(සුජිත් හේවාජුලිගේ)

අධිකරණ පද්ධතියේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන්  එකට එකතු වී සටන් වැදීම සඳහා   පුළුල්  පෙරමුණක් ගොඩනගා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ  සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන්  මූලික  සාකච්ඡාවක් විපක්ෂ නායක සහ  සමගි  ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙහි සංවිධායක කමිටුව ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ  අජිත් පී පෙරේරා, නීතිඥ  සුජීව සේනසිංහ සහ  දිලිත් ජයවීර යන මහත්වරු කටයුතු  කරති.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කෙරෙන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  ලංකාදීපයට පැවසීය

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු අටක් පිරවීම ප්‍රමාද කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ  ගැටලු ගණනාවක්  සම්බන්ධයෙන්  මෙහිදී පුළුල්ව සාකච්ඡා කර  තීරණවලට එළඹීමට නියමිතව ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අධිකරණ ක්ෂේත්‍රයේ  ගැටලු සම්බන්ධයෙන්  එකතු වී සටන් කිරීම සඳහා  පුළුල්  එකමුතුවක්  ගොඩනගා ගැනීමට   ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පසුගියදා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවෘත  ආරාධනයක් කළේය.

අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති  ගැටලු සම්බන්ධයෙන්   පාර්ලිමේන්තුවේද ඉන් පිටතද පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවිය.

මේ අතර මීළඟ පාර්ලිමේන්තු සතියේදීද ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට විපක්ෂය බලාපොරොත්තුවේ.

ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු පිරවීම ප්‍රමාද කිරීම හේතුවෙන්  නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට බාධා මතුවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු හතරක් මෙතෙක් පුරවා නැතැයි වාර්තාවේ.