(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථන්  මහතා අතර හමුවක් යාපනයේ දී සිදුවිය.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ  පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ  කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බව ද අරුන් සිද්ධාර්ථන් මහතා පැවසූ අතර ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල්   100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.