(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැරදි ආකාරයට ශුද්‍ර මූල්‍ය ණය ලබා දුන්නොත් නව පනත යටතේ රුපියල් ලක්ෂ පනහක දඩ නියම කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වේත්‍රධාරීවරයා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (04) පෙරවරු 9.30 ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන, ලිපි ලේඛනාදිය පිළිගැන්වීමෙන් අනතුරුව ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඇරැඹිණි.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා:-
මේ පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වන්නේ ණය නියාමන අධිකාරිය පිහිටුවීමයි.එමෙන්ම ශුද්‍ර මූල්‍ය ණය දීමේ ව්‍යාපාර නියාමනය කිරීම,එම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සැපයීම සහ දැනට පවතින ශුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම සඳහාත් වන විධිවිධාන සැලැස්වීම මෙහි අරමුණ වී තිබෙනවා.ශුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් සමාජයේ විශාල කථිකාවක් නිර්මාණය වුණා.
2016 වසරේ ඉදිරිපත් කළ පනතෙන් ශුද්‍ර මූල්‍ය ණය නියාමනයට පියවරක් ගත්තත් එහි විධිමත්භාවය තහවුරු කරන්නට නොහැකි වී තිබෙනවා.ශුද්‍ර මූල්‍ය පනතට අනුව මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන්නේ සමාගම් හතරක් පමණයි.ඒ නිසා නව පනතක අවශ්‍යතාවය මතුවී තිබෙනවා.
ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව මේ නව පනතින් අවධානය යොමු කෙරෙනවා.ණය දීමේ ක්‍රියාවලියේදී යම් වැරදි සිදුවෙනවා නම් ඊට අදාළ දණ්ඩනයන්ද දක්වා තිබෙනවා.වැරදි ආකාරයට ශුද්‍ර මූල්‍ය ණය ලබා දුන්නොත් රුපියල් මිලියන පහක දඩ නියම කිරීමකට යටත් කරනවා.එමෙන්ම මේ ආක්‍රමණශීලි ණය ලබාදීම් ඇතුලේ ඇතැම් පොලී අය කිරීම් සියයට 300 කට වඩා වැඩි පොලී අනුපාතයක් දකින්නට තිබෙනවා.රුපියල් 5000ක් ණයට දී 6500ක් නැවත අයකර ගන්නා අවස්ථා තිබෙනවා. මෙය වාර්ෂිකව ගණනය කරන විට සියයට 300කට වඩා වැඩි පොලී අනුපාතයක්.ජනතාව ණය ගැති බවින් මුදවා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයෙන් අළුතින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.2026 වසර සඳහා ඊට රුපියල් බිලියන 95.6ක් වෙන්කර තිබෙනවා.ප්‍රති මූල්‍ය ණය ලබාදීමේ යෝජනා ක්‍රම රැසක් තිබෙනවා.ග්‍රාමීය ණයගැති බව සහ දුප්පත් බව තුරන් කිරීම සඳහා අප මේ වැඩපිළිවෙළ උපයෝගී කරගන්නවා.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ)
ශුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පතට ඉතිහාසයක් තිබෙනවා.1900 ගණන් වල මේ රටේ සමූපකාර ණය සමිති ආරම්භ කළා.1977න් පසුව එක්සත් ජාතික පක්ෂ රජය මේ ක්ෂේත්රයට විශාල දායකත්වයක් ලබා දුන්නා.1980දී රණසිංහ ප්‍රේමදාස ජනපති විසින් ජන සවිය සංකල්පය පදනම් කර ගත්තේ ශුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්රය වර්ධනය කර ගැනීම සඳහායි.1990 දී එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යාප්ත කරනු ලැබුවා.ශුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය අඩු ආදායම් ලාභීන්ට ශක්තියක් ලබාදීම එහි අරමුණයි.
2016 යහපාලන රජය යටතේ මේ ක්ෂේත්රය පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය නතර කළා.නැවත 2023 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ගැසට් නිවේදනයක් ඉදිරිපත් කර ශුද්‍ර මූල්‍ය නියාමන පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී එයත් නතර වුණා.දැන් මේ ගෙනැවිත් තිබෙන පනත කාලෝචිත වුවත් අප අඩුපාඩු කිහිපයක් දකිනවා.ශ්‍රී ලංකා ආර්ථිකයේ අවිධිමත් අංශයේ ශ්‍රම බලකායේ සියයට 65ක් නියැලෙනවා.ඒ කියන්නේ ලක්ෂ පනස් පහක්.අප රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 32 -40 අතර දායකත්වයක් ලබා ගන්නේ මේ අවිධිමත් අංශයෙන් බව කිව යුතුයි.වීදි වෙළෙන්දෝ, කුඩා පෙට්ටිකඩ හිමියන්, අත් කරත්ත මගින් වෙළෙඳාම් කරන අය,දෛනික කුලී කම්කරුවන්, ගොවීන් ධීවරයන් ආදී ක්ෂේත්‍ර හඳුන්වා දිය හැකියි.මේ පනත්
කෙටුම්පතින් සෙතක් ඇතිවෙන්න නම් මේ ප්‍රජාව ඉලක්ක විය යුතුයි.අද මේ ප්‍රජාව පදනම් වූ ප්‍රජා මූල ස්වේච්ඡා සංවිධාන මේ පනත ගේන විට සතුටු වෙන්න ඕන මොහොතක්.හැබැයි ඒ කිසි කෙනෙක් සතුටු නෑ.ඔවුන් කලබල වෙලා ඉන්නවා.ඔවුන්ට මේ ගැන සාධාරණ සැකයක් තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මත් නිපුණ ආරච්චි මහතා:-(ජා.ජ.බ)
මේ පනත සම්බන්ධව මහජනතාව කලබල නෑ.හැබැයි මහජනතාව කලබල කරවන්න එපා.මේ රටේ ජනතාව පීඩනයට පත් කරන්න අප ආණ්ඩුව ලෙස කිසිම පනතක් රෙගුලාසියක් ගේන්නෙ නෑ.මේ ජනතා ආණ්ඩුවක්.ශුද්‍ර මූල්‍ය සම්බන්ධව මීට පෙර විධිමත් නියාමනය කිරීමක් තිබුනා නම් මෙම ශුද්‍ර මූල්‍ය ණය වලට සම්බන්ධ වී මෙරට කාන්තාවන් දෙසීයක් පමණ මේ වන විට සියදිවි හානි කරගන්නේ නෑ.පෙර ආණ්ඩු මේ ණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උත්සාහ කර තිබුණත් වැඩේ හරියට කරලා තිබුණේ නෑ.මේ පනත අප ඕපපාතිකව ගෙනවිත් දමන පනතක් නොවේ.අපට පෙරත් ආණ්ඩු යටතේ මෙය යම් පරීක්ෂණයකට භාජනය වී තිබෙනවා.අපි මේ පනත ගෙනවින් වෙනම කාරක සභා පත් කළා.මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, අනෙකුත් ආයතන, ප්‍රජා මූල සංවිධාන ඒ කාරක සභාවලට ගෙනාවා.අප සියලුම දෙනාගේ කරුණු සාකච්ඡා කර මේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මේ පනත ඉදිරිපත් කෙරෙනවා.අප මේ පනත තුළින් කිසිවකුටත් අගතියක් වන්නට ඉඩ තියන්නේ නෑ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
රටට අහිතකර කිසිම පියවරක් තබන්නේ නැතැයි කියනවා.බාල ගල් අඟුරු ගෙනාවේ ඒකද?විදුලි බිල වැඩි කරන්නට යෝජනා ඉදිරිපත් කරන්නේ ඒකද?ප්‍රජා ශක්තියක් ගැන කතා කළා.මොන ප්‍රජා ශක්ති ශක්තිද? ඒක මාලිමා ශක්ති.ඒක ජනතා විමුක්ති පෙරමුණේ ශක්ති.ශුද්‍ර මූල්‍ය ණය ඉතිහාසය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිව මේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.සර්වෝදය, ජනසවිය, බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමවේදය මේ ක්රමයේ ආරම්භයයි.මේ හරහා නිර්මාණය වූ ශුද්‍ර මූල්‍ය ණය වාණිජකරණයට ලක්කර පුංචි මිනිහා තලා පෙළා පොඩි කරලා තිබෙනවා.මේක ලොකු ලොක්කෝ ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්.අඩුම ගානේ ඔන්ලයින් මාෆියා හොර ණය තහනම් කරන්නට කටයුතු කරන්නේ නැහැ.එමෙන්ම අදාල පාලනාධිකාරි වල කාන්තා නියෝජනය අවම කර තිබෙනවා.
නියාමනයක් අවශ්‍යයි. ඒ නියාමනය අවශ්‍ය වුණේ ඇයි? ඉතාම හොඳින් ක්‍රියාත්මක වූ පුංචි සංවිධාන විනාශ කර මහා ලොකු මූල්‍ය ආයතන තමන්ගේ මුදල් උපයන ආයතන බවට මෙම ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර පත්කර ගත් නිසා අද ණය බරින් තෙරපුණු උගුලක් නිර්මාණය වී තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා:-
තිබූ පනත පරිචින්න කර නව ශුද්‍ර මූල්‍ය පනතක් අප විසින් ගෙන එනවා.මේ පනතේ ප්‍රධානම අරමුණු අතර ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ හා ශුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම හා අධීක්ෂණය සඳහා ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වාදීම දැක්විය හැකියි.
මේ පනතින් ගනුදෙනුකරුවන් ආරක්ෂා වෙන්නේ නැතැයි පැවසුවා.මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා මේ පනත ගෙන එන බව ඉතා පැහැදිලිවම අප සඳහන් කර තිබෙනවා.මේ පනත ගේන්නේ ව්‍යාපාර නියාමනය කිරීමට පමණක් නොවේ.ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමත් පනතේ ප්‍රධාන අරමුණක්.දැනට අප රටේ තිබෙන ශුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම,අධීක්ෂණය කිරීම මෙන්ම මේ රටේ මිලියන ගණනක් වූ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අප මේ යටතේ බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථකථනයට අනුව අඩු ආදායම්ලාභී ප්‍රජාවට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා මේ ශුද්‍ර මූල්‍ය ක්ෂේත්රය තිබෙනවා.රටේ සාමාන්‍ය බැංකු වලට සේවය ලබාදීමට බැරි තරම් ඉතා දිළිඳු අයට සහන සැලසීම සඳහා මෙම ශුද්‍ර මූල්‍ය ක්ෂේත්රය තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා:-(ඉ.ත.අ.ක)
ජාතික ජන බලවේග උදවිය රටේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලන විට කිව්වේ පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් ඇති කරන බවයි.මේ ආණ්ඩුවේ කැම්පේන් එක වුනේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවයි.පීඩිත පන්තිය ගොඩගන්න පීඩිත පන්තියේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට එවන්නැයි ඔවුන් ඉල්ලා සිටියා.නමුත් අද වනවිට මේ ශුද්‍ර මූල්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ප්‍රධාන අරමුණ වන්නේ ඒ.ඩී.බී බැංකුවෙන් මිලියන දෙසීයක ණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමයි.එහි එක කොන්දේසියක් ලෙස මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා.ඒ මුදල ලබා ගැනීම සඳහා ඉතා හදිසියේ මේ පනත ගෙනවිත් තිබෙනවා.පක්ෂ මූලස්ථානයෙන් කියපු කාරණා විශ්වාස කරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියන්න එපායැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කරන්න.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ)
මේ අණ පනත් ගේන එක හොඳයි. ඒ වගේම මේවා නියාමනය වෙන්න ඕන.මොකද රටේ නැති බැරි මිනිස්සු ආරක්ෂා විය යුතුයි.එහෙම වෙනවා නම් මොන ආණ්ඩුව වුනත් මෙවැනි දේ ක්‍රියාත්මක කරන එක හොඳයි. අපේ ආණ්ඩු කාලේ පනත් ගෙනාවා .නමුත් ඒවා ක්‍රියාත්මක වුනාද නැද්ද කියන එක ප්‍රශ්නයක්.ලෝක මුස්ලිම් ජනතාව මේ කාලයේ රාමසාන් උපවාසයේ යෙදී සිටිනවා.ඒක ඉස්ලාමීය ආගම වෙනුවෙන් කරන ලොකු උපවාසයක්.ඒ ජනතාව උපවාසයේ යෙදී සිටින විට වුනේ කුමක්ද?මේ වන විට ජීවිත දහස් ගණනක් බිලිගෙන තිබෙනවා.ඇමෙරිකාව සමග එකතුවී ඊශ්‍රායල් නායකයා මේක කරනවා.ඒ වෙනුවෙන් කතා කරන්න අපට යුතුකමක් තිබෙනවා.මේ ගැන රජයේ ස්ථාවරය කියන්න.
(පනත සම්මත විය)පාර්ලිමේන්තුව ඊයේ (5) පෙරවරු 9.30ට යළි රැස්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd