(උපාලි ආනන්ද)

මීගමුව බන්ධනාගාර නිළධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම සහ බන්ධනගාරයේ  දේපලවලට රුපියල් කෝටි 12 අධික අනර්ථයක් සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 16 දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාට අද (14දා) නියෝග කළාය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ මීගමුව බන්ධනගාරයේ ගැටුමක් ඇතිවීමේ සිද්ධියට අදාල නඩුකරය (14දා) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ කටුවැල්ලේගම සුරේෂ් නැමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරියන්ට මරණ තර්ජනය කර කලහකාරි ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇතිවී ඇති බවයි.

කටුවැල්ලේගම සුරේෂ් නැමැති සිරකරු එලෙස බන්ධනාගාර නිලධාරින්ට මරණ තර්ජනය කොට හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශන වලදී අනාවරණ වූ බවයි.

මෙම ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකු සහ රැදවියන් 20 දෙනෙකු මිය ගිය අතර තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.