(තුසිත කුමාර ද සිල්වා)

බෙන්තොට ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනකු බෙන්තොට ගඟ හරහා පැරණි විහාරස්ථානයක් පෙන්වන බව පවසා 10,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් ඔරුකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මෙම සංචාරකයන් දෙදෙනා හෝටලයෙන් පිටව ගාලු පාරේ ඇවිද යමින් සිටියදී ර ඔරු පදින්නන් දෙදෙනකු සංචාරකයන්ට පැරණි විහාරස්ථානය දැක බලා ගැනීමට බෙන්තොට ගඟ ඔස්සේ ඔරුවකින් යා හැකි බව පවසා රැගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

එහිදී ගංගාවේ මද දුරක් ගිය පසු එම සංචාරක දෙදෙනාගෙන් විදෙස් මුදල් යූරෝ හතලිහක් ඉල්ලා තිබේ.

එහිදී විදෙස් සංචාරකයන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව ඔවුන් බිය ගන්වා එම අවස්ථාවේ විදේශිකයන් සන්තකයේ තිබූ රුපියල් දස දහසක් බලාත්කාරයෙන් ලබාගත් බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ බෙන්තොට පොලිසිය සිද්ධියට සම්බන්ධ යාත්‍රාමුල්ල සහ ඔබඩවත්ත ප්‍රදේශයේ පදිංචි 55 සහ 60 හැවිරිදි ඔරු පදින්නන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.