(අංජුල මහික වීරරත්න)

මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර - යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදු විය. 

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් ඉදි කෙරෙන මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරින් සමග කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමගද සුහද කතා බහක නිරත විය. 

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක,  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.