(විමුක්ති එස් රුද්‍රිගු)

නැවත දැනුම් දෙනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරානය පෙන්වා දුන් මාර්ගය මගහැර ඕමානය ආසන්නයෙන් වැටි ඇති ඇමෙරිකාවේ සහාය ලැබෙන මුහුදු මාර්ගයේ නෞකා යාත්‍රා කිරීම එයට ප්‍රධාන හේතුව විය.

අනුමත නොකළ මාර්ගයේ යාත්‍රා කළ නෞකා කීපයකට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය අනතුරු ඇඟවීම සඳහා වෙඩි තබා තිබූ අතර එක් වෙඩිල්ලක් වැදී බහාලුම් ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන තිබිණි.

මාර්ගය වෙනස් කිරීමට දැනුම් දුන්නත් එම නෞකා අණ නොතකමින් අනුමත නොකළ මාර්ගයේම ගමන් කර ඇත.

නැවත වතාවක් ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නෞකාවලට පහරදීමත් සමග ඇමෙරිකානු හමුදාව තවත් අදියරක් යටතේ ඉරානයට ප්‍රහාර එල්ල කර තිබූ අතර එය ඇමෙරිකාව ඉරානයට එරෙහිව පසුගිය දින කීපයේදී ප්‍රහාර එල්ල කළ තෙවැනි අදියර විය.

තෙවැනි අදියර යටතේ ඉරානයේ හමුදා ඉලක්ක 140 කට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබූ අතර එම ඉලක්කවලට ඉරානයේ මිසයිල විදිනයන්, ඩ්‍රෝන ගුවන්ගත කරන ස්ථාන, අවි තොග සහ සන්නිවේදන මධ්‍යස්ථාන, වෙරළබඩ නිරීක්ෂණ පහසුකම් මධ්‍යස්ථාන ඇතුළත්ව ඇත.

ඇමෙරිකානු හමුදාවේ ප්‍රහාරයන්ගෙන් ඉරාන වරාය නගර වන බන්ඩාර් අබ්බාස්, සිරික් සහ චබහාර් යන ප්‍රදේශවල පිපිරීම් වාර්තා වී ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. එසේම ජස්ක් නගරයේ පිපිරීම් දහයක් වාර්තා වී ඇති අතර බුෂෙර් නගරයේද පිපිරීම් වාර්තා වී ඇත.

එමෙන්ම පර්සියානු බොක්කේ විශාලතම දූපත වන කෙෂ්ම්වලද පිපිරීම් වාර්තා විය. එහි ඉරාන හමුදාවට අයත් මිසයිල කඳවුරක් තිබෙන බවද පැවැසෙයි. සටන් විරාමය අවසන් කිරීමෙන් පසුව ඉරානයට අදියර තුනක් යටතේ ප්‍රහාර එල්ල කර තිබෙන බවත් එහිදී ඉරාන හමුදා ඉලක්ක 300 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බවත් ඇමෙරිකානු හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කර තිබිණි.

තෙවැනි අදියර යටතේ ප්‍රහාර එල්ල කිරීමට පෙර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ තේරීම වැරදි බවත් එයට වන්දි ගෙවීමට ඉරානයට සිදුවෙනු ඇති බවත්ය.

ඇමෙරිකාව තෙවැනි අදියර යටතේ ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය කුවේටය, ඕමානය, ජෝර්දානය, බහරේන සහ කටාර් රාජ්‍යයේ ඇති හමුදා ඉලක්ක වෙත ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකායා ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.

කටාරයේ අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර වෙත ඉරානය බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඕමානයේ ඩක්ම් වරායේ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා සඳහා ඉන්ධන සපයන සහ නාවික යාත්‍රා සඳහා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන අංගනයකට දරුණු සහ හදිසි ප්‍රහාරයක් එල්ල කළ බවද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.

කුවේටයේ ස්ථාපිත කර ඇති පේට්‍රියට් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියටද ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කර ඇත.