(යොහාන් භාසුර)

බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට සහ ගරුබුහුමන් දැක්වීමට සැදෑඇති බෞද්ධයකුට අවස්ථාවක් ලැබේ නම් එය ජීවිතයේ අතිශයින්ම වැඳගත් මෙන්ම භාග්‍යවන්ත අවස්ථාවක් ලෙස සළකන බවත් එවැනි භාග්‍යවන්ත අවස්ථාවක් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට එළඹෙන පෙරවාරි මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා උදාවන බවත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ අද (23) පැවසූහ.

දඹදිව දෙව්නිමෝරී පුදබිමෙන් වැඩම කරනවන ශ්‍රී සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ එසේ පැවසූහ.

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ සර්වඥ ධාතූ වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති බවත් ශ්‍රී දළදා වහන්සේගේ වාම සහ දක්‍ෂිණ දළදා වහන්සේ, අකු ධාතුව ඇතුළු සුවිශේෂිත ධාතූන් වහන්සේලා මෙන්ම රුවන්වැලි මහ චෛත්‍ය වහන්සේ මත ධාතූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් තැන්පත් කරඇති බවත් උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකම රහත් ධාතූන් වහන්සේ විෂයෙහිවත් උදේ දවල් හැන්දෑව බුද්ධ පූජාව පවත්වා වන්දනාමාන කිරීම බෞද්ධ ජනතාවගේ චාරත්‍රය බව කී අස්සජී නායක ස්වාමීන්වහන්සේ පසුගිය වකවානුව තුළ දළදා වහන්සේ වැළපුදාගැනීමට විශාල ජනතාවක් පැමිණි නිසා කොළඹට ද විශාල ජනතාවක් පැමිණෙතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ.  

දෙව්නිමෝරී ඓතිහාසික සිද්ධාන සංකීර්ණයේ කැනීම්වලදී ඉන්දියානු පුරාවිද්‍යාඥයන් සොයාගත් සහ සර්වඥ ධාතූන්වහන්සේලා හැටියට ප්‍රකාශයට පත්කළ ධාතූන් වහන්සේලා එම ප්‍රදේශයේ කෞතුකාගාරයක තැන්පත් කර පළමු වරට විදේශ රටකට වැඩම කරන බවත් ඉන්දීය අගමැති මෝදි මැතිතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ඇතිකරගත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රජ්‍ය අනුග්‍රහය ඇතිව සියලු කටයුතු සංවිධානය කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට ජනාධිපති කාර්යාලය සහ බුද්ධ ශාසන අමාතයංශය අවශ්‍ය මුලික පහුසකම් සළසන බවත් නිදහස් දිනයේ ධාතූන් වහන්සේ වැඩම කිරීම රාජ්‍ය නායකයෙක් මෙරට පැමිණෙන අවස්ථාවේ කෙරෙන සාම්ප්‍රාදායික පිළගැනීමට සමාන මෙන්ම බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ බැති සිතින් යුතුව පුද සත්කර කරමින් ප්‍රදර්ශනය පවත්වන බවත් කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ සඳහන් කළහ.

ධාතූන් වහන්සේ වන්දනා කරන පිරිස් ඊට සුදුසු ඇදුමකින් සැරසී එමෙන්ම සුදු ඇදුම් නම් වඩාත් හොඳ බව කී උන්වහන්සේ බඩු මුට්ටු රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.

ගංගාරාම විහාරස්ථානය ඉදිරියේ ඇති උද්‍යානයට ඇතුල්වීමට මුත්තයියා පාර විවෘත කර ඇති බව ද කී කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ ධාතූ ප්‍රදර්ශනය පිළිබඳව ඉදිරියේදී විවිධ මාධ්‍ය හරහා තව දුරටත් දැනුවත් කරන බව ද වැඩි දුරටත් සඳහන් කළහ.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා එහිදී පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ අපේ ජනාධිපතිතුමා අතර සිදුවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව ලැබුණු බවත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට එනම් පුරවැසි ප්‍රජාවට මෙම පුණ්‍යවන්ත අවස්ථාව උදාකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානව ප්‍රසාදය සහ ගෞරවය ඇති වන පරිදි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට ප්‍රදානය කර වැඳපුදාගන්නට අවස්ථාව සකස්කරදීම පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය සහ ස්තූතිය පළමුවෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට, ඉන්දීය රජයට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුදකරන බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාතයංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ නායක හමුදුරුවන් ඇතුළු ගංගාරාම දායක සභාව යන සියලුම දෙනා එකතුව මෙම මහා පිංකම කරන බවත් අප සියලුම දෙනාගේ ආගමික ශාස්තෘවරයා වන බුදුරජාණන්වහන්සේ පිළිබඳව අප සිත්වල ඇති අසාහය ගෞරවය කෙබඳු ද කියා සියලුම දෙනා දන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසුවේ මහජන ආරක්‍ෂක අමත්‍යංශයේ සහ පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබාගෙන මෙම ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සැළසුම් කර ඇති බවත් ඉන්දියාවේ සිට වැඩම කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව සඳහා සුවිශේෂි වැඩපිළිවෙළක් ද, ඒ සමඟ පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්‍ෂාවටත්, වැදපුරා ගැනීමට විහාරස්ථානයට පැමිණීමට බලාපොරොත්තු වන දේශීය සහ විදේශීය බැතිමතුන්ගේ අරක්‍ෂාවටත් විශේෂ වැඩපිළිවෙළ සකස්කර ඇති බවත්ය.

ඊට අමතරව මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන පාලනය යන කරුණු පිළිබඳව අවාදනය යොමු කර කටයුතු කරන බවත් ගමන් මළු රැගෙන ඒමෙන් වළකින්නේ නම් වඩාත් හොඳ මෙන්ම ගමන් මළු සහ හිස් වැස්ම රැගෙන එන්නේ නම් ඒවා වාහනයේ තබා පැමිණිය යුතු බවත් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා කීය.

ජංගම දුරකථනයක් මොනම විදියකටත් විහරස්ථාන පරිශ්‍රය තුළ පාවිච්චි කිරීමේ අවස්ථාවක් නොමැති බවත් විහාරස්ථාානයට ආසන්න වන විට අනිවාර්යෙන්ම ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මරදාන දුම්රිය ස්ථානය, කොළඹ කොටුව, මාධ්‍යම බස් නැවතුම්පොළ, කොළඹ කොටුව පෞද්ගලික බස් නැවතතුම්පොළ යන ස්ථානවල සිට ගංගාරම විහාරස්ථානයට පැමිණීමට විශේෂ බස් රථ යොදවා ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා පුද්ගලික වාහනවල එන බැතිමතුන්ට රථ ගාල්කිරීමට විශේෂ ස්ථාන සළසා තිබෙන බව ද සඳහන් කළේය.  

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඊ. එස්. සෙනෙරත් වික්‍රමසිංහ මහතා සහ බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යයේ අතිරේක ලේකම් එම්. එල්. කුමාරි මහත්මිය ඇතුළු නිලධාරීහූ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.