(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැන් සිටින්නේ බඩගින්නේ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ මට්ටම 24.5% බව ලෝක බැංකුව සඳහන් කර තිබෙන්නේ යැයිද ජී.එල් පීරිස් මහතා කීය.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා:-

හතර දෙනෙක් ජීවත් වෙනවා නම් අපේ රටේ එක්කෙනෙකු දිළිඳු තැනකට වැටෙනවා. ඉතාමත් ඉක්මනින් ඒක තුනෙන් එක දක්වා වැඩි වෙනවා යයි ලෝක බැංකුව කියනවා.මේ අනුව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි, අපේ රටේ ඇතිවෙන්නේ.

ජනතාවගේ සුභසාධනය ගැන අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිව්වා.සානුකම්පිත විදියට අපේ රටේ සුභසාධන කටයුතු ගැන හොයා බලා ඒවට විශේෂ උනන්දුවක්, අවධානයක් දක්වන්න යුතුකමක් තිබෙන බව අප පෙන්වා දුන්නා.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට මූල්‍ය සම්බන්ධව උදව් වෙනවා. ඒක අපට අවශ්‍යයි. අප කියන්නේ මේකෙන් අස්වෙන්න කියා නොවෙයි. හැබැයි අවශ්‍ය කොන්දේසිත් තිබෙනවා. මේවා පරිත්‍යාග නොවෙයි, මේවා ණය මුදල්. මේ ණය ආපහු ගෙවන්න ඕනෑ. කවුද ආපහු ගෙවන්නේ? අපේ රටේ ජනතාවයි. සියයට 5- 6 අතර පොලියක් සමඟ තමයි මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය ආපහු ගෙවන්න ජනතාවට සිදුවන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි හැඟීමක් තිබෙනවා.ලබාදෙන මුදල් නිසි අරමුණ සඳහා පාවිච්චි විය යුතුයි. ඒ කියන්නේ ජනතාවට සෙතක් සැලසෙන ලෙස ක්‍රියා කළ යුතුයි.

මෙම මාධ්‍ය හමුව සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුද සහභාගී වූහ.