයගේ කතාවයි.

කෑගල්ල  තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ ඉහළින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨය සඳහා තේරී පත් වුවත් ඇයට අවශ්‍ය වූයේ බටහිර වෛද්‍යවරියක වීමටය. එම සිහිනය යථාර්ථයක් කර ගන්නට ඇය දෙවන වරද උසස් පෙළට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵල පැමිණීමේ කාලසීමාව ඇතුළත පළමු තීරණය හොඳම තීරණයයි සලකා ආයුර්වේද වෛද්‍යවරියක වීමේ සිහිනය පෙරදැරිව කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයට ඇතුළත් වූවාය.

උසස් පෙළ හදාරන අයෙකු පාසල් කාලයේදී වෙනත් කිසිදු බාහිර ක්‍රියාකාරකමකට යොමු නොවෙන කාලවකවානුවක පාසල් කාලයේදී නර්තනය ගායනය මෙන්ම තූර්ය වාදන කණ්ඩායම්වලත් කැපී පෙනෙන සාමාජිකාවක ලෙස කටයුතු කළ ධනුෂ්කා අද වන විට ලොව අංක එකේ විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් ‘විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය හැදෑරීමට සමත් වූ එකම ලාංකීය ආයුර්වේද වෛද්‍යවරියයි.

වසර පහක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සමඟ උපාධිය නිම නිමකළ ඇය තම සීමා වාසික පුහුණුව බොරැල්ල ආයුර්වේද රෝහලේ ද, මීගොඩ  රෝහලේද, නාවින්න රෝහලේද නිම කළාය. ස්ථිර වශයෙන්ම රැකියාව ලැබෙන තුරු වසරක පමණ කාලයක් ගතවෙමින් තිබූ අතර එම කාලයෙහිද ඇය තමන්ගේම පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ   කරමින් රෝගීන්ට සේවය කිරීම ඇරඹුවාය. ඉන්පසුව ගත වූ වසර දහයක කාලයෙහි සුව කළ නොහැකි යැයි අතහැර දැමූ ලෙඩ රෝගවලට පවා ප්‍රතිකාර කළ ආකාරයද නොයෙකුත් ක්ෂේත්‍ර යටතේ පර්‌යේෂණ වාර්තා සහ සාක්‍ෂිද එකතුකරමින් දැනුමෙන් සන්නද්ධ වූ ආයුර්වේද  වෛද්‍යවරියක වීමට ඇය උත්සාහ ගත්තාය.

බටහිර වෛද්‍ය විද්‍යාව සේම දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝකය දැනුම්වත් කිරීමේ අභිප්‍රාය මුල සිටම ඇය සතුව පැවතිණ. ලෝකයක් හමුවට නොගිය ප්‍රතිකාර වේද පිළිබඳව ඇය නිරන්තරයෙන් උනන්දු වූවාය. ඒ සඳහා හොඳම ක්‍රමවේදය සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හැදෑරීම බව පසක් කරගත් ඇය තම පශ්චාත් උපාධිය සඳහා තෝරා ගත්තේද සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවයි.

කුඩා කල සිටම තිබූ වෛද්‍යවරියක වීමේ සිහිනය ජයගත් ඇය ලංකාවට කීර්තියක් අත්කර දී හමාරය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට හිමි වූ අවස්ථාව පිළිබඳව ඇය මෙසේ විස්තර කළාය.

''පොඩි කාලේ ඉඳන්ම මට ආසාවක් තිබුණා වෛද්‍යවරියක වෙන්න. අම්ම ඉස්සර කියනවා මං පුංචි කාලෙ කොළ කෑලිවල කුරුටු ගගා නෑදෑයින්ට බෙහෙත් දෙනවා කියලා. නමුත් මට ආයුර්වේද වෛද්‍යවරියක වීමේ සිහිනයක් තිබුණේ නැහැ. හැමදාමත් මිනිස්සුන්ට හොඳම දේ ලබා දෙන්න, මිනිසුන් නොදන්නා ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කරන්න මට ඕනැ වුණා.  මගේ ආචාර්ය උපාධිය Women and Reproductive Health යටතේ කරන්න මට අවශ්‍ය වුණා.  ඒක කරන්න හොදම  පශ්චාත් උපාධිය තමයි  සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව. එම පශ්චාත් උපාධිය තියෙන්නෙ ඔක්ස්ෆර්ඩ්වල.එහෙම  සාක්ෂියක් තිබුණොත් මිනිස්සු මගේ ප්‍රතිකර්ම  විශ්වාස කරන බව මට හිතුණා. ඒ නිසා මම එය තෝරා ගත්තා.

ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන එක හිතන තරම් පහසු නැහැ. කැම්පස් අවුට් වෙලා අවුරුදු දහයකට වගේ පස්සේ තමයි මම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයැදුම් කළේ. ඒ වගේ විශ්ව විද්‍යාලයකට ලේසියෙන් කෙනෙකුට ඇතුළු වන්නට බැහැ. එයාලට නිතරම ඕන ශක්තිමත් අධ්‍යාපන පසුබිමක්, ඒ වගේම ශක්තිමත් අධ්‍යයන අරමුණක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඉතින් මම ඒ ගතවුණු කාලයෙහි රෝගීන් වෙනුවෙන් බොහොමයක් දේවල් කළා. විවිධ රෝග පිළිබඳව, විවිධ ප්‍රතිකාර පිළිබඳව බොහෝ විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් සමඟ  පර්‌යේෂණ පත්‍රිකා සකස් කළා. සාක්ෂි එකතුකළා.මගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වූ රෝගීන්ගෙනුත් සාක්ෂි එකතුකර ගත්තා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න ජ්‍යෙෂ්ඨ විකිරණවේදීන් මා නිර්දේශ කළා. සීනියර් ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් වාර්තාවන් සකස් කරලා දුන්නා. ඒ කාලේ මම පල්ස් සම්බන්ධයෙන් රොබටික් ඉංජිනියර් කෙනෙක් එක්ක රිසර්ච් එකක් කළා. ඒ වගේම කාන්තාවන්ගේ ඩිම්බවල තත්ත්වය පිළිබඳව පර්‌යේෂණ සිදුකළා. ඒ කාලෙදි  මම බෙහෙත් දීල ගර්භිණී භාවයට පත්වුණු ගොඩාක් අම්මල හිටියා. ඒ හැමෝගෙම සාක්ෂි මම එකතු කළා. ඒකෙදිත් මම හොයා ගත් දේවල් එකතු කරගෙන ශක්තිමත් අධ්‍යයන වාර්තාවක් සකස් කරගෙන තමයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයැදුම් කළේ. ඉන් පසුව විශ්වවිද්‍යාලයෙන් අවමය IELTS 7.5ක ප්‍රමාණයක් ඉල්ලුවා. මම ඒකත් සම්පූර්ණ කරගත්තා. එයාලා පර්‌යේෂණ සහ අධ්‍යාපන පසුබිම වගේම අනෙකුත්  වාර්තා පිළිබඳව සලකා බලා අවුරුද්දක් වගේ කාලයකට පසු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ “සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව” පිළිබඳව පශ්චාත් උපාධිය හැදෑරීමට මා තෝරා ගත්තා. මම හිතුවෙ නැහැ මාව තේරේවි කියලා. නමුත් ඒ වෙනුවෙන් මගෙන් සිදුවිය යුතු හැම දේම කරන්න මම අමතක කළේ නැහැ. ඔක්ස්වර්ඩ් කියන්නෙ මගේ සිහින විශ්ව විද්‍යාලය.''

වසරකට ලැබෙන ලක්ෂ 5ක අයැදුම්පත් අතුරෙන් ප්‍රථම උපාධිය සඳහා සිසුන් 12,000කටත් පශ්චාත් උපාධිය සඳහා සිසුන් 12,000කටත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයැදුම් කිරීමේ අවස්ථාව ලැබේ. පශ්චාත් උපාධිය සඳහා ඇතුළත් වීමට ඉඩකඩ ලබාදෙන සිසුන් 12,000 අතුරෙන් වැඩිම කෝටාවක් එංගලන්ත ජාතිකයන්ට ලබාදෙන අතරම ලංකාවේ  සිසුවෙකට වරම් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. මුදල් මත පදනම් වෙමින් පමණක් නොව ශක්තිමත් අධ්‍යයන පසුබිමක්, අධ්‍යාපන   සැලැස්මක් තිබීමත් සලකා බලනා එවැනි විශ්ව විද්‍යාල‍යක පශ්චාත් උපාධි  අවස්ථාවක් ධනුශ්කා නම් අායුර්වේද වෛද්‍යවරියට හිමිවීම පිළිබඳව අප සතුටු විය යුතුය.

කුඩා කල සිටම තම මුත්තණුවන් සහ මිත්තණියගේ නොයෙකුත් කතා බහ නිසා එංගලන්තය වැනි රටක අධ්‍යාපනය ලැබීමට සිහින දකිමින් සිටි ධනුෂ්කා නම් වෛද්‍යවරියට එය ඇස් ඉදිරිපිටම සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබුණේ ඇයගේ උනන්දුව, කැපවීම සහ නොපසුබට අධිෂ්ඨානය නිසාය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇතුළත් නොවී සාමාන්‍ය වෛද්‍යවරියක මෙන් සේවය කළා නම් ඇතැම් විට ඇයට මෙම අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබුණි. 

ලොව අංක එකේ විශ්ව විද්‍යාලයක තමා ගතකරන වෙනස් ආරක ජීවන රටාව පිළිබඳව ඇය මෙසේ විස්තර කළාය.

''ඔක්ස්ෆර්ඩ්වල තියෙන්නේ වෙනම සංස්කෘතියක්. කන බොන විදිය, අඳින පලඳින විදිය පවා හරිම වෙනස්. ටී එකක් බොද්දි වුණත් ටේබල් මැනර්ස් උගන්නවා. අපි හිතන්නේ කැම්පස් එකක් කිව්වම අපිට ඕන තැනක යන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලනේ. නමුත් එහේ එහෙම නැහැ. සමහර තැන්වල තණකොළ පාගන්න වුණත් පුළුවන් ප්‍රොෆෙසර්ස්ලට විතරයි. ඒ වගේම  අපි හැමෝම පොඩි කාලේ හරි ආසාවෙන් බලපු හැරී පෝටර්  ෆිල්ම් එකේ පෙන්නපු ඩයිනින් එක ඇත්තටම බලන්න,ඒකෙ එක පාරක් හරි කෑම කන්න. විශ්වවිද්‍යාලයට තේරිලා එංගලන්තයට ගියපු පළවෙනි දවසෙම රෙන්ට් එකට ගත්ත ගෙදරවත් අස් කළේ නැතුව මම ගියේ කැම්පස් එක බලන්න.  මට හිතෙන්නෙම මේක මහ පුදුම ලෝකයක් කියලා.

මේ  විශ්ව විද්‍යාලයේ කොලේජ් 38ක්  තියෙනවා. මම ඉගෙන ගන්නේ  කෙලොක් කියන කොලේජ් එකේ. ලෝකේ ලොකුම පුස්තකාලය තියෙන්නෙ මෙහේ. පොත්  මිලියන 12ක් විතර තියෙනවා. වැඩිපුරම තියෙන්නේ වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ පොත්පත්. අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ඉඳලා අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනකන්ම හැමෝම සුහදශීලීයි. හැමෝම එකිනෙකාට උදව් කරගන්නවා. කථිකාචාර්යවරු වගේම මහාචාර්යවරුත් පෞද්ගලිකව සෑම සිසුවෙකු සමගම සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම රිසර්ච්වලදී එකිනෙකාට උපකාර කරනවා. ඔවුන් තම රාජකාරියට එහා ගිය දෙයක් මේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකු වෙනුවෙන්ම සිදු කරනවා.”

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ලංකාවේ පමණක් නොව විදේශීය රටවල ද පෙර නොවූ විරූ ස්ථානයක් ලැබෙන බව ඇය සමග කළ කතා බහේදී පැහැදිලි විය. 

''එංගලන්තය වැනි විදේශ රටවලත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට විශේෂ ස්ථානයක් ලැබෙනවා. ඔවුන් හරි කැමතියි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. මම  ඒ කැම්පස් එකට ගිහිල්ලා කරන්න දුන්න පළවෙනි ප්‍රසන්ටේෂන් එකේදි මාත් එක්ක හිටියේ හාවර්ඩ් එකේ උපාධිය සම්පූර්ණ කරල ආව වෛද්‍යවරුන්. මම ආයුර්වේද වෛද්‍යවරියක්    කියලා දැනගෙන එයාලා යෝජනා කළා අපි නෙල්ලි ගැන ප්‍රසන්ටේෂන් එකක් කරමු කියලා. එතනදි කතා කළේ නෙල්ලිවලින් කොහොමද කොලෙස්ට්‍රෝල් අඩු කරගන්නෙ කියලා. 

මේ දවස්වල රිසර්ච් එකක් කරනවා පිළිකාවක් අවුරදු 20කට කලින් කොහොමද හඳුනා ගන්නෙ කියලා. එම පර්‌යේෂණයෙදි ආයුර්වේදයේ තියෙන කටුපිළ වගේ ඖෂධ  ටී එකක් විදියට හරි අපට භාවිත කරන්න බැරිද කියලා මම ප්‍රශ්න කළා. එයාල මගෙන් ඒ  ගැන ඇහුවා. මේ දවස්වල අපි ඒ වැඩේ කරගෙන යනවා. ඒ රටේ වෛද්‍යවරුන්  නිතරම ඖෂධ නොගෙන රෝග සුව කරගන්නා ආකාරය සහ ස්වාභාවික දේවල් භාවිත කරල ශරීරයට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගන්නත් උත්සාහ ගන්නවා. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතින යම් යම් ප්‍රතිකර්ම පිළිබඳව  ඉන්දියාව වගේ රටවල් නිසා ඔවුන් දැනුවත් වෙලා ඉන්නවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිසා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවෙහිත් ශල්‍ය කර්ම කියන දේ අද වෙද්දි ප්‍රචලිත වෙලා තියෙන්නේ. එංගලන්තය වැනි විදේශීය රටවලද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සොයාගත් විවිධ වූ බෙහෙත් වර්ග භාවිත කරනවා. එයාලා උණට කැස්සට හෙම්බිරිස්සාවටවත් ඇන්ටි බයෝටික් එකක් භාවිත කරන්නේ නැහැ. වෙෙළඳසල්වල පවා මී පැණිවලින් සකසා ගත් ආයුර්වේද සිරප් විකුණන්න තියෙනවා''

බටහිර  වෛද්‍යවරුන් සමූහයක සිටිනා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්නේ ඇයයි. ලංකාව, ඉන්දියාව වැනි රටවල ප්‍රචලිතව පවත්නා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එංගලන්තයේ පවා භාවිත කිරීම සතුටට කරුණකි.  ඇය ඉගෙනුම ලබනා ඔක්ස්ෆර්ඩ්  විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්ද පර්‌යේෂණ මාර්ගයෙන් එවැනි ස්වාභාවික ප්‍රතිකර්ම ගැන සෙවීමට උනන්දුවක් දක්වන බව මෙම කතා බහෙන් පැහැදිලි විය.

විදේශීය රටක උසස් අධ්‍යාපන කටයුතු හදාරන අතරතුරදි ''දච් ආයුර්වේද රෝහල'' නමින් සියලු අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහලක් ඇය මීට වසර පහකට පෙර ආරම්භ කරන්නේ තම සේවය ලාංකිකයන්ට ලබාදීම යුතුකමක් මෙන්ම වගකීමක් බව පසක් කරගත් නිසාය. තමාගේ නමෙහි මුලකුර සහ තම සැමියාගේ නමෙහි මුලකුරද එකතු කොට දච් ලෙස රෝහලට නම යෙදූ බව ඈ අප සමග පැවසුවාය.සෑම මසකම පළමුවන සතියේදී තම රෝහලින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක්  සහ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීමට පැමිණෙන ඇය මේ වනවිට මද සරුභාවයෙන් සහ විවිධ වූ රෝගාබාධ නිසා දරුඵල ප්‍රමාද වූ මව්වරුන් බොහෝ දෙනෙකුට පිහිට වූ අතිශය දුර්ලභ වෛද්‍යවරියකි. දේශීය රෝගීන්ට පමණක් නොව ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඩුබායි වැනි විදේශීය රටවල සිටින රෝගීන්ට පවා ඇය ප්‍රතිකාර  කරයි. 

"මගේ පශ්චාත් උපාධියේ අධ්‍යාපන කටයුතු මොඩියුල වශයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. වසරකට එක් මොඩියුලයක් කිහිප වතාවක් රන් වෙන අවස්ථාවල් තියෙනවා.මම එහේ ඉගෙන ගත්තත් ලංකාවෙ මගේ රෝගීන් නොබැලුවොත් මට ඒක හිස්තැනක් වගේ දැනෙනවා.ඉතින් මම කරන්නේ  සෑම මාසයකම පළමු වන සතිය free කරගන්නවා.  මගේ මොඩියුලය අවස්ථා කිහිපයකදී රන් වෙන අවස්ථාවක මම ඒ මොඩියුලය ඉගෙන ගන්නවා.එහෙම තමයි එහේ වැඩයි ලංකාවෙ වැඩයි මම බැලන්ස් කරගන්නේ.” 

මෙම සියලු කටයුතුවලදී තමාගේ පසුපස සෙවණැල්ලක් මෙන් සිටගෙන තමාට ශක්තියක් වන්නේ නැඟණිය සහ සැමියා බව ඇය කීවාය.මෙම රෝහලේ අධ්‍යක්ෂ ඇගේ සැමියා වන චන්න ජිනසේන ය. කළමනාකරු ලෙස ඇගේ නැඟණියද කටයුතු කරයි.

මධූෂා දිල්ෂානි